රට ක්‍රමක්‍රමයෙන් විවෘත වෙමින් තිබේ. ලබන සතිය පමණ වන විට රටපුරා පොදු ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ. සමාජයෙන් කොරෝනා රෝගීන් හමුනොවන වාතාවරණයක් යටතේ ආණ්ඩුව මහමැතිවරණය පැවැත්වීම කෙරෙහි සුබවාදී දෑස් දල්වා තිබේ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් බදාදා නිල වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ ජූනි මස 20 වැනි දින මහ මැතිවරණය පැවැත්විය නොහැකි බවය. ප්‍රායෝගික හේතු මත මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට බාධා ඇති වන බවද සෞඛ්‍ය අංශවල දැනුම්දීම මත තීන්දුවක් ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෞද්ගලික නීතිඥයන් දෙදෙනකු පෙනී සිටීමද විශේෂත්වයකි. සභාපති මහින්ද දේශප්‍රිය සහ සාමාජික නලින් අබේසේකර  වෙනුවෙන් එක් නීතිඥයකු  ද මහාචාර්ය රත්නජීවන්  හූල් වෙනුවෙන් තවත් පෞද්ගලික නීතිඥයකු වශයෙන් නීතිඥයන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටිති. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනා වෙනුවෙන්  නීතිඥයන් දෙදෙනකු පෙනී සිටීම පිළිබඳව ද දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම විද්වත්  සමාජයෙන් ප්‍රබල ලෙස විවේචන  එල්ල වෙමින් තිබේ.

‘‘මැතිවරණ කොමිෂන්  සභාව ස්වාධීන ආයතනයක් විය  යුතුයි. එම ආයතනයට පොදු මතයක්  තියෙන්න ඕනේ. මත දෙකක් තිබෙන්න බැහැ.   මැතිවරණ කොමිසම  එක මතයක නැති බව හැම අවස්ථාවකම පෙන්නුම් කළා’’ යැයි ඔවුහු කියා සිටිති.

මේ අතර ඉකුත් අඟහරුවාදා මහාචාර්ය හූල්ට තවත් අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදු වූයේය. ඔහුගේ දියණිය සහ පුත්‍රයා  දෙදෙනාම විදෙස් රටවල වාසය කරති. පුත්‍රයා ලංකාවට පැමිණ මාස කීපයක් ගතවී තිබෙන අතර දියණිය එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණියේ කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම හටගත් පසුවය. ඒ අනුව මහාචාර්ය හූල්ගේ දියණිය ලංකාවට පැමිණ මීගමුවේ සංචාරක හෝටලයක දින දාහතරක් නිරෝධායනයට භාජන වූවාය. ඇයගේ නිරෝධායන කාලය ඉකුත් සඳුදා  දිනයෙන් අවසන් වූ අතර මහාචාර්යවරයා පුත්‍රයාද සමග මීගමුවේ හෝටලයට ගොස් දියණිය සිය රථයට නංවා ගත්තේය. ඔවුන්ට නැවත යාමට තිබුණේ යාපනයටය. යාපනයේ නල්ලූර්හි  පිහිටි චෙම්මිනි පාරේ මහාචාර්යවරයාගේ  නිවස පිහිටා තිබේ. මීගමුවේ හෝටලයේ සිට පැමිණි මහාචාර්ය හූල් රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයටද ගියේය.

ඔහු සිය දියණිය හා පුත්‍රයාද එම කාර්යාලයට කැඳවාගෙන ගියේය. ඒ ඉකුත් සඳුදා දිනයේය.  මේ අතර පසු දින අඟහරුවාදා දිනයේ ද මේ තිදෙනාම නැවත මැතිවරණ  කාර්යාලයට පැමිණියෝය. ඒ යාපනය බලා පිටත්ව යන අතරවාරයේදීය. සඳුදා දිනයේ සිය දියණිය කැටුව කාර්යාලයට පැමිණීම, අඟහරුවාදා දිනයේත් ඒ දෙයම කිරීම පිළිබඳව කොමිසමේ කාර්ය මණ්ඩලය අතර කසුකුසුවක්  හට ගත්තේය. විදේශගතව පැමිණි දියණිය සම්බන්ධයෙන් එහි සේවකයෝ කලබලයට පත්වූහ. විරෝධය දැක්වූ  සේවක සේවිකාවෝ සභාපතිවරයාටත් තවත් නිලධාරීන්ටත් ගතු කියන්නට වූහ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියට ද ඊට මැදිහත්වන්නට සිදුවිය. කෙසේ හෝ කොමිසමේ සේවක සේවිකාවන්ගේ හා හූ මැද මහාචාර්ය හූල් දියණිය සහ පුත්‍රයා කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටව ගියහ. ඔවුන් පිටව ගිය පසුව ඇතුළේ  සිටින විට පැනනැගි විරෝධයට වඩා වැඩි විරෝධයක් ඇති වන්නට විය. මෙතෙක් වේලා කසුකුසු ගාමින් තැනින් තැන විරෝධය දැක්වූ  පිරිස ප්‍රසිද්ධියේම හූල්ට විවේචන එල්ල කරන්නට පටන් ගත්තෝය. අවසානයේ කොමිසමේ  සභාපති මහින්ද  දේශප්‍රියගේ මැදිහත්වීමෙන්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටත් සිද්ධිය දැන්වීය. පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පැමිණ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය විෂබීජහරණයට ලක් කළෝය. එපමණකින් නොනැවතුන මැතිවරණ කොමිසමේ බලධාරීහු  පසු දින පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමට නොපැමිණෙන ලෙසද මහාචාර්ය හූල්ගෙන් ඉල්ලා සිටියෝය.

බදාදා පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීම පැවැත්විණි. ඒ වනවිටත් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ පෙර දින සිදුවීම විවිධාකාරයෙන් වාර්තා කර තිබුණේය. හූල්ගේ සිදුවීම උණුසුම් පුවතක් ලෙස පැතිර යද්දී කොමිසමේ අනෙක් සාමාජිකයා ජනාධිපති නීතිඥ නලින් අබේසේකර  රැස්වීමට පැමිණීමට අදිමදි කළේය. රැස්වීම කල්දාමු යැයි ඔහු යෝජනා කළේය. මහාචාර්යවරයාගේ දියණිය කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණීම නිසා නලින් අබේසේකර එහි යෑමට අකමැත්ත පළ කළේය. කෙසේ වෙතත් පසුව සභාපතිවරයාගේ  කරුණු පැහැදිලි කිරීම මත නලින් අබේසේකර රැස්වීමට පැමිණියේය.  

බදාදා  පෙරවරු 10.30 ට පමණ කොමිෂන් සභාවේ රැස්වීම ආරම්භ කෙරිණි. සභාපති දේශප්‍රිය සහ නලින් අබේසේකරත් අනෙකුත් නිලධාරීනුත් මීටරයක පතරතරය තබාගෙන සාකච්ඡාවට එක්වූහ.  යාපනයේ නල්ලුර්හි සිට මහාචාර්ය රත්නජීවන්  හූල් වීඩියෝ තාක්ෂණය  ඔස්සේ සාකච්ඡාවට එක්විය. වෙනදා මෙන්ම මැතිවරණ කොමිසමේ රැස්වීම එදින උත්සන්න වූයේ නැත. වෙනදාට සභාපතිවරයා සහ හූල් අතර උණුසුම් වාද විවාද ඇතිවේ. එහෙත් හූල් යාපනයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වීම නිසා මත ගැටුම්  වාද විවාද හෝ උණුසුම් වචන  හුවමාරු වී තිබුණේ නැත. මහ මැතිවරණය ගැන එදින සාකච්ඡා වූයේද නැත.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් එම සාකච්ඡා කල් තැබීමට කොමිසම කල්තියාම තීන්දු කර තිබූ හෙයිනි. මැතිවරණ කොමිසමේ  රැස්වීම පැයක පමණ කාලයක් ඇතුළත නිමාවට පත්විය.  ‘‘කොමිෂන් සභාවේ රැස්වීමත් ඉතා සාමකාමීව නිමවුණා. එහෙම  සාමකාමීව රැස්වීමක්  නිමවූයේ කාලයකින්’’ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වෙමින් තිබේ. අදහස් දක්වන පිරිස් අතර වැඩි දෙනා මහාචාර්ය හූල්ට සහාය පළ කිරීමද විශේෂත්වයකි. ‘‘මහාචාර්ය හූල්ගේ දියණිය නීත්‍යානුකූලව නිරෝධායනය වුණා. දින 14ක නිරෝධායන කාලයකින් පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ කොවිඩ් 19 ක්‍රියාන්විතයේ බලධාරියා වන යුද හමුදාපතිවරයා අත්සන් කළ සහතිකයක් ලබා දුන්නා. පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට කොවිඩ් වයිරසය වැළඳී නැති බව තහවුරු වුණා. එසේ නම් ඇයට සාමාන්‍ය පුද්ගලයකු ලෙස සමාජයේ කටයුතු කළ නොහැකිද? ඊට බාධාවක්  තිබිය  හැකිද? මේක මහාචාර්ය හූල්ගෙන් පලිගන්න කළ වැඩක්’’ ආදී වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ කොමිසමේ ක්‍රියාමාර්ග දැඩි විවේචනයට ලක්කර තිබේ. ‘‘මහාචාර්ය හූල් හා තවත් නිලධාරීන් අතර පවතින සීතල ගැටුම මෙතනින් එළියට ආවා’’ ආදී ලෙසද සමාජ මාධ්‍ය සභාපති මහින්ද දේශප්‍රිය විවේචනයට ලක්කර තිබේ.

මේ අතර මහ මැතිවරණයේ දිනය පිළිබඳව නැවත වතාවක් නිශ්චය කර ගැනීමේ ගැටලුවක්  මතුවී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව මුලින්ම ප්‍රකාශ කළේ මැතිවරණ පැවැත්වීමට කොළ ලයිට් දෙකක් අවශ්‍ය බවය. සෞඛ්‍ය අංශයේ කොළ එළිය සහ මැතිවරණ නිලධාරීන්ගේ කොළ එළිය යන දෙකම අවශ්‍ය බව මහින්ද  දේශප්‍රිය ප්‍රකාශ කළේය.

ඔහු එම තීරණය එලෙසම තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ කොළ එළිය ලැබී මාස දෙකකට වැඩි කාලයක් ඡන්ද විමසීමට අවශ්‍ය බවය. ඒ අනුව මැතිවරණය අගෝස්තු මාසය දක්වාවත් කල්යනු ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.

මේ අතර තවත් විචාරකයන්  පිරිසක් අලුත් තර්කයක් මතු කරති. මැතිවරණය ප්‍රකාශයට පත්කර  තිබෙන නිසා මේ වනවිට මැතිවරණ කාලයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. ඒත් මැතිවරණ කාලය නියම වශයෙන් ප්‍රකාශයට පත් වන්නේ මනාප අංක ගැසට්ටුව නිකුත් කළාට පසුවයි. එම ගැසට්ටුව නිකුත් නොකර මැතිවරණ කාලයක් ලෙස ආණ්ඩුවේ කටයුතුවලට සහ රටේ සාමාන්‍ය  කටයුතුවලට බාධා කිරීම, තහංචි දැමීමට මැතිවරණ කොමිසම ක්‍රියා නොකළ යුතු බව එම පිරිසගේ මතය වී තිබේ.

ආණ්ඩුව ගම දැනුවත් කිරීමේ අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීන්දු කර තිබේ. නව වැඩපිළවෙළ යටතේ සෑම මැතිවරණ ආසනයකම ජනතාව දැනුවත් කිරීමට නියමිතය. ‘ගම දැනුවත් කරමු, අපි නැගිටිමු’ මැයෙන් එම වැඩපිළිවෙළ නම් කර තිබේ. ඉදිරියේදී ප්‍රාදේශීය දේශපාලනඥයන් හා සිවිල් පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් එම දැනුවත් කිරීම සිදුකිරීමට නියමිතය. ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ ගෙයින් ගෙට ගොස් එම දැනුවත් කිරීම සිදු කිරීමටය.

රාජිත සේනාරත්න හිටපු  මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටීමට සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටී. සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සඳහන් කර ඇත්තේ රාජිත සේනාරත්න වෙනුවෙන් ගත හැකි නීත්‍යානුකූල පියවර ගන්නා බවය. ‘‘ආණ්ඩුව විපක්ෂයේ  ප්‍රබලයන්ගෙන් පළිගන්න හදනවා. ඒකට ඉඩ තියන්න බැහැ. රාජිත  වෙනුවෙන් ගත හැකි නීත්‍යානුකූල පියවර අපි ගන්නවා’’ යැයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ.

මංගල සමරවීර හිටපු අමැතිවරයා යළිත් වතාවක්  භික්ෂූන් වහන්සේ විවේචනය කිරීමට පටන් ගෙන තිබේ. නැගෙනහිර පළා​ෙත් ඡන්දදායකයන් පිරිසක් ඡන්ද පොළ වෙත ප්‍රවාහනය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මංගල සමරවීරට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ භික්ෂූන් වහන්සේලා දෙනමකි. මංගල සමරවීර නැවත වතාවක් භික්ෂූන් වහන්සේ සමග මත ගැටුමකට මැදිවී ඇති අතර ආණ්ඩුවේ දේශපානඥයෝද ඊට මැදිව මංගලට වාග් ප්‍රහාර එල්ල කරන්නට  පටන් ගෙන ඇත.

මංගල මීට කලිනුත්  භික්ෂූන් වහන්සේලා එක්ක මත ගැටුමකට ගියා. භික්ෂූන් වහන්සේලා විවේචනය කළා. ඒක  ඡන්දයට බලපෑවා. මහ මැතිවරණයක්  අත ළඟ තියාගෙන නැවතත් මංගල ඒ  දෙයම කරනවා යැයි ද සමගි ජල බලවේගයේ දේශපාලනඥයෙක් කීවේය.


(*** කස්තුරි)