(*** නිමන්ති රණසිංහ)

රාජ්‍ය බුද්ධි සේවයේ රාජකාරියේ නියුතුවූවන්ගෙන් සියයට අනූවක්ම පොලිස් නිලධාරීන් බැවින් ඔවුන්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය හිමි වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පෙරේදා (26) පැවසීය.


බුද්ධි නිලධාරියකු, පොලිස් නිලධාරියකු වුවද සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ හැකියාව එම නිලධාරියා සතු නොහැකියාවක් නොවන බවත් ඔහුට ද සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ බලයක් ඇති බවත් සඳහන් කළ සාක්ෂිකරු, වර්තමානය වන විට ලොව බොහෝ රටවල බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් වෙනමම අණපනත් ක්‍රියාත්මක වුවත් මෙරට රාජ්‍ය බුද්ධි සේවය තුළ සිටින්නේ සියයට අනූවක්ම පොලිස් නිලධාරීන් බවත් ප්‍රකාශ කළේය.

උදාහරණයක් වශයෙන් කිවහොත් මෑතකදී කොළඹ ජාතික රෝහලේ සිදුවූ මුදල් කොල්ලයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් දෙදෙනකු බව ද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.
ඕනෑම අවස්‍ථාවක, ඕනෑම වේලාවක, ඕනෑම මෙහෙයුමක් සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායම් යෙදවීමට තමාට හැකියාවක් තිබූ බවත් ඒ ආකාරයෙන් වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සිද්ධියට අදාළව ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවා තිබූ බවත් සාක්ෂිකරු පැවසීය.

උපපොලිස් පරීක්‍ෂකවරයකු ලෙසට පොලිස් සේවයට එක් වූ තමන් 2016 වර්ෂයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා වශයෙන් වැඩ භාරගත් බවත්, තමන් විශ්‍රාම යන අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ භට පිරිස 7200 ක් පමණ වූ අතර නිලධාරීන් 2000 කගේ පමණ ඌනතාවක් ද තිබූ බවත් කීවේය.

තමන් 2017 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලැබීමෙන් පසුව අපරාධ, සංවිධානාත්මක අපරාධ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිට ඉකුත් පෙබරවාරි මස විශ්‍රාම ගියේ වසර 41 ක පොලිස් සේවා කාලය අවසන් කරමින් බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

මුල් කාල වකවානුවේදී ජාතික බුද්ධි කාර්යාංශය බුද්ධි තොරතුරු රැස්කිරීමේ කාර්යයෙහි නිරතව සිටින අවස්ථාවේදී එම තොරතුරුවලට අදාළ මෙහෙයුම් කාර්යය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ බවත්, පසුකාලීනව ජාතික බුද්ධි ප්‍රධානියා සමග සම්බන්ධ වීම ඍජුව කළ නොහැකි වූ අතර ඒ සඳහා පොලිස්පතිවරයා මගින් පමණක් සම්බන්ධ වීමට සිදු වූ බවත් සාක්ෂිකරු පැවසීය.

කොමිසම අප්‍රේල් 04වනදා වන විට රාජ්‍ය බුද්ධි සේවයට විදෙස් තොරතුරක් ලැබෙනවා යම් කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කරන්න සූදානමින් ඉන්නවා කියලා. මේ විදෙස් බුද්ධි අංශයම වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සිද්ධියට සහ්රාන් යන අය සම්බන්ධයි කියලාත් කියලා තියෙනවා. එතකොට මේ තොරතුරු බුද්ධිතොරතුරු නොවෙයි ද?

සාක්ෂිකරු- බුද්ධි තොරතුරක් කියන්නේ අවසන් විමර්ශනයක්. විශේෂයෙන්ම ‘‘රෝ’’ ඔත්තු සේවයේ තොරතුරක් නම් ඒක විශේෂයි. ඒ නිසා එය බුද්ධි තොරතුරක්ම තමයි.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා- විමර්ශන කණ්ඩායම් විශේෂ කාර්ය බළකායේ සහාය ඉල්ලා සිටිනේ කෙසේද?
සාක්ෂිකරු- යම් විමර්ශන අංශයක් අපෙන් උදව්වක් ඉල්ලුවොත් අපි ඒ කුමකටද? අවස්ථාව කුමක්ද? කියලා බළලා අවශ්‍ය සහාය වහාම ලබා දෙනවා. මේ ඉල්ලීම අදාළ විමර්ශන අංශ ඍජුවම ඉල්ලා සිටිනවා.

නැත්නම් පොලිස්පතිවරයා මඟින් ඉල්ලා සිටිනවා. රාජ්‍ය බුද්ධි සේවාව සමග කෙළින්ම අපිට සම්බන්ධ වෙන්න බැහැ. ඒකට චක්‍රලේඛයක් තියෙනවා. ඒත් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා මා වෙත දුරකථනයෙන් හෝ ලිඛිතව ඉල්ලීම් කර තිබෙනවා.

කොමිසම- බොහෝ බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේදී වටිනාකම මෙන්ම ප්‍රගතිය වැඩිවීමක් වෙන්න පුළුවන් නේද?
සාක්ෂකරු- ඔව්. අනිවාර්යයෙන්ම බුද්ධි තොරතුරු චක්‍රයක් තියෙනවා. ඒක ක්‍රියාවලියක්. ඒක හුවමාරු කරගන්නේ නැතුව හිටියොත් එකම තැන තියේවි. බුද්ධි වාර්තාවක් ‘‘අතිරහස්‍යයි’’ කියලා සඳහන් කරලා තිබෙන්න ඕන.

කොමිසම- ඔබ සහ හිටපු පොලිස්පතිවරයා අතර තිබුණේ කුමණ ආකාරයේ සබඳතාවක් ද?
සාක්ෂිකරු- මා සහ පූජිත් ජයසුන්දර මහතා අතර තිබූණේ රාජකාරිමය සම්බන්ධතාවක්. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා විදිහට තිබිය යුතු ආකාරයේ සබඳතාවක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. වර්ෂ 2010 කැබිනට් මණ්ඩල තීරණයකට අනුව විශේෂ කාර්ය බළකාය නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ තිබුණත් පොලිස්පතිවරයා යටතේ තිබියදී මේ බැඳීම සම්බන්ධයෙන් යම්යම් අවහිරතා තිබුණා. බැලූ බැල්මටම එය පෙනේනට නොතිබුණත් ලිපි හුවමාරුවේදී ඒ ගැන පෙනෙන්නට තිබුණා. මා මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය ඇමැතිවරයා අමතා ලිපියක් පවා ලිව්වා. 2018 ඔක්තෝබර් මස 26 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගත්තා. පසුව පොලිස් මූලස්ථානයයි එස්.ටී.එෆ්. එකයි අතර සම්බන්ධතාව යහපත් තත්ත්වයට පත් වුණා.

කොමිසම- 2019 අප්‍රේල් මස 04 වැනිදා ලිපිය ගැන ඔබ වෙත දැනුම් දීමක් කරලා තිබුණාද?
සාක්ෂිකරු- මට ඒ ලියුම ලැබුණේ අප්‍රේල් මස 09 වැනිදා. මේ තොරතුරු ගැන පූජිත් ජයසුන්දර මහතා සමග කතා කළේ නැහැ. රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා මට සමුළුවක් සඳහා ප්‍රංශයට යන්න කිව්වා. ඒ නිසා මම 10 වැනිදා එවකට හිටපු පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමක් දුන්නා. මම පොලිස්පතිතුමාගෙන් ඇහුවා මුකුත් විශේෂයක් තියෙනවාද කියලා. එතකොට පොලිස්පතිතුමා මට කිව්වා. ‘‘මුකුත් විශේෂයක් නැහැ අස්සලාම් වලෙක්කුම් වෙල්කම්’’ කියලා ෆෝන් එක තිබ්බා.

මා සාමාන්‍යයෙන් විදෙස්ගතවෙද්දී පොලිස්පතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාටත් දැනුම් දෙනවා. විදෙස්ගතවී නැවත පැමිණි පසුත් මා ඔවුන් දෙදෙනාට මගේ සියලු විස්තර සඳහන් කරලා දුරකතන ඇමතුමක් දෙනවා. මේ ලියුම දැක්කාට පස්සේ මම උපරිම ආකාරයෙන් ආරක්ෂාව පිළිබඳව අදාළ අංශ දැනුම්වත් කළා. මා විදෙස්ගතවුණේ අප්‍රේල් 14 වැනිදා. නැවත ආවේ අප්‍රේල් 19 වැනිදා. එදා පොලිස්පතිතුමාට කතා කළා. පසුව 20 වැනිදාත් කතා කළා. මා 20 වැනිදා නිලන්ත ජයවර්ධන මහතා සමගත් කතා කළා. ඔහු සමග තත්ත්පර 927 ක් කතා කළා. ඒ කතා කළේ කාත්තන්කුඩි පිපිරීම ගැන. මා 19 වැනිදාත් 20 වැනිදාත් කතා කළත් බුද්ධි තොරතුරු ගැන මට කිව්වේ නැහැ. ඒක මට අදටත් ප්‍රහේලිකාවක්.

ගොඩක් අය කියනවා මට දැනුම් දුන්නා කියලා. නමුත් මට කවුරුවත් දැනුම් දුන්නේ නැහැ. මට දැනුම් දුන්නා නම් මම ආරක්ෂාව ගැන මීට වඩා බලනවා. ඒ ලිපියේ තිබුණේ එෆ් එන් ඒ කියලා ගහලා. මේ සහරාන් ගැන මා මීට පෙර අහලා තිබුණේ නැහැ. ඒ සියලු මරාගෙන මැරුණු බෝම්බකරුවන් ගැන දැනගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ඔවුන් පිළිබඳ තොරතුරු මට 09 වැනිදා වෙනකොට හරි දුන්නා නම් ආරක්ෂාව තර කරන්න දවස් 13 ක් විතර තිබුණා. අපට ඒ සැකකරුවන් අත්අඩංගුවට ගන්න තිබුණා.