ශ්‍රී ලංකා වාමාංශික ව්‍යාපාරයේ කැපී පෙණුන කෘතහස්ථ දේශපාලනඥයකු වූ පීිටර් කෙනමන් මහතාගේ ප්‍රතිමාවක් 2002 ඔක්තෝබර් 5 වැනි සෙනසුරාදා කොළඹ එල්පින්ස්ටන් රඟහල සමීපයේ ඉදිකෙරුණු අතර කොළඹ පුරපතිව සිටි ප්‍රසන්න ගුණවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ මූලිකත්වයෙන් නිරාවරණය විය. පසුගියදා මෙම පිළිරුව පිහිටි ප්‍රදේශය පීටර් කෙනමන් චතුරශ්‍රය ලෙස කොළඹ නගර සභාව නම් කෙරිණි.

පීටර් කෙනමන් මහතා ශ්‍රී ලංකා දේශපාලනයට පිවිසෙන්නේ 1940 වසරේ සිටය. එය කෙළවර වන්නේ 1997 දීය.

මැද කොළඹ කී සැනින් ජ්‍යෙෂ්ඨ ඡන්දදායකයන්ගේ මතකයට එන්නේ උස, දේහධාරී, සුදු බර්ගර් ජාතික පීටර් කෙනමන්ය. “පීටර්” සහෝදරයා නමින් කොමියුනිස්ට් පාක්‍ෂිකයන් ආදරයෙන් හැඳින්වූ ඔහුව අනිත් පාක්‍ෂිකන් හැඳින්වූයේ ‘ලන්සි මහත්තයා’ කියාය.

‘මොන පක්‍ෂයේ වුණත් ලන්සි මහත්තයා කවුන්සලේ ඉන්න වටින උගත් මහත්තයෙක්’ යයි තද යූ.ඇන්.පී.කාරයන් ඔහු ගැන කතා කරනු මා අසා තිබුණි.

පීටර් කෙනමන් 1947 සිට 1977 දක්වා බහුආසනයක් වූ (මන්ත්‍රීන් තිදෙනකු පත්වූ) මැද කොළඹ කොමියුනිස්ට් පක්‍ෂය නියෝජනය කරමින් අපරාජිතව සිට වාර්තාවක් පිහිටු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියේය. මැද කොළඹ අසුන නියෝජනය කළත් ඔහු බලප්‍රදේශය වූයේ ග්‍රෑන්ඞ්පාස් කොට්ඨාසයයි. එය මරදාන හා කොටහේන දක්වා ඔහුගේ ජනප්‍රියත්වය පැතිර තිබුණි.

මගේ උපන් ප්‍රදේශය වූ ග්‍රෑන්ඞ්පාස් හි කොස්ගස් හන්දියේ එකල ප්‍රබල දේශපාලන චරිත වූයේ පීටර් කෙනමන්, එම්. වින්සන්ට් පෙරේරා, සර් රසීක් ෆරීඞ්, දොස්තර ඇම්.සී.එම්. කලීල්, පලීල් ඒ. කපූර්, ඒ.එච්.එම්. ෆවුසි ආදීහුය. මා කුඩා කල වර්ණවත් පාට කොඩි කොස්ගස් හන්දිය ළෙල දෙමින් තිබුණි. රතු, කොළ, නිල්, දම් පාට මෙන්ම තරුව, අලියා, යතුර, අත, කුඩය යන සලකුණු සහිත ඒ කොඩි එකිනෙකා පරයමින් නැඟී සිටිනු දැකීම පුංචි අපට විනෝදයක් මැවීය.

රතු පාට බුෂ් ෂර්ට් එකකින්, සුදු දිග කලිසමකින් සැරැසී තම පාක්‍ෂික ස්ත්‍රී, පුරුෂ ආධාරකරුවන් පෙරටු කරගෙන කොස්ගස් හන්දියේ ලෙයාඞ්ස් බ්‍රෝඞ්වේ පාරේ අභිමානයෙන් යන පීටර් සහෝදරයා පිටුපස මගේ වයසේ කොලු කැළ බුරුත්ත සමඟ මා ද ගිය හැටි මට මතකය. පීටර් සහෝදරයා කතා කළේ කැඩිච්ච සිංහලයෙනි. ඒ බටහිර උච්චාරණය අපට මනාව තේරුණ අතර අපි ඒවාට අත්පුඩි තලමින් ප්‍රතිචාර දැක්වූවෙමු. මගේ මාමා වාමාංශිකයකු වූ නිසා පීටර් සහෝදරයා පිටුපස යන කිට්ටුම ආධාරකරුවෝ අප නිවෙසට ආව ගියෝය. ඇල්බට් පෙරේරා, අර්නෝලිස් අප්පුහාමි, කේ.පී. ද සිල්වා, ඇන්.ඇල්. පෙරේරා ඒ අයගෙන් මට මතක්වන නම් කිහිපයකි.

1970 මැතිවරණයෙන් පසු කෙනමන් සහෝදරයාට නිවාස හා ගොඩනැගිලි අමාත්‍ය ධුරය හිමිවිය. එකල රැකියා ලැබුණේ ‘ජනතා කොමිටියේ’ රෙකමදාරු මතය. මගේ යෙහෙළියකට මේ අනුව රැකියාවක් (ලිපිකාරිනියක) ලැබී ඒ සඳහා පත්වීමේ ලිපිය ලබා ගැනීම සඳහා කෙනමන් ඇමැතිවරයා පදිංචිව සිටි කොළඹ ඉනර් ෆ්ලවර් (ඇතුළත මල් පාර) හි නිවෙසට යාමට මට සිදුවිය. පත්වීම් ලිපි ලබන අය වෙනම කාමරයකට කැඳවූ නිසා ඔවුන් සමග පැමිණි අයට වාඩිවීමට ලැබුණේ කෙනමන් ඇමැතිවරයාගේ පුස්තකාල කාමරයේය. මට මෙය රටක් රාජ්ජයක් ලැබීමක් වැනිය. අද නම් රජයේ ඇමැතිවරයකුගේ නිවෙසක පුස්තකාලයක් දැකිය හැකි ද? මම පොත් රාක්ක පේළියේ තිබෙන පොත් මොනවාදැයි ආසාවෙන් බලා සිටියෙමි. පීටර් කෙනමන් යනු කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු, බොහෝ ඇසූ පිරූ තැන් ඇති බුද්ධිමතකු යයි අසා තිබුණත් ඔහු සතු දේශපාලන, සාහිත්‍යය, ඉතිහාසය, සමාජ විද්‍යා, දාර්ශනික හා විවිධ විෂයයන්ගෙන් පෝෂිත මහා පුස්තකාලයේ රාක්ක සිසාරා බැලීමේ පරම සතුට ලැබීම ගැන මගේ යෙහෙළියට පුන පුනා ස්තූති කළෙමි.

කෙනමන් නම් බුද්ධිමතා, කෘතහස්ථ දේශපාලනඥයා ගැන කියවීමට මා තුළ ආසාවක් ඇතිවූයේ ඔහු 1977 මහා මැතිවරණයෙන් මුල්වරට මැද කොළඹ පරාජයට පත්වීමෙන් මා තුළ ඇතිවූ කම්පනය නිසාය. ලේක්හවුස් පුස්තකාලයේ තිබී අධිනීතිඥ බැසිල් පෙරේරා (ඬේලි නිවුස් පත්‍රයේ හිටපු සහකාර කර්තෘවරයෙකි) විසින් පීටර් කෙනමන් මහතා සමග 24 වසරක තිබූ ඇසුර පසුබිම් කර ලියා තිබූ ඡෂෑඔෑඍ ණෑඹභෑඵ්භ ් ඡරදසෙකැ කෘතිය කියවීමෙන් එදා මම කරුණු සටහන් කර ගතිමි. මේ හැර ඇස්. පියසේන, ජෝ සිගේරා, හැන්රි පීරිස් ලියූ පුවත්පත් ලිපි ද ජේ.පී. වන්නිආරච්චි විසින් රචිත ‘පීටර් කෙනමන් ජීවන තොරතුරු’ හා සෑම් වික්‍රමනායක විසින් පරිවර්තනය කරන ලද ‘පීටර් කෙනමන් තෝරා ගත් කතා සහ ලිපි’ කෘතියත් ඉන් පසු මට කියවන්නට ලැබිණ. මේ ලිපිය සඳහා ඒ ලිපි හා කෘති මූලාශ්‍ර වූ බව කෘතඥතාපූර්වකව සඳහන් කරමි.

හතළිහ දශකයේ මහනුවර ශ්‍රේෂ්ඨාධිකරණය පැවැත්වෙද්දී එක් දිනක් කාකි කොට කලිසමකින් හා සුදු කමිසයකින් සැරැසුණු පංජාබ් වර්ගයේ පාවහන් යුගලක් පයලා ගත් උස පියකරු තරුණයකු පා ගමනින් රජ ගෙදර (ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර තුමන් පදිංචිව සිටියේ එහිය) දොරටුව කරා පැමිණි අපූරු සිදුවීමක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්. පියසේන ලියා තිබුණි.

‘මොකද වුවමනාව’ මුරට සිටි පොලිස් භටයා තරුණයාගෙන් ඇසීය.

‘මට විනිශ්චයකාරතුමන් හමුවෙන්න ඕනෑ’ තරුණයා පිළිතුරු දුන්නේ නිරහංකාරවය.

‘ඔබට විනිශ්චයකාර හාමදුරුවන් හමුවන්නට නම් කලින් එතුමාගෙන් අවසර ගත යුතුයි. නැතුව යන්න දෙන්න බැහැ. උන්වහන්සේගෙන් අවසර ගත්ත ද?’
‘අවසරයක් ලබා ගත්තේ නැහැ.’ තරුණයා කට කොනකින් සිනාසෙමින් පිළිතුරු දුන්නේය.

‘සාමාන්‍යයෙන් මම නොකරන දෙයක්. ඒත් ඔබේ නම කීවොත් මම ඇතුළට පණිවුඩයක් යවන්නම්.’ පොලිස් භටයා කීවේ මේ තේජාන්විත තරුණයාගේ නිහතමානී භාවය ගැන පැහැදෙමිනි.

‘හොඳයි ඔබ දන්වා යවන්න, විනිශ්චයකාරතුමාගේ පුත්‍ර පීටර් කෙනමන් එතුමා දකින්නට පැමිණ සිටින බව.’ තරුණයා කියත්ම සීරුවෙන් නැගී සිටි පොලිස් භටයා තරුණයාට ආචාර කොට ‘මට සමාවෙන්න සර්’ යයි බැගෑපත්ව කීවේය.

‘ඔබ වරදක් කළේ නැහැ’ යි සිනාසෙමින් කී තරුණයා එනම් පීටර් කෙනමන් තම පියා වූ ඒ.ඊ. කෙනමන් විනිශ්චයකාරතුමන් හමුවීමට මන්දිරය තුළට ගියේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ සිටියදී රගර්, පාපන්දු ක්‍රීඩාවට දස්කම් දැක්වූ පීටර් 1932 වසරේ විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවයේ වර්ණලාභියෙක් ද වී ඇත. ඉංග්‍රීසි වාක්‍ය රචනය සඳහා සර් ජේම්ස් පීරිස් අනුස්මරණ ත්‍යාගය ද දක්‍ෂතම කථිකයාට හිමි එෆ්.ජේ. ද සේරම් මැතිනියගේ ෂේක්ස්පියර් ත්‍යාගයත් ඉතිහාසය පිළිබඳ දක්ෂ ශිෂ්‍යයාට හිමි ඊ.ඩබ්ලිව්. ජයවර්ධන අනුස්මරණ ත්‍යාගයත් දිනූ පීටර් යුනිවර්සිටි කොලීජියට (පසුව ලංකා විශ්වවිද්‍යාලය) ප්‍රවේශ වීමේ ස්ටුවර්ඞ් ශිෂ්‍යත්වය දිනා ගත්තේය. පීටර් පුවත්පත් කලාවට ද ඇලුම් කළ අතර විද්‍යාලයීය සඟරාවේ සංස්කාරකවරයා ලෙස එහි කතුවැකිය කවියෙන් ලියා ඇත. සමකාලීන ශිෂ්‍යයකු වූ, චිත්‍ර කලාවට දස්කම් පෑ ඕබි්‍ර කොලම් (ප්‍රවීණ කාටුන් චිත්‍ර ශිල්පී) ගේ චිත්‍රයක් රාජකීය විද්‍යාලයීය සඟරාවට ඇතුළත් කළේ ද පීටර් විසිනැයි ජේ.පී. වන්නිආරච්චිගේ කෘතියේ සඳහන් වෙයි.

කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ සභාපති වී ජාත්‍යන්තර කීර්තියක් ලැබ පීටර් ලංකාවට ඒමට සතියක් පමණ තිබියදී ගෝල්ෆේස් හෝටලයේ භෝජන සංග්‍රහයක් පවත්වා ඇත. මේ සංග්‍රහය නීති ශිෂ්‍යයන් විසින් සංවිධානය කළ එකකි. ප්‍රධාන අමුත්තා වූයේ නියෝජ්‍ය අග්‍රවිනිශ්චයකාර ඒ.ඊ. කෙනමන් මහතාය. එතුමා හඳුන්වා දෙමින් සව්දිය පිරූ නීති සංගමයේ සභාපති මෙසේ කියා ඇත.

‘මහත්වරුනි අද අපේ ප්‍රධාන අමුත්තා තමුන්නාන්සේලාට හඳුන්වා දීමට මට අවස්ථාව ලබාදීමට ලැබීම මගේ පෞද්ගලික වාසනාවක් කොට සලකනවා. කෙනමන් මැතිතුමා අපේ නියෝජ්‍ය අග්‍රවිනිශ්චයකාරතුමන්ය.

තරුණ ශිෂ්‍යයන් වූ ඔබත් මාත් එතුමා හඳුන්වන්නේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සභාපති පදවිය දිනා අපේ මව්බිමට විශාල ගෞරවයක් ලබාදුන් කීර්තිමත් ශිෂ්‍ය නායක පීටර් කෙනමන්ගේ පියා වශයෙනි.’
සියලුම ශිෂ්‍යයන් අත්පොළසත් නගමින් සිනාසුණ විට එයට ප්‍රධාන අමුත්තා ප්‍රතිචාර දැක්වූයේ දෙනෙතින් වැටෙන කඳුළු පිස දමමිනි. පිළිතුරු කතාව කළ ප්‍රධාන අමුත්තා මෙසේ කීවේය.

‘අද භෝජන සංග්‍රහය ඉතා පැරණි සම්ප්‍රදායයක් බිඳ දමන ලදී. මෙතෙක් කල් පුතකු හැඳින්වීමට පියාගේ නම ඇදගැනීමයි පැවැති චාරිත්‍රය. එහෙත් අද පියා හැඳින්වීමට ඔබගේ සභාපති මහතා පුතා හැඳින්වීමක් කිරීමෙන් අලුත් සම්ප්‍රදායයක් බිහි කළා.’ කෙනමන් විනිශ්චයකාරතුමා කීවේ මුළු සභාවම සිනා රසයෙන් කුල්මත් කරමිනි.
පීටර් ජෙරල්ඞ් බර්තලමියුස් කෙනමන් 1917 ඔක්තෝබර් 24 වැනිදා උපත ලැබීය. ඔහුගේ පියා ආතර් එරික් කෙනමන් විශ්‍රාම ලබා ඇත්තේ අග්‍රවිනිශ්චයකාරවරයකු ලෙසය. මව වූයේ මාර්ජරී එලිනර් ෂොක්මන් ය.

පීටර්ගේ එකම සොහොයුරාගේ නම ද ආතර් එරික් කෙනමන් (කනිෂ්ඨ) ය. සොහොයුරන් දෙදෙනා රාජකීය විද්‍යාලයට ගොස් ඇත්තේ බක්කි කරත්තෙනි. මේ දෙසොහොයුරන් ගැන වන්නිආරච්චි මහතා ලියූ කෘතියේ රසවත් කතාවක් දැක්වේ.

‘ළාබාල වියේ සිටි සොහොයුරෝ දෙදෙනා රාජකීය විද්‍යාලයට රික්ෂෝවේ ගියහ. ඉන්පසු බයිසිකලයෙනි. නිවෙස පිහිටා තිබුණේ විශාඛා බාලිකා විද්‍යාලයට යාබදවය. විශාඛා විද්‍යාලයේ නේවාසිකාගාරයේ උඩුමහලට කෙනමන් සොහොයුරන් සිටි කාමරය හොඳින් දිස් විය. උඩුමහලේ නවාතැන් ගෙන සිටි විශාකාවියෝ ජනෙල් අතරින් එබිකම් කරන්නට වූහ. එකල තරුණ වියට පත්වෙමින් සිටි කෙනමන් කොල්ලන් දෙදෙනා ප්‍රතිචාර දැක්වූයේ මහ හඬින් ඉංග්‍රීසි බයිලාවක් කියමින් බව පීටර්ගේ සොහොයුරාගෙන් හෙළිවී ඇත.


Peeping through the window darling
What would people say
If you want to marry me darling
Come the proper way  
 
මෙහි සිංහල අනුවාදය වන්නිආරච්චි මහතා මෙසේ දක්වයි.

‘ජනේල අස්සෙන් කළාම එබිකම්
මිනිසුන් මොනවද නොකියන්නේ
මා හා විවාහ වෙන්නට හිත නම්
එන්නකො හරි මඟ සුන්දරියේ’

පීටර් කෙනමන් පුවත්පත් කලාවේදියකු ලෙස ලේක්හවුස් ආයතනයේ සේවය කොට ඇත. ලේක්හවුස් අයිතිකරු වන ඩී.ආර්. විජයවර්ධන මහතා හා පීටර්ගේ පියා වූ ආතර් එරික් කෙනමන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සමකාලීනයෝය. එකල චිත්‍රා ෆොටෝ ආයතනය භාරව සිටි ලයනල් වෙන්ඞ්ට් මාර්ගයෙන්, විජයවර්ධන මහතාගෙන් පීිටර්ට පත්වීමක් ලැබ ඔහු ‘ඔබ්සවර්’ පත්‍රයේ විශේෂාංග කර්තෘ ලෙස සේවය කර ඇති බවත් එකල පීටර්ගේ සමකාලීනයන්ව ඇත්තේ ඊ.සී.බී. විජේසිංහ, ඔරියන් ද සොයිසා, ආර්.ඊ. ද අල්විස්, සී.එන්.ජී. පෙරේරා බවත් වන්නිආරච්චි මහතා ලියූ ‘පීටර්ගේ ජීවන තොරතුරු’ කෘතියේ සඳහන් වෙයි.

එම කෘතියේම ජේ.එල්. ප්‍රනාන්දු විසින් රචිත Three Prime Minister's of Ceylon කෘතියේ පීටර් කෙනමන් ගැන ලියූ සටහනක් උපුටා දක්වයි.

‘කෙනමන් වැනි මාක්ස්වාදී නායකයන්ගේ අවංක අචල භාවයට මම ගරු කරමි. ඩී.ආර්. විජයවර්ධන මහතාගේ ඉල්ලීම මත මම ඔහුව රාජ්‍ය මන්ත්‍රණ සභා රැස්වීම්වලට කැඳවාගෙන ගොස් දේශපාලකයනුත්, දේශපාලනයත් පිළිබඳ අවබෝධයක් ලබාදීමට ක්‍රියා කළෙමි. විජයවර්ධන මහතාගේ කුසාග්‍ර බුද්ධියට පීටර් අනාගතයේදී දක්‍ෂ මාධ්‍යවේදියකු වන බව දැනුණු බව පැහැදිලිය. ලේක්හවුසියේ ප්‍රතිපත්ති තමාගේ ප්‍රතිපත්ති හා ගැටෙන බව අවබෝධ වූ වහාම පීටර් කෙනමන් ලේක්හවුසියෙන් සමුගති. එය ඔහුගේ ගෞරවයට හේතුවෙයි. සිය හැකියාවන් බඩගෝස්තරය සඳහා ගණිකා වෘත්තියේ නොයෙද වූ අතළොස්සක් අතර පීටර් කෙනමන් එක්කෙනෙකි.’

පීටර් කෙනමන් නම් කෘතහස්ත දේශපාලනඥයාගේ පුස්තකාලය ගැන මම මේ ලිපියේ මුලදී කීවෙමි. ඔහුට මෙන්ම පියා වූ විනිශ්චයකාර ආතර් එරික් කෙනමන්ට ද අංගසම්පූර්ණ පුස්තකාලයක් තිබීම අරුමයක් නොවේ. පියාගේ පුස්තකාලයේ පොතපත අතපත ගා අවුස්සන විට ලෙනින් විසින් ලියූ ‘අධිරාජ්‍යවාදය’ ෂපචැරස්කසිප නම් කෘතිය පීටර්ගේ ඇස ගැසිණ. පීටර්ගේ සිත කාල්මාක්ස්ගේ හා ලෙනින්ගේ දර්ශනය වෙත ඇදී යන්නේ මේ පොත නිසාය. ඔහුගේ දේශපාලනයට පිවිසීමේ දොරටුව විවෘත වන්නේ ඉහත කී කෘතියේ බලපෑමෙනි.

සූරිය මල් විකිණීමෙන් අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයට කැමැත්ත ප්‍රකාශ කළ පීටර් කෙනමන් ඉගෙනීම සඳහා එංගලන්තයට ගොස් සිටි සමයේ එහි පැවැත්වුණ කොමියුනිස්ට් රැස්වීමක් දැක ව්‍යාපාරයට එක්වූ බව හිටපු පානදුර පාර්ලිමේන්තු මන්ත්‍රී හැන්රි පීරිස් ලියා තිබුණි. සෝවියට් මිත්‍ර සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ පීටර් ‘සෝවියට් මඟ’ නමින් පොතක් ද ලියා ඇත. ඒ කාලයේ ඔහු කලට වේලාවට ආහාර නොගැනීම හා ඕනෑවට වඩා වෙහෙසීම නිසා ඇස් නොපෙනී යාමේ තර්ජනයක් ද ඇති වී තිබේ.

කොළඹ නගර සභාවේ බොරැල්ල ආසනය සඳහා පීටර් දෙවතාවක් තරග කළ ද ඔහු කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාට පරාජය වී ඇත. 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මැද කොළඹ ආසනයෙන් ජයගත් ඔහු සිංහල භාෂාවෙන් මුල්වරට පාර්ලිමේන්තුවේ කතා කළේ 1956 වසරේදීය.

‘මම එංගලන්තයේ ඉඳලා ලංකාවට ආ දවස්වල මට නෑදෑයෝ කිව්ව ‘පීටර් උඹ යන්න ඕනෑ කාත්තා ගිය පාරේ’ කියලා. ඒ කිව්වේ මට සල්ලි හම්බ කරන්න උසාවියට යන්න කියන එකයි. මගෙ තාත්තා උසාවි ගියාට සල්ලි හම්බ කළේ නැහැ. සුප්‍රිම් උසාවියේ හොඳ නමක් හම්බ කෙරුවා. මට සල්ලි හම්බ කරන්න ඕනෑ නැහැ. මම දැන් රත්තරන් ගොඩක් හම්බ කරලා තියෙනවා. ඒ රත්තරන් තමයි තමුන්නාන්සේලා.’

කොස්ගස් හන්දියේ පීටර් කෙනමන් සහෝදරයා කරන කතා ඇසීමට ජනතාව පක්‍ෂ භේද නොතකා සැදී පැහැදී සිටියහ. පුංචි අපට ඔහු රසඳුනක් වූයේ ඔහුගේ කමිසයේ පාට රතු පාට වීම නිසාය. එහි සුදු පාට ‘තරුවක්’ මසා තිබුණි. ඔහු ගැන සංවේගයෙන් කතා කළ පුවතක් මට අසන්නට ලැබුණේ මම දහතුන්වැනි වියේදීය. 1960 වසරේ කොළඹ නාගරික මැතිවරණයෙන් බටහිර කොටහේන කොට්ඨාසයට තරග කළ කෙනමන් සහෝදරයා යූ.ඇන්.පී.යෙන් තරග කළ ඒ.ඩබ්ලිව්.ඒ. අබේගුණසේකර මහතාට (ඔසී අබේගුණසේකරගේ හා සුරෙන් අබේගුණසේකරගේ පියා) පරාජය වීම එයට හේතුව විය. කොස්ගස් හන්දියේ පක්‍ෂ පාට නොබැලූ විවිධ ජාතිකයන් මුල්වරට ශෝකවනු මා දුටුවේ එදාය. එදා කොළඹ නාගරික මැතිවරණ ප්‍රතිඵල ඇසීම මහා මැතිවරණයක් හා සමානය. පරාජිත පීටර් සහෝදරයා වැහි කබායක් හැඳගෙන ජයග්‍රාහී අබේගුණසේකර මහතාට සිනා සෙමින් අතට අත දී සුබපතන අයුරු ‘සිළුමිණ’ පත්‍රයේ මුල් පිටුවක් තවමත් මා සතුව ඇත. එහි මුල් ශීර්ෂය වූයේ ‘පීටර් පරාදයි’ යන්නය.

‘මහත්මා දේශපාලනය මෙහෙමයි’ යන ආදර්ශයෙන් පෙන්වූ පීටර් කෙනමන් වැනි දේශපාලනඥයන් හිඟ රටකය අද අප ජීවත් වන්නේ. මේ මානව හිතවාදී මිනිසාගේ උතුම් ක්‍රියාවක් ජේ.පී. වන්නිආරච්චි තම කෘතියේ මෙසේ සටහන් කර තිබුණි.

‘පීටර් කෙනමන් නිවාස ඇමැතිව සිටියදී එකල දැදිගම මන්ත්‍රීවරයාව සිටි ඩඞ්ලි සේනානායක මහතාගේ පෞද්ගලික ලේකම්ට නිවෙසක් ගැනීමේ අවශ්‍යතාව මත ඩඞ්ලිගේ ලියුමක් රැගෙන ගොස් පීටර් හමුවිය. ඒ වනවිට ඉතිරිව තිබුණේ එකම නිවෙසකි. එය ඇන්.ඇම්.ගේ පෞද්ගලික ලේකම්ට පවරා දීමට තීරණය වී තිබුණි. ලියුම කියවා බැලූ පීටර් කලින් ගත් තීරණය අවලංගු කොට, නිවෙස ඩඞ්ලිගේ පෞද්ගලික ලේකම්ට පැවැරීමට තීරණය කර ඇත. ලේකම් මේ පියවර ගැනීමෙන් ඇමැතිතුමාට කරදරයක්, ප්‍රශ්නයක් ඇති වේ දැයි විමතිය පළ කළ විට, ‘කමක් නැහැ. ඩඞ්ලි වෙනුවෙන් කරන සුළු උපකාරයක්’ පීටර්ගේ පිළිතුර විය.

මරණින් පසු ජීවිතය කුමක් දැයි කෙනකු පීටර්ගෙන් විමසා ඇත. ඔහුගේ පිළිතුරු වූයේ ‘ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාවට ආදරය කරන කවරකු නමුත් මරණින් පසු ජනතාවගේ සිත් තුළ ජීවත්වන බවයි. පීටර්ගේ අවංක භාවයත්, කාර්ය භාරයත් අනුව ඔහු ඉතිහාසය තුළ අමරණීය වනු ඇතැයි’ පවසමින් ඔහු අදහස් දැක්වීම නිමකොට ඇත.’ 1997 ජනවාරි 3 වැනිදා මියගිය පීටර් කෙනමන් නම් මානව හිතවාදියාගේ මෘත දේහය බොරැල්ලේ කනත්තේ දී ඔහුගේ ආදරණීය බිරිඳ මෝඞ් කෙනමන් අවසන් නින්ද ගත කරන තැන අසල මිහිදන් කරන ලදී.

ඒ.ඩී. රන්ජිත් කුමාර