ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැතියේ විශාල පීඩාවක් දෙන බදු පිළිවෙතකි. මේ හේතුව නිසා භාණ්ඩ හා සේවාවල වටිනාකම ද ඉහළ ගියේය. එයින් ව්‍යාපාරිකයන්ටත් සාමාන්‍ය ජනතාවටත් විශාල පීඩනයකට ලක්වීමට හේතු වූ අතර ඒ නිසාම ඊට එරෙහිව සමාජයේ විශාල විරෝධයක් ද ගොනු වී තිබිණි. විශේෂයෙන්ම එම බදු ක්‍රමය අපේ අපනයනවලට සෘජුවම බලපෑවේය. ඊට හේතුව වූයේ නිමි භාණ්ඩවල වටිනාකම ලංකාවේදීම විශාල අගයක් ගැනීමය.

මේ නිසා අපේ නිමි භාණ්ඩ ලෝක වෙළෙඳපොළට යැවූ විට ආසියානු කලාපයේ සෙසු සහෝදර රටවල භාණ්ඩ සමඟ තරගකිරීම දුෂ්කර විය. ලංකාවේ නිෂ්පාදන ප්‍රතික්ෂේප වී විදේශ ආදේශක අඩු මිලට ගැනීමට මෙරටම සමාගම් යොමු විය.

ඊට හොඳම උදාහරණය නම් සරුංගල්, වෙසක් පහන් කූඩු ආදිය පවා කොළඹ පිටකොටුවෙන් අඩු මිලට ගතහැකි වෙළෙඳපොළක් නිර්මාණය වීමය. විදේශ විනිමය හැටියට අපට ලබාගන්නට තිබූ මුදල් ද අපෙන් ගිලිහී ලැබෙන ඇනවුම් ද අත්හැරී ද්විත්ව පීඩනයකට ලක් වූ තත්ත්වයක් හැටියට එය හැඳින්විය හැකිය. මෙය ව්‍යාකූල තත්ත්වයක් වුවද ඇතැම් ආර්ථික විද්‍යාඥයන් ධනාත්මකව කතා කළේ වෙළෙඳ ශේෂය අඩුවීමය. හොඳින් සොයා බැලුවොත් ඊට හේතු වූයේ ආනයන අඩුවීමය. ආනයන අඩුවුණේ භාණ්ඩ ආනයනයට පවා මිනිසුන්ට මුදල් නොතිබීම නිසාය. ඒ තත්ත්වය අනුව ඇත්ත කතාව වූයේ ආනයන අපනයන දෙකම අඩුවීම ආර්ථිකයට යහපත් බලපෑමක් නොකළ බවය.

නව රජය පැමිණි විගසම සෘජු හා වක්‍ර බදු විශාල වශයෙන් කප්පාදු කළේය. මෙයින් ප්‍රධාන ප්‍රතිඵල දෙකක් දැකිය හැකිය. පළමුව මෙය ආර්ථික වර්ධන වේගයට බලපායි. හේතුව අපේ අපනයන ප්‍රමාණය වැඩිවීමයි. මෙය එක දවසකින් සිදුවන්නක් නොවේ. ඊට යම් කාලයක් ගතවේ. දෙවැන්න නම් ක්‍රය ශක්තිය හෙවත් දේවල් මිලදීගැනීමට මිනිසුන්ට ඇති හැකියාව වැඩිවීමය. මිලදී ගැනීමේ හැකියාව වැඩිවෙද්දී රට අභ්‍යන්තරයෙහි මුදල් සංසරණය ද වෙනස්වේ. මෙම තත්ත්වය මත තවත් මාස හය හතක් ගතවෙද්දී විදේශීය ආයෝජකයන්ගේ ඇස් බැල්ම ලංකාව කෙරෙහි යොමුවීමට ඉඩ තිබේ. බදුවලට අමතරව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව ආණ්ඩුවේ විශ්වසනීයභාවය ඊට ප්‍රධාන ලෙස බලපායි. විදෙස් ආයෝජන ගලාඒම යනු විනිමය අනුපාතය සමබර කරගත හැකි මඟකි.

අද අප මුහුණ දී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් නම් අපනයන ප්‍රමාණය වැඩිකරගැනීමයි. අපනයන ප්‍රමාණය වැඩි වනවිට සේවා මෙන්ම නිමි භාණ්ඩ මගින් ලැබෙන මුදල් ප්‍රමාණය ද වැඩිවේ. එයින් සිදුවන්නේ ආර්ථික වර්ධන වේගය වැඩිවීමය. එය සෘජුවම ආර්ථිකයට බලපාන අතර එහි ඵලදායිතාව ලැබෙන්නේ සාමාන්‍ය මහජනතාවටය. එම සහනය පැය විසි හතරෙන් හතළිස් අටෙන් ලැබෙන්නක් නොවන බැවින් යම් කාලයක් ඊට අවශ්‍යය. සාමාන්‍ය ජනතාවගේ සිට මහා ව්‍යාපාරිකයන් දක්වා පසුගිය කාලයේ ගත කළේ දුෂ්කර ආර්ථික ජීවිතයකි. ඒ බව තහවුරු කරගැනීමට ආර්ථික විද්‍යාඥයකු වීමටම අවශ්‍ය නැත. සිහිබුද්ධියක් ඇති ඕනෑම අයකුට බැලූ බැල්මටම පෙනෙන සත්‍යයක් තරමට එය දෘෂ්‍යමාන වූවකි. රුපියලේ අගය පහළ වැටීමත් සමඟ මිලදීගැනීමේ හැකියාව ද පහළ වැටී මධ්‍යම පාන්තිකයන් විශාල පරිමාණයෙන් අර්බුදයට ගිය අයුරු පැහැදිලි කරුණක් විය. එනිසා බදු කප්පාදුවෙන් ආණ්ඩුවේ ආදායම අහිමි වී ඇති බවට කරන චෝදනා මා දකින්නේ කලබල ප්‍රකාශ හැටියටය.

ශ්‍රී ලංකාව යනු පාරම්පරික කෘෂිකර්මයෙන් සශ්‍රීක රටකි. අතීතයේදී ස්වයංපෝෂිත දේශයකි. ඒ අතීත උරුමය අනුව අපට අවශ්‍ය ආහාර රට අභ්‍යන්තරයෙන්ම සම්පාදනය කරගැනීමට යත්න දැරීම හොඳ සංකල්පයකි. එසේ රට ස්වයංපෝෂිත කිරීම නව ආණ්ඩුවේ ද ප්‍රතිපත්තියක් වී තිබේ. මේ ගැන ද ඇතැම් ආර්ථික විද්‍යාඥයන් දරන අදහස හා අපට එකඟ විය නොහැකිය. ඇතැමුන් රට ස්වයංපෝෂිත කිරීම පැරැණි තර්කයක් හැටියට ගෙන කතා කරනු දැකිය හැකි වුවද මා නම් සිතන්නේ ආර්ථික තලයේදී රටේ දියුණුව උදෙසා කාර්මික හා කෘෂිකාර්මික ක්‍ෂේත්‍ර දෙකම සමබර විය යුතු බවය. කාර්මික අංශය ද අප නොදෙවැනි ලෙස අවධානය යොමුකළ යුතුම ක්‍ෂේත්‍රයයි. මේ වනවිට තමන්ට අවශ්‍ය බොහෝ කාර්මික භාණ්ඩ නිෂ්පාදනයට අපේ කලාපීය රටවල් යොමු වී තිබේ.

බංගලාදේශය, ඉන්දියාව ඊට හොඳම උදාහරණය. එහෙත් අගය එකතු කිරීමක් සිදුවන භාණ්ඩ නිෂ්පාදනය තිබෙන්නේ ලංකාවේදී 4% ක් තරම් පහළ අගයකය. ඇතැම් රටවල මේ අගය තිබෙන්නේ 70-80% තරම් ඉහළ අගයේය. එසේ බලද්දී අපට යන්නට තිබෙන්නේ ඉතා දුර ගමනක් බව පැහැදිලිය. කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට අදාළ බොහෝ නිෂ්පාදන අප විදේශයන්ගෙන් ආනයනය කරන අතර ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැයවේ. එහෙත් අප සතුව පවතින ඉඩම් හා ගොවීන් නිසියාකාරව කළමනාකරණය කරගන්නේ නම් එම මුදලෙන් විශාල කොටසක් රටට ඉතිරි කරගත හැකිවේ. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවලින් පිටවන තරුණ තරුණියන්ගේ වැඩි මනාපය කාර්මික අංශයටය. කෘෂිකාර්මික අංශයට නොවේ. ඉතින් අප කළයුත්තේ මේ තරුණ පරපුර ද කෘෂිකාර්මික අංශයට යොමුවන ආකාරයට පරිසරය සැකැසීමය. නැනෝ තාක්ෂණය හා ටිෂූ කල්චර් වැනි උපක්‍රම ඇත්තේ ඒ සඳහාය. පාරම්පරික කෘෂිකර්මයෙහිම රැඳී නොසිට එසේ නවීන කෘෂිකර්මය සමඟ ගැළපිය හැකි නම් තරුණ පරම්පරාවේ උනන්දුව ඒ වෙත යොමු කිරීම අපහසු නොවනු ඇත.

රැකියා වෙළෙඳපොළ හා අධ්‍යාපන ඉලක්ක අතර නොපෑහීම ද අප මුහුණ දෙන ප්‍රධාන ආර්ථිකමය ගැටලුවක් වී තිබේ. විරැකියාව සමාජ ප්‍රශ්නයක් හැටියට වර්ධනය වීමේ පසුබිම එයයි. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කඩඉම් දක්වා ද ඉන්පසුව විශ්වවිද්‍යාල පිවිසුමේදී ද මෙරට බොහෝ දරුවන්ට උගෙනගැනීමට ලැබෙන්නේ මානව ශාස්ත්‍රය. ඉන්පසුව සරසවියෙන් පිටවන ඒ දරුවන් ද රජයේ කුමක් හෝ රැකියාවක් අපේක්ෂා කරන අතර එයින් රටේ ආර්ථික යාන්ත්‍රණයට ලැබෙන පිටිවහලක් නැත.

උදාහරණයකට ගතහොත් මැලේසියාවේ සිසු දරුවෝ වයස අවුරුදු දහසය පමණ වනවිට සිය රැකියා ඉලක්ක කරගත් ඉගෙනුම් ක්‍රියාවලියකට යොමු කරනු ලැබෙති. එහෙත් අපට එවැනි සැලසුම් නැත. ලංකාවේ එම වයසේ සිටින දරුවන්ගෙන් විමසීමක් කළහොත් වැඩි පිරිසකට වෛද්‍යවරුන් වීමටත් තවත් පිරිසක් ඉංජිනේරුවන් වීමටත් කැමැති බව කියනු ඇත. රැකියාභිමුඛ අධ්‍යාපන ක්‍රමයක් අපට නොවීම ඊට ප්‍රධානම හේතුවයි. ආර්ථික සමාජයේ පවතින සෙසු රැකියා අවස්ථා ගැන පාසල් සිසුන් දැනුවත් කරන ක්‍රමයක් එම රැකියාවලට සමාජ වටිනාකමක් ලබාදෙන ක්‍රමයකින් එම වෙනස කරා යාමට අපට හැකිය. මෙම රැකියාභිමුඛ අධ්‍යාපන ක්‍රමය නිසියාකාරව දියුණු කරන්නේ නම් නුපුහුණු ගෘහ සේවිකාවන් හැටියට දේශීය කතුන් රට පටවන ක්‍රමයට තිත තැබීමට ද අපට හැකිය.  

මෙරට සමාජ ක්‍රමය කාලයක් තිස්සේ වර්ධනයවී තිබෙන්නේ සියල්ල රජයෙන් අපේක්ෂා කරන තැනකටය. උපතේ සිට මරණය දක්වා සියලුම දේට රජය වගකිව යුතුය යන මේ විශ්වාසය නිසා රටක් හැටියට අප වැටී තිබෙන්නේ ද ලොකු අමාරුවකය. මේ මානසිකත්වය දියුණු රටවල නැත. ඒ මානසිකත්වය නැති කර තිබෙන්නේ ආර්ථික ජීවිතයේ අවස්ථා බිහිකිරීමෙනි. ලංකාවේ මිනිසුන්ගේ ආර්ථික ජීවිත දෙස බලද්දී නගර කීපයක් කේන්ද්‍ර කරගත් ආර්ථික යාන්ත්‍රණය කැපී පෙනේ. කොළඹ, නුවර, මාතර, ගම්පහ ආදී වශයෙන් වූ නගර හැරුණුවිට වැඩි වශයෙන් පවතින ග්‍රාමීය පෙදෙස්වල කාර්මික වශයෙන් වූ අවස්ථා විරලය. කොළඹට එන්නට නොහැකි නම් අඩුම තරමින් ළඟම නගරයට හෝ සංක්‍රමණය වීමේ ආශාවක් ග්‍රාමීය තරුණ ජනයාට එන්නේ මේ නිසාය.

එසේ පැමිණෙන තරුණ පිරිසෙන් නැවත ගමට යන්නේ අතලොස්සකි. සැලකිය යුතු පිරිසක් වූ මේ තරුණ ජනයාට සිය ගම්බිම්වලදීම රැකියා සඳහා අවස්ථා සම්පාදනය කරගත හැකි නම් නගර කරා සංක්‍රමණය වීමට අවශ්‍යතාවක් නැත. එහෙත් මේ වනවිට ගමේ අක්කර හතර පහ තිබෙන මිනිසා පවා රැකියාවක් සොයාගෙන කොළඹ එන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඉහළ ආදායමක් උපයාගත හැකි පරිසරයක් තිබියදී ඔවුන් ඒවා හැර දමා මෙසේ කොළඹට තල්ලුවෙන්නේ ඇයිදැයි අප සෙවිය යුතුය. උදාහරණයකට ගතහොත් කතරගම වන්දනාවේ යන විට හොඳ පාරවල් දෙපස තවමත් ඇත්තේ වෙනස් නොවූ කඩපිල්ය. මංමාවත් වෙනස් වුවත් මේ මිනිසුන්ගේ ජීවන මාර්ග වෙනස් වී නැත්තේ ඇයිදැයි අප ගැඹුරින් විමසිය යුතුය.

ආර්ථික ක්‍ෂේත්‍රය දියුණු කිරීමේදී රජය හා පෞද්ගලික අංශය අතර පවතින පරතරය ද ප්‍රධාන ගැටලුවකි. රටේ දියුණුවට පෞද්ගලික අංශයෙන් ලැබෙන සහාය නොමඳ එකකි. එහෙත් රජය හා පෞද්ගලික අංශය සමඟ ගනුදෙනුවට මිත්‍රශීලී භාෂාවක් අප සොයාගත යුතුය. රටේ ආයෝජන අංශවලට බොහෝ ව්‍යාපාරිකයන් බයවන්නේ පාලනයේ අස්ථාවරභාවය නිසාය. සිය ආයෝජනයට ඊළඟට පත්වන ආණ්ඩුව කවර ලෙස ප්‍රතික්‍රියා කරනු ඇතිදැයි ඔවුහු බිය වෙති. ව්‍යාපාරිකයන්ට ආයෝජන විශ්වාසය අඩු වූ විට තමන් අත ඇති මුදල බියක් නැතිව වියදම් කරන්නට ද නොහැකිය. විශේෂයෙන්ම දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබිය යුතුය.

අද වනවිට ලෝකයේ අංක එකේ ව්‍යාපාරික ආයතන බවට පත්ව ඇති තැන් බොහෝමයක ආ ගමන්මග ගැන සෙව්වොත් දියුණු ලොව ආණ්ඩු දියත් කළ එවැනි වැඩපිළිවෙළ ගැන යමක් සොයාගැනීමට අපට හැකිවනු ඇත. ජපානයේ ටොයොටා, නිෂාන් වැනි කම්හල් ඊට සරල උදාහරණයක් පමණි. එහෙත් පසුගිය කාලය වනවිට කොසු නිෂ්පාදකයකුටවත් සිය නිපැයුම් නිර්භයව වෙළෙඳපොළට ඉදිරිපත් කරගැනීමට හැකියාවක් තිබුණේ නැත. ඊට හේතු වූයේ විදේශීය දැවැන්ත සමාගම් සමඟ ව්‍යාපාරික ලෝකයේ තරග කිරීමට සුරක්ෂාවක් නොලැබීමය. නව ආණ්ඩුව අවතීර්ණ වී ඇති පිළිවෙත් දෙස බලද්දී නම් මට හිතෙන්නේ එම අමිහිරි අත්දැකීම් මුළුමනින්ම වෙනස් කිරීමේ අවංක උත්සාහයක් නව ආණ්ඩුවට ඇති බවය.

මුදල් නිරන්තරයෙන් කැමැති නිශ්චල තැන්වලට යැයි කියති. ආරක්ෂාවේ සිට නීතිය දක්වා ක්‍ෂේත්‍රවලදී එවන් නිශ්චලභාවයක් නැතිනම් කිසිදු ආයෝජකයකු ලංකාවට මුදල් ගෙන එන්නට කැමැති නොවනු ඇත. ඒ මුදල් කිසිදු කරදරයකින් තොරව ඉන්දියාවට හෝ බංගලාදේශයට ගලා යනු ඇත. ආයෝජනවලදී පසුගිය කාලයේදී අප මුහුණ දුන් ප්‍රමුඛ ප්‍රශ්නයක් වූයේ ආරක්ෂාවයි. නව රාජපක්ෂ රජයේ පැමිණීම සමඟ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යම් විශ්වසනීයභාවයක් ජනතාව අතරෙහි හටගෙන ඇති බව දකින්නට තිබේ. ඒ වෙනස සාමාන්‍ය ජනයා ඇසුරෙහි කරන කතාබහකින් වුවද සරලව තේරුම්ගත හැකිය. රුසියාවේ ප්‍රධානතම අභියෝගකරුවා වූ ඇමෙරිකා එක්සත් ජනපදය වරක් හැකි සෑම ආකාරයකින්ම ආර්ථික සම්බාධක යෙදුවේය.

ඒ අවස්ථාවේ යුරෝපා සංගමය ඇතුළු බොහෝ පාර්ශ්ව පැවැසුවේ රුසියාව ලොකු අමාරුවක වැටෙනු ඇති බවය. එහෙත් සිදුවූයේ කුමක්ද? එම බාධක මැඬගෙන රුසියාව කෘෂිකර්ම ක්‍ෂේත්‍රයෙහි ප්‍රමුඛයකු බවට පත්වීමය. වසර හතක් වැනි කාලයකදී තමා ආනයනය කළ දේ අපනයනය කරන තැනට ආර්ථික වශයෙන් පිම්මක් පැනීමට රුසියාව නිර්මාණශීලී වූයේ මුළු ලොවටම ආදර්ශයක් දෙමිනි. එනිසා මා සිතන්නේ කවර ආතතිකාරී තත්ත්වයක් තිබුණ ද නිසි නායකත්වයක් හා ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබේ නම් රටක ආර්ථිකය නැංවීම අපහසු නොවේ. මට සිතෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ දේශපාලන රාමුවෙන් මිදී දත්ත හා කරුණු මත රැඳී සිටිමින් ආරම්භ කර තිබෙන්නේ ද එවැනි ගමනක් යැයි කියාය. ඉතින් රටේ දියුණුව අවංකවම පතන ඇත්තන්ගේ වගකීම විය යුත්තේ ද එකී ජාතික අරමුණ සඳහා අවංකවම කැපවීමය. මන්දයත් රටේ ආර්ථික දියුණුවේ අනාගත ප්‍රතිලාභ ලැබෙනු ඇත්තේ අපේම දරුවන්ට වන බැවිනි.

සටහන - බිඟුන් මේනක ගමගේ
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි