සන්ඩේ ටයිම්ස් දේශපාලක විශ්ලේෂක විසිනි
පරිවර්තනය කළේ - කෝවිද ගුණසේකර

පසුගිය අඟහරුවාදා ජනපති ලේකම් කාර්යාලයේ බිම්මහලට අමාත්‍යවරුන් රැස්ව සිටියේ සතිපතා පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවට සහභාගී වීමටය. හදිසියේම ඔවුන් වෙත ඉදිරිපත් වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන කළ ඉල්ලීමකි. වහාම දෙවැනි මහලේ පිහිටි රැස්වීම් කාමරයට පැමිණෙන්නැයි ඉන් කියැවිණ.

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ තමන් රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කැරෙන ප්‍රකාශයකට අත්සන් තැබූ බව අමාත්‍ය පිරිසට එහිදී ජනපතිවරයා දැනුම් දුන්නේ ය. මහජන ආරක්ෂාව, නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ රටට අත්‍යවශ්‍ය වන භාණ්ඩ හා සේවා සැපයුම් අඛණ්ඩව පවත්වා ගැනීම යන අරමුණු පෙරදැරිව මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ බව ඔහු පැහැදිලි කළේ ය. අමාත්‍ය මණ්ඩල රැස්වීම එදින පස්වරු 7.00ට පැවැත්වෙනු ඇති බව කියා සිටි ජනපතිවරයා, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම අරබයා හේතු වූ තවත් කරුණු පැහැදිලි කිරීමේ යෙදුනේ ය. ශ්‍රී ලංකාවේ මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කැරුනේ 2009 වසරේ මැයි මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත් කිරීමෙන් පසු ප්‍රථම වතාවටය.

අන්තවාදී කණ්ඩායම්වලට රට පාලනය කිරීමට ඉඩ නොදෙන බවත්, ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන සැලැස්මක් තිබෙන බවත් ජනපතිවරයා පැවැසුවේ ය.

‘මට ඔබගේ සහයෝගය අවශ්‍යයි. අපි ශක්තිමත්ව හා තීරණාත්මකව කටයුතු කළ යුතුයි.’ ඔහු කීවේ ය. වෛරී ප්‍රකාශවලට හා ක්‍රියාකාරකම්වලට එරෙහිව වහාම කටයුතු කළ යුතුව තිබෙන බව ද ඔහු පැවැසුවේ ය. ඒ වනවිටත් ෆේස්බුක් ආදී සමාජ ජාලයන්ගේ පළවෙමින් තිබූ විවිධ තොරතුරු ආරක්ෂක අංශවල දැඩි අධීක්ෂණයට ලක්වෙමින් පැවැතින. වෛරය දනවන හෝ ප්‍රවර්ධනය කැරෙන පණිවුඩ හෝ ප්‍රකාශ සකස් කරන සහ ප්‍රචාරණය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද නියමිත විය.

ජනපති සිරිසේන මෙවැනි අදහස් දැක්වීමක යෙදුනේ රටෙහි උද්ගතව තිබූ කලබලකාරී තත්ත්වය අරබයාය.

එයට මුල් වූ සිදුවීම වාර්තා වූයේ නුවරිනි. පෙබරවාරි 22 වැනිදා බීමත් තරුණයන් සිව්දෙනකු ලොරි රථ රියැදුරකුට පහර දී තිබිණ. තුවාළ ලැබූ ලොරි රියැදුරා වහාම රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණ ද ඔහු මියගියේ ය. ඔහුගේ අවමංගල්‍ය උත්සවය මාර්තු මස 7 වැනිදා පැවැත්විණ. ප්‍රචණ්ඩත්වයේ පළමු ගිනි සිලුව මතුවූයේ මියගිය තැනැත්තාගේ උපන් ගම වන උඩිස්පත්තුවෙන්ය. උඩිස්පත්තුව යනු රන්ගලට දිවෙන මාර්ගයේ පිහිටි යටත්විජිත සමයේ සිට පැවැතෙන තේ වගාවන් ඇති, ශීත, වන ආවරණයෙන් වැසුනු, වනජීවී සත්ත්ව විශේෂයන් ගණනාවකට නිවහන වන පිරිසරයක පිහිටි කුඩා ගම්මානයකි. වෙළෙඳසල්, නිවාස, වාහන සහ වෙනත් වටිනා දේවල්වලට ගිනි තැබින. ඉතා ඉක්මනින්ම මෙම ප්‍රචණ්ඩත්වය මහියංගන පාර ඔස්සේ යාබද තෙල්දෙණිය නගරයට ද එතැනින් නොනැවතී කටුගස්තොට සහ බලගල යන නගරවලට ද පැතිර ගියේ ය.

මෙයට පෙර පසුගිය දිනෙක අම්පාර නගරයේ ද මෙවැනිම කලබලකාරී තත්ත්වයක් ඇතිව තිබිණ.

එකමුතුකම පෙන්වා දුන් ඉතා විරල අවස්ථාවක් සනිටුහන් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයා ගත් තීරණයට පක්ෂව අදහස් පළකළේ ය. මෙය ගෙවුනු දින කිහිපයේ දී දෙදෙන අතර පැවැති අර්බුදකාරී වාතාවරණයට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් විය. ආර්ථික කළමනාකරණ කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව - අගමැති වික්‍රමසිංහගේ සභාපතීත්වය යටතේ ක්‍රියාත්මක වන, අහෝසි කළ යුතුව ඇතැයි ජනපතිවරයා යෝජනා කළේ ගෙවුනු සතියේය. නුවර ඇතිව තිබූ කලබලකාරී තත්ත්වය අරබයා අගමැති වික්‍රමසිංහගේ කටයුතු බොහෝමයක් කොළඹ සිටම ක්‍රියාත්මක විය. ජනපතිවරයා වහාම නුවර බලා පියාසර කළ අතර, එහිදී ඔහු ආගමික නායකයන් ද පොලිසියේ සහ ආරක්ෂක අංශවල ඉහළ පෙළේ බලධරයන් ද හමුවිය. කන්ද උඩරට ගිනිගෙන දැවෙමින් තිබීම අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ අවධානය දිනාගෙන තිබූ අතර, ඒ නිසාම එම ගින්නට හේතු වූ කාරණය ඔවුන්ගේ අවධානයෙන් ගිලිහී තිබිණ. අන්තවාදය මුලිනුපුටා දැමිය යුතුව ඇතැයි ජනපතිවරයා අවධාරණය කළේ ය. රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, රිෂාද් බදුර්දීන් සහ මනෝ ගනේෂන් යන අමාත්‍යවරු ද අදහස් පළ කළෝ ය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය බොහෝ දෙනකුගේ විවේචනයට ලක් වූ අතර, තත්ත්වය තේරුම් ගැනීමට ඔහු අපොහොසත් වූ නිසා ගැටුම මේ තරම් දුරදිග ගිය බවට ඔවුහු චෝදනා කළෝ ය. කෙසේවුව ද ගැටුමේ සම්පූර්ණ චෝදනාව පොලිස්පතිවරයා වෙත පමණක් එල්ල කළ හැකිය යන්න සහතික කළ හැක්කක් නොවේ. අගමැතිවරයා ගෙවුනු සෙනසුරාදා දින නුවර බලා පියාසර කළේ ය. එහිදී ඔහු නුවර දිස්ත්‍රික් ලේකම්වරයා හා සාකච්ඡාවක් පැවැත්වූ අතර, හානියට පත්වූ ගොඩනැගිලි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

පස්වරු 7ට ආරම්භ වූ කැබිනට් රැස්වීමේ න්‍යාය පත්‍රය සාකච්ඡාවට ගැනීමෙන් අනතුරුව ද උද්ගතව තිබූ තත්ත්වය සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පැවැත්විණ. මෙහි දී ඇතැම් අමාත්‍යවරුන් රැස්වීමෙන් නික්ම ගිය ද 20 දෙනකු පමණ දිගටම රැඳී සිටියෝ ය. පොලිස්පතිවරයා සහ ආරක්ෂක සේනා ප්‍රධානී අද්මිරාල් වජිර විජේගුණරත්න රැස්වීම හමුවට කැඳවුණු අතර, එයත් සමඟ දෙපාර්ශ්වය අතර ප්‍රශ්න - පිළිතුරු සැසියක් සනිටුහන් විය. ගැටුම් අවසන් කිරීමට කොපමණ කාලයක් ගතවනු ඇතිදැයි දැනගනු වස් අමාත්‍යවරුන් අතර නොතිත් වුවමනාවක් තිබූ බව මෙම අවස්ථාවේ දී ඉතාම පැහැදිලි විය.

හදිසි තත්ත්වය සතියක කාලයකට පමණක් බලපැවැත්වෙන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය. ජනපති ලේකම් කාර්යාලය ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කළේ හදිසි තත්ත්වය සතියක කාලයකට පමණක් බලපැවැත්වෙන බවය. ඒ අනුව හදිසි තත්ත්වය බලරහිත කැරෙන නිවේදනයක් ලබන අඟහරුවාදා වනවිට නිකුත් කිරීමට සිදුවනු ඇත. ජනපතිවරයා රටේ නොමැති අවස්ථාවක එවැනි නිවේදනයක් නිකුත් කළ හැක්කේ කෙසේදැයි යන්න ගැටලුවකි. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම අරබයා ජනපති ලේකම් කාර්යාලය කරුණු දැක්වීමක ද යෙදුනු අතර පහත දැක්වෙන්නේ එම කරුණුය.

1. ගෙවුනු සති දෙකක කාලයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සහ අපරාධමය ක්‍රියාකාරකම්
2. එම ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් වූ පුද්ගල ඝාතන සහ දේපළ විනාශ කිරීම්
3. එම ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් වූ ආගමික අසමගිය සහ නොසන්සුන්කාරී තත්ත්වය
4. දේපළ, ආගමික ස්ථාන සහ රථවාහනවලට එල්ල වූ ප්‍රහාර සහ එම ප්‍රහාරවලින් සිදුවූ අලාභයන්
5. දිගින් දිගටම වාර්තා වූ මෙම අපරාධමය ක්‍රියාකාරකම්

හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමට රජය ගෙනහැර දැක්වූ කරුණු සැලකිල්ලට ගැනීමේ දී එම තත්ත්වය ඇතිවූයේ තමන්ගේම වරද නිසා බව රජයම පිළිගෙන තිබෙන ආකාරය පැහැදිලව පෙනී යයි. ගෙවුනු සති දෙකක කාලය පුරාවට ප්‍රචණ්ඩකාරී සහ අපරාධමය ක්‍රියාකාරකම් සිදුව ඇති බව පිළිගෙන තිබෙන රජය, එතැනින් නොනැවතී එම අපරාධමය ක්‍රියාකාරකම් දිගින් දිගටම වාර්තා වන බව ද සඳහන් කරයි. ගැටලුව ඇත්තේ මෙතැනය. බිම් මට්ටමේ දී නීතිය ක්‍රියාත්මකව නොමැති බව ඉතාම පැහැදිලි අතර, රජය ද එය පිළිගෙන තිබේ. තත්ත්වය ඔඩුදිවීමට ප්‍රධානම හේතුව ද එයයි. එහෙත් විසඳුමක් සොයා ගැනීමකින් තොරව ගැටලුවක් වළදමා, ඒ වෙනුවට විසඳුමක් සොයා තවත් ගැටලුවක් පසුපස දිවීමේ පිළිවෙතක් අනුගමනය කරන අප රට පාලකයෝ, මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය අරබයා වගවීමකින් කටයුතු කර, වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරනු ඇතැයි සිතීම උගහටය.

ගෙවුනු සතිය ආරම්භයේ සිටම බුරබුරා නැගෙමින් තිබූ ප්‍රචණ්ඩත්වය මර්දනය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් විවිධ සැලසුම් සකස් කැරෙමින් තිබිණ. ජාතිකත්වය අරබයා ඇතිවන මෙවැනි ප්‍රචණ්ඩකාරී වාතාවරණයන් රටේ නීතිය මාර්ගයෙන්ම පාලනය කළ යුතුවීම අතිශයින් වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත.

 මෙය සහතික කිරීමේ අරමුණින් ඇතැම් තීරණ ගැනුන ද එම තීරණ සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුවේ. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමටත්, ෆේස්බුක් වැනි අන්තර්ජාල සමාජ මාධ්‍යයන් අවහිර කිරීමටත්, වගකිවයුත්තෝ එහි පළමුවැන්නෝය. රටේ තීන්දු තීරණ ගන්නා පාර්ශ්වවලට මේ ආකාරයට කටයුතු කරන ලෙස උපදෙස් දුන් මෙම පාර්ශ්වවලට හදිසි තත්ත්වයක් පාලනය කරගැනීමෙහි ලා අත්දැකීම් නොමැති බව පැහැදිලිය. එනිසාවෙන්ම දෝ ඔවුහු නිවැරදි යැයි සැලකිය හැකි තීරණය, රටේ ඉහළ තැන්වලට දැනුම් දුන්හ. එය ඇත්තෙන්ම පුණ්‍ය ක්‍රියාවක් හා සමය. එසේ වුව ද යථාර්ථය අමතක කර තම තමන්ගේ පෞද්ගලික දර්ශන ක්‍රියාත්මක කිරීමට මෙය අවස්ථාවක් කරගත් පුද්ගලයෝ ද ඔවුන් අතර සිටියහ.

අවධානයට ගත යුතු පළමු කාරණය වන්නේ හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමය. ශ්‍රී ලංකාවේ වර්තමානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම පිටස්තර ලෝකයා හඳුනාගන්නා ආකාරය, අතීතයේ ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ලෝකයා හඳුනාගත් ආකාරයට වඩා හාත්පසින්ම වෙනස්ය. මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් කඩවීම් ආදී හිංසනයන් බොහෝමයක් හදිසි නීතියක් ප්‍රකාශයට පත්කිරීම හා වර්තමානයේ බැඳී පවතී. සිරිසේන - වික්‍රමසිංහ රජයට බටහිර ආශිර්වාදය හිමිව තිබෙන නිසා මෙය විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය. ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය නිකුත් කර තිබෙන නිවේදනයකින් මෙය වඩාත් පැහැදිලි වේ.

සාමකාමී යහපැවැත්ම සඳහා නීතියේ ස්වාධිපත්‍යය, මානව හිමිකම් සහ සමානත්වය අතිශයින් වැදගත්ය. බෙදුම්වාදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පුද්ගලයන්ට එරෙහිව වහාම ක්‍රියාත්මක වී, සුළුතර ජන කොටස් සහ ඔවුන්ගේ ආගමික ස්ථානවල ආරක්ෂාව තහවුරු කර, මානව හිමිකම්වල ආරක්ෂාව සහ මූලික අයිතිවාසිකම් සහතික කරමින්, හදිසි තත්ත්වය හැකි ඉක්මනින් අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම ඉතාම වැදගත්ය.
ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, කැනඩාව සහ තවත් රටවල් කිහිපයක් එම රටවල පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අවදානම් සහගත නිවේදන පවා නිකුත් කර තිබිණ.

රජය හමුවේ වූ තත්ත්වය තවත් බරපතළ වූයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ අවශ්‍යතාවයක් තිබේ ද හෝ නොතිබේ ද යන්න විමසුමට ලක්කිරීමට තරම් අවධානයක් ඒ සම්බන්ධයෙන් යොමු නොකිරීම නිසාය. රජයට අනුව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළේ ගැටුම් ඇතිව තිබෙන ස්ථානවල ආරක්ෂක අංශ අනුයුක්ත කිරීම සඳහා වේ. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට හේතු කවරේදැයි දැනගැනීමේ නොතිත් වුවමනාවක් කොළඹ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට ද තිබූ අතර, ඒ නිසාවෙන්ම ඔවුහු නැවත නැවතත් ජනපතිවරයා සහ ජනපති ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධවීමට උත්සාහ කළහ. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළේ ගැටුම් ඇතිව තිබෙන ස්ථානවලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීමට නම්, උතුරු පළාතට ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළේ ඇයි? එසේ කිරීම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටස්තර ප්‍රජාව නොයෙක් අදහස් ඇතිකරගන්නේ නිතැතින්මය. හදිසි නීතිය යම් පළාතකට හෝ ප්‍රදේශයකට හෝ පමණක් බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කළ අවස්ථාවලට අත්දැකීම් අප සතුය. මෙය සැලකිල්ලට ගැනීමේ දී නුවර පරිපාලන දිස්ත්‍රික්කයට පමණක් පොලිස් ඇඳිරි නීතිය හා සමව හදිසි නීතිය ක්‍රියාත්මක කළ හැකිව තිබුණේයැයි කෙනකුට තර්ක කළ හැකිය. පොලිසිය හා ආරක්ෂක අංශ අනුයුක්ත කිරීම සිදුවූයේ ද එම ප්‍රදේශයට පමණකි. ක්‍රම ක්‍රමයෙන් ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කිරීමට ඔවුන් සමත්විය.

රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමෙන් අපේක්ෂා නොකළ ප්‍රතිඵල අත්වීම එක් කාරණයකි. අනෙක වන්නේ හදිසි නීතිය යටතේ කඩාකප්පල්කාරීන්ට එරෙහිව ගිනි අවි භාවිතා කිරීමට පොලිසියට සහ ආරක්ෂක අංශවලට අවසරය හිමි වුව ද ඔවුන් එසේ කටයුතු නොකිරීමය. මේ සම්බන්ධයෙන් පසු අවස්ථාවක අදහස් දැක්වූ නුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෙක් කියා සිටියේ එසේ කටයුතු කළහොත් නීතිය හමුවට කැඳවෙනු ඇතැයි බිය නිසා, ආරක්ෂක අංශ ගිනි අවි භාවිතයෙන් වැළකුණු බවය. මෙය පදනම් විරහිත අදහස් වන්නට ඉඩ ඇතත්, පොලිසියේ සහ ආරක්ෂක අංශ අතර මෙවැනි මානසික තත්ත්වයක් පවතින බව අවධානයට ගත යුතුය. තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නීතිය හමුවට කැඳවෙන අයුරු රූපවාහිනියෙන්, පුවත්පත්වලින් දකින ඔවුහු, ඒ නිසාවෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට ද බියව සිටින්නෝ ය.

එසේ නම් උදාහරණයක් ලෙස කොළඹ හෝ යාපනයේ ඇතිවන කලබලකාරී තත්ත්වයක දී අදාළ පුද්ගලයන් අත්ඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සාමාජිකයන් අනුයුක්ත කළ හැක්කේ කෙසේදැයි කෙනකුට විමසිය හැකිය. තමන්ට පැවැරී තිබෙන රාජකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් පුද්ගලයන් අදාළ තනතුරුවලට පත්කළ යුතුය යන්න මෙයට ලබාදිය හැකි පිළිතුරයි. බුද්ධි අංශය ද මේ යටතට අයත්ය. හදිසි අවස්ථාවක දී අවධානය යොමුකළ යුතු, නොයුතු ප්‍රදේශ හඳුනා ගැනීමට තරම් අවබෝධයක් එම අංශයේ රාජකාරියේ නියුතු නිලධරයන්ට තිබිය යුතුය. නුවර ප්‍රදේශ කිහිපයක හැරෙන්නට, දිවයිනේ වෙනත් ප්‍රදේශයක කිසියම් හෝ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා ද? මෙයින් අදහස් වන්නේ අනෙක් ප්‍රදේශ නොසලකා හැර කටයුතු කළ යුතුය යන්න නොවේ. එදා මෙන් නොව අද මෙම කටයුතු අරබයා රජයට උපදෙස් දෙන පුද්ගලයෝ, නිසි අධ්‍යයනයකින් තොරව එම කටයුතුවල නිරත වන බව මෙයින් පැහැදිලි වන ප්‍රධානම කරුණ වේ. රටේ සියලුම ප්‍රදේශවල සතුරන් සැඟවී සිටින බව මොවුන් ඇතැමෙක් සිතූ අතර, එයට විසඳුම ලෙස ඔවුන් ඉදිරිපත් කළේ දිවයිනටම බලපැවැත්වෙන ආකාරයේ ආරක්ෂක විධිවිධානයන්ය.

උදාහරණයක් ලෙස, නුවරට වඩා විනාශයක් සහ මිනිස් ඝාතන සටහන් කළ දර්ගා නගරයේ සිදුවීමේ දී පවා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණේ නැත. අම්පාරේ හෝ පසුගිය වසරේ ගිංතොට දී වූ සිදුවීම්වල දී පවා එවැන්නක් සිදුවූයේ නැත.

තත්ත්වය සැලකිලිමත්ව පාලනය කරගැනීමට රජය අපොහොසත්වීමෙන් පහර වැදුනු තවත් ක්ෂේත්‍රයක් නම් ඒ ආර්ථිකයයි. ශ්‍රී ලංකාවට පැමිණීමට සිටි සංචාරකයන් කී දෙනෙක් නම් ඔවුන්ගේ ගමන් අවලංගු කරන්නට ඇති ද යන්න සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන ඕනෑම අයකුගෙන් අසා දැනගත හැකිය. කොළඹ පිහිටි හෝටලයක රාත්‍රී කාමර පහසුකම් සඳහා කර තිබූ ඇනවුම් 2000ක් පමණ අවලංගු වී තිබෙන බව සැළය. මෙවන් හානියක් සිදුව තිබෙන්නේ ප්‍රචණ්ඩත්වය නුවර ප්‍රදේශ කිහිපයකට පමණක් සීමාවී තිබූ වාතාවරණයකය. සංචාරක ක්ෂේත්‍රයට සිදුව තිබෙන හානිය නිර්ණය කිරීමට තවත් සති කිහිපයක් පමණ ගතවනු ඇති බව මේ සම්බන්ධයෙන් කටයුතු කරන ඉහළ පෙළේ නිලධරයෙක් පැවැසුවේ ය. රජය කිසිදු පූර්ව දැනුම්වත් කිරීමක් සිදුනොකළ බවත්, ඒ නිසාම මෙවන් තත්ත්වයක් කිසිසේත්ම අපේක්ෂා නොකළ බවත්, ඔහු වැඩිදුරටත් කීවේ ය. විදෙස් ඍජු ආයෝජනයන්ට කුමක් වන්නට ඇති ද? හදිසි තත්ත්වය කොපමණ කාලයක් පවතින්නේ ද සහ එය විදෙස් ඍජු ආයෝජනයන්ට කෙසේ බලපානු ඇති ද යන්න දැනගැනීමට කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට දැඩි අවශ්‍යතාවයක් තිබිණ. සියල්ල සැලකිල්ලට ගැනීමේ දී මේ දක්වා ගෙවී තිබෙන සිරිසේන - වික්‍රමසිංහ රජය සමයේ අතිශය අලාභ සහගත, හානි සහගත, සතිය - ගත වූ සතිය බව කීමේ වරදක් නැත.

අනතුරුව පැමිණියේ ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල මාධ්‍ය මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැනවූ ආවරණ තහනමය. මෙම මාධ්‍යයන් හරහා ජනතාව ඇවිළවෙන ප්‍රකාශයන් හා පුවත් පළවෙමින් තිබීම නිසා ඒවායේ භාවිතයන් තාවකාලිකව තහනම් කැරෙන බව ඒ සම්බන්ධයෙන් නිල වශයෙන්ම ලබාදුන් හේතුව විය. මෙම මාධ්‍යයන් හරහා එවැනි ප්‍රචාරයන් සිදුවූ බව සත්‍යයකි. තහනම දින 3කට පමණක් සිීමාවනු ඇති බව ජන සන්නිවේදන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටිය ද එම තහනම තවමත් ක්‍රියාත්මකය. මෙසේ සමාජ මාධ්‍ය වෙත තහනමක් නොපනවා, ඒවා ක්‍රියාකාරී මට්ටමේ තිබියදීම, එම මාධ්‍ය හරහා වෛරී ප්‍රචාර සිදුකිරීමේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණා නොවේ ද? නැවත නැවතත් තම සමාජ ජාල ගිණුමේ වෛරී ප්‍රකාශ සටහන් කරන පුද්ගලයකු වරක් හඳුනා ගැණුනු මුත් ඔහු අත්අඩංගුවට නොගැනිණ. එයට හේතුව වූයේ එසේ අත්අඩංගුවට ගතහොත් ඒ හරහා ඔහු ජනතාව අතර වීරයකු ලෙස සැලකෙනු ඇතැයි, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව එක්තරා දේශපාලනඥයකු කර තිබූ කරුණු දැක්වීමකි.

මෙම තහනම හමුවේ අපහසුතාවට පත්වූ තවත් කණ්ඩායමක් වූයේ අඩු වියදම් පැකේජ යටතේ ශ්‍රී ලංකාවට පැමිණ සිටි සංචාරක පිරිස්ය. ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීම හමුවේ නුවර සහ තදාසන්න ප්‍රදේශවල සිරවූ ඔවුනට, සමාජ මාධ්‍ය භාවිතයන්ගේ තහනම නිසා විදේශයන් හි වෙසෙන සිය හිතවතුන් හා අදහස් හුවමාරු කරගැනීමට පවා නොහැකි විය. එසේ අතරමන්වූවන්ගේ හැඟීම් අවධාරණාත්මකව තේරුම් ගනිමින් පැහැදිලි නොසැලකිල්ල නිසා ඇතිවූ මෙවන් තත්ත්වයන් නැවත ඇති නොවන තැනට වගබලා ගැනීමට රජය වහාම පියවර ගත යුතුය.

සිකුරාදා ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සමඟ අදහස් හුවමාරුවක යෙදින. තත්ත්වය ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරෙමින් තිබෙන බවත්, හදිසි තත්ත්වය ඉක්මනින්ම නිමා වනු ඇති බවත් ඔවුහු කීහ. ජාත්‍යන්තර සූර්ය සන්ධාන සමුළුවට සහභාගීවීම සඳහා ජනපතිවරයා පසුගිය සෙනසුරාදා ඉන්දියාව බලා දිවයිනෙන් පියත්ව ගිය අතර, සඳුදා දිනයේ ඔහු සය දින නිල සංචාරයක් සඳහා ඍජුවම ජපානය බලා යනු ඇත. සෙනසුරාදා දිනයේම කතානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ දේශපාලන පක්ෂ නායක කණ්ඩායමක් නුවර සංචාරයක නියැලිණ. ආගමික නායකයන්, පොලිසියේ සහ ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් හමුවූ ඔවුන්, හානියට පත් පෙදෙස් නැරඹීමට ද ගියහ.

නුවර ප්‍රචණ්ඩක්‍රියා හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර දේශපාලන අර්බුදය කෙරේ වූ අවධානය වෙනතකට යොමුව තිබෙන බව දැකගත හැකිය. අගමැති වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානමින් සිටිය ද සාමාජික ශක්තිය නොමැති වීම නිසාවෙන් එම කටයුතු පසුගාමී කිරීමට ඔවුහු කටයුතු කළහ. එහෙත් පසුගිය සතියේ නැවත වරක් එම කටයුතු කෙරේ ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුව තිබෙනු දැකගත හැකි විය. කෙසේ නමුත් විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරෙන දිනයක් නිශ්චිතවම පවසා සිටීමට ඔවුහු අපොහොසත් වූහ.

මේ අතරවාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායමේ තනතුරු සංශෝධනය ද තවදුරටත් කල් යමින් පවතී. ගෙවුනු මස 25 වැනිදා සිදුවූ එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය කණ්ඩායමේ තනතුරු සංශෝධනයෙන් පසු සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායමේ තනතුරු සංශෝධනය සිදුකරන බව ජනපතිවරයා කීව ද එම කටයුතුවල ප්‍රගතියක් දැනට දැකගත නොහැකිය.

රට කෙරෙහි බලපෑම් ඇතිකරමින් තිබෙන්නේ දේශපාලන ගැටලු පමණක් නොවේ. පසුගිය වසරේ රුපියල් බිලියන 94ක අලාභයක් විඳි ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ජලවිදුලි බලාගාර පිහිටි ප්‍රදේශ වෙත නිසි පරිදි වැසි නොවැටීම හේතුවෙන් ඉදිරි මාස 6ක කාලයේ අඛණ්ඩ විදුලිබල සැපයුමක් පවත්වාගත නොහැකි වීමේ අවදානමක් ඇතැයි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ඔවුන් මෙසේ අනාවැකි පළකරන්නේ සිංහල අලුත් අවුරුදු සමය අතළඟ තිබියදීය. හදිසියේ කැරෙන සැලසුම්වලින් ජල විදුලි හිඟය සපුරා ගැනීම මෙවරත් ඔවුන්ගේ උත්සාහය වී ඇත.

කෙටි කාලීන බල මිල දී ගැනීමේ ගිවිසුමක් හරහා මෙගාවොට් 100ක විදුලිබල ධාරිතාවක් ලබා ගැනීමට පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. ඉදිරිපත් වූ යෝජනා පහත පරිදිය.
අඩු වර්ෂාපතනය හමුවේ විදුලිබල ජනනය පහත වැටීමෙන් ඇතිවිය හැකි බල ඌණතාව මඟහරවාගනු වස් මෙගාවොට් 100ක විදුලිබල ධාරිතාවක් උත්පාදනය කිරීමේ සමත් විදුලිජනක මිලයට ගැනීම සඳහා, කෙටි කාලීන බල මිල දී ගැනීමේ ගිවිසුමක් හරහා කල්බදු ක්‍රමය යටතේ, සුදුසු සැපැයුම්කරුවකු අන්තර්ජාතික තරගකාරී ලංසු තැබීමේ ක්‍රමවේදය අනුව තෝරා ගැනීම.

මාස හයක කාලයකට විදුලිබලය මිලයට ගැනීම සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඇතිකරගන්නා ගිවිසුම, බලශක්ති ඌණතාවය දිගින් දිගටම පවතින්නේ නම් තවත් මාස හයක කාලයක් දක්වා දීර්ඝ කිරීමට අවසරය ලබාදීම සහ එම සඳහන අදාළ ටෙන්ඩර ලියකියැවිලිවලට ඇතුළත් කිරීම.

උද්ගතව තිබෙන හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් අඛණ්ඩ විදුලිබල සැපයුමක් පවතින බව සහතික කිරීම සඳහා මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීම අත්‍යවශ්‍ය වන හෙයින්, කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබාගැනීම සඳහා එම ටෙන්ඩරය යොමු කිරීමට කැබිනට් මණ්ඩලය පත්කර තිබෙන ප්‍රසම්පාදන කමිටුවට අවසරය ලබාදීම.

පල්ලෙකැලේ (මෙ.වො. 22), හම්බන්තොට (මෙ.වො. 24), ගාල්ල (මෙ.වො. 10), මතුගම (මෙ.වො. 24), හබරණ (මෙ.වො. 20) ආදී ලෙස මෙ.වො. 100ක විදුලිබල ධාරිතාවක් මිලයට ගැනීමට මහජන සේවා කොමිසමේ අනුමැතිය හිමිවිය. මේ යටතේ පෞද්ගලික සමාගම් ත්‍රිත්වයක් එම එක් එක් සමාගම්වල යෝජනා ප්‍රසම්පාදන කමිටුවට යොමුකර තිබිණ.

එහෙත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැන් පවසන්නේ තාක්ෂණික නියාමන කමිටුව මෙම කටයුතු සඳහා සහයෝගය නොදැක්වීම සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා පෙබරවාරි මස 26 වැනිදාට නියමිතව තිබූ විදුලිබල මිල දී ගැනීමේ ඉලක්කය සපුරාගත නොහැකි වුණු බවය. මේ සම්බන්ධයෙන් ඔහු ගත් පියවර කවරේදැයි හෝ, අඩුම වශයෙන් තත්ත්වය වෙනත් කමිටුවක අවධානයට යොමුකිරීමට කටයුතු කළේ යැයි හෝ කිසිවක් ඔහු සඳහන් නොකරයි.

තාක්ෂණික නියාමන කමිටුව සහ කැබිනට් මණ්ඩලය පත්කර තිබෙන එකඟතා කමිටුව පහත සඳහන් යෝජනා කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන බව ඔහු කියයි.

පල්ලෙකැලෙන් මෙ.වො. 22ක්, හම්බන්තොටින් මෙ.වො. 24ක්, ගාල්ලෙන් මෙ.වො. 10ක් ලෙස එම එක් එක් ස්ථානවල විදුලි බලාගාරවලින් විදුලිය මිල දී ගැනීම සඳහා ඇග්රෙකෝ ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම සමඟ මාස 6ක ගිවිසුමකට එළැඹීමට සහ අවශ්‍යතාවයක් මතුවුවහොත් එම ගිවිසුම තවත් මාස 6ක් දක්වා දීර්ඝ කිරීමට අවැසි අවසරය ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීම.

මතුගමෙන් මෙ.වො. 24ක්, හබරණින් මෙ.වො. 20ක් ලෙස විදුලිබලය මිලයට ගැනීම සඳහා හෙයිලිස් ඇවෙන්ටුරා (පෞද්ගලික) සමාගම සහ එස්ඊඑස් ස්මාර්ට් එනර්ජි සොලුයුෂන්ස් එෆ්සෙඞ්සීකො සමාගම සමඟ මාස 6ක බලය මිල දී ගැනීමේ ගිවිසුමක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වෙත අවසරය ලබාදීම සහ අවශ්‍යතාවයක් මතුවුවහොත් තවත් මාස 6ක් දක්වා ගිවිසුම දීර්ඝ කිරීමට අවකාශ සැලසීම.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ගවලට අනුව මෙසේ විදුලිබල මිල දී ගැනීම් සිදුකෙරෙන්නේ 2017 වසරේ බලශක්ති ඌණතාවයටය. 2018 වසර සඳහා මෙවැනිම ඉල්ලීමක් ඉදිරිපත් වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර දේශපාලන අර්බුදය නුවර සිදුවීම් හමුවේ යටගොස් තිබෙන්නේ තාවකාලිකවය. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය, ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව අහෝසි කිරීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය සංශෝධනය, ඉදිරි සති හා මාස කිහිපයේ දී කරළියට පැමිණීම නිසැකය.

ආර්ථික ක්ෂේත්‍රයේ හටගනු ඇති බවට කල්තියාම ලකුණු පළව තිබෙන අර්බුද සභාග රජයේ ගැටලු තවත් බරපතළ කරනු ඇත. ලෝක වෙළෙඳපළේ ඉන්ධන මිල ඉහළ යමින් ඇත. බලශක්ති අර්බුදයක් ඇතිවේයැයි විදුලිබල මණ්ඩලය අනතුරු අඟවා ඇත. කන්ද උඩරට නොසන්සුන්කාරී වාතාවරණය ආර්ථිකයට එල්ල කළ ප්‍රහාරයේ තරම දැනගත හැකි වන්නේ ඉදිරියටය. එය ද නැවත ප්‍රකෘති තත්ත්වය ස්ථාපිත කිරීම සඳහා ගත යුතුව තිබෙන ඉදිරි පියවර ද ප්‍රතිසංස්කරණ ආදී, රජයේ ආර්ථික බර තවත් වැඩි කරනු මිස අඩුවක් නම් නොකරනු ඇත. මේ සිදුවීම්වලට අමතරව ධුර කාලයේ තවත් වසර දෙකක් ඉතිරිව තිබෙන සභාග රජය ඉදිරියේ තිබෙන්නේ ලෙහෙසි පහසු ගමනක් නම් නොවේ. එම ගමනේ දී මතුවනු ඇති දුෂ්කරතා සහ අභියෝග එමටය. ඒ බොහෝමයකට හේතුව වී ඇත්තේ ද යහපාලනයේ මූලික පදනම් කඩාවැටී තිබීමය. නීතියේ සාධාරණය, සමානත්වය සහ සංවර්ධනය ස්ථාපිත කරන නීතිය හා සාමය වර්තමානයේ ඉතා දරුණු ලෙස කඩාවැටී තිබීම ඉන් ප්‍රධානය. මෙකී තත්ත්වයන් ඇති කිරීමට රජය හමුවේ තිබෙන ප්‍රධානම අභියෝගයයි. එම අභියෝගය ජයගැනීම තවත් අසීරුව තිබෙනුයේ පැවැති පළාත් පාලන ආයතන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂය ද අනපේක්ෂිත දරුණු පරාජයක උරුමක්කරුවෝ වීම නිසාවෙනි.