යුද සමයේදී දෙමළ ජාතියම විනාශ කිරීමට දායක වූ යුද හමුදාව අද පාසල් ආරක්‍ෂාවට පෙනී සිටිමින් හොඳ නාමය ලබාගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටින්නේ යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

ඇඟ කිලිපොළා යන තරමේ ප්‍රකාශයකි. එයට හේතු දෙකකි. පළමුවැන්න එම ප්‍රකාශයේ අන්තර්ගතයයි. දෙවැන්න මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කරන්නේ පාසල් දරුවන්ට වීමය. මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කළේ කිලිනොච්චිය පුනරීන් පිරමන්දනාරු මහා විද්‍යාලයේ රුපියල් ලක්‍ෂ 84ක වියදමින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකදී බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

දේශපාලනඥයා යනු ජනතා නියෝජිතයෙකි. එබන්දකුගේ කතාබහ වගකීම් සහගත විය යුතුය. ආදර්ශවත් විය යුතුය. සැබෑවකි. වන්නිය රුධිරයෙන් නෙත බරිත පොළොවකි. ලේ කුහර පෑදුණ පොළොවකි. ඒ භීත යුගය යළි යළිත් වර්තමානයට රැගෙන ආ යුතු නැත. අවශ්‍ය වන්නේ ඒ මිනිසුන්ගේ කඳුළ සිනාවකටත් ඒ මිනිසුන්ගේ වෛරය බලාපොරොත්තුවකටත් පරිවර්තනය කළ හැකි දියුණු වැඩපිළිවෙළකි. සන්සුන් සංහිඳියාවෙන් පිරි ගත් අනාගතයක් සම්බන්ධ සිහිනය ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කර ගත හැකි වන්නේ එමගිනි.

එමතුදු වුව කිලිනොච්චිය, පුනරීන් පිරමන්දනාරු පාසලේ දරුවන් ඉදිරිපිට ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මෙවැන්නකි.

“අද මම පාසලට එනවිට මාර්ගයේ ඉදිරියෙන්ම හිටියේ යුද හමුදාව. මේ වෙනකොට යුදහමුදාව දාලා තියෙන්නේ දකුණේ බෝම්බ පුපුරපු තැන්වලට නොවෙයි. මේ වගේ පළාත්වල සාමාන්‍ය පාසල්වලටම යුද හමුදාවෙන් දාලා ළමයි ආරක්‍ෂා කරනවා කියලා හොඳ නම ගන්න තමයි දාල තියෙන්නේ. මේ නිසා මම මේ දරුවන්ට කියනවා ඔයාලා ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න ඔයාලගේ තාත්තලා කී දෙනෙක් මැරුවද? සහෝදරයන් කී දෙනෙක් මැරුවද? කියලා. දෙමළ ජාතියම විනාශ කරන්න ගිය අය දැන් හොඳ අය වගෙ රඟපාමින් ඉන්නවා.”

ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කර ගත හැකි වූයේ මෙබඳු ප්‍රකාශවලින් බවට සැකයක් නැත. සහරාන්ට මරාගෙන මැරෙන අනුගාමිකයන් බිහිකරගත හැකි වූයේ ද මෙබඳු පන්නයේම ප්‍රකාශවලිනි. ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට අවශ්‍ය වන්නේත් වර්තමාන පරපුර තුළින් මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කර ගැනීමටද යන ප්‍රශ්නය මඟහැර යා යුතු නැත.

ශ්‍රීධරන් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව උතුරේ පාසල්වල ආරක්‍ෂාවට හමුදාව යෙද වූ විට දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ඉල්ලා හිටියේ ‘හමුදාව ඉවත් කරන්න එපා’ යනුවෙනි. උතුරෙන් හමුදාව ඉවත් කිරීම පිණිස විවිධාකාරයේ සටන් ක්‍රියාමාර්ග තෝරමින් සිටි දෙමළ ජාතික සන්ධානය එක්වරම සියයට අනූ නවයක්ම කැරකී කියා සිටියේ හමුදාව අවශ්‍ය බවය.

යථාර්ථය එයයි. හමුදාවේ වගකීම මහජනයා ආරක්‍ෂා කිරීමය. අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටම භීතියෙන් ඇළලී ගියේය. එයට උතුර දකුණ කියා බේදයක් ද නොවීය. දෙවැනි වටයේ ප්‍රහාරයක් පිළිබඳව ද වාර්තා විය. පාසල්වලට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇති බවට ද බුද්ධි අංශ වාර්තා කර තිබිණි. පාසල්වල ආරක්‍ෂාවට හමුදාව යෙදවීමට සිදු වූයේ ඒ අනුවය.

ශ්‍රීධරන්ලා කියන ආකාරයට සිංහල ආණ්ඩුව හෝ සිංහල හමුදාව අවධානය යොමු කළේ සිංහල දරුවන් සම්බන්ධයෙන් පමණක් නොවේ. මේ එකම රටකි. ඒ එකම රටේ සියලු දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් රජය පියවර ගත්තේය. හමුදාව එම පියවර ක්‍රියාත්මක කළේය.

ශ්‍රීධරන්ලා ඒ සම්බන්ධයෙන් සතුටු විය යුතුය. නැවත නැවතත් සතුටු විය යුතුය. එහෙත් ඒ වෙනුවට ඔවුන් කරන්නේ ජාතිවාදී සැරව ගෙඩිය පිපිරවීමය. රුධිර ගංගා මතින් පීනා යමින් තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට උත්සහ දරන අයකු හැරුණු විට මෙවන් ප්‍රකාශ නොකරනු ඇත. මේ නිර්ලජ්ජිත මෙන්ම නින්දනීය උත්සාහය ලත් තැනම ලොප් කළ යුතුය.

ඉකුත් වසරේ දී යාපනයේ ගම්බිම් යටකළ මහා ගංවතුරේදී ඒ ජනයාගේ පිහිටට ආවේ ආරක්‍ෂක අංශය. ඒ ලකුණුදා ගැනීමට නොවේ. හොඳ නම ගන්න නොවේ. එය ආරක්‍ෂක හමුදාවල පරම වගකීම වන හෙයිනි. පාස්කු ඉරුදින ප්‍රහාරයේදී ද රටේ ආරක්‍ෂාව ආරක්‍ෂක අංශ බාර ගත්හ. ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඒකාන්ත විශ්වාසය රැගෙන එන්නේ ඔවුන්ය. එයට සිංහල, දෙමළ, මුස්ලිම් කියා බේදයක් නැත. එය වගකීමය. යුතුකමය. එය නිසරු කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයකුට අයිතියක් නැත. මන්දයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන බවට ශපථ කර ඇති හෙයිනි.