=================================================

කැටපෝලේ අතේ තියාගෙන ඉද්දි තැපැල් පියුන්ටත් බයේ දුවපු අපි මෙහෙම කළේ කොහොමද කියලා හිතාගන්නත් බෑ
 - ජවිපෙ 71 කැරැල්ලේ නායකයෙක් කියයි

=================================================

‘‘මම බෝම්බ ගැහුවා. සමහර ඒවා පත්තුවුණා. සමහර ඒවා වහල දිගේ ලිස්සලා ඇවිල්ලා බිමට වැටුණා. සමහර ඒවා ගිනිගත්තා. සමහර ඒවායේ මුඩිය ගැලවුණා. මේ වෙනකොට පොලිසියෙන් අපට හෝ ගාලා වෙඩිතියනවා. කැටපොලේ අතේ තියාගෙන ඉන්නකොට කාකි කෝට් එක ඇඳගෙන එන තැපැල් මහත්තයට බයේ කැලේ පැන්න අපි පොලිසියට වෙඩි තිබ්බේ බෝම්බ ගැහුවේ කොහෙම ද කියලා අදටත් හිතා ගන්න බෑ. ඒ තරම් හිතට හයියක් ආවේ කොහෙම ද කියලා. කොහොම වුණත් අපට තිබුණ මර්දනයට මුහුණ දෙන්න  ප්‍රතිප්‍රහාර එල්ල කළත් ඒක අසාර්ථ වුණා’’ යැයි වැල්ලවාය පොලිස් ස්ථානයට බෝම්බ ගසන්නට ගිය පිරිසේ නායකත්වය ගත් පුද්ගලයන් අතර ඉතිරි වී සිටින දෙමටකැටිය පදිංචි ඩබ්ලිව්.එම්. දිසානායක මහතා කියා සිටියේය.

අදින් වසර 50 කට පමණ පෙර, අසාර්ථක 71 කැරැල්ලේ දී වැල්ලවාය පොලිස් ස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකිරින්ගේ ප්‍රහාර හේතුවෙන් 1971 අප්‍රේල් 05 වැනිදා පොලිස් කොස්තාපල් කේ. ඒ. ගුණසේකර (2127) සහ ජී. යේනස් (2737) යන දෙදෙනා ජීවිතක්ෂයට පත්වූයේ පොලිස් භුමිය තුළදීය. උගත් සමාජවාදි අදහස් තිබු පිරිසක් සිටිය ද ඇතැමුන්ගේ බොළඳ සහ අඩුලු‍හුඬු කම් සහිත සටනක් වූ 71 කැරැල්ලෙන් බොහෝ දෙනකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ අතර විශාල පිරිසකට සිරබත් කන්නට සිදුවිය.

දිසානායක මහතා  අප සමග පනස් වසරකට පෙර අතීත මතකය යළි සිහිපත් කළේ මේ අයුරිනි.

ඒ කාලේ, 1968 අවුරුද්දේ, මම නගරයට ගිහින් යාලබොවේ තියෙන අපේ ගෙදරට පයින් එනවා. ඒ එනකොට ආරි ඉස්කොලේ මහත්තයා මුණගැහුණා. මට රැකියාවක් නැතිකම ස්ථිර ආදායමක් නැතිකම ජීවත්වීමේ අපහසුකම දුප්පතුන් පොහොසතුන් වශයෙන් සමාජය කොටස් දෙකක් සිටීම ගැන මට විස්තර කරලා දුන්නා.

මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ සමජක්‍රමයේ වැරැද්ද නිසා බවත් දුක් විඳින තරුණ පිරිස එකතුවී සංවිධානය වී පක්ෂයක් පිහිටුවාගත යුතු බවත් රාජ්‍ය බලය ලබාගෙන මේ ක්‍රමය වෙනස් කළ යුතු බවත් මා සමග කිව්වා.

ඉතින් දිගින් දිගටම මේ ගැන සාකච්ඡා කළා. පස්සේ කිරිබන්ඩේ සැමුවෙල් උලු‍කඩේ වත්තේ සෙනවිත් මේකට එකතු වුණා. 1970 මුල් දී සෙනවිලාගේ පැලේ දින පහක තියපු අධ්‍යපනික කඳවුරටක සහභාගි වුණා. අම්පාරේ නිශ්ශංක තමයි ඒක මෙහෙයවීම කළේ. මේ වෙනකෙතාට අපේ සාමාජික පිරිස වැඩි වුණා. ඇතිලිවැව කොස්ලන්ද ප්‍රදේශවලින් පවා පිරිස එකතු වුණා.

ඔය අතර තමයි අපේ සංවිධානයට රාජ්‍ය මර්දනය දිගින් දිගටම එල්ල වෙන්න පටන් ගත්තේ. ඒ කාලේ ආරක්ෂක අමාත්‍යංශයේ ස්ථිර ලේකම් වෙලා හිටපු  රාජ්කුමාර් රත්නවේල්  කිව්වා චේගුවේරා ව්‍යපාරය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. ඒක මුලිනුපුටා දමන්න ඕනේ කියලා.

මර්දනය උත්සන්න වෙනකොට විජේවීර සහෝදරයා හයිඩ් පාර්ක් පිටියේ ප්‍රසිද්ධ රැස්වීමක් තියලා කිව්වා අපි අන්තවාදින් නොවන බවත් රජයේ සතුරන් නොවන බවත් රජයට දෑතම ඔසවා සහය පලකරන බවත් සමගියේ දෑත් දිගුකරගන්නා බවත් මර්දනය නතර කරන ලෙසත් කියා සිටියා. නමුත් ඒත් අත්අඩංගුවට ගැනීම් අතපය කඩා දැමීම් පහරදීම් දත් ගැලවීම් ඔළු පැලීම් මරා දැමීම් පවා සිදුවුණා.

මේ අතර තුර මර්දනයට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඕනෑ කියලා පක්ෂයේ ඉහළ පිරිස් කතා බහ කරලා තිබුනේ නෑ. 1971 අප්‍රෙල් මාසේට දවසකට කලින් රාත්‍රි 7.00 ට විතර ආරි මහත්තයා තවත් කෙනෙක් එක්ක ආවා. එයාගේ ඔලු‍වේ පෙට්ටියත් තිබුණා. ආරක්ෂිත තැනක තියන්න ඕන දෙයක් කියලා කිව්වා. පස්සේ තමයි කිව්වේ ඒකේ තියෙන්නේ වෙඩිලු‍නු පොටෑෂ් වෙඩි බෙහෙත් ඩයිනා කරල් වෙඩි නූල් කියලා.

අප්‍රේල් 02වැනිදා මොනාරාගල දිස්ත්‍රික්කයේ හිටපු දිසා ලේකම් අනුර සහෝදරයා සවස ආවා. පක්ෂය මර්දනය එන්න එන්නම වැඩිවෙනවා. නිකම්ම පක්ෂය විනාශ වෙන්න දෙන්න බෑ. ප්‍රතිප්‍රහාරයකට පක්ෂය සුදානම් වෙනවා කියලා කිව්වා. ඒකට වැල්ලවායේ මෙහෙයවීම කරන්නේ මාත් එක්ක කියලා අනුර සහෝදරයා කිව්වා. මමත් සහයෝගය දෙන්න කැමති වුණා.
 
 අප්‍රේල් තුන්වැනිදා තවත් කිහිපදෙනකු ආවා. ප්‍රහාරයට අවශ්‍ය දේවල් සූදානම් කළා. අල්ලපු ඉඩමේ බෝම්බ හැදුවා. අප්‍රෙල් 04දා තවත් කිහිප දෙනක් මුණගැහෙන්න ගියා. සවස අටට විතර මට කිව්වා අයියවත් එක්කගෙන එන්න කියලා. මම වැලිආරට ගියා. අයියා එක්කගෙන එනකෙට පස්වෙනිදා පාන්දර හතරට විතර ඇති. මම අයියත් එක්ක එනකොට 20-25 ක විතර පිරිසක් ඇවිල්ලා හිටියා.

අයියට බුත්තල පැත්තේ තියෙන ටෙලිපෝන් වයර් කැපීමටත් බණ්ඩේ මල්ලීට හපුතලේ පැත්තේ ටෙලිෆෝන් වයර් කැපීටමත් පැවරුණා. අපි සියලු‍ දෙනාම පාන්දර පහට විතර  පිටත්වුණා. මගේ ළඟ තමයි බෝම්බ ටිකයි පෙට්‍රල් බෝම්බ ටිකයි තිබුණේ. වැල්ලවාය නගරයට ආවා. කුඹුරුයාය මැදින් ඇල්ල හන්දියට ආවා ආරි මහත්තයා සෙනවිගේ නායකත්වයෙන් කණ්ඩායම් හතරක් පොලිසිය පිටිපස්සට යැව්වා. අනුර මුලින්ම ප්‍රහාරය එල්ලකරනතුරු පොලිසිය පිටුපස රැඳි සිටින ලෙස අනෙක් අයට උපදෙස් දුන්නා.

අනුරත් මමත් අපි පස්දෙනක් කුඹුරට බැහැලා කම්බිවැටෙන් රිංගලා වැල්ලවාය පොලිසිය ඉස්සරහටම ගියා. සැමුවෙල් හිටියේ නිරායුධව. පොලිසිට පැනලා ආයුධ ගන්න තමයි එයා සුදානම් වෙලා හිටියේ.

ඒ වෙලාවේ පොලිස් නිලධාරියෙන් බුලත් කෙළ පාරක් ගහලා යන්න හැරෙනකොටම අනුරගේ තුවක්කුව පත්තු වුණා. ඒත් එක්කම එයා බිම ඇදගෙන වැටුණා. කවුද වෙඩි තියන්නේ ඇයි වෙඩි තියන්නේ කියලා ඇතුළේ කෙනක් ඇහුවා. ඒ එක්කම පිටුපසින් පහරදීම ආරම්භ වුණා. වෙඩි තියනවා. බෝම්බ පුපුරනවා මහ සද්දේ ගොඩයි. එතකොට මගේ ළඟ හිටපු වෙඩික්කරුත් වෙඩි තියන්න පටන් ගත්තා.

එතකොට වගේ මගේ ළඟ හිටපු වෙඩික්කරුටත් වෙඩිපාරක් වැදුණා ඔළු කට්ට ගාවින් ගිහින් තිබුණා. මම එයාත් එක්ක හෙමින් හෙමින් පොලිසිය මග ඇරලා රෙජිස්ටාර් කාර්යාලය ගාවින් ඉස්පිරිතාලේ පැත්තේ තියෙන කැලේට ගොඩවෙලා දවල් 11.30 විතර වෙනකොට ගෙදරට ආවා.

තාත්තා මගෙන් ඇහුවා වෙඩි සද්දේ ඇහුණා. පොලිසිය කුඩු වුණා ද කියලා. මම විස්තරේ කිව්වා. ඉන්න එක සුදුසු නැති නිසා ටික දවසක් කොහෙට හරි ගිහින් ඉන්නම් කියලා කිව්වා. එතකොට ඇතිලිවැවෙන් වැඩේට ආපු  තුන්දෙනෙක් ආවා. වැඩේ අවුල් වුණා. කට්ටිය විසිරුණා. අපි ආවා කියලා ඒ අයත් කිව්වා. පස්සේ අපි ඔක්කොම ඇතිලිවැවට ගියා දවස් එක හමාරක් විතර ගිහින් ටික දවසක් ගොමදියවල හිටියා.

ඇතිලිවැව ගමේ අය අපට කන්න බොන්න දුන්නා. පස්සේ එතනින් ආපසු ගෙවල්වලට ආවා. ඒ එනකොට ගෙදරට ගිනි තියලා දවස් ගාණක් තිබු කුරක්කං වී පිච්චි පිච්චි තිබුණා. බිත්ති ටික විතරයි ඉතිරුවෙලා තිබුණේ. අහම්බෙන් අම්මාව මුන ගැහුණා. අම්මා කිව්වා පරිස්සමෙන් කොහෙට හරි වෙලා ඉඳපං, කියලා. මම ගියා අක්කලා හිටියේ කුකරම්පොළ. ඒ පැත්තට කැලේ ඇතුළෙන් දවස් දෙකක් විතර ගියා කන්න මොනවත් තිබුණෙ නෑ. මොට්ටුගෙඩි තමයි කෑවේ. ගල් උඩ තේක්ක කොළ එළාගෙන නිදාගත්තා.

පස්සේ අක්කාලාගෙ ගෙවල් පැත්තේ ඉන්න කෙනෙක් ගාව දවස් කිහිපයක් වත්තේ වැඩ කළා. ඒ ඉන්නකොට මම මෙහේ ඉන්නවා කියලා පොලිසිය දැනගෙන හොයන්න ඇවිත් කියලා ආරංචි වුණා. ග්‍රාම සේවක රාලහාමි එක්ක මට පොලිසියට බාරවෙන්න කියලා මස්සිනා කිව්වා. මම බාරවුණා. මොනරාගල කඳවුරකට මුලින්ම ගෙනිච්චා. එතනින් හිරගෙවල්වල හිර කඳවුරුවල සැකකරුවෙක් විදිහට අවුරුදු පහක් හිටියා. තව අවුරුද්දයි මාස අටක් විතර හිරකරුවෙක් විදිහට හිටියා.

පස්සේ 1977 අවුරුද්දේ ජුනි, ජුලි මාසෙක මාව නිදහස් කළා. ඒ එන දවසේ රෝහණ විජේවීර සහෝදරයා

කිව්වා මොනරාගල පැත්තේ කිසිම පක්සේ සංවිධාන කටයුතු වෙන්නේ නෑ මොනවා හරිම දෙයක් කරන්න කියලා. මම හා කිව්වා. යම් වැඩකොටසක් කරන්නම් කිව්වා මම ඇතුළේ ඉන්න කොටත් ඇතැම් අය පක්ෂය කඩාගෙන ගියත් අර්බුද ඇතිවුණත් මතවාද තිබුණත් මම කඩාගෙන ගියේ නෑ. හැලහැප්පීම් තිබුණා. අධ්‍යපනය ලැබුණා. ඇතුළට ගිය එක හොඳයි කියලා හිතුණා.

ඩබ්ලිව්.එම්. දිසානායක මහතා බිරිද සමග

මට ඇවිල්ලා දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව, කොස්ලන්ද දක්වා විශාල  වැඩකොටසක් කරන්න පුළුවන් වුණා. සංවිධානය ශක්තිමත් කළා. බස් කුලියක් දෙන්න කෙනෙක් නෑ කන්න බොන්න දෙන්න කෙනෙක් හිටියේ නෑ පයින් ඇවිද්දා.

අද වෙනකොට පක්ෂවලට බෙදිලා ආණ්ඩු කළාට ක්‍රමය වෙනස් නොකර හදන්න බෑ කියලා ජනතාවට තේරුම් ගිහිල්ලා තියෙන්නේ. වෘත්තිය සමිති තියෙනවානම් බලපෑමක් කරන්න පුළුවන්. වෘත්තිය සමිති තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි.

අවසානයටත් කියන්නේ අපි එදා ප්‍රහාරකට නෙවෙයි මුලින් සුදානම් වුණේ. මතවාදයක් හදන්න. තරුණ පිරිසට අවස්ථාවක් ඇතිකරන්නයි සුදානම් වුණේ. ක්‍රමය වෙනස්කරලා රාජ්‍ය බලය අපේ අතට ගත යුතුයි කියලා හිතුවේ. ආයුධ අරගත්තේ මර්දනය දරාගන්න බැරි නිසා ආත්මාරක්ෂාවටයි.

 

වැල්ලවාය - අයි.ආර්. ඉන්දික