මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙළාගෙන ඇති අභාග්‍යසම්පන්න මොහොතක මැතිවරණයක් පවත්වා සිය නියෝජිතයන් තෝරා පත්කරගැනීමට ලැබීම රටක ජනතාවකට හිමි වන ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයකි. මුලින්ම කිවයුත්තේ පුරවැසියන් හැටියට ශ්‍රී ලාංකික ජනතාවට එකී ජය හිමිව ඇති බවයි. එහි ගෞරවය හිමි විය යුත්තේ රටේ පාලකයා වන විධායක ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවටය. එමෙන්ම සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට හා ජනතාවටය. ව්‍යවසනකාරී වටපිටාවක රටේ නීතිය හා සාමය පවත්වාගෙන යන අතරේ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම ගැන මැතිවරණ කොමිසමටත් රාජ්‍ය නිලධාරින්ටත් ගෞරවය හිමි විය යුතුය.
 
ප්‍රවේශයක් හැටියට කිවහොත් මෙම මහමැතිවරණය යනු 2019 නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තවදුරටත් සාක්ෂාත් කිරීමකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලද ජනවරම ශක්තිමත් කිරීමකි. ඡන්ද ප්‍රතිශත බලද්දී පැහැදිලිව පෙනී යන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැවැති තත්ත්වයටත් වඩා ඡන්ද හිමිව ඇති බවය. මේ සා විසල් ජයට හේතු වූයේ කුමක් ද? එය නම් 2015 සිට 2019 නොවැම්බර් දක්වා මේ රටේ පැවැති ආණ්ඩුව කෙරෙහි ජනතාවට ඇති කලකිරීමය. පැවැති යහපාලන ආණ්ඩුව සැබැවින්ම කළේ ජනතාවට සේවය කිරීම නොවේ. අන්තර්ජාතික වශයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයන්ට රටේ ජාතික ආර්ථිකය බාරදීම හරහා ජාතික සම්පත් කොල්ලකෑමට ඉඩදීමය. එතෙකින් නොනැවතුණු ඒ පාලකයෝ සොරකම්වලට චෝදනා ලැබූවන්ට රටින් පලා යාමට ද අවස්ථාව සලසාදුන්හ. එමගින් ආර්ථිකයට සිදු වූ විනාශයේ ප්‍රතිඵලය දැන් කෙමෙන් ලැබෙමින් පවතින්නේ එය සෘණ ආර්ථිකයක් දක්වා පහළට ගමන් කිරීමෙනි. ආර්ථිකයට පැවැති පාලනයෙන් සිදු වූ හානිය ජනතාවට අමතක කළ නොහැකි කරුණක්ම විය. ඒ අනුව ආණ්ඩු වෙනසකට මුලපුරන්නට කටයුතු සිදුවුණේ පසුගිය ජනාධිපතිවරණයෙනි. ඉන්පසුව පාලනයේ මූලිකම ධුරය වූ විධායක ජනාධිපති පුටුව ගෝඨාභය රාජපක්ෂ නමැති චරිතයට බාර කරන්නට රටේ බහුතර ජනයා තීරණය කළහ. ඉන්පසුව ගෙවී ගිය පසුගිය මාස නවයක පමණ කාලය වැය වුණේ නව පාලනය නිරීක්ෂණයටය. එකී නිරීක්ෂණයේ තීරක සාධකය බවට පත්වූයේ මුළු ලොවම භීතියට පත්කළ කොරෝනා වයිරස් තත්ත්වයයි. ලක්ෂ ගණනින් මිය යෑම් වාර්තා වෙමින් කොරෝනා මාරයකු බවට පත්වෙද්දී තමන් බේරාගැනීමට ආණ්ඩුව කුමක් කරනු ඇතිදැයි ජනතාව බලා සිටියහ. එහිදී ආණ්ඩුවක් හැටියට නව ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලක කණ්ඩායම ඊට මුහුණ දුන් ආකාරය මහමැතිවරණය අභියස පැවැතියේ ගෞරවනීය තැනකය. අන්තර්ජාතික වශයෙන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලැබුණේ ප්‍රශංසාවක් නම් ඊට පාර කැපූ ආණ්ඩුවට එහි වාසිය ලැබීම නිරුත්සාහයෙන්ම සිදුවන්නකි.

දේශපාලන කලාප වශයෙන් ගත්විට ගාල්ල හා මාතර ඇතුළු දකුණු පළාතම සියතට ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබේ. එහිදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් හාරලක්ෂ තිස් දහස ඉක්මවා පොදුජන පෙරමුණ ගනිද්දී සමගි ජන බලවේගයට ලබාගැනීමට හැකිවූයේ එක් ලක්ෂ පහලොස් දහසක ඡන්ද සංඛ්‍යාවකි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 9න් 7ක් හිමිවූයේ පොදුජන පෙරමුණටය. මාතර දිස්ත්‍රික්කයේදී තුන් ලක්ෂය ඉක්මවා පොදුජන පෙරමුණ ලබාගනිද්දී සමගි ජන බලවේගයට හැකිවන්නේ යාන්තමින් ඡන්ද හැත්තෑ දහස ඉක්මවීමටය. බොහෝ දෙනා අපේක්ෂාවෙන් බලා සිටි මාතර ජාතික ජනබලවේගයේ ඡන්ද ප්‍රතිශතය සියයට 5 ඉක්මවා ගිය ද ප්‍රධාන කඳවුරු දෙක අතරේ බෙදුණු ඡන්ද සංඛ්‍යාවේ ඉහළ අගය නිසා සුනිල් හඳුන්නෙත්ති මහතාට තම අසුන අහිමි වී යාම ද කැපී පෙනෙන කරුණකි. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ ආසන 7න්  6 ක්ම හිමිකර ගනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි. විශේෂත්වය වන්නේ අතිබහුතර ආසනවලදී සියයට 70ක ප්‍රතිශතය ඉක්මවීමය.

බොහෝ දෙනකු බලා සිටි තවත් දිස්ත්‍රික්කයක් වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයයි. සියයට 67.95 ක ඡන්ද ප්‍රතිශතයක් සමග තුන් ලක්ෂ හතළිස් හතර දහස ඉක්මවූ ඡන්ද සංඛ්‍යාවක් පොදුජන පෙරමුණ ලබාගනිද්දී සමගි ජනබලවේගයට හැකිවූයේ එක් ලක්ෂ දහනව දහසක සීමාවක රැඳෙන්නටය. එය ප්‍රතිශතයක් හැටියට සියයට23කි.  බදුල්ල යනු අතීතයේ එ.ජා.ප කඳවුරකි. එහෙත් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තුන් ලක්ෂ නව දහස ඉක්මවා පොදුජන පෙරමුණ ගනිද්දී සමගි ජන බලවේගයට ලබාගැනීමට හැකිවූයේ එක් ලක්ෂ හතලිස් හතර දහසක ඡන්ද සංඛ්‍යාවකි. පිළිවෙලින් එම ප්‍රතිශත සියයට 62.06 ක හා සියයට 28.93ක අගයක් ගනී. ජාතික ජනබලවේගයේ ප්‍රධාන කතිකයකු වූ සමන්ත විද්‍යාරත්න මහතා නියෝජනය කළ එම කලාපයෙහි සිය කඳවුරට ලබාගැනීමට ඔවුන්ට හැකිව ඇති ඡන්ද සංඛ්‍යාව 19 308 කි. එහිදී එ.ජා.පය ඡන්ද 9163ක් ගෙන ඇත්තේ සිව් වැනි ස්ථානයට ඇදවැටෙමිනි.

නුවරඑළිය යනු 2015 මහමැතිවරණයේදී එ.ජා.පය ජයගත් දිස්ත්‍රික්කයකි. එහෙත් මෙවර සමගි ජනබලවේගයට ලබාගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 1 32 008 කි. පොදුජන පෙරමුණ 230389 ක් ඡන්ද ලබාගෙන නුවර එළිය ද සියතට ගෙන ඇත්තේ ප්‍රතිශතය සියයට 54.47ක් දක්වා ගෙනයමිනි. එහිදී එ.ජා.පය සිව් වැනි ස්ථානයට වැටී ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් තුන් වැනි තැනට ගෙන එමිනි. සමගි ජනබලවේගය ජයගත් දිස්ත්‍රික්කවලින් එකක් වූයේ ත්‍රිකුණාමලයයි. සියයට 40.56ක ඡන්ද ප්‍රතිශතයකින් ඡන්ද 86394 ක් ලබාගැනීමට සමගි ජනබලවේගයට හැකිවුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 68681ක් ලබාගෙන ඇත්තේ 2015 එ.ජ.නි.සන්ධානය ලැබූ ඡන්ද 38463 ඡන්ද තිස් දහසකින් පමණ වැඩි කරගනිමිනි. එනිසා ත්‍රිකුණාමලයේදී වුවද සාපේක්ෂව පොදුජන පෙරමුණ ඉදිරියට පැමිණ තිබේ.

පරාජයට පත් වූ සියලු පක්ෂවල ඡන්ද එකතු කළ ද එමෙන් දෙගුණයක් පමණ ලබාගැනීමට පාලක කණ්ඩායම සමත්ව ඇත්තේ විරුද්ධ පාක්ෂිකයන් විමතියට පත් කරවමිනි. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයෙහි වාමාංශික ව්‍යාපාරය මුල් බැස ගත්තේ දකුණු පළාතේය. එම කලාපය මැතිවරණ ඉතිහාසය පුරාවට පැවැතියේ එක්සත් ජාතික පක්ෂ විරෝධීවය. මෙවර ප්‍රතිඵලයෙන් සිදුව තිබෙන්නේ එය තවත් තීව්‍ර වීමය.

යාපනය දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵල මෙවර විශේෂය. සාමාන්‍යයෙන් දෙමළ ජාතික සන්ධානය තමන් හඳුන්වාගන්නේ දෙමළ ජනතාවගේ එකම ප්‍රකාශකයා හැටියටය. එහෙත් මේ ප්‍රතිපලවලින් එය කිසියම් දුරකට වෙනස් කර ඇත. මෙය අන්තර්ජාතික ප්‍රජාව සඳහා වූ පැහැදිලි පණිවුඩයකි. එයින් කියැවෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ආකල්ප සකසාගැනීමේදී මෙම මැතිවරණ ප්‍රතිපල ගැන ද අන්තර්ජාතික ප්‍රජාව සැලකිල්ලට ගත යුතු බවය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිකුත්ව තිබූ ආසනවල ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 2 80 881 ක් ලබාගෙන තිබුණ අතර එය ප්‍රතිශතයක් හැටියට සියයට 75.10ක් තරම් ඉහළ අගයක විය. සමගි ජන බලවේගය 51758 ක් තරම් පහළ ඡන්ද සීමාවක සිටිද්දී ජාතික ජනබලවේගයට ඡන්ද 31362ක් ලබා ගැනීමට හැකිව තිබිණ. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව 5017ක් තරම් පහළ අගයකට වැටී තිබිණ.

ලිපිය සකස් කරන මොහොත වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් නිකුත්ව තිබුණේ උතුරු කොළඹ, මැද කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල, දෙහිවල, කෝට්ටේ, කඩුවෙල, අවිස්සාවේල්ල හා කැස්බෑව යන ආසනවල ප්‍රතිඵලයි. ඊට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 367107 ක් ලබා පෙරමුණේ සිටියේ ඡන්ද ප්‍රතිශතය සියයට 53.55ක් හැටියට රඳවාගනිමිනි. සමගි ජනබලවේගය ඡන්ද 2 49579 ක් ලබාගනිද්දී එක්සත් ජාතික පක්ෂයට සිදුවුණේ ඡන්ද 19117 ක් ලබාගෙන සිව් වැනි ස්ථානය දක්වා පල්ලම් බහින්නටය. කෙසේ වෙතත් ජාතික ජනබලවේගය ඡන්ද 36962 ක් ලබාගෙන තුන් වැනි තැනට පත්ව සිටියේ සියයට 5.39 ක ඡන්ද ප්‍රතිශතයකට සීමා වෙමිනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ද ලිපිය ලියන මොහොත වනවිට නිකුත්ව තිබුණේ නැත. ඡන්ද ප්‍රතිඵල නිකුත්ව තිබූ ආසනවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණේ සිටියේ 688847ක් ඡන්ද ලබාගෙන සිය ඡන්ද ප්‍රතිශතය  සියයට 65.74ක ජයග්‍රාහී සීමාවකට ගෙනෙමිනි. ඡන්ද 242260 ක් ලබාගෙන සමගි ජනබලවේගය දෙවැනි ස්ථානයට පත්ව සිටියේ සියයට 23.12ක ඡන්ද ප්‍රතිශතයකට සීමා වෙමිනි.  සියයට 5.08ක ඡන්ද ප්‍රතිශතයක් සමග ඡන්ද 53214 ක් ලබාගෙන ජාතික ජනබලවේගය තෙවැනි ස්ථානයට පත්වෙද්දී එක්සත් ජාතික පක්ෂයට ගම්පහදී ද ලැබී තිබුණේ සිව් වැනි ස්ථානයයි. 24 639ක් ඡන්ද ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය  සියයට 2.35 ක් වැනි පහළම අගයකට වැටී තිබිණි.

කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලිපිය ලියන විට නිකුත්ව නොතිබුණ ද නිකුත් කර තිබූ ආසනවල ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 448699 ක්ද සමගි ජනබලවේගය ඡන්ද 171988 ක් ද ජාතික ජනබලවේගය ඡන්ද 33434 ක්ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 16485 ක් ද ලබාගෙන තිබිණි. මහනුවර ද නිකුත් කර තිබූ ආසනවල ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 423170ක් ලබා පෙරමුණට පැමිණෙද්දී සමගි ජනබලවේගය 206450 ක් ලබා දෙවැනි තැනට වැටී තිබුණි. තුන් වැනි ස්ථානයට ස්වාධීන කණ්ඩායමක් පත්වෙද්දී ජාතික ජනබලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් ලැයිස්තුවේ තවත් පහළට වැටී තිබිණි.

මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 128 ක් දිනාගෙන තිබු අතර සමගි ජනබලවේගයට ආසන 47 ක් හිමිව තිබුණි. ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයට ආසන 9 ක්ද, ජාතික ජනබලවේගයට ආසන 2 ක්ද හිමි වෙද්දී ඊ.පී.ඩී.පීය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසනය බැගින් හිමිකරගෙන තිබුණි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු වෙනත් පක්ෂ අතරේ ආසන 8 ක් බෙදී​ ගොස් තිබුණි.

ලොව භයානකම ත්‍රස්ත සංවිධානය වූ එල්.ටී.ටී.ඊය සමග පැවැතියේ වසර විසි තුනක් තිස්සේ දිග්ගැස්සුණු යුද්ධයකි. එවක සේනාධිනායකයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා එම ත්‍රස්තවාදය පරාජයට නායකත්වය දෙද්දී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටියේ වත්මන් සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂ මහතාය. අසාර්ථක රජයක වසර පහක පාලනය අවසන් කර පාලන බලය ලබාගැනීමට ඒ දෙසොහොයුරන් පෙරමුණ ගනිද්දී මෙවැනි අතිවිශිෂ්ට ප්‍රතිඵලයක් ලැබීම අරුමයක් නොවේ. මොන තරම් අඩුපාඩු තිබුණත් අපට පණ බේරාගෙන ජීවත්වීමට රටක් තිබේ. කොරෝනා  වයිරසයට පිළිතුරු දී එය මේ මිහිතලයෙන් තුරන් කිරීම පිණිස කිසියම් හෝ එන්නතක් සොයාගනු ඇතැයි අපිත් අපේක්ෂා කරමු. සීමාසහිතකම් මධ්‍යයේ හෝ එතෙක් ආණ්ඩුකරණයෙහි යෙදෙමින් පාලනයට රටක් දැන් අපට තිබේය යන්න ජනතාව ද කල්පනා කර ඇති බව මේ මැතිවරණයෙන් පෙනේ. ආණ්ඩුව රුපියල් පන්දහසක ජීවනාධාරයක් හැකි අයුරින් ජනතාවට පසුගිය කාලයේදී ලබාදුන්න ද ජනතාව එය ගැන ඒ සා උනන්දුවකින් සිතා නැති ගානය. ඇතැම් අපේක්ෂකයන් කීවේ තමන් බලයට පත්වුවහොත් රුපියල් විසි දහසක මාසික ආධාරයක් දෙන බවය. ජනතාව එසේ ජීවනාධාරයකට යට වී නම් එවැනි දේශපාලන කණ්ඩායමකට ඉහළ ප්‍රතිඵලයක් ලැබිය යුතුව තිබිණි. එහෙත් ජනතාව ඒ ගැන ඒ සා සාවධාන වී නැත. එයින් පෙනී යන්නේ අපේ රටේ ඡන්දදායකයාගේ මුහුකුරායාමකි.

මෙම ප්‍රතිඵලය මගින් විශාල ලෙස අර්බුදයකට තල්ලු වූ දේශපාලන කණ්ඩායම වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. සැබැවින්ම එය අර්බුදයකට වඩා දේශපාලන වශයෙන් ව්‍යසනයක් යැයි කීමෙහි වරදක් නැත. මන්දයත් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම මේ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණෙන් ද පහළට වැටී ඇති බැවිනි. සමස්ත ඉතිහාසය ගැන කෙටියෙන් විමසා බැලුව ද එ.ජා.පයේ මේ ඉරණමට බලපෑ ප්‍රධාන කරුණ හැටියට අපට පෙනීයන්නේ රටේ ජන විඥානය හඳුනාගැනීමට ඔවුන්ට ඇති අසමත්භාවයයි.

ජනතා විමුක්ති පෙරමුණ මෙවර මහමැතිවරණයේදී දේශපාලන වශයෙන් සංයුක්ත වූයේ ජාතික ජනබලවේගය හැටියටය. පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ඉදිරිපත් කරමින් ඔවුන් ලද ප්‍රතිඵලයට සාපේක්ෂව කිසියම් ඉදිරි පියවරක් තැබීමට ජාතික ජනබලවේගයට මෙවර හැකියාව ලැබී ඇත. එහෙත් එසේ බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙන තත්ත්වය ගැඹුරින් විමසුවහොත් පැවැති පාර්ලිමේන්තුවේ ස්ථාවරයවත් අත්පත් කරගැනීමට මෙවර ඔවුන්ට හැකිවේද යන්න ප්‍රශ්නාර්ථයක් වී තිබේ. මාතර දිස්ත්‍රික්කයේදී සුනිල් හඳුන්නෙත්ති මහතාට අත් වූ ඉරණමම ඊට කදිම උදාහරණයකි. එහි පණිවුඩය වී තිබෙන්නේ පොදුවේ ගත්කල ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් වූ පොදු මහජන මතය තවමත් විශාල වශයෙන් වැඩි වී නැති බවය. සිදුව තිබෙන බව පෙනෙන්නේ එක්සත් ජාතික පක්ෂය දෙපලු වීම විසින් ඉවතට තල්ලු කරන ලද කලකිරුණු ඡන්දදායක පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ දෙසට හැරීමය. තරුණ අසහනයෙන් පෙළෙන පිරිස් මෙසේ ජනතා විමුක්ති පෙරමුණ දෙසට හැරීම මීට පෙර ද සිදුව ඇතත් එහි ප්‍රතිපල අත්පත් කරගැනීමට ඔවුන් සමත්ව ඇති බවක් නොපෙනේ. අවසාන වශයෙන් දේශපාලන කණ්ඩායමක් හැටියට අපේ අවධානය යොමුවන්නේ අතුරලියේ රතන හා ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛව තරග කළ අපේ ජන බල පක්ෂයයි. එයට ආසන ජයග්‍රහණය දක්වා සීමාවට පැමිණීමට හැකිව ඇති බව නොපෙනෙතත් කිසියම් ආකාරයක ජාතිකවාදී ඡන්ද තීරුවක් ආමන්ත්‍රණය කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ.   

අවසාන වශයෙන් අපගේ අවධානය යොමුවන්නේ ආණ්ඩුවේ පාලන ප්‍රතිපත්තිය දෙසටය. සැබැවින්ම ආණ්ඩුවේ පාලන ප්‍රතිපත්තිය වී තිබෙන්නේ ජනාධිපති අපේක්ෂක හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්මයි. ජාතික ආර්ථිකයක් මත පදනම්ව කෙරෙන ආණ්ඩුකරණය ගැන එහි සඳහන්ව ඇත්තේ සරල බසින් ඕනෑම පුරවැසියකුට වැටහෙන පරිද්දෙනි. එහි අන්තර්ගතය ගැන තවදුරටත් විමසුවහොත් පෙනී යන කරුණ වන්නේ එහි සඳහන් ප්‍රතිපත්ති වනාහි අහසින් පහළ වූ දේවල් නොව 1956 බණ්ඩාරනායක මහතාගේ සිට 2005 මහින්ද චින්තන ප්‍රතිපත්ති දක්වා ආ මගෙහි දිගුවක් බවය. කෙටියෙන් කිවහොත් සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේගයේ පදනමය. ඓතිහාසික වශයෙන් එහි ගැබ්වෙන්නේ සියවස් ගණනක් පුරාවට අධිරාජ්‍යවාදීන්ගෙන් මේ රට නිදහස් කරගැනීම සඳහා සටන් කළ අපේම මුතුන්මිත්තන්ගේ චින්තනයේ ඒකමිතියයි. එය කවර නමකින් හැඳින්වුවද හරයෙන් එකය. මේ රටේ සංස්කෘතියට අනන්‍යතාවට ගරු කරමින් සමානාත්මතාවාදී සමාජයක් ඇතිකිරීමය. රටේ ජනතාවගෙන් සාතිශය බහුතරය අතිවිශිෂ්ට ජයක් දක්වා ඉහළට ඔසවා ඇත්තේ එකී දර්ශනයයි.

(ජනාධිපති නීතිඥ - ආචාර්ය ජයතිස්ස ද කොස්තා)

(*** සටහන - බිඟුන් මේනක ගමගේ)