ශ්‍රේෂ්ඨ විද්වතකු මෙන්ම විශිෂ්ට දේශපාලකයෙක් ජාතියට අහිමි වෙයි. බස වෙනුවෙන් නැගුණු රන් හඬක් නිහඬ වෙයි. වි.ජ.මු. ලොකුබණ්ඩාරයෝ දැයින් සමුගෙන නික්ම යති.

1940 අගෝස්තු 3 වැනිදා හපුතලේදී ඉපැදී බණ්ඩාරවෙල ශාන්ත ජෝන් විදුහලින් ඉගෙන, බදුල්ලේ අධිකරණය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ඈ තන්හි උසස් තනතුරු දරා නීති විද්‍යාලයට ඇතුළු වී ඉගෙන අධිනීතිඥයකු ව, එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි වි.ජ.මු. ලොකුබණ්ඩාරයෝ පාර්ලිමේන්තු මන්ත්‍රී, දේශීය වෛද්‍ය අමාත්‍ය, අධ්‍යාපන, සංස්කෘතික, ප්‍රවෘත්ති අමාත්‍ය, කථානායක, සබරගමු පළාත් ගොවුනුරු (ආණ්ඩුකාර) තනතුරු හෙබැවූහ. එතුමන් දේශපාලනයෙන් සමුගත්තේ වි.ජ.මු. නම සමග සිය සියත් ලකුණ ලංකා දේශපාලනයේ නොමැකෙන සේ පිහිටුවමිනි.

ලොකුබණ්ඩාරයන් ශාස්ත්‍රීය ලෝකයට පිවිසියේ දේශපාලනයට පිවිසීමට බොහෝ පෙර, ඉතා තුරුණු වියේදීමය. පාසල් වියේදීම, ගුරුවරුන්ගේ ඇසුරින් හෙළ හවුලට එක්වූ එතුමෝ හෙළ හවුලින් පළ කැරුණු ‘සුබස’ සඟරාවට ඉතා වැදගත් ශාස්ත්‍රීය ලිපි සැපයූහ. එකල (1950-60 දශකවල) පළ වූ සුප්‍රකට ‘රසවාහිනී’ සඟරාවට ද අගනා ලිපි සපයා ලේඛන චාතුර්යය දැක්වූහ. එකල ලංකාදීප, දිනමිණ වැනි පුවත්පත් සඳහා ද එතුමන් විසින් නොයෙක් ලිපි ලියන ලදී. ශාස්ත්‍රීය වාදයෙහි ද ශූරයකු වූ ලොකුබණ්ඩාරයෝ, තුරුණු වියේ සිටම භාෂා ශාස්ත්‍රීය කාරණා පිළිබඳව වාද විවාදවල යෙදුණහ. එසේ ලියූ වාද ලිපි ඇතුළත් ග්‍රන්ථයක්ද ‘සංවාදී ලිපි සරණිය’ නමින් පළ කැරිණි.

ලංකා ගුවන් විදුලියෙන් හරවත් වැඩසටහන් කිහිපයක්ද ලොකුබණ්ඩාරයන් විසින් ඉදිරිපත් කරන ලදී. ‘නිරාකරණය’, ‘රස දීපනී’ ආදිය ඒ අතුරින් කැපී පෙනේ. ‘රස දීපනී’ වැඩසටහන් ඇතුළත්කොට ග්‍රන්ථයන් ද පළ විය.

ලොකුබණ්ඩාරයන් අතින් ලියැවුණු විශිෂ්ටතම ග්‍රන්ථය වනුයේ ‘සීගිරි ගී සිරි’ යි. සීගිරි පැදි පිළිබඳ වැ ගැඹුරින් සිතා කරන ලද රසාස්වාදයක් එහි ඇතුළත් වේ. පරණවිතාන ආදී විද්වතුන් සීගිරි පැදිවලට අර්ථකථන සපයා ඇති නමුදු, එබඳු විචාරාත්මක රසාස්වාදයක් කිසිවකු විසින් කරනු ලැබ නැත.

තුරුණු වියේ සිටම ලොකුබණ්ඩාරයෝ ශූර දේශකයකු වශයෙනුදු ප්‍රකට වැ සිටියහ. ඇසූවන් හද බඳනා අයුරින් වියත්ව, රසවත්ව දෙසුම් පැවැත්වීමට එතුමන් සතු වූයේ අද්විතීය දක්ෂතාවෙකි. පහර කන තැනැත්තාගේ ද සිත නොරිදෙන අයුරින් රසවත්ව, වක් අයුරින් වදන් පහර දීමෙහි ලා ද අති දක්ෂ භාවයක් දැක්වූහ.

බුදු දහමත්, හෙළ බස, රැස, දෙසත් කෙරේ හදවතින්ම බැඳී ගත් ලොකුබණ්ඩාරයෝ දේශපාලනයේදී තමන් ලද සියලු තනතුරු එහි සේවාව පිණිස ශූර ලෙස යොදාගත්හ. දේශීය වෛද්‍ය අමාත්‍ය වැ සිටියදී අපේ කොළකැඳ ජනප්‍රිය කරවා මහජනතාව එයට නැඹුරු කිරීම සඳහා කළ සේවාව මෙන්ම ආයුර්වේද සාහිත්‍යය පොහොසත් කිරීමට කළ ශ්‍රේෂ්ඨ සේවාවද එදා සම්භාවනීය වේ. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ, අපේ සිංහල වෙද මහතාගේ තත්ත්වය නංවාලනු පිණිස එතුමෝ ඉමහත් වෑයමක් දැරූහ.

අධ්‍යාපන, සංස්කෘතික, ප්‍රවෘත්ති අමාත්‍ය ධුරය දැරූ කාලයේදී මෙරට අධ්‍යාපනය, දේශීය ස්වරූපයක් ගන්වන්නට ලොකුබණ්ඩාරයන් දැරූයේ ඉමහත් වෙහෙසකි. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය නංවාලන අතරම, ගුරුවරුනට බුලත් දී වැඳීම, සුභාෂිතය, ලෝවැඩ සඟරාව වැනි සිංහල උපදේශාත්මක ග්‍රන්ථ භාවිතය ශිෂ්‍යයන් අතර ජනප්‍රිය කැරවීම, භාෂා සාහිත්‍ය කෙරේ නැඹුරුව නංවාලීම වැනි කර්තව්‍ය රාශියක් එතුමන්ගේ උපදෙසින් සිදු විය.

අද ද දිනපතා රූපවාහිනියෙන් විකාශය කැරෙන ‘තෙරුවන් වැඳුම’ එතුමන් විසින් අරඹන ලද වැඩසටහනකි. එකල රූපවාහිනියෙන් මස් අලෙවිය හා සම්බන්ධ දැන්වීම් ප්‍රචාරය නොකිරීමට ගත් තීරණය බොහෝ කතාබහට ලක්විය.

හෙළ බස හා මුළු හදින් බැඳීගත් ලොකුබණ්ඩාරයෝ, කුමරතුඟු සමරුව යෙදෙන මාර්තු දෙවන දා ‘සිංහල භාෂා දිනය’ බවට පත්කොට පාසල් සිසුන් අතර භාෂා තරග පවත්වා භාෂා සාහිත්‍යය පිළිබඳව උද්‍යෝගය ප්‍රවර්ධනය කිරීමට කටයුතු යෙදූහ.

සම්මතය නොතැකීම නිසා සිංහල භාෂාව ශීඝ්‍රයෙන් පරිහානිය කරා යන හැටි දුටු එතුමෝ ජාතික අධ්‍යාපන ආයතනය මෙහෙයවා, භාෂාව පිළිබඳ විවිධ මත දරන විද්වතුන් පොදු සම්මත කරා ගෙන එමින් ‘සිංහල ලේඛන’ රීතිය සකස් කැරවූහ. එහෙත් ජාතියේ අභාග්‍යයට එය තවමත් ක්‍රියාත්මක නොවේ.

බොහෝ විට, අගනා ග්‍රන්ථ නොමිලයේ බෙදා දෙමින් ශාස්ත්‍රීය ඥානය ප්‍රචලිත කරන්නට එතුමන් ඉටු කළ කාර්යය අනෙක් කිසිවකු අතින් වූවක් නොවේ.

ලොකුබණ්ඩාරයන්ගේ තවත් මහාර්ඝ කාර්ය සාධනයක් නම් බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය නිමහම් දක්නා පිණිස සියලු පහසුකම් සලසා එය ඉටු කිරීමත්, සිංහල මහා ශබ්දකෝෂයේ කටයුතු නිමා කිරීමත්ය. තමනුදු භාෂා ශාස්ත්‍ර පිළිබඳ බැසගත් නුවණින් යුතු වීම මෙහිලා එතුමන්ට මහත් වහලක් විය.

හෙළ හවුල හා ළබඳ සබඳතාවක් දැක්වූ වි.ජ.මු. ලොකුබණ්ඩාරයෝ, එහි අනුනයු (උපනායක) තනතුර ද බොහෝ කලක් දරමින් එහි දියුණුව පිණිස හැකි හැම උපකාරයක්ම නිරතුරුව කළහ. අවසානව එතුමන් හමු වූ දින ද කතා කළේ හෙළ හවුලේ ඉදිරි කටයුතු පිළිබඳමැය.

අද වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් දැයෙන් සමුගෙන ගොසිනි. ලොකුබණ්ඩාරයෙනි, ඔබ නැති අඩුව කවරෙක් කවර ක​ෙලක නම් පුරවා ද?

(*** ශ්‍රීනාත් ගණේවත්ත)