“නෑ චුට්ටා, අද මට ඔයාගෙ උදව් ඕන නෑ. උදව් ඕන වුණු වෙලාවක මං කියන්නම්.” අයියා අවසාන වශයෙන් මට කීවේ එම වදන්ය. 

සාමාන්‍යයෙන් ඔහු කතා කළේ කලබලයෙනි. එදා ඔහු කතා කළේ මුදු සෙනෙහෙබර ස්වරයකිනි. ඒ අසා මා පුදුම වූ නමුත් මට දැනුණේ සතුටකි. යමක් වැරැදී ඇතැයි සිතන්නට තරම් අන්තර්ඥානයක් එදා මට තිබුණේ නම් කියා දැනුදු මට නිතර සිතේ. මගේ අයියා මියගොස් දැන් තුන් මසක් ගත වී ඇත. මටත් සොයුරියටත් දැනුණු ශෝකය තවමත් අපේ සිත්වලින් ඈත්ව ගොස් නැත.

ඔහු මට ලියා තිබූ ලිපිය අවාසනාවකට මෙන් සියලු මාධ්‍ය හා සමාජ මාධ්‍යවල පළ වූයේය. ඔහු සිය දිවි නසා ගත්තේ ඇයි දැයි, විමතියට පත් ඔහුගේ සමීප මිතුරෝ අසති. අසතුටක හෝ මානසික පීඩනයක ලකුණක් ඔහුගෙන් ඔවුන්ට ද නොපෙනිණි. මටත් එවැන්නක් පෙනුණේ නැත. ඔහුගේ අවසන් ලිපියේ ලියා තිබුණේ සෞඛ්‍ය ගැටලු කිහිපයක් ගැනය. ඔහුගේ අනාගත දිවිය සාර්ථක ලෙස ගෙවන්නට ඉන් බාධා වේ යයි ඔහු සිතන්නට ඇත.

ඔහුගේ ලිපියේ තිබූ පහත කියමන ඔහුගේ මානසිකත්වය හෙළි කරන්නකැයි මට සිතේ. “අවසාන විග්‍රහයේදී මගේ ජීවිතය පිරිපුන් අයුරින් ගෙවූ බව මම සිතමි. ධනාත්මක කරුණු අල්පයක් පමණක් ඉතිරි කොට ඒ අබිබවා ඍණාත්මක සාධක බහුල වූ විට ඒ තුළ තවත් දිවි ගෙවීමට හේතුවක් ඇතැයි මට නොපෙනේ. එම නිසා නික්ම යන්නට මම සිතාගත්තෙමි.” සියල්ලෙන් තමා වෙහෙසට පත්ව ඇතැයි ඔහු කියා තිබුණ ද ඊට හේතු ඔහු විස්තර කර නොතිබිණි.

මෑත දිනක මා ඔහුගේ සොහොන බලන්නට ගිය විට සොහොන් බිමේ මෙබඳු සටහන් ලියා තිබෙනු මම දුටිමි. 

“ජීවිතයෙන් විඩාපත්වූවන්ට සැඟවෙන්නට ඇති මනරම් තැනකි මරණය.”

දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලක අයියා දෙවැනියා විය. 1956 දී ඔහු උපත ලැබුවේ ශ්‍රී ලංකාවේ අටවැනි නිදහස් සැමරුමට දින කිහිපයකට පෙරය. තම ජීවිතයේ මුල් අවුරුදු කිහිපයේ සිංගප්පූරුවේත්, ඉන්දියාවේත් ගොස් එතෙර අත්දැකීම් ලබන්නට තරම් වාසනාවක් ඔහුට හිමිවිය. අපේ පවුලේ සියලු දෙනා 1962 දී පෙරළා මෙරටට පැමිණි පසු අයියාත්, මමත් කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වීමු. විදේශ සේවාවේ නිරත වූ නිලධාරීන්ට තම දරුවන් තමා කැමැති පාසලකට ඇතුළත් කිරීමේ වරප්‍රසාදය තිබියදී මගේ පියා නාලන්දාව තෝරා ගත්තේ, විවිධ පසුබිම්වලින් පැමිණෙන සිසුන්ගේ ඇසුරට තම දරුවන් වැටෙනු දකින්නට ඔහු කැමැති වූ නිසාය.

නැවත එතෙර යන්නට පෙර මගේ අයියා නාලන්දාවේ ඉගෙනුම ලැබුවේ වසර අටක් පමණි. නාලන්ද-ආනන්ද ආදී පාසල්වල තිබූ හර පද්ධතිය අපේ රටට බෙහෙවින් බලපාන්නට ඇතැයි මම සිතමි.

1970 දී රුසියාවේ උග්‍ර ශීත ඍතුව අත්විඳි අපි අවුරුද්දකට පසු උණුසුම් දේශගුණයක් ඇති පකිස්තානයට ගියෙමු. ඉස්ලාමාබාද් නුවරදී සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ රජීව උසස් පෙළ ඉගෙනුම ලබන්නට කරච්චියට ගියේය. අවුරුදු 17 දී අයියා එහි ගියේ අම්මාගේ අකැමැත්ත ද නොතකාය. ඒ කාලයේ පවා ඔහු කළේ තමාට ඕනෑ දෙයය.

තම පවුලේ අය සමග ඔහු 1975 දී බටහිර ජර්මනියට ගියේය. එහිදී ඔහු තම ආර්ථික විද්‍යා උපාධිය ලැබුවේ, හෝටල් කර්මාන්තය හා ආහාර පාන සැපැයීමේ විෂයය, විශේෂයෙන් හදාරමිනි. තමා එහිදී අසීරුවෙන් ජර්මානු භාෂාව හැදෑරූ අයුරු ඔහු මිය යන්නට සති කිහිපයකට පෙර මතක් කළේය. ඔහු 1975-79 කාලයේදී බටහිර ජර්මනියේ ප්‍රධාන හෝටල් කිහිපයක තම විෂයයට අදාළ පුහුණුව ලැබුවේය.

1980 ශ්‍රී ලංකාවට පැමිණ හෝටල් කර්මාන්තයට අදාළව රැකියා කළ ඔහු 1986 ඉරාකයේ, මොසුල් නුවර සේවයට ගියේය. 1989 නැවත ශ්‍රී ලංකාවට පැමිණ අලෙවි විධායකයවරයකු ලෙස ඔහු එයාර් ලංකා සමාගමට බැඳුණේය. ඉක්මනින් තම දක්ෂතා සනාථ කර පෙන්වූ ඔහු 1992 දී එම සමාගමේ අලෙවි හා සන්නිවේදන කළමනාකාර තනතුරට පත්කරනු ලැබුවේය. ඕමාන්, චෙන්නායි නගරවලත් හොඳින් කටයුතු කිරීමෙන් අනතුරුව ප්‍රංශ රටේදී එම සමාගමේ කළමනාකාරවරයා ලෙස සේවය කළේය.

2005 දී ඔහු ප්‍රංශයේ සිට නැවත පැමිණ එයාර් ලංකා සමාගමෙන් අස්වී කටාර් ගුවන් සේවාවේ ප්‍රාදේශීය කළමනාකාරවරයා ලෙස ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින හා මියන්මාර් යන රටවලට අදාළව සේවය කළේය. 2010 නැවත එයාර් ලංකා සමාගමට බැඳී ජර්මන් රටේ එම සමාගමේ කළමනාකාරවරයා බවට පත්වීම ලැබුවේය. ඔහුගේ එම සේවාවේ කොන්ත්‍රාත් කාලය නිමාවීමෙන් පසුව 2011 දී ශ්‍රී ලංකාවට පැමිණියේය.

රජීව් නිතරම තම කාර්යය අකුරට ඉටු කළ අයෙකි. සෑම දේටම ‘එහෙයි’ කියන්නකු නොවූ ඔහු කිව යුත්ත නොවලහා ඍජුව කීවේ එහි ප්‍රතිඵලය ගැන නොබලාය. එම සිරිත ඇතැම් විට ඔහුගේ රැකියාවටත්, පෞද්ගලික සම්බන්ධතාවලටත් අහිතකර ලෙස බලපෑවේය. මන්දයත් අන් අය නිතරම ඔහුගේ මෘදු භාවය නොදුටු බැවිනි.

තම මවටත් පියාටත් හොඳින් සැලකූ ඔහු අම්මා මියගිය පසු තාත්තාගේ සෑම කටයුත්තක් කෙරෙහිම සැලකිල්ල දක්වා ඔහුව බලා කියා ගත්තේය. තාත්තාගේ චින්තනය කුඩා කාලයේ සිටම ඔහුට බලපෑවේය. තාත්තා ජර්මනියේ තානාපතිව සිටියදී පෞද්ගලික පරිහරණය උදෙසා බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්. ආදී වාහන ගන්නට හැකියාව තිබියදී මිලට ගත්තේ ෆෝක්ස්වැගන්, ගෝල්ෆ් රථයකි. සරල කෙටි ගමන් යන්නට එය ප්‍රමාණවත් වෙතැයි අපේ තාත්තා සිතුවේය. රජීව් ද විශ්‍රාම ගෙන ශ්‍රී ලංකාවට පැමිණිවීට වෙනත් මහාර්ඝ රථ මිලට ගන්නට හැකියාව තිබියදී ගත්තේ ටොයෝටා ඇක්වා රථයකි.

ජෝන් කීල්ස් සමාගමේ සේවයෙන් මා ලැබූ සාර්ථකත්වය දුටු ඔහු වෙනත් ආයතනයකට මා මාරු වන්නට යන විට අකැමැත්ත පළ කළේය. ඔහු කී දේ සත්‍යතාව මට වැටහුණේ මා වසර 4කට පසුව ජෝන් කීල්ස් ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම ලැබූ විටය.

අන්තිම කැමැත්තෙන් ගෘහසේවිකාවකට රුපියල් මිලියනයක් පිරිනැමීම හා කොවිඩ් අරමුදලට ලක්ෂ පහක් පිරිනැමීම ඔහු තුළ වූ ත්‍යාගවන්ත භාවයත් යුතුකම පිළිබඳ හැඟීමත් පළකරන්නකි.

ජනාධිපති අරමුදල වෙත ලියූ ලිපියකින් ඔහු කියා සිටියේ මේ ආකාරයෙන් මුදල් පරිත්‍යාග කිරීම, ඔහුගේ යුතුකමක් වන්නේ නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද ඔහු භුක්ති විඳි නිසාය යනුවෙනි.

තම මරණයට සති කිහිපයකට පෙර ඔහු 2019/20 වර්ෂ උදෙසා ආදායම් බදු ගෙවා දැමුවේය. 2020/21 පළමු කාර්තුවට බදු ගෙවීම කළ හැක්කේ අගෝස්තු මස 2 පටන් යයි කී විට ඔහු නොසතුටු වූයේය. සියලු ණයපත් (ක්‍රෙඩිට් කාඩ්) වලට ගෙවිය යුතු මුදල් ඔහු ගෙවා හමාර කළේය. කිසිවකු වෙත තමා ණය තබා නැති බව ඔහුට තහවුරු කොට දැනගන්නට වුවමනා විය.

2013 අවුරුද්දේ සිට රටේ පවතින තත්කාලීන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන ඔහු පුවත්පත්වලට ලිපි ලීවේ කිසිදු පක්ෂපාත භාවයකින් තොරවය. එම වසරේ සිට ඔහු ලිපි 325කට වඩා පුවත්පත්වලට ලියා තිබුණි. එම ලිපි ලියමින් ඔහු ඉටු කළ කාර්යභාරය සෑම පුවත්පතක්ම පාහේ බෙහෙවින් අගය කර තිබිණි.

මියයන්නට ඔහු නිදහස් චතුරශ්‍රය තෝරා ගත්තේ මන්දැයි බොහෝ අය මගෙන් අසති. ඒත් සමීප මිතුරෙක් ඊට හේතුව පළ කළේය. “විඩාබර දිවියෙන් නිදහස ලබන්නට ඔහු නිදහස් චතුරශ්‍රය තෝරා ගත්තේය” යන්න මිතුරා කී හේතුවයි.

 

=============================================================================
Rajeewa Jayaweera: Beloved Brother, Friend,

Confident, Mentor and Comrade in Arms ලිපිය ඇසුරිනි

පරිවර්තනය සමන් පුෂ්පලියනගේ
=============================================================================