ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ ඉතාම තීරණාත්මක ජනාධිපතිවරණයක් එළැඹ තිබේ. ජාතික හා ගෝලීය වශයෙන් රටේ මෙන්ම මහජනතාවගේ පැවැත්ම තීරණය කෙරෙන ජනාධිපතිවරණයක් හැටියට එය හැඳින්වූව ද වරදක් නැත. අප අද මුහුණ දෙමින් සිටින්නේ ගැඹුරු ආර්ථික අර්බුදයකටය. නිදහසින් පසු මේ සා ගැඹුරු ආර්ථික අර්බුදයකට අපේ රට මුහුණ දුන්නේ නැත. එනිසා පිළිතුරු සොයාගත යුතුව තිබෙන්නේ අප රට ගොඩනැඟීමට පෙර ගොඩගැනීම පිළිබඳ ප්‍රශ්නයකටය.

මේ පරිසරයෙහි ජනාධිපතිවරණය දෙස බැලිය යුත්තේ පසුගිය වසර 71ක කාලයේදී අපට වැරදුණු තැන් මෙන්ම පසුගිය වසර පහක කාලයේදී ආර්ථිකමය වශයෙන් වූ බිඳ වැටීම් ද සැලකිල්ලට ගනිමිනි.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණවල ඉදිරිපත් කරන පොරොන්දුවලට වඩා මෙවර අපේක්ෂකයන් ද ප්‍රතිපත්තිමය කාරණා ගැන වැඩිපුර කතා කරන තැනකට තල්ලු වී සිටින්නේ ඒ නිසා විය යුතුය. මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ආදීන් ආර්ථිකය ගැන විශේෂයෙන් කතා කරන මේ තත්ත්වය කිසියම් ඉදිරිගාමී පියවරක් හැටියට මම සලකමි.

වසර හතළිහක් තිස්සේ භාවිත විවෘත ආර්ථිකය හැටියට හැඳින් වූ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය දැන් තිබෙන්නේ අර්බුදයට ගොසිනි. එය අප රටට පමණක් සීමා නොවූ ගෝලීය අර්බුදයකි. ආර්ථික විශ්ලේෂකයන් පවසන පරිදි ලබන වසර වනවිට දළ ජාතික නිෂ්පාදිතය ගෝලීය මට්ටමෙන් ගත්කල 2-3% අතර පහළ අඩියකට වැටෙනු ඇත. ලංකාවට අදාළව ගත්විට 2015 දී 5%ක තිබූ ආර්ථික වර්ධන වේගය දැන් තිබෙන්නේ 2%ට වැටී ය. දකුණු ආසියාවේදී ලංකාව ඇෆ්ඝනිස්ථානයෙනුත් පහළට වැටී ඇති බව පසුගියදා කියනු ලැබුවේ අගමැතිවරයාම විසිනි.

එහෙත් මේ ආර්ථික කඩාවැටීමට හේතු ප්‍රත්‍ය ප්‍රමාණවත් පරිදි සොයා බැලීමක් සිදු නොවන බව මගේ හැඟීමයි. මූලිකව ගත්කල මෙම අර්බුදයට අපට පාලනය කළ නොහැකි ගෝලීය සාධක මෙන්ම ජාතික වශයෙන් ගත්කල ආර්ථික උපායමාර්ගවල ද අවුලක් ද තිබේ. ආර්ථිකය අවකළමනාකරණයත් දූෂණයත් වංචාවත් නාස්තියත් රාජ්‍ය සේවයේ බිඳවැටීමත් එකතු වූ විට රෝගියා සිටින්නේ අසාධ්‍ය තත්ත්වයේය. සැබැවින්ම මේ වනවිට රටේ නිෂ්පාදනය තිබෙන්නේ බින්දුවට වැටිලාය. නැතහොත් නිෂ්පාදනයක් සිදු නොවන තරම්ය.

මගේ මූලිකම අවධානය හිමිවන්නේ ජනපති අපේක්ෂකයන් අඩුවෙන්ම අවධානය යොමුකරන කාරණයටය. එනම් රාජ්‍ය ආදායම බිඳවැටීමය. 1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දෙන විට ලංකාවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 24%කි. එය අද 10-12% අතර දෝලනය වේ. ඊට එක් හේතුවක් වූයේ නිෂ්පාදනය බිඳවැටීමය. අනෙක් කරුණ මූල්‍ය ප්‍රතිපත්තියයි. 1977 න් පසුව ඉහළ පැලැන්තියට අසීමිත ලෙස බදු සහන දෙන පිළිවෙතක් එවක එ.ජා.ප ආණ්ඩුව අනුගමනය කළේය. කොපමණ බදු සහන දුන්නත් නිෂ්පාදනයක් වුණේ නැත. එහෙත් පාරිභෝගිකයන් මත කෙළින්ම පැටවෙන වක්‍ර බදු ප්‍රමාණය අද වනවිට තිබෙන්නේ 87% ක් වැනි ඉහළ අගයකය. එහි අන්‍යාර්ථය නම් ඇති හැකි ධනපතින්ගෙන් අය කෙරෙන සෘජු බදු ප්‍රමාණය 13% ක් වැනි සුළු අගයක් බවය.

භාණ්ඩාගාරයට වසරකට ලැබෙන රාජ්‍ය ආදායම ප්‍රමාණවත් වන්නේ ලංකාව ලබාගත් ණය වාරිකය ගෙවීමට පමණි. දාහතර ලක්ෂයක් වූ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවීමට, ලක්ෂ පහකට අධික වූ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට, නිදහස් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට, සංවර්ධනයට ආදී සියල්ලට මුදල් යොදා තිබෙන්නේ ණයටය. විදේශ ණය කන්ද මේ වනවිට ඩොලර් බිලියන 55 ක් දක්වා අහස උසට නැඟ තිබේ. දේශීය ණය කන්ද රුපියල් ට්‍රිලියන 13 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර රුපියල්වලට අමතරව ඩොලර්වලින් ගත් ණය ද සැලකිය යුතු ප්‍රතිශතයක් තිබේ. වෙළෙඳපොළෙන්, බැංකුවලින්, පෞද්ගලික අංශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන්, වෙනත් ආණ්ඩුවලින් ආදී වශයෙන් සියලුම මූලාශ්‍රවලින් ණය ගත් රටක් බවට ලංකාව පත්ව තිබේ.

දෙවැනි කාරණය නම් අපේ විදේශ විනිමයයි. අපට රුපියල් පමණක් නොවේ රට සල්ලි ද ඕනෑය. මේ වසර හතළිහේදී විදේශ විනිමය අපට ලැබෙන මූලාශ්‍ර ද විශාල ලෙස වෙනස් වී තිබේ. අද තේ, පොල්, රබර් කියා දෙයක් නැත. ඇඟලුම් වෙළෙඳපොළ විශාල ලෙස ප්‍රසාරණය විය. විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මූලාශ්‍රය වී තිබෙන්නේ ශ්‍රමය අපනයනය කිරීමය. ශ්‍රී ලාංකික කාන්තාවන් මැද පෙරදිග ගොස් කඹුරා මෙරටට එවන මුදල්ය. කෘෂි හා කාර්මික අපනයන අඩුවීම ද විශාල ප්‍රශ්නයකි. කුරුඳු, තේ, රබර් මිල ද ඇත්තේ පහළ වැටීය. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයේ කඩාවැටීම ද ඊට එකතු වූ නිසා රටට විදේශ විනිමය ගලාඒම විශාල ලෙස අඩු වී ඇත. විදේශ විනිමය සංචිතය විශාල ලෙස අඩුවීමෙන් මෙහි බරපතළකම පෙනේ. අන්තිමට අපට රුපියල් ද නැත.

ඩොලර් ද නැත. ආර්ථික උපායමාර්ග සකසද්දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කල්පනා කළේ අපනයන ආර්ථිකයක් ගැනය. එහෙත් වසර හතළිහකට පසු නිර්මාණය වී තිබෙන්නේ කුමක් ද? ආනයන ආර්ථිකයකි. අපනයනයට වඩා දෙකයි දශම පහක ගුණයකින් ආනයන වැඩි වී තිබේ. එයින් නිර්මාණය වී තිබෙන්නේ වෙළෙද අවාසියකි. මේ තත්ත්වය තුළ අප කළයුත්තේ අපනයන ආර්ථිකයේදී පුහුණු ශ්‍රමය අපනයනයට බර තැබීමය. උදාහරණයකට පුහුණු හෙදියකට උපැයිය හැකි මාසික ආදායම පුහුණු ගෘහ සේවිකාවන් හතර දෙනෙකුගේ මාසික ආදායමට සමානය. වැඩිහිටි ගහණයේ වැඩිවීමට සාපේක්ෂව සෞඛ්‍ය සේවාවලට ඇති ඉල්ලුමත් සමග මෙවැනි අංශයකට අවධානය යොමුකරන්නේ නම් රටට උපැයිය හැකි මුදල අතිවිශාලය. එහෙත් සැලසුම් සකස් කරන්නෝ මෙවැනි කාරණා ගැන නොසිතති.  

ඊළඟ ගැටලුව නම් ඉතිරි කිරීම්ය. ආසන්න දශක හතර පුරාම අපේ ඉතිරිකිරීම් තිබෙන්නේ 22-23% ක මට්ටමේය. එවැනි ඉතිරි කිරීම් මගින් රටට ආයෝජනයට ප්‍රාග්ධනය ප්‍රමාණවත් වන්නේ නැත. අනෙක් අතට විදේශයන්ගෙන් එන ආයෝජන ද ප්‍රමාණවත් නැත. ඒ වෙනුවට සිදුවන්නේ විවිධ අර්බුද හමුවේ පවතින ආයෝජන ද මෙරටින් පළායාමය. මේ වනවිට විදේශ ආයෝජන සම්පූර්ණයෙන්ම ගලායමින් තිබෙන්නේ ආසියාවේ අනෙකුත් රටවලටය.

රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පැමිණි විට ප්‍රාග්ධනය මෙරටට ගලාඑන්නේ යැයි කතාවක් තිබුණත් අද එය යථාර්ථයක් වී නැත. එහෙත් කොමියුනිස්ට් පක්ෂයක් බලයේ සිටින චීනයට ප්‍රාග්ධනය ගලා යයි. ඇත්තටම ආණ්ඩු වෙනස් වුණා යැයි කියා ද ප්‍රාග්ධනය ගලාඑන්නේ නැත. ඒ සඳහා ප්‍රතිපත්ති වෙනස් විය යුතුය. වර්තමාන ආර්ථික අර්බුදය මේ වනවිට ආර්ථික තලයෙන් පිට සමාජ, දේශපාලන, සංස්කෘතික තලවලදී ද ප්‍රකාශවන්නට පටන්ගෙන තිබේ.

රටක ආර්ථිකය දුවන්නේ රාජ්‍ය හා පෞද්ගලික යන එන්ජින් දෙක උඩය. එහෙත් ලංකාවේදී මේ එන්ජින් දෙකම තිබෙන්නේ හරියට ක්‍රියාත්මක නොවන තැනකය. රාජ්‍ය සේවය තිබෙන්නේ විශාල බිඳවැටීමකය. විනයක් නැති තත්ත්වයකය. දැනුම, ආකල්ප, අකාර්යක්ෂමතාව, දූෂණය ආදියෙන් අගතැන්පත් තැනකය. ජනපති අපේක්ෂකයන් නොවළහා අවධානය යොමු කළ යුතු මූලික කාරණා හැටියට මේවා දැකිය යුතුය. අපේක්ෂකයන්ගේ කතා දෙස බැලීමේදී පෙරට සාපේක්ෂව යම් ආකාරයේ බර තැබීමක් මේ කාරණා ගැන තබා ඇති බව මම දකිමි. එහෙත් ආර්ථිකය දිශානුගත කිරීමේදී න්‍යායික වශයෙන් වූ පීලිපැනීම් ද දැකිය නොහැක්කේ නොවේ. රට ස්වයංපෝෂිත කිරීමට කරන කතාව එවැන්නකි. ලංකාව යනු අද වනවිට ලෝක ආර්ථිකයේම කොටසකි.

අපට ස්වයංපෝෂිත විය නොහැකිය. වර්තමානය වනවිට ලෝක ආර්ථිකයේ පෙරගමන්කරු වන්නේ ආසියානු ආර්ථිකයයි. එහෙත් අපේ බොහෝ දේශපාලකයෝ මෙවැනි වෙනසක් වී ඇති බවවත් දන්නේ නැත. ලංකාව රටක් හැටියට අර්බුදයකට පත්ව තිබෙන්නේ උතුරු, නැගෙනහිර පමණක් නොව දකුණු ආසියාව පවා පොදුවේ ගත්විට ඉදිරියට පැමිණෙද්දීය. අප තවමත් යටත්විජිත සමයේ මෙන් අපනයනය කරන්නේ ඇමෙරිකාවටත් යුරෝපාකරයටත් සීමාවය. ඇමෙරිකාවේ හා යුරෝපයේ මේ වනවිට මිලදී ගැනීමේ හැකියාව අඩු වී තිබේ. නිෂ්පාදනය පහළ වැටී ඇත. චීනයේ ශ්‍රම බලකාය ලක්ෂ 9000කට ආසන්නය. එයින් ලක්ෂ 4000 ක් මධ්‍යම පාන්තිකයෝය. ඉතින් ලෝකයේ ලොකුම වෙළෙඳපොළ තිබෙන්නේ එතැනය. එහෙත් අපනයන ක්‍ෂේත්‍රයේදී මේ ලෝක පරිමාණ වෙනස්කම් සැලකිල්ලට ගන්නා බවක් අපේ ප්‍රතිපත්ති තීරණය කරන්නන්ගෙන් තවමත් විශද නොවේ.

ජනාධිපතිවරණ ප්‍රචාරණයේ නිරත උගතුන් හා බුද්ධිමතුන් ගැන ද යමක් කිව යුතුවේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන කතා කරන ඇතැම් බුද්ධිමතුන්ගේ තර්කයක් වී තිබෙන්නේ ඔහු ජයගතහොත් ලංකාව ඒකාධිකාරී, ඒකාධිපති රාජ්‍යක් කරා ගමන් කරනු ඇත යන්නයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කෙළින්ම කියන්නේ ෆැසිස්ට් ආණ්ඩුවක් ගොඩනැඟෙනු ඇත කියාය. එහෙත් මගේ අදහස නම් මේ තර්කයෙහි කිසිදු පදනමක් නැති බවය. අපේ රටේ පවතින්නේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයයි. තනි පක්ෂයකට දිගු කල් බලයේ සිටින්නට මිනිස්සු ඉඩ නොදෙති.

මෙවර ජනාධිපතිවරණයට සන්ධාන තුනක් බිහි වී තිබීමම ඊට කදිම නිදසුනකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්සත් ජාතික පෙරමුණත් ජනතා විමුක්ති පෙරමුණත් තරග කරන්නේ සන්ධානවලිනි. තරග නොකළ ද දෙමළ ජාතික සන්ධානය පවා දේශපාලන තීන්දු ගන්නේ සන්ධානයක් හැටියටය. මෙවැනි සන්ධාන දේශපාලනයක් ස්ථාපිත වූ රටක ඒකාධිපති පාලනයකට ඇති ප්‍රවණතාව ඉතා අඩුය. එනිසා මේ තර්කය ඉදිරිපත් කරන්නන්ගේ වෑයම හැටියට මා දකින්නේ සුළු ධනේෂ්වරය නියෝජනය කරන පාවෙන ඡන්ද භීතියට පත්කර අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමකි. මෙවැනි පදනමක් නැති කතාවලින් සිදුවන්නේ රටේ පවතින සැබෑ අර්බුදය වසන් කර අවශේෂ කාරණා මාතෘකා බවට පත්වීමය.

පසුගිය වසර දහයක පහළොවක කාලයේදී උගත් මධ්‍යම පන්තියක් නව රූපකායකින් බිහි වී තිබේ. රුපියල් ලක්ෂ දහයකට වඩා මාසික ආදායමක් ලබමින් සුඛෝපභෝගී මහල් නිවාසවල කුලියට ජීවත් වන මේ පිරිස බැංකුවල මුදල් තැන්පත් කරන්නෝ නොවෙති. මේ නව ජීවන සම්ප්‍රදාය සමග රටෙහි විශාල කළු ආර්ථිකයක් නිර්මාණය වී තිබේ. රාජ්‍ය ආදායම පහළ වැටෙන්නට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ මේ කළු ආර්ථිකයයි. ජනාධිපති අපේක්ෂකයන්ගෙන් මේ කළු ආර්ථිකය ගැන ලොකු සාකච්ඡාවක් දකින්නට නොමැති වීම කනගාටුවට කරුණකි. මේ කාරණා ගැන උනන්දු විය යුත්තේ රටේ ජාතික ආදායම් මන්දිර හැටියට සැලකෙන දේශීය ආදායම්, සුරාබදු හා රේගු යන දෙපාර්තමේන්තුය. එහෙත් රාජ්‍ය ආදායම අපේක්ෂිත ලෙස ගලානොඑන්නට හේතුව වී තිබෙන්නේ ද මේ මන්දිර තුනෙහි අකාර්යක්ෂමතාව හා දූෂණයයි.

මේ වාරයේදී ලක්ෂ 150කට අධික ඡන්දදායක පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කරති. ඔවුන්ගෙන් ඉහළම මට්ටමේ සිටින 20% ක ජනයා ජාතික ආදායමෙන් ලබන පංගුව 55% කි. පහළම මට්ටමේ ජීවිත ගෙවන 20% ක පිරිස ලබන්නේ ජාතික ආදායමෙන් 4% කි. මේ තරම් ආදායම් පරතරයක් අපේ රටේ කවදාවත් තිබී නැත. මැද මට්ටමේ ජීවිත ගෙවන 60% ක ජනයාට ලැබෙන්නේ ජාතික ආදායමෙන් 40% කි. එසේ බලද්දී යමක් මිලදී ගැනීමට ඇති හැකියාව හෙවත් ක්‍රය ශක්තිය තිබෙන්නේ මේ පළමුව කී 20%ක පිරිසටය. මේ වනවිට රැකියා කරන පිරිසෙන් 14%ක් රජයේ සේවකයෝය. 26% ක් පෞද්ගලික අංශයේ රැකියා කරන්නෝය.

බහුතරය වූ ඉතිරි 60% ක ජනයා සිටින්නේ අවිධිමත් ආර්ථිකයේය. මේ බහුතරය මාස් පඩි ගන්නෝ නොවෙති. ස්වයං රැකියා කරන්නෝ, අක්කරයක් දෙකක් වවන්නෝ වෙති. සියලුම ආණ්ඩු යටතේ අඩුම සැලකිල්ලක් අවධානයක් ලබන පිරිස වන්නේ මේ අවිධිමත් ආර්ථිකය නියෝජනය කරන පිරිසයි. මේ ආර්ථික අර්බුදයෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ මේ පිරිසයි. පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් කෙළින්ම බඩේ පාර වැදුණේ මේ අවිධිමත් අංශයටය. මා සිතන්නේ ජනපති අපේක්ෂකයන්ගේ වැඩි අවධානයක් මේ කියන අවිධිමත් අංශයට යොමු විය යුතු බවය.

ඉතින් මේ ප්‍රශ්න විසඳීමට නම් බලය ඉල්ලන සෑම පාර්ශ්වයකටම විවේචනාත්මකව මෙන්ම ස්වයංවිවේචනාත්මකව ද ප්‍රශ්න දෙස බැලීමට හැකි විය යුතුය. පසුගිය වසර හතළිහක කාලයේදී සිදු වූ වැරැදි මොනවාද යන්න ගැන ආපසු හැරී බැලීමට ශක්තියක් තිබිය යුතුවේ. ජාතික හා ගෝලීය වශයෙන් රටේ මෙන්ම මහජනතාවගේ පැවැත්ම තීරණය කෙරෙන ජනාධිපතිවරණයක් හැටියට 2019 ජනාධිපතිවරණය හැඳින්වීමෙහි වරදක් නැත්තේ එබැවිනි. පිළිතුරු සොයාගත යුතුව තිබෙන්නේ අප රට ගොඩනැඟීමට පෙර ගොඩගැනීම පිළිබඳ ප්‍රශ්නයකට යැයි මා මේ සාකච්ඡාව ආරම්භයේදී කීවේ ද ඒ නිසා ය.

සටහන
බිඟුන් මේනක ගමගේ