මේ දවස්වල සමාජයේ අවධානය වැඩි වශයෙන් යොමුවී තිබෙන්නේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු දිසාවටය. අපේක්ෂකයන් 35ක් ඡන්දයට ඉදිරිපත්ව ඇතත් මූලික වශයෙන් අපට දකින්නට ලැබෙන්නේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකුගේ මැදිහත්වීම් පමණක් බව පෙනී යයි.

ඒ අතරිනුත් ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ මහජන රැස්වීම් හරහා හැම දිනකම පාහේ පෙන්නුම් කරන්නේ සාමාන්‍ය ග්‍රාමීය ජනතාව තුළ මේ මැතිවරණය පිළිබඳව යම් ආකාරයක උනන්දුවක් තිබෙන බවය. දේශපාලනය පැත්තෙන් ගත්විට මේ උනන්දුව ඉතාමත් වැදගත් කාරණයක් වන්නේ සමහර කාලවල ජනාධිපතිවරණයක් යනු මරණ ගෙදරක් බවට පත්වූ අතීතයක් ද මේ රටේ තිබුණ නිසාය.

1989 ජනාධිපතිවරණය කියන්නේ ඒ ආකාරයේ ව්‍යසන ඡන්දයක් බව ඒ පිළිබඳව මතකයක් ඇති අය දන්නා කාරණයක්ය. එක පැත්තකින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වශයෙන් නම් වෙනස් කරගත් දේශපාලන පක්ෂයේ කාණ්ඩය ‘ඡන්දය දුන්නොත් මරණය’ යන සටන් පාඨය ඉදිරියට දමා ඡන්දය දෙන්නන්ට වෙඩි තැබූ අතර තවත් පැත්තකින් සොත්ති උපාලි වැනි මැරවරයන් සිටි පක්ෂයේ අය ‘ඡන්දය නොදැම්මොත් මරණය’ වැනි සටන් පාඨයක් සමාජගත කළ බව අපට තවමත් මතකය.

මේ දෙකටම අමතරව කළු බළල්ලු, කහ බළල්ලු වැනි විවිධ නම්වලින් සංවිධානගත වී සිටි කාණ්ඩයක් ද ඒ මැතිවරණය කාලයේ සිටි අතර ඒ හැමෝම සිතුවේ වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමට වැඩියෙන් ආයුධ අවශ්‍යයැයි වැනි කල්පනාවකින්ය. මෙවැනි ඉතිහාසයක් තිබෙන අපේ රටේ ජනාධිපතිවරණ සම්බන්ධයෙන් ගත්විට මේ ආකාරයේ සාමාන්‍ය තත්ත්වයක් පැවතීම ඉතාමත් යහපත් තත්ත්වයක් බව මගේ තේරුම් ගැනීමය. විශේෂයෙන්ම එජාපය බලයේ සිටින කාලයක සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකිවීම යනුම සැමරිය යුතු යැයි සිතෙන කාරණයක්ය.
මේ අතර සමහර අපේක්ෂකයන් තමන් අනෙක් ප්‍රධාන අපේක්ෂකයන් සමඟ විවාදයකට සූදානම් යැයි කියන අවස්ථා ද මේ දවස්වල මතුවෙමින් තිබීම මේ ජනාධිපතිවරණයේ පෙන්නුම් කරන වැදගත් කාරණයක්ය. එහෙත් එවැන්නක් සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ඒ ඒ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති කවරේදැයි තේරුම් කර ගැනීමය.

ප්‍රධාන අපේක්ෂකයන් අතරින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ සතියේ ප්‍රකාශයට පත් කරන්නට නියමිත අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ තැපැල් ඡන්දයටත් පසුව බව ආරංචි මාර්ග මගින් පෙනී යන කාරණයක්ය. මේ ප්‍රමාදය හේතුව පැහැදිලි නැතත් මේ රටේ ඡන්දදායකයන් අතරින්  ලක්ෂ 5ටත් අධික පිරිසක් තැපැල් ඡන්දයට හිමිකම් කියන නිසා ඒ අය ඡන්දය පාවිච්චි කරන්නට නියමිත ඔක්තෝබර් 30 හා 31 දිනවලට පෙර තම තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත් කාර්යයක් බව මගේ අදහසය. යම් අපේක්ෂකයතුට තමන් කැමැති වෙලාවක ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ ගැටලුවක් නැති වුවත් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය පසුවී ඒ කටයුත්ත කිරීමෙන් පැහැදිලි කෙරෙන්නේ තැපැල් ඡන්දදායකයා තමනගේ ප්‍රචාරක ව්‍යාපෘතියේ විශේෂ තැනක් ගන්නා කාණ්ඩයක් නොවන බව දැයි මා දන්නේ නැත.

ඒ කෙසේ වෙතත් මා මේ සටහනින් සාකච්ඡා කරන්නේ තැපැල් ඡන්දය ගැන නොව ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ විසින් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගත යුතු මාතෘකාවක් වන උතුරේ ඡන්දදායකයන්ගේ ප්‍රශ්නය පිළිබඳවය. මේ කාරණය සම්බන්ධයෙන් උතුරේ පක්ෂ කීපයක් එක්වී පසුගිය දිනක ඉදිරිපත් කළ දේශපාලන යෝජනාව මගේ සටහනේ කේන්ද්‍රීය කාරණයය.

උතුරේ දෙමළ සමාජ තුළ බලය පවතින දේශපාලන පක්ෂ කීපයක් පසුගිය සතියේ පොදු ප්‍රකාශයක් මගින් මේ ජනාධිපතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් තම පක්ෂවල ඒකාබද්ධ ස්ථාවරයක් ඉදිරිපත් කළේය. ඒ ප්‍රකාශයට අනුව ටී.එන්.ඒ. ඇතුළු උතුරේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල මතය වන්නේ ඒ අයගේ ඡන්ද මේ ජනාධිපතිවරණයේ කවර හෝ අපේක්ෂකයකු වෙනුවෙන් පාවිච්චි කිරීමට නම් ඒ අපේක්ෂකයා එකඟවිය යුතු කොන්දේසි 13ක් තිබෙන බවයි. මේ කොන්දේසිවලට එකඟ වන්නේ නැති කාටවත් තමන්ගේ ඡන්ද ටික දෙන්නේ නැති බව ඔවුන්ගේ අදහසය.

මේ කොන්දේසි මාලාවට අයත් වන්නේ එක පැත්තකින් රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ කරුණු වන අතර තවත් පැත්තකින් මේ සමහර කොන්දේසි රටේ ආර්ථිකයටත් සාමාන්‍ය පරිපාලනයටත් ඍජුවම සම්බන්ධ වෙන බව පෙනී යයි.

මේ කොන්දේසි මාලාවේ තිබෙන බරපතළකම නිසාම මේ වනවිටත් ගෝඨාභය මහතා ඍජුවම පවසා ඇත්තේ තමන් මේ යෝජනාවලිය සඳහා එකඟ නොවන බවයි. සජිත් ප්‍රේමදස මහතා මේ පිළිබඳව සිතන්නේ කුමක්දැයි හරියටම කීමට නොහැක්කේ ඔහු තවමත් මේ යෝජනාවලිය ප්‍රතික්ෂේප කර නැති නිසාය. විශේෂයෙන් මේ කාරණය ඉතාමත් වැදගත් වන්නේ මෙවර උතුරෙන් පැමිණි මේ යෝජනාවට එකඟ වුවහොත් සිදුවිය හැකි අර්බුද කීපයක්ම ඍජුවම පෙන්නා දිය හැකි නිසාය.

උතුරේ යෝජනාවලියේ පළමු අංකයට දමා ඇත්තේ උතුරු පළාතත් නැගෙනහිර පළාතත් නැවත වතාවක් එකතු කළ යුතු බවයි. මේ යෝජනාව ඉතාමත් සංකීර්ණ හා ප්‍රශ්න සහගත යෝජනාවක් බව ඉතාමත් පැහැදිලිය. ඔවුන් කියන්නේ උතුර හා නැගෙනහිර එකතු කර ස්වයං පාලනයක් ඒ පළාත් දෙක මුල් කරගනිමින් ඇති කළ යුතු බවයි. උතුරු නැගෙනහිර එක් කිරීම පිළිබඳ යෝජනාව 1976 වඩුක්කුඩේ සම්මේලනයේ සිටම මතුවෙමින් යටයමින් තිබෙන යෝජනාවක් වන අතර මේ යෝජනාව යම් ආකාරයකින් අනුමත කිරීමක් සිදුවුණේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගැනීමත් සමගය. මේ යෝජනාව ඓතිහාසික වශයෙන් බලන විට එතරම් පදනමක් ඇති එකක් නොවන අතර බ්‍රිතාන්‍යයන්ට මේ රට යටත්වෙන අවස්ථාව වන තෙක්ම නැගෙනහිර පළාත සම්බන්ධවී තිබුණේ උඩරට රාජධානියට බව සිහිපත් කිරීම මෙහිදී ඉතාමත් අවශ්‍යය. 1987 පළාත් සභා ක්‍රමය යටතේ තාවකාලිකව මේ පළාත් දෙක එක් කළ අතර ඒ එක්කිරීමට නැගෙනහිර පළාතේ සිටින සිංහල හා මුස්ලිම්  කණ්ඩායම්වලින් ලැබුණේ බරපතළ විරෝධයකි.

මේ විරෝධය ගණනකටවත් නොසැලකූ එවකට සිටි එජාපය මේ පළාත් දෙක එක ඒකකයක් බවට පත්කරන්නට උත්සාහ කළ අතර ඒ ප්‍රශ්නය යම් තරමින්වත් විසඳුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමෙන් පසුවය. දැන් නැවතත් ටී.එන්.ඒ. ඇතුළු කාණ්ඩය ඉල්ලන්නේ මේ පළාත් දෙක යළිත් එක් කරන ලෙසය. මේ යෝජනාවට යම් පක්ෂයක් එකඟවන්නේ නම් ඒ අය කරන්නේ නැගෙනහිර පළාතේ ජනතාවගේ අයිතීන් සම්පූර්ණයෙන්ම පාගා දැමීමය. මේ ගැන විමසීමෙන් සිටීම ඉතාම වැදගත් වන්නේ නැගෙනහිර මුස්ලිම්වරුන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන ගමන් ඒ පළාත උතුරට එක්කරන්නටත් එකඟවෙන ආකාරයේ දේශපාලන පක්ෂ මේ ජනාධිපතිවරණයේ තරග කරනවා ද යන්න විමසා බැලීම ඉතාමත් වැදගත් නිසාය.

මේ උතුරේ කොන්දේසි මාලාවේ තිබෙන තවත් බරපතළ එකක් වන්නේ උතුරු නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ තිබෙන ඉඩකඩම් ඒවායෙන් ඉවත් කිරීමය. මේ කාරණයටම සම්බන්ධව ඉදිරිපත්වී ඇති තවත් කොන්දේසියක් වන්නේ මහවැලි ව්‍යාපාරය යටතේ සංවර්ධනය වන උතුරු නැගෙනහිර ප්‍රදේශවල කිසිම ආකාරයකින් සිංහල අය පදිංචි නොකළ යුතු බවයි. එපමණක් නොව මේ දක්වා පදිංචිකර සියලු සිංහලයන් ද ඒවායින් ඉවත් කළ යුතු බව ඒ තුළ දක්වා තිබේ. මෙවැනි කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීමෙන් දෙමළ ජාතික සන්ධානය ඇතුළු කාණ්ඩය උත්සාහ කරන්නේ දෙමළ දේශපාලනයේ මීළඟ පිම්ම සඳහා යළිත් වතාවක් මේ රටේ ‘බිමක්’ සෑදීමට බව මගේ නිරීක්ෂණයයි.

මේ කොන්දේසි මාලාව මේ අවස්ථාවේ දැම්මේ මෙවර ජනාධිපතිවරණයේ සමහර අපේක්ෂකයන්ට උතුරේ ඡන්දයෙන් තොරව පැවැත්මක් නැති බව දන්නා නිසා බව මගේ මතයය. ඒ අපේක්ෂකයන් පවතින්නේම උතුරෙන් ලැබෙන ඡන්ද ලක්ෂ 05 මතවීම නිසා කල දුටු කල වළ ඉහගැනීමේ දේශපාලනයක් ලෙසින් මෙවර මේ කොන්දේසි මාලාව ඉදිරිපත් කර ඇති බව ඉතාමත් පැහැදිලිය.

මේ රටේ ජාතික නිදහස හා ජාතික සමගිය පිළිබඳව කුමන හෝ ආකාරයක අදහසක් තිබෙන පුරවැසියකු වෙතොත් ඔහු හෝ ඇය කළ යුත්තේ මේ මොහොතේ ජනාධිපතිවරණ ක්‍රියාදාමය තුළ ඍජුව හෝ වක්‍රව මේ කොන්දේසිවලට එකඟතාවය ලබා දෙමින් උතුරේ ඡන්දය ගසා ගැසීමට දරන උත්සාහයක් වේ නම් එය නිවැරැදිව හඳුනාගනිමින් එයට එරෙහිව තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමය. උතුරේ ඡන්ද පොට්ටනිය පෙන්නා රටේ ස්වෛරීත්වය සීමා කරන්නට ඍජුව හෝ වක්‍රව අපි ඉඩ දිය යුතු නැත.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ
දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්