තවත් දින දෙකකින් එළැඹෙන්නට තිබෙන අලුත් අවුරුද්දෙහි තමන් පිළිගන්නට තිබෙන්නේ කුමක්දැයි දැනගැනීමට බොහෝ ශ්‍රී ලාංකිකයන් සිටින්නේ නොතිත් වුවමනාවෙනි. නොවැම්බර් මස 16 වැනිදා පැවැති ජනපතිවරණයෙන් පසුව රටේ ජනතාව අලුත් අවුරුද්ද පිළිගන්නට බලා සිටින්නේ බලාපොරොත්තු දල්වාගෙනය.

ජනපතිධූරය හෙබවීමට වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගත් අති දැවැන්ත ජන වරමින් පැහැදිළි වූයේ වෙනකක් නොවේ. රටේ ජනතාව එතෙක් පැවති යහපාලන රජය කෙරේ, පොරොන්දු පිට පොරොන්දු දී පසුව හාත්පසින්ම වෙනස් මගක් අනුගමනය කරමින් ජනතාව මත එකක් පසුපස එකක් බර පටවන්නට ගත්, දරමින් සිටි ආකල්පය කෙරේ දැක්වූ ප්‍රතිචාරයයි.

ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඇති තරම් තොරතුරු ලැබී තිබියදීත් කාන්තාවන්, පුරුෂයින් සහ දරුවන් 268 දෙනෙකුට මරු කැදවමින් පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා සංහාරය රට පුරා ජනතාව භීතියෙන් සසළ කරවීමට සමත් විය. එම ප්‍රහාරය හමුවේ රට පුරාම නැවත වරක් භීතිය ඇවිළින.

සංහාරයකින් මෙරට වැඩිම පුද්ගලයින් ප්‍රමාණයක් ඝාතනය වූ අවස්ථාව ලෙස සැළකෙන්නේ 1990 ජූනි මාසයේ දී, එල්.ටී.ටී.ඊ සංවිධානය නැගෙනහිර පළාතේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් 774 දෙනෙක් ඝාතනය කිරීමයි. දෙවැන්න ලෙස කූටප්‍රාප්තියට පත්ව තිබෙන්නේ මුලතිව්හි දී, ගරිල්ලා ප්‍රහාරයක් හමුවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයින් 207 දෙනෙක් 1996 ජූලි මාසයේ දී, ඝාතනය කිරීමයි. තෙවැන්න, පුදුමාකාර අහම්බයක් වැනි, 1987 අප්‍රේල් මස 21 වැනිදා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය පුපුරවා හළ කාර් බෝම්බයකට හසුව පුද්ගලයින් 113 දෙනෙක් ඝාතනය වීමයි.

පාස්කු ඉරිදා සංහාරය මේ සියල්ලට වඩා වෙනස් වන අතර, එය කළේ ගෝලීය මට්ටමින් දිවෙන සංවිධානයක් හා සබඳතා පවත්වාගෙන ගිය මුස්ලිම් අන්තවාදීන් පිරිසකි. ප්‍රහාරය එල්ල කිරීම සදහා ඔවුන් යොදාගත්තේද, ඔවුන්ගේ ඉගැන්වීම්මය.

කොටි ත්‍රස්තයින් එක් පැත්තකින් අරමුදල් තරකරගන්නා අතරේ, අනෙක් පැත්තෙන් අවි ආයුද මිලයට ගනිමින් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී යුද්දයක පැටලී සිටියේය. ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කළ ලක්ෂ 13කට අධික වැඩි ඡන්ද ප්‍රමාණයෙන් සංකේතවත් වන්නේ පාස්කු ඉරිදා සංහාරය හමුවේ රටේ ජනතාව ගත් තීන්දුවයි.

තවත් වචනවලින් කියතොත් නොවැම්බර් මස 16 වැනිදා සිය ඡන්ද පත්‍රිකාව ඉදිරියේ කතිර සළකුණ යොදන තෙක්ම මෙරට බහුතරයක් ජනතාව සිටියේ පාලනය ඔහේ සිදුවන්නට ඉඩ හැර තිබූ රජයක් සහ සිදුවෙමින් තිබූ දේ හමුවේ භීතියට පත්වය. පාස්කු ඉරිදා සංහාරය අරබයා දියත් කැරුණු විමර්ශන වලින් වැඩිමනත් සිදුවූයේ වගකිවයුත්තන් ආරක්ෂා කිරීම මිස සත්‍ය අනාවරණය කරගැනීම නොවේ.

ප්‍රධාන සාක්කිකරුවන්ගෙන්, විශේෂයෙන්ම නව ත්‍රස්ත සංවිධානයක් උපත ලබනු සහ වර්ධනය වනු දුටු ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබුවේ ප්‍රශ්න කිරීම්වලට ඉදිරිපත් නොවන ලෙසය. ගෝලීය ත්‍රස්තවාදයක් හා සම්බන්ධව සිටි මෙරට අන්තවාදී කණ්ඩායමේ මහමොළකරුවන් කවුරුන්ද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් හෙළි කර නොමැත. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කොමිසමක් යටතේද, විමර්ශනයක් පැවැත්වෙමින් තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරන බව එකහෙළාම කියා සිටි මෙරට ප්‍රකට නක්ෂත්‍රකරුවන් එකකු දෙන්නකුගේ නොව කණ්ඩායමකම අනාගත වාක්‍යය ජනපතිවරණයේ ප්‍රතිඵලය හමුවේ පුස්සක් බවට පත්විය. එම අනාවැකිවලට ඌණ පූර්ණයක් සැපයූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වටා එක්වූ, විශේෂයෙන් සමාජ මාධ්‍යවල, මහා ජනකායයි.

දේශපාලන පක්ෂයක් වටා එක්වන ජනකාය එම පක්ෂයේ ජයග්‍රහණය මැනීමට කිසිදු ලෙසකින්වත් යොදාගත හැකි මිම්මක් නොවන බව දැන් ඔප්පුවී හමාරය. බොහෝ විට එසේ දේශපාලන පක්ෂයක් වටා රොද බදින්නේ දේශපාලනමය වශයෙන් බැඳීමක් ඇති සහ තමන් ගැන සිතා තීරණයක් ගත නොහැකි හා මුදල් ගෙවා ගෙන්වාගනු ලබන පුද්ගලයින් වේ.

ආහාර සහ ප්‍රවාහන පහසුකම් නොමිලයේම සැපයේ. පක්ෂ වටා රැස්වන ජනකායකගෙන් ඔබ්බට ගිය මෙම වැදගත් වෙනස ඇතිකර තිබෙන්නේ ජංගම දුරකතන හරහා තවදුරටත් ව්‍යාප්තව තිබෙන සමාජ මාධ්‍යයන්ගේ භාවිතයන්ය.

බලයට පත්ව දින 43ක් ගෙවී තිබෙන තැන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා මිස අඩුවන බවක් දැකගැනීමට නොමැත. පෙර සිටි ජනපතිවරුන්ට වඩා තමන් වෙනස් බවට වෙනම ප්‍රතිරූපයක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඹමින් සිටින සෙයකි.

මෙය හදුනාගත හැකි කාරණා රැසකි.

එකක් වන්නේ බොහෝමයක් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස පත්කර තිබෙන පුද්ගලයින් බොහෝ දෙනෙක් එසේ පත්කර තිබෙන්නේ ඔවුන්ගේ සුදුසුකම් සැළකිල්ලට ගෙන වීමය. දැනුවත්ව හෝ නොදැනුවත්ව එම තනතුරුවලට දේශපාලනමය කාරණා සැළකිල්ලට ගෙන නම් කැරුණු පුද්ගලයින් ප්‍රතික්ෂේප කිරීමට ජනපතිවරයා කටයුතු කර ඇත. ඔහු එසේ කර තිබෙන්නේ එම තනතුරු අපේක්ෂාවෙන් සිටි සහ පසුගිය ජනපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් මහත් වෙහෙසක් දැරූ පුද්ගලයින් අමතක කර ඇතැයි පක්ෂයේ ඉහළම තලය නියෝජනය කරන්නන් අතර විවිධ මත පළවෙමින් තිබීම ගණනකට නොගෙනය.

මේ හමුවේ යම් නොමනාපයක් රජයේ ඇතැම් කොටස් අතර ඇතිව තිබේ. මහ මැතිවරණයක් ළඟ ළඟම එමින් තිබෙන අවස්ථාවක කැරෙන මෙවැනි සැළකිල්ලකින්, එම පුද්ගලයින්ගේ සහාය පක්ෂයට ලබාගත නොහැකි වනු ඇතැයි ඔව්හු පැමිණිලි කරමින් සිටිති

මෝටර් රථ ආනයනය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තහනම් කිරීම, මෙරටට පැමිණීමේ දී හා පිටවීමේ දී මහජන පර්යන්තය භාවිතා කරන ලෙස අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා තිබෙන පෞද්ගලික ආරක්ෂාව විවරණයකට යොමුකර තිබීම, ජනපතිවරයාගේ ජනප්‍රියත්වයට හේතුවී තිබෙන තවත් කාරණාය.

එසේ වුවත්, ජනපති ගෝඨාභය මහතා සිටින්නේ ජනතාවට දැඩිව බලපැවැත්වෙන එක්තරා බරපතල ගැටලුවකට මැදිවය. කිසිසේත්ම ඔහු අත වරදක් නොමැති වුවද, සහල් සහ එළවලු මිල අහස උසට නැග තිබේ. සුපිරිවෙළද සැල් සහ වෙනත් වෙළදසැල්වල තිබූ මිල අධික භාණ්ඩ ඒවායින් අතුරුදන්ව ඇත. එක් උදාහරණයක් වන්නේ ලූණු මිලය.

ජනපතිවරණයට පෙර රුපියල් 240ක් ව තිබූ ලූණු කිලෝවක අද මිල රුපියල් 690 ත් 700 ත් අතර වේ. කිලෝවක් රුපියල් 250 - 300 අතර තිබූ අමු මිරිස් මිල රුපියල් 550 ක් දක්වා ඉහළ නැග ඇත. ඇදහැලෙමින් තිබෙන ධාරාණිපාත වර්ෂාව හමුවේ භෝග වගාවන් විනාශව තිබීම මෙම තත්ත්වයට හේතුවයි. සුපුරුදු ලෙසම වගකිව යුතු අමාත්‍යංශය මෙවර ද, කරමින් සිටින්නේ පාලන මිලක් යටතේ භෝග අලෙවි කරන ලෙස අනතුරු අඟවා මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සිටීමය. ඔවුන්ට අනුව කාරණාව එතැනින් අවසානය.

පළමුකොටම, සිල්ලර වෙළදසැල් එවන් අනතුරු ඇගවීම් ගණනකටවත් ගන්නේ නැත. අලුත් අවුරුදු උදාවට මාස 3කට පෙරම මෙසේ භාණ්ඩ සහ ආහාර භෝග හිගයක් ඇතිවීම ගැටලුව තවත් බරපතල කරන්නකි.

නොදන්වා ගොස් රාජ්‍ය ආයතනවල කටයුතු විමර්ශනය කිරීමේ පිළිවෙතක් ජනපතිවරයා අනුගමනය කරමින් සිටින්නේ නම්, ඇමැතිවරුන් ඊට දක්වන ප්‍රතිචාරය මාධ්‍ය හමු පැවැත්වීමට සහ මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට පමණක් සීමාවී තිබීම ගැටලුවට කිසිසේත්ම විසදුම් සපයන්නක් නොවේ. පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම රජය කෙරේ ජනතා අප්‍රසාදය ඇවිලීමට හේතු වන ප්‍රධාන කාරණාවකි. එම නිසාම කාරණය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ගේ ළග බලා පමණක් තීරණ ගැනීමේ පිළිවෙත කිසිසේත්ම නොසළකා හැර සිටිය නොයුතුය. පැවැති රජය ජනතාව මත පටවා තිබූ බදු බර ලිහිල් කිරීමට බලයට පත්වූ වහාම ජනපති ගෝඨාභය පියවර ගත්තේය. එය සැබැවින්ම ජනතාවට සහනයක් සැළසීමටය. එසේ ලිහිල් කැරුණු බදුවල සහනය ජනතාව වෙත තවමත් ලැබී නොමැත. ඒ වෙනුවට සිදුව තිබෙන්නේ භාණ්ඩ හිඟයක් ඇතිවීම සහ මිල ඉහළ යාමක්ය.