කොරෝනාවලින් පසු ලෝකය කුමනාකාර වේද? කොරෝනා නිසා ඇතිවිය හැකි නව ලෝක තත්ත්වය කුමක් ද? යනු මේ මොහොතේ ලොව පුරා උගතුන්ගේ අවධානයට සහ පරීක්ෂාවට ලක් වී ඇති ප්‍රධාන ප්‍රශ්නය. ඇතැම්හු ගෝලීයකරණය අවසාන වේය යන ශෝකයෙන් පසුවෙති. ඇතැමුන් ඒ පිළිබඳව සිටින්නේ සතුටිනි. ඇතැම්හු කොරෝනා නිසා ධනපතික්‍රමය අවසන් වේය යන බියෙන් පසුවෙති. ඇතැමුන් ඉන්නේ එසේ වනවා නම්  ඒ ගැන සතුටිනි. ඒ අයගේ යෝජනාව වන්නේ මේ මොහොත ධනපතික්‍රමයේ අවසානය සඳහා අවස්ථාවක් කරගනිමු යන්නය. තවත් බොහෝ වෘත්තීය සහ පටිපාටිමය උගත්තු සහ පටිපාටිමය බුද්ධිමත්හු  ඔය කිසිවක් නොහිතා පාඩුවේ තම තමන්ගේ රැකියා කරගෙන ජීවත් වෙති.

මට දැනෙන විදියට ගෝලීයකරණයේ ඉරණම ගැන අවධානය යොමු කරන අයට වඩා ධනපතික්‍රමයේ ඉරණම ගැන කතා කරන අය එක් අතකින් ප්‍රගතිශීලී ය. මන්ද ඔවුන් නියම ප්‍රශ්නය වටේ කැරකෙන නිසා ය. මේ මොහොතේ ඇති සහ අර්බුදයට යමින් තියෙන ගෝලීයකරණය යනු ධනපතික්‍රමයේ මූලෝපාය ය. එය ධනපතික්‍රමය නොවේ. ඒ නිසා ඒ මූලෝපායට වඩා ක්‍රමය ගැන අවධානය යොමු කිරීම වඩාත් දේශපාලනිකය, වඩාත් ප්‍රගතිශීලීය. එවිට ඇත්ත හෝ මූලික ප්‍රශ්නය එළියට ගත හැකිය.

බලවතුන් සහ උගතුන් සාමාන්‍ය ජනයාට කාලාන්තරයක් පුරාවට සැඟවූ කාරණයක් ඇත. ඒ ගෝලීයකරණය නැමැති මෙහෙයුම් ක්‍රියාදාමයට යටින් ඇති ධනපති ක්‍රමය ය. එය කළේ ගෝලීයකරණය හුදු අලංකාරිකයක් සහ වැළැක්විය නොහැකි අනිවාර්ය ස්වාභාවික ක්‍රියාවලියක් බවට පත් කරමිනි. ඒ නිසා එය කාගේ කාගේත් සුරතල් අරමුණු සාධනය සඳහා වූ අනිවාර්යය මාර්ගයක් බවට පත්විය. එසේම එය විප්ලවාදීන් ද, වාමාංශිකයන් ද , දක්ෂිණාංශිකයන්ද, මධ්‍යස්ථවාදීන් ද ප්‍රශ්න නොකර පිළිපදින, බාරගන්න, ඊට අනුවර්තනය වෙමින් දෛනික ජීවිතය ගළප්පා ගන්න සොබාදහමත්, කැඩපතක් බවට පත්විය. ඇත්තටම පත්වුණා නොව පත් කළේ ය. ඒ පත්කිරීම ඇතුළේ ධනපතික්‍රමයේ අඬුබඬු දිගහැර ගැනීම කිසිදු බාධාවකින් තොරව සිදුවුණේ ය.

ලෝක ගෝලයේ අන්තිම හුදෙකලා මිනිසා පවා ධනපතික්‍රමයේ දැත්තක් බවට පත්කර ගැනීමේ ‘මැක්නමාරා මෙහෙයුම’ සාර්ථක වුණේ ඒ ලෙසිනි. එසේ වූයේ ගෝලීයකරණය පිළිපදින්නන්ගේ සහ අතරමැදියන්ගේ ප්‍රශ්නයක් නැති ආශිර්වාද කිරීම් මධ්‍යයේ ය. ලෝකයේත් මේ රටේත් පටිපාටිමය උගතුන්, බුද්ධිමතුන් සහ ලු‍ම්පන් න්‍යායකරුවන් බොහෝ විට කළේ ‘ජාතික ගෝත්‍රවාදයට’ එරෙහිව ගෝලීය දැනුම සහ ලිබරල් වෙළෙඳපොළ මනුස්සකම’ වෙනුවෙන් පෙනී සිටීමය, කටයුතු කිරීම ය. ධනපති සහ වෙළෙඳපොළ ප්‍රතිමාන/ඇගයුම් අවධාරණය කරමින් ඒවාට ගැළපෙන ලෙස එනම් ‘ගෝලීයකරණයට’ ගැළපෙන ලෙසට ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, සහ ජීවනෝපායක්‍රම පමණක් නොව ආධ්‍යාත්මික ව්‍යාපාර පවා උසිගැන්වීම ය.

ඒ නිසා වෙළඳපොළ විසින් කැඳවිය හැකි සහ උසිගැන්විය හැකි දෘෂ්ටිවාදී ආර්ථික, සමාජ, සංස්කෘතික, ආධ්‍යාත්මික සහ දේශපාලන කුක්කන් සහිත ලෝක සහ ජාතික මහපොළොවක ධනපතික්‍රමය දිගහැරුණේ සහ ගැඹුරට කා වැදුණේ ගෝලීයකරණය නමැති මාධ්‍යයයේ අනුහසිනි. ඒ මාධ්‍යයයේ බලවත්කම විසින් ධනපතික්‍රමය නම් වූ ඇත්ත සැඟවී ගියේ ය, සඟවනු ලැබීය. ඒ ඇත්ත තුළ පැතිමාන දෙකක් ඇත. එක, ගෝලීයකරණයෙන් වැසුණු ධනපතික්‍රමයේ බලවත්කම සහ දුෂ්ටකමය. දෙක, ගෝලීයකරණයෙන් වැසුණු ධනපතික්‍රමයේ දුර්වලකම, සීමිතකම සහ අශීලචාරකමය. කොරෝනා නිසා වුණේ ඒ පැති දෙකම හෙළිදරව් වීමය. මෙවැනි පසුබිමක, ධනපතික්‍රමය මිය යයි ද? ගෝලීයකරණය නවතී ද? නව විකල්ප බිහිවෙයි ද? යනු අප කාගේත් වැඩි අවධානයකට ලක්විය යුතු මාතෘකාය. එනම් සිදුවන්නේ කුමක්ද සිදුවිය යුත්තේ කුමක්ද යන්න කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුය. මන්ද පෘථිවියේ ඉරණම ඒ මත රැඳී ඇති නිසාය.

කොරෝනා නිසා ධනවාදය මිය යන්නේ නැත. හිතන්න, ආර්ථිකය, දේශපාලන ස්ථාවරතාව, සහ සමාජ පිළිවෙළ බිඳ දැමූ, එමෙන්ම මිලියන ගණනින් ජනයා ඝාතනය කළ ලෝක යුද්ධ දෙකක්, තෘෂ්නි යුද්ධය සහිත කඳවුරුවාදය, අන්තවාදී සන්නද්ධ භීෂණ, ස්පාඤ්ඤ උණ, අන්ත්‍රක්ස් වයිරසය, සාස් වයිරසය, එච්වන් එන්වන්, ඉබෝලා, ගෝලීය මූල්‍ය අර්බුදය, පමණක් නොව ධනපතික්‍රමය ට එරෙහිව වූ අති දැවැන්ත සමාජ-දේශපාලන විරෝධතා සහ ව්‍යාපාර නිසා ධනවාදය මිය ගියේ නැත.

පරාජය බාරගෙන පැත්තකට වුණේ ද නැත. යම් තරමකට හෝ සිදුවුණේ දේශසීමා වැසීම, සැපයුම් දාම අබලදුබල වීම, කොටස් වෙළෙඳපොළ කඩාවැටීම, දත්ත ඇහිඳීම අඩපණ වීම, ආනයන අපනයන සීමා පැනවීම, අමුද්‍රව්‍ය හිඟයක් ඇතිවීම, සංචාරක තහනම, ජාතික ආරක්ෂණවාදයකට යාම, සහ රටවල් අතර ඇත්තේ මිත්‍රකම් නොව සම්බන්ධතා පමණක් ය යන්න හෙළිදරව් වීම වැනි දේවල්ය. මහලොකු මිත්‍ර සබඳතා තිබුණා යැයි කලක සිට උදම් ඇනූ රටවලට, කොවිඩ් 19 යත් සමඟ මුහුණු ආවරණයක් වත් බෙහෙත් පෙත්තක් වත් නොදී ඒවා තම රටේ භාවිතයට පමණක් තබාගෙන දොර අගුළු දමාගත් සුපිරි රටවල් සිහියට ගෙන හිතන්න. මිතුරනි, ධනවාදය සම්බන්ධතා මිස මිත්‍රකම් නඩත්තු නොකරයි. එය මිත්‍රකම් අහසට හෝ සයිබර් අවකාශයට වීසිකොට සම්බන්ධතා පමණක් මහ පොළොවේ ඉතුරු කරගෙන ඇත.  

ධනවාදය මිය නොගියත් එහි සහායක බලඇණිය වූ ගෝලීයකරණය අබලදුබල වීම නම් අනිවාර්යය. එහෙත් ඒ ටික කලකටය. මුල දී ගෝලීයකරණය යැපුණේ ජාතික ආර්ථික මතය. එහෙත් පසුව ජාතික ආර්ථික යැපුණේ ගෝලීයකරණය මතය. මේ නිසා ජාතික සීමා නැතහොත් හැව ඇතුළේ හැදුණේ දෙමුහුන් ජනයා ය, දෙමුහුන් වැඩ සහ ක්‍රම ය. මේ තත්ත්වය පරිධියේ රටවල්වලට පමණක් නොව කේන්ද්‍රයේ රටවලටත් අදාළය. පරිභෝජනය ට අදාළ අමුද්‍රව්‍ය අවශ්‍යතාවලින් සියයට හැත්තෑදෙකක් ම සඳහා යුරෝපීය සංගමය, ඉන්දියාව සහ චීනය වැනි විදේශ මත තම රට යැපෙන බව බොහෝ (ට්‍රම්ප්වාදී) ඇමරිකානුවන් දැනගත්තේ මේ මෑතක දී ය. ප්‍රතිජීවක ඖෂධ සඳහා මෙම යැපීම සියයට 97 ක් තරම් ඉහළ අගයක් ගනී. ඒ උදාහරණය ප්‍රමාණවත් යැයි සිතමි.

මේ ඉහත කී දෙමුහුන් ජනයා, එනම් ‘ඔළුවෙන් ස්වදේශික උදරයෙන් ගෝලීය’ ජනයාගේ බියට හේතු වී ඇත්තේ, ගෝලීයකරණය අබලදුබල වී කඩාකප්පල් වී උදරයෙන් පරිකල්පනය කරන බොරු ෂෝක් පරිභෝජනවාදය අතුරුදන් වේය යන්නය. මන්ද තීරණාත්මක ලෙස ඔවුන්ගේ උදර විසින් ඔළු යටත්විජිත බවට පත් කරනු ලැබ ඇති නිසා ය. එය එසේ වුවත් යම් කිසි කාලයකට ගෝලීයකරණය අබලදුබල වීම නම් අනිවාර්යය.

මේ අබලදුබල වීම ඇතුළේ ධනවාදය නව උපායමාර්ග සොයා ගනු ඇත. එක, එහි දී පසු බැසීම් සහ නැවත ඉදිරියට යෑම් සිදුවනු ඇත. ගැටලු‍ව වන්නේ ඒ තත්ත්වය මටසිළුටු එකක් නොවීමය. විශේෂයෙන්ම මූලික පියවරක් විධියට එය ජාතික සීමාවට පසු බසිනු ඇත. එසේ කරනුයේ සයිබර් අවකාශය භාවිතා කරමින් ගෝලීය ධනවාදයට අවශ්‍ය සම්බන්ධතා නඩත්තු කරමිනි. මිත්‍රකම් නැති වුණත් බලවත් රටවල් තම ධනපති සබඳතා ඒ හරහා නඩත්තු කරනු ඇත. සමහර විට ඒ සබඳතා ‘මිත්‍රකම්’ ලෙස ඒ බලවතුන් ම ප්‍රකාශයට පත් කරනු ඇත්තේ එය සියල්ලෝම දන්නා බොරුවක් බව දැනගෙනම ය. එසේම පරිධියේ රටවලට ද ඒ ‘මිත්‍රකමේ’ හස්තය දිගු කරනු ඇත.

තවත් ආකාරයක් වන්නේ ලෝක පරිමාණ මර්දනයක් සහිත නව ආකාරයක යටත්විජිතකරණයක් සිදුවීම ය. එය ආහාර ඇතුළු සම්පත් සහ අමුද්‍රව්‍ය සඳහාත් කඩා වැටුණු වෙළෙඳපොළවල් යළි අත්පත්කරගැනීම සහ ස්ථාපිත කරගැනීමත් සඳහාත් වූ බිහිසුණු ක්‍රියාමාර්ගයක් වීමට ඉඩ ඇත. බලගතු රටවල ජාතික සීමා ඇතුළේ පිළිසකර වන ධනවාදය එළියට පනිනු ඇත්තේ කූඩු කොට සිටි වෘක රෑනක් එළියට පනින ආකාරයෙනි. මන්ද මේ රටවල් සතු බහුජන සංහාරක අවිආයුධවලට කොරෝනා සෑදී නැත, එය අප තේරුම් ගත යුතුය.

කොරෝනා නිසා ජාතිකවාදය නඩත්තු කරන පරිධියේ රටවල්වලින් ඇසෙන හඬක් වන්නේ ජාතික ආර්ථිකයක් පිළිබඳ අදහස ය. මේ කියන්නේ මිනිසා සහ සොබාදහම කේන්ද්‍රීය නව සංවර්ධනවාදයක් හෝ නව සංවර්ධන ආකෘතියක් ගැන නොව පැරැණි ධනවාදය නැඟිටින තුරු ජාතික ආර්ථිකයක් ගැනය. එහි අන්තර්ගතය සහ දැක්ම පරණ එකමය. එහෙත් නම ‘ජාතික ආර්ථිකය’ යන්නය. බෝතලේ අලු‍ත් වුණාට පරණ වයින්මය. ඒ අනුව මේ රටවල් නඩත්තු කරන ධනේශ්වර නව ජාතිකවාදය වනාහි අර බලවත් රටවල් නඩත්තු කරන ජාතිකවාදයේ පොඩි සහ දුර්වලම එකය.

බලගතු රටවල් දිනෙක කරන පරිද්දෙන්, මේ පොඩි ජාතිකවාදයට ලෝක පරිමාණ සම්පත් කොල්ලකෑමක් හෝ යටත්විජිතකරණයක් හෝ දැවැන්ත මාරාන්තික පීඩනයක් හෝ බාහිරව ඇතිකළ නොහැක. හැබැයි ඔවුන් ඒ ක්‍රම/මාධ්‍යය ආකෘතිකව තම රටවල් ඇතුළේ අභ්‍යාස කරනු ඇත. ඒ අනුව ‘ජාතික ආර්ථිකවාදයේ’ නාමයෙන් බහු ජනයා මත අති දැවැන්ත පීඩනයක් එල්ල කිරීමට මේ පොඩි රටවල සහචර ධනපති කණ්ඩායම් අනිවාර්යයෙන්ම ක්‍රියා කරනු ඇත. ඒ නිසා පරිධියේ රටවල පීඩනය සහ මර්දනය ජාතික සීමා තුළ අතිශයින්ම දැඩි වනු ඇත. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, පෞද්ගලික දේපළ අයිතිය, යහ ආණ්ඩුකරණ මූලධර්ම උඩු හුළඟ විසින් ඈතට වීසි කරනු ඇත.

පරිධියේ රටවල එකී තත්ත්වයට සහ පීඩනයට උඩින් බලගතු රටවල ගෝලීය කොල්ලකාරී පීඩනය සහ මර්දනය ද ඔවුන්ගේ ජාතික සීමාවලින් පිටට වර්ධනය වනු ඇත. එවිට ඇතුළෙනුත් ගිනි, පිටතිනුත් ගිනි ය. ඉතින්, ධනවාදය මිය යන්නේ නැත. එය තිබෙනවාටත් වඩා තීව්‍ර  බිහිසුණු රූපකායක් ගෝලීයවත් ජාතිකවත් ගනී. ධනවාදය සහ එහි ගෝලීයකරණ අවතාරයේ නියම හෝ නව අනුවාදය, ස්වරූපය එවිට කාටත් වැටහෙනු ඇත යන්න පමණක් දැනට ලියා තබමි. පරෙස්සමින් ඉන්න.

 

කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක