කලෙක ක්‍රිකට් ලෝකයේ අතිවිශිෂ්ට කීර්තිමත් ක්‍රීඩකයකු වූ පකිස්තානු අගමැති ඉම්රන් ඛාන් නිල සංචාරයක් සඳහා කොළඹට පැමිණියේය. ඉම්රන් ඛාන්ගේ මේ පැමිණීම පිළිබඳව කොළඹ මැදපාන්තික රාජපක්ෂ විරෝධීන් එහි මතුපිටින් අල්ලා ගෙන ඇති දේශපාලන සාධක දෙකකි. එකක් කොරෝනා හේතුවෙන් යැයි මිය යන මුස්ලිම් ජාතිකයන් පවුලේ සමීපතමයන්ගේ විරෝධය නොතකා ආදාහනය කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුවට එරෙහිව මුස්ලිම් රාජ්‍යවල බලපෑම ඔහු රැගෙන එනවා ඇතැයි විශ්වාස කිරීමය. අනෙක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාණ්ඩුවට එරෙහිව මෙවර ඉදිරිපත් කරන බරපතළ යෝජනාවට විරුද්ධව මුස්ලිම් රටවල සහාය ගැනීමේ සූදානමක් විය හැකි යැයි අනුමාන කිරීමය.

කොරෝනා හේතුවෙන් යැයි මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීමට ආණ්ඩුව අවසර දෙන බව ඉකුත් 10 වන දින අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඒ ප්‍රකාශය“ට්විටර්” සටහනකින් පළමුවෙන්ම අගය කෙරුවේ අගමැති ඉම්රන් ඛාන් ය. ආණ්ඩුව එලෙස පසු බසින්නට ඇත්තේ මුස්ලිම් රාජ්‍ය නායකයන්ගේ බලපෑම හේතුවෙන් යැයි කොළඹ සිවිල් සමාජය ගණන් හැදූවේ ඉම්රන් ඛාන්ගේ නිල සංචාරය සමගය. එහෙත් ප්‍රධාන මුස්ලිම් රටවල නායකයන්ගෙන් එවැනි ප්‍රකාශ නොවුණි. එලෙස අගය කිරීමක් අනතුරුව කෙරුවේ කොළඹ ඉන්නා ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා ටෙප්ලිට්ස් ය.
කොළඹ මැදපන්තියේ තක්සේරු අනාථ කරමින් පැය 24 ක් යත්ම “භූමදානය” සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය නිකම්ම හිස් ප්‍රකාශයක් බවට ආණ්ඩුවේ සෙසු ප්‍රකාශ මගින් පත් කෙරුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පූර්ව සැලසුමකින් තොරව පසුදින පාර්ලිමේන්තුවට පැමිණ ගියේ “භූමදානය” සම්බන්ධ අගමැති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප වන විටය. අගමැති ඉම්රන් ඛාන් දැන් එන්නේ ඔහුද ඇතුළු මෙරට මුස්ලිම් ජනතාව රැවටූ හා ඔවුන්ගේ අතිශය සංවේදී මූලික අයිතියක් දිගින් දිගටම බලහත්කාරයෙන් යටපත් කරන්නා වූ රටක රාජ්‍ය නායකයන් බැහැ දකින්නටය. ඔහුට මුස්ලිම් ලෝකයේ පිළිගැනීමක් නොමැති බැව් රාජපක්ෂ ආණ්ඩුව ද දන්නා බැව් ඉන් කියැවෙන්නකි.

එසේ නම්, ඉම්රාන් ඛාන්ගේ දේශපාලනය කුමක් ද?
පකිස්තාන අගමැති ලෙස ආරම්භයේ දී ඔහු යම් ජාත්‍යන්තර අවධානයක් දිනා ගත්තෙකි. විශේෂයෙන් 2019 එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතා ඔහු කළ කතාවට බොහෝ පැසසුම් තිබුණි.
ඔහු ලැබූ ජාත්‍යන්තර පැසසුම් කෙසේ වෙතත් ඔහුගේ ආණ්ඩුවෙන් සාමාන්‍ය ජනතාවට වැදගත් කිසිවක් නොවුණේ යැයි එරට ඇති මතයකි. ඉස්ලමාබාද්හි විද්‍යා හා තාක්ෂණික ජාතික විශ්වවිද්‍යාලයේ චීන හා ගෝලීයකරණ කේන්ද්‍රයෙහි සාමාජික, මහාචාර්ය සමීර් අහමද් අවාන්ජුලි 20 වන දින දකුණු ආසියානු විද්‍යුත් සඟරාවකට ලියූ “වත්මන් පාකිස්තානයේ දේශපාලනය” මැයෙන් වූ ලිපියෙහි සඳහන් කෙරෙන්නේ “පකිස්තාන ජනතාව ඔහුට ඡන්දය දුන්නේ විශාල බලාපොරොත්තු ඇතිවය. ඔහු විශ්වාස කරමින්ය. අවාසනාවකට හැම පොරොන්දුවක්ම වාගේ බිඳ වැටී ඇත” යනුවෙනි.

එහි මහාචාර්ය අවාන්ට අනුව ඉම්රන් ඛාන් 1996 දී පිහිටුවා ගත් “පකිස්තානි ටෙහ්රික්-ඊ-ඉන්සාෆ් (පී.ටී.අයි) පක්ෂය” ආධුනිකයන්ගේ පක්ෂයක් වූ අතර, විපක්ෂ දේශපාලනයේ දී කියූ කෙරූ කිසිවක් ආණ්ඩුවක් ලෙස ඉටු කිරීමට තරම් දැනුවත්කමක් හා අත්දැකීම් එහි නොවන බවය. එනිසා ඔහු ඔහුගේ වෘත්තීමය විශේෂඥ කණ්ඩායම ලෙස පත්වීම් ලබා දී ඇත්තේ ඡන්දයෙන් තෝරා පත් නොකෙරුණු, ද්විත්ව පුරවැසිකම් ඇති, විදේශගත ප්‍රභූ පැලැන්තියේ පිරිස් සඳහාය. අගමැති ඛාන්ගේ මේ පිරිස අසාර්ථක යැයි පොදු සමාජ පිළිගැනුමක් ඇති බව මහාචාර්ය අවාන්ගේ මැනීමය.

එවන් පසුබිමක “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පකිස්තාන ව්‍යාපාරය” පාරට බැස ඇත්තේ ඉම්රන් ඛාන් ආණ්ඩුව ඉවත් කිරීම වෙනුවෙනි. බූතෝ පවුලේ “පකිස්තාන ජනතා පක්ෂය” හා නවාස් ෂරීෆ්ගේ “පකිස්තාන මුස්ලිම් ලීගය-නවාස්” පක්ෂය ඇතුළු ප්‍රාන්ත හා කුඩා දේශපාලන පක්ෂ කොරෝනා වසංගතය නොතකා යෝධ ඒකාබද්ධ සමුළුවක් 2020 සැප්තැම්බර අගදී පවත්වා “ප්‍රජාතන්ත්‍රවාදය සඳහාවන ‘‘පකිස්තාන ව්‍යාපාරය” පිහිටුවා ගත්හ. වසරේ අවසන් මාස 03 ඔවුහු ඛාන් ආණ්ඩුව ඉවත් කිරීමේ යෝධ රැලි සඳහා වෙන් කළහ. පළමු රැලිය ඔක්තෝබරයේ දී ගුජ්රන්වාලාහි ඉතා සාර්ථකව පැවැත් වූහ.
පාකිස්තාන විපක්ෂ දේශපාලන ඉතිහාසයේ මෙතෙක් නොවුණු මූලික වෙනසක් මේ ඒකාබද්ධ විරෝධතා ව්‍යාපාරයේ ඇතැයි විචාරකයෝ පවසති. පළමු වරට ඔවුහු යුද හමුදාව බරපතළ විවෘත විවේචනයකට ලක් කරති. ඉම්රන් ඛාන්ගේ ආණ්ඩුව ජනතා ඡන්දෙන් තෝරා පත් කෙරුණු ආණ්ඩුවක් නොව, හමුදාව විසින් තෝරා ගන්නා ලද ඔවුන්ගේ ආණ්ඩුවක් යැයි චෝදනා කෙරෙති. ලන්ඩනයේ සිට ගුජ්රන්වාලා රැළිය ඇමතු නවාස් ෂරීෆ් කියුවේ “අපි විරුද්ධ ඉම්රන් ඛාන්ට නෙවෙයි. අපි විරුද්ධ එයාව තෝරගන්න මැතිවරණය දූෂණය කර, අකාර්යක්ෂම ආණ්ඩුවක් පිහිටුවා රටම අගාධයට ඇද දමන අයටයි” කියාය.

ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණ මුල පිරුවේ “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පකිස්තාන ව්‍යාපාරය” පිහිටුවීමෙනි. ඒ සඳහා කරුණු 26 ක් මුල් කරගත් යෝජනාවක් සම්මත කෙරුණි. එය මාධ්‍යයට ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුවන එහි සභාපති මවුලානා ෆස්ල් උර් රෙහ්මාන් කියුවේ, “වත්මන් පාලකයන් බලයට ගෙන ඒමට මැතිවරණය දූෂණය කළ අයම මේ ආණ්ඩුවට ලබාදෙන ස්ථාවරත්වය ප්‍රෝඩාකාරී” යැයි කියාය. හමුදා සහාය ලබන ඛාන්ගේ ආණ්ඩුව ඉවත් කිරීමේ ඔවුන්ගේ අවසන් විරෝධය ජනවාරි මාසයේ ඉස්ලමාබාද් දක්වා වන යෝධ පා ගමනකින් අරඹන්නකැයි සභාපති මවුලානා ෆස්ල් උර් රෙහ්මාන් සැප්තැම්බරයේ දී මාධ්‍යයට කියුවේය.

කොළඹට පැමිණි පකිස්තාන අගමැති ඉම්රන් ඛාන්ගේ දේශපාලනයේ ඇත්ත ශේෂ පත්‍රය ඒ අනුව කවරක්ද?
පළමුවැන්න, ඔහු ජාත්‍යන්තරව ලැබූ පිළිගැනුම චීනය සමග වර්ධනය වුණු ආර්ථික හා දේශපාලන යැපීම සමග අහෝසි වූවකි. ඔහුගේ ජාත්‍යන්තර දේශපාලනය ද චීනය විසින් තීන්දු කරනු ලබන තරමට ඉම්රන් ඛාන් චීනයට යටත්ව ඇත. ඒ හේතුවෙන් චීන සිංජියැං ප්‍රාන්තයේ මිලියන 02 ට වැඩි උයිගුර් මුස්ලිම් ජනතාව මුහුණ දෙන දැඩි හමුදා මර්දනය සහ මියන්මාරයේ හමුදාව විසින් දියත් කළ රොයිංගියා මුස්ලිම් සමූහ ඝාතන සම්බන්ධව ඉම්රන් ඛාන් දැඩි නිහැඬියාවක් රකින්නෙකි.

පාකිස්තාන් ආර්ථිකය ද දැන් මුළුමනින් චීන සැලසුම් මත රැඳුනකි. ලොව දැවැන්තම ව්‍යාපෘතියක් වන චීන “මහමාර්ග හා මුහුදු මාවත් සැලසුම” මත පකිස්තාන “සංවර්ධනය” තීන්දුකර ඇත. ඒ සඳහා“චීන-පකිස්තානි ආර්ථික පථය”වෙනුවෙන් චීනය ඩොලර බිලියන 62 ක් ණය වශයෙන් ලබා දෙන්නේය. ලොව ගැඹුරුම වරාය ලෙස සැලකෙන දකුණු පකිස්තානයේ බලොකිස්තාන ප්‍රාන්තයේ පිහිටි අරාබි මුහුදට විවෘත වන ග්වාදෝර් වරායේ සිට වයඹ පකිස්තානයේ ඉහළ මායිම හරහා චීනයේ සිංජියැං ප්‍රාන්තයේ දකුණු දුම්රිය මාර්ගයේ කශ්ගාර් දක්වා විශාල ප්‍රදේශයක් එමගින් ආවරණය කෙරෙන්නේය. නවීන දුම්රිය හා මහාමාර්ග ජාලයක් ඒ යටතේ ඉදි කෙරෙන්නේය. ඊට අමතරව ලොව විශාලම සූර්යතාප බලාගාර සංකීර්ණය ද, කාර්මික නගර හා වෙළඳ කලාප ද ඩොලර බිලියන 11 ක් වැය කෙරෙන ප්‍රවාහන ජාල අලුත්වැඩියාව ද ඇත. මේ සියල්ල හේතුවෙන් ඉම්රන් ඛාන්ට චීනයෙන් පිට විය නොහැකි යැයි ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වන්නේය.

දෙවැන්න ඔහු සාම්ප්‍රදායික මුස්ලිම් ලෝකයෙන් පිටමං වීමය. ඉන්දියාව සමග වූ ආසන්නම ජම්මු හා කශ්මීර් ගැටුමෙහි දී මුස්ලිම් රටවල් 57 ක “ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයෙහි” මැදිහත්වීමක් ඉල්ලා සිටි ඉම්රන් ඛාන් ආණ්ඩුව එය නොවන්නේ නම් විකල්පයක් සෙවිය යුතු යැයි කළ ප්‍රකාශය මුස්ලිම් නායකයන් අතර දැඩි නුරුස්නාවකට හේතු විය. සාම්ප්‍රදායික මුස්ලිම් රාජ්‍ය අතහැර තුර්කිය හා මැලේසියාව සමග හවුලක් සඳහා අවධානය යොමු කිරීම තත්ත්වය තවත් බරපතළ කෙරුවකි. පාකිස්තානයට තම ආර්ථික අර්බූදය සමනය කර ගැනීමට2018 නොවැම්බරයේ දී සවුදි අරාබිය පොලී රහිතව ලබා දුන් ඩොලර බිලියනයක ණය මුදල හා ඛනිජ තෙල් මිලට ගැනීමේ දී දෙනු ලැබූ සහන වහා අත්හිටවනු ලැබිණ. ඒ සමග එමිරේට්ස් රාජ්‍යය ද ඛනිජ තෙල් සැපයුම වෙනුවෙන් ලබා දී ඇති සහන අත්හිටුවීමේ අවදානමකට පකිස්තානය මුහුණ දී ඇත.

තෙවැන්න, ඔහුට එරෙහි විපක්ෂ විරෝධය වඩ වඩා ශක්තිමත් වීමය. ආර්ථික බිඳ වැටීම පාලනයකර ගැනීමට ආණ්ඩුවට පැහැදිලි සැලසුමක් තවමත් නොමැත්තෙන් එය විපක්ෂයේ වාසියට හේතු වනු ඇත. ආර්ථික අර්බූදය සඳහා අගමැති ඛාන් සහන අපේක්ෂා කරන්නේ චීන ණය වෙනුවෙන් සියයට 01 ක හෝ 01.5 ක පොලියක් වෙනුවෙන් කේවල් කිරීමෙනි. චීනය ඔවුන්ගේ සැලසුම් වෙනුවෙන් සැලකිය යුතු දුරක් පාකිස්තානය කැන්දන් විත් ඇති බැවින් පාකිස්තානයට පොලිය ප්‍රශ්නයක් කරගෙන ආපසු යා නොහැක. පසුගිය අගෝස්තු වනවිට තිබූ ඩොලර බිලියන 270 ක ණය කන්දරාව සමග ඉම්රන් ඛාන් පාලනයට තව ණය ගැනීම් මිස වෙනත් ආසන්න විසඳුමක් නැත. එනිසා ඒකාබද්ධ විපක්ෂය ආර්ථික අර්බූදය විසින් ජනතාව මත පටවන බර ඔවුන්ගේ වාසියට ගැනීම අලුත් දෙයක් නොවන්නකි.

ඒ සියල්ල සම්පිණ්ඩනය කළහොත් හෙට අනිද්දා කොළඹට එන ඉම්රන් ඛාන් චීන දේශපාලන බල අධිකාරයෙන් පිට විය නොහැකි පමණට ආර්ථික වශයෙන් කොටුව ඇති, සාම්ප්‍රදායික මුස්ලිම් ලෝකයේ බලසම්පන්න රාජ්‍ය නායකයන් විසින් අතහැර දමනු ලැබූ, දේශීය ආර්ථික අර්බුදය හමුවේ ජනතා අප්‍රසාදයට ලක්වන හා ඒ සියලු අවාසි අර්බූද හේතුවෙන් හමුදා හයිය මත නඩත්තු වන්නට සිදුවන නායකයකු බවට පත් වූවෙකි.

ප්‍රශ්නය ඇත්තේ එවැනි කලාපීය රාජ්‍ය නායකයකු සමග ශ්‍රී ලංකාණ්ඩුවට මේ වකවානුවේ ගොඩ නගා ගත හැකි වාසිදායක රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුව කුමක්ද? යන්නය. උත්තරය ඇත්තේ එවැනි නායකයන් මිස මේ වකවානුවේ ආසියානු කලාපයෙන් නම්බුකාර පිරිසුදු රාජ්‍ය නායක නායිකාවන් සොයා ගත නොහැකිවීමෙහිය. ගෝලීය විවෘත වෙ​ෙළඳ​ පොළ ආර්ථිකයෙහි නම්බුකාර පිරිසුදු දේශපාලනයක් ඉතිරිව නැතැයි යන්නට එය හොඳ සාක්ෂියකි. එබැවින් බාල දේශපාලනයක් සමග අර්බූදවලට හසුව ඉන්නා රාජ්‍ය නායකයන්ට ආරම්භ කළ හැකි එක ගනුදෙනුවක් වන්නේ අර්බූද සඳහා කලාපීය වශයෙන් පොදු විසඳුම් සෙවීමය.
අපට ද එය එලෙසින්ම අදාල වන්නකි. කොරෝනා වසංගතය හමුවේ අපට නැවත විවෘත වෙළඳපොළ ආර්ථිකය ගොඩගසා ඇති ඛේදවාචක වෙත ගොසින් එදා නොතිබුණු විසඳුම් අද සෙවිය නොහැක.එනිසා අපට විසඳුම් සෙවිය හැක්කේ ද ශක්තිමත් කලාපීය හවුලක පංගුකාරිත්වයක් ඇතිවය. ඉම්රන් ඛාන්ගේ පැමිණීමෙහි ඇත්තේ එවැන්නක් සඳහා සූදානමක් ඇත්තේ නම් පමණි.

මේ වනවිට දකුණු ආසියානු කලාපීය සංවර්ධන සහයෝගිතාව (සාක් සංවිධානය) ඉන්දීය පාකිස්තාන බල අරගලය හේතුවෙන් අකර්මණ්‍ය කෙරුණකි. නේපාලයෙන් පසු 2016 වසරේ පාකිස්තානයේ ඉස්ලමාබාද් නුවර පැවැත්වීමට තිබූ සාක් රාජ්‍ය නායක සමුළුව ඉන්දියාව සහභාගි නොවීමේ හේතු කොටගෙන නොපැවැත්විණ. අවුරුදු 05 ක් නොපැවැත්වුණු සාක් රාජ්‍ය නායක සමුළුව වෙනුවට ඉන්දියාව ගිය අවුරුද්දේ කොරෝනා සඳහා සාක් අරමුදලක් පිහිටුවීමට පුරෝගාමි විය. එයම සාක් කලාපීය හවුලක ඇති වැදගත්කම අවධාරණය කෙරුණකි.

සාක් සංවිධානය 1985දී පිහිටුවන විට එහි අනාගත දැක්ම ලෙස සාමාජික රටවල් 07 විසින් (දැන් 08 කි) ඒකමතිකව සහතික කරගත් “අන්‍යෝන්‍ය ගරුත්වය, සමානාත්මතාව සහ සාමුහික පල ප්‍රයෝජන මත ගොඩ නගන්නා වූ පොදු ආයතනගත ක්‍රමයක් සඳහා” පියවර ගැනීම ආරම්භයේ සිටම ඉන්දියානු විශාලත්වය හා බලය මත වළකනු ලැබිණ. එය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් තහවුරු කළ සමානාත්මතාව සඳහා ඉඩ තැබූ සංවිධානයක් නොවුණි. එනිසා යුරෝපා සංගමය තුළ ප්‍රංශය හා ජර්මනිය අතර තිබූ දීර්ඝ කාලීන ඓතිහාසික ප්‍රතිවිරෝධ විසඳා ගත් අයුරින්, ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති අවුරුදු 75 ක ප්‍රතිවිරෝධ විසඳා ගැනීමේ කිසිදු උත්සාහයක් සාක් සංවිධානයෙහි නොවුණි.

ප්‍රජාතන්ත්‍රවාදී කලාපීය ගොනුවකට අවශ්‍ය එක් යාන්ත්‍රණයක් ලෙස “සාක් මානව හිමිකම් කොමිසමක්” පිහිටුවීම සඳහා 2009 දී තිම්පු නුවර සමුළුවේ දී එදා මාලදිවයින් ජනාධිපති වූ මොහොමඩ් නශීඩ් යෝජනා කළ නමුත් ඉන්දියාව හා පාකිස්තානය පමණක් නොව, රාජපක්ෂලාගේ ශ්‍රී ලංකාණ්ඩුව ද ඊට කන් නොදුන්හ. එවැනි කෙටි කාලීන තීන්දු තවදුරටත් වලංගු නොවන බව මෙදා රාජපක්ෂ ආණ්ඩුව තේරුම් ගත යුතුව ඇත. එවැනි තීන්දු හේතුවෙන් සාක් කලාපය ආර්ථික වෙළඳ හවුලක් ලෙස දියුණු කිරීමට නොහැකි වූයෙන් විශාල කලාපීය වෙළඳපොළකින් ලබාගත හැකි වාසි හැම සාමාජික රටකටම අහිමි විය. කලාපීය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ සමග ගනුදෙනු කිරීමේ සම්ප්‍රදායන් දේශීයව තහවුරු කරගැනීමේ හැකියාව ද හැමට අහිමිව ඇත. බාහිරින් පැමිණෙන භූ-දේශපාලන තෙරපීම් කලාපීය පොදු වගකීම් ලෙස බාර ගැනීමට ඇති අවකාශය ද එනිසාවෙන් තවමත් අහිමිව ඇත.

මේ වකවානුව ඩොලර ට්‍රිලියන ගණන් ණය කන්දරාවන් කර ගසාගෙන ඉන්නා රටවලට ප්‍රජාතන්ත්‍රවාදී සාක් කලාපීය හවුලක් විසින් තහවුරු කරනු ලබන ලෝක ජනගහනයෙන් සියයට 21 ක් වන බිලියන 1.9 ක ජනතාවකගේ සක්‍රීය වෙළඳපොළ මග හැර යා නොහැකි බව, ඉම්රන් ඛාන් හා කෙරෙන සාකච්ඡාවල පදනම වන්නේ නම් එයම රාජපක්ෂලාගේ ජයග්‍රහණය වනු ඇත. එය ඉම්රාන් ඛාන් පිටත්ව යාමට පෙර අපට දැන ගත හැකි වනු ඇතැයි සිතමි.


(***)

(කුසල් පෙරේරා)