මෙවර ජනපතිවරණ තරගයේ පෙනෙන්නට තිබෙන සුවිශේෂී ලක්ෂණයක් ඇත. එය නම් පාලක සභාග රජය අභ්‍යන්තරයේ බුර බුරා නැගෙමින් තිබෙන අන්තර් පක්ෂ ගැටුම්ය.

 

 

 

 

කණගාටුවට කාරණය වන්නේ මෙසේ ගැටුම් ඇතිකරගෙන සිටින බොහෝමයක් දෙනා එසේ සිදුකර තිබෙන්නේ තම දේශපාලන පක්ෂය හෝ ජාතික මට්ටමේ ගැටලූ සැළකිල්ලට ගෙන නොව තම තමන්ගේ දේශපාලන අනාගතය අරබයා වීම නිසාවෙන්ය. සිය පෞද්ගලික ගැටලූ විසදාගැනීමට මෙසේ ඔවුන් වෙහෙස වෙමින් සිටීම හමුවේ තමන්ව බලයට ගෙන ඒමට කැමැත්ත දුන් ජනතාව වෙත නිසි යුතුකම ඉෂ්ඨ කිරීමට තිබූ කාලය ඔව්හු නාස්ති කළහ. 

මහා පරිමාන වංචා හා දූෂණවල නියැලී සිටියවුන්ව නීතිය හමුවට ගෙන ඒම එවැන්නකට උදාහරණයකි. 2015 දී එවක විපක්ෂය දියත් කළ මැතිවරණ ව්‍යාපාරයේ වැඩි බර දරා සිටියේ මෙම පොරොන්දුව වූ අතර යහපාලනය ස්ථාපිත කරන බවට ද දුන් පොරොන්දුව ඔවුන්ව ජයග‍්‍රහණය කරා එසවූයේ ය.

එසේ සිදුව දැන් වසර හතර හමාරක් ගතව අවසන්ය. වංචාව සහ දූෂණය එදාටත් වඩා වැඩියෙන් අද සිදුවන බව රහසක් නොවේ. එදා සිටි කෝටි - ප‍්‍රකෝටිපතියන් අතලොස්ස වෙනුවට අද එවන් කෝටි - ප‍්‍රකෝටිපතියෝ අත පිරෙන්නටම සිටිති. 

යහපාලනය ස්ථාපිත කිරීමෙහි ලා රජය අපොහොසත් වීම පසුගිය අපේ‍්‍රල් මස 21 වැනිදා පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවකින් පුද්ගලයින් 268 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීමට මං පෑදීය. මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ස්ථාපිත කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් එය පිළිගත්තේ අන් කවරෙකුත් නොව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාමය. 

පාස්කු ඉරිදා සංහාරය අරබයා එම කමිටුව හමුවේ මෙන්ම වැඩිදුර විමර්ශන කටයුතු පවත්වමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හමුවේද, නොයෙක් ආන්දෝලනාත්මක කරුණු කාරණා අනාවරණය වෙමින් තිබේ. 

ප‍්‍රහාරයෙන් මරණයට පත්වූවන් සහ තුවාළ ලැබූවන් වෙනුවෙන් නොබියව පෙනී සිටින කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝද පාස්කු ඉරුදින සංහාරය අරබයා විමර්ෂණ පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් තමාට පැහැදීමක් නොමැති බව පසුගියදා ප‍්‍රකාශ කළෝ ය. ඒ අතරවාරයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශයක් නිකුත් කරමින් බලයට පත්වුවහොත් පාස්කු ඉරුදින සංහාරය පසුපස තිබෙන සැබෑ තොරතුරු අනාවරණය කරගැනීම සදහා ස්වාධීන විමර්ශන  කොමිසමක් පත්කරන බව පවසා ඇත. විමර්ශන කටයුතු පැවැත්වීමෙහි ලා වගකිවයුත්තන් පවා එම විමර්ශන  ඕනෑවට එපාවට සිදුකරමින් සිටින ආකාරයක් පෙනෙන්නට තිබේ.

එක අතකට එවන් ප‍්‍රතිචාර පළවීමේ පුදුමයක් ද නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පසුගියදා ප‍්‍රසිද්ධියේම කියා සිටියේ පාස්කු ඉරිදා සංහාරය සිදුකළ මුස්ලිම් අන්තවාදීන් සහ අයි.එස්. සංවිධානය අතර සබදතාවයක් තිබූ බවට කිසිදු සාක්කියක් නොමැති බවය. ජනපතිවරයාව ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක ඉන්දියා බුද්ධි අංශය නියැළී සිටින්නට ඉඩ තිබෙන බවට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවේ පවසා සිටියේද, කලක් තායිලන්තයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරියකු ලෙස සේවය කළ මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාමය. 

මෙම ප‍්‍රකාශය හමුවේ ජනපති සිරිසේන මහතා එම බුද්ධි ඒජන්සියට - පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය හෙවත් රෝ සංවිධානයට පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති කැබිනට් රැස්වීමක දී චෝදනා කළ අතර, එය ශී‍්‍ර ලංකා - ඉන්දියා සබදතා ඉතා අවදානම් සහගත තත්ත්වයකට පත් කළේ ය. 

දූෂණ විරෝධී කි‍්‍රයාකාරියකු යැයි තමන්ම හදුන්වාගත් නාමල් කුමාර නැමැත්තෙක් එසේ ජනපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් පවතින බවට අනාවරණයක් සිදුකිරීම මෙයට පසුබිම සැපයූ සිදුවීම විය. මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගත් ප‍්‍රහාර එල්ල කළේයැයි චෝදනාව මත පසුගිය මැයි මස 14 වැනිදා සිට කුමාර පසුවන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත ප‍්‍රකාරව පොලිස් අත්අඩංගුවේය. එම පණත යටතේම ජනපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළේ යැයි යම් මානසික ව්‍යාධියක් තිබූ ඉන්දියා ජාතිකයෙක් ද අත්අඩංගුවට ගැනුණු අතර, පසුව කිසිදු සාක්කියක් ඔහුට එරෙහිව සොයාගත නුහුණු තැන එම ඉන්දියා ජාතිකයා නිදහස් කෙරිණ. 

වසරක සේවා දිගුවක් ලැබ, විශ‍්‍රාම විය ද ඉක්මවා තවමත් සේවයේ නියැළී සිටින මෙම නිලධාරියාට විදෙස් අතපෙවීම් සම්බන්ධයෙන් ඇති දැනුම ගෙනහැර දැක්වීමට මෙය ප‍්‍රමාණවත්ය.

දශක තුනක අන්තවාදී යුද්දයකින් ලැබූ පන්නරයෙන් ඉතා උසස් මට්ටමේ බුද්ධි අංශයක් බවට පත්ව තිබූ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඒකකය (ඞී.එම්.අයි.) පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ පසුබිම සම්බන්ධයෙන් සැළකිය යුතු බුද්ධි තොරතුරු ප‍්‍රමාණයක් අනාවරණය කරගෙන තිබුණු බව වගකිවයුතු ආරංචි මාර්ගයන්ගෙන් දැනගැනීමට සන්ඬේ ටයිම්ස් හට හැකිවිය. මෙරට සිටි මුස්ලිම් අන්තවාදීන්ට අයිඑස් සංවිධානය හා ශක්තිමත් සබදතා පැවැති බවට සාක්කි සොයාගෙන තිබූ එම නිලධාරීන්, ඔවුන්ගෙන් ඇතැමෙක් නම් වශයෙන් ද හදුන්වා දී තිබී ඇත. 

කෙසේවුවත්, යහපාලන රජය බලයට පැමිණි අවස්ථාවේ සිට එහි ප‍්‍රබල දේශපාලන නායකයින් ඇතැමෙක් ඞී.එම්.අයි. හි කාර්යභාරය නොකළකා හැරියා පමණක් නොව අවතක්සේරුවට ද ලක් කළ අතර, එවන් ඒකකයක කටයුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යහපත් නොවන බව ද ඔවුහු පැවසූහ. නමුත් සත්‍ය එය නොවේ. ඔවුන් එසේ කීවේ සහ කටයුතු කළේ පෞද්ගලික අරමුණු මත පිහිටාය. 

මේ නිසා බුද්ධි නිලධාරීන් සොයාගත් වටිනා බුද්ධි තොරතුරු ඔවුන්ගේ පරිගණකවලට සීමා විය. ජාතික ආරක්ෂක කවුන්සිල රැුස්වීම් ද නිසි ආකාරයෙන් නොපැවැත්වීම ආරක්ෂාව සම්බන්ධයෙන් ඔඩුදුවමින් පැවැති ගැටලූ තවත් බරපතල තත්ත්වයට පත් කළේය. මේ සියල්ල සිදුවෙමින් පැවැතියේ රටේ ජනතාවගේ කෝටි ගණනක මුදලින් ඉතාම ඉහළ මට්ටමේ මිලිටරි යාන්ත‍්‍රණයක් පවත්වාගෙන යමින් තිබූ, එසේ වුවත් එය නොසළකා හැර තිබූ වාතාවරණයකය. 

කෝටි ගණනක එම මිලිටරි යාන්ත‍්‍රණයට නිසි පරිදි කි‍්‍රයාත්මකවීමට අවසරය සහ අවස්ථාව හිමිවූයේ පාස්කු ඉරිදා සංහාරයෙන් පසුවය.

නීතිය හා සාමය බිද වැටිණ. පොලිසිය කි‍්‍රයාත්මක වූයේ මහා පරිමාණ සිදුවීමකින් පසුව පමණකි. මිනිස් ඝාතන රැල්ලක් මෙන් ඉහළ ගිය අතර, එයට නොදෙවනි අයුරින් රිය අනතුරු සිදුවන ප‍්‍රවණතාවය ද ඉහළට ගියේය. මත්කුඩු ජාවාරම ඉහළින්ම සිදුවිය. පොලිසිය දේශපාලනීකරණය කැරිණ. ඔවුන් දේශපාලනඥයින්ගේ අතකොලූ බවට පත්විය. රටේ ප‍්‍රධාන බුද්ධි සේවයේ සහාය ලබාගැනුනේ ජාතික ආරක්ෂාවය බලපාන කාරණා අනාවරණය කරගැනීමට නොව දේශපාලන එදිරිවාදීන්ගේ තොරතුරු හාරා ඇවිස්සීමටය.

ආරක්ෂක ක්ෂේත‍්‍රයේ මේ සා අර්බුදයක් ඇතිවීමට ප‍්‍රධානම හේතුව එහි ඉහළම පුටු හොබවන ඇතැම් පුද්ගලයින්ට බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමට හෝ පිළිගැනීමට තරම් බුද්ධියක් තබා සාමාන්‍ය දැනීමක් ද නොමැතිවීම බව ඉ`දුරාම කිව හැකිය. ඔවුන් ලබා තිබෙන උසස්වීම් සහ පදවි තානාන්තර පසුපස තිබෙන්නේ දේශපාලන ප‍්‍රශස්ති ගායනාය. එහි ප‍්‍රතිඵලයක් ලෙස රටේ ආරක්ෂක ක්ෂේත‍්‍රයේ ඇතිව තිබෙන හිඩැස් දැන් සැගවිය නොහැකිය.

ජනපතිවරණයට තවත් ගෙවීමට තිබෙන්නේ සති කිහිපයකි. විදුලි වේගයෙන් කි‍්‍රයාත්මක වන තත්ත්වයකට පත්ව සිටින නීතිපති දෙපාර්තමෙන්තුව දිගු කාලයක් මුළුල්ලේ පැවැත්වෙමින් තිබූ විමර්ශන අරබයා චෝදනා ගොනු කිරීමට පටන්ගෙන ඇත. පසුගිය වසරේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය හේතුවෙන් ආර්ථිකයට මරු පහරක් එල්ල වූ බවට මැසිවිලි නැගූවෝ දැන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන අදහස් දක්වන්නෝය. දහස් ගණනින් රැකියා බෙදා හැරෙමින් තිබෙන්නේ බොහෝ විට සුදුසුකම් ඇතියවුන්ට නොව දේශපාලන ගැත්තන්ටය. ඒ, ඉදිරි මැතිවරණයේ දී ඔවුන්ගේ ඡුන්දය අපේක්ෂාවෙන්ය.

රටේ ඊළග ජනපතිවරයා පත්වන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් බව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගිය වසරේ දී පැවසුවේය. එතැන් පටන්, රැය ගෙවී උදැෑසන උදා වන්නාක් මෙන් ඔහු, වරින් වර සිය ස්ථාවරය මාරු කළේය. 

ගෙවුණු සතිය ඒ අරබයා ඔහුට අතිශයින් වැදගත් වූ අතර, ඇතැම් විට ඉදිරියට ඔහු දැනට එළැඹ සිටින ස්ථාවරය වෙනස් කිරීමට ජනපතිවරයාට සිදුනොවනු ඇත. කෙසේවුව ද, එය තීරණය වන්නේ ඔහු සිය අදහස වෙනස්කර නොගන්නාතාක් පමණකි. 

ජනපති සිරිසේන මහතා මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන්නේ නැත. සිය දේශපාලන අනාගතය සහ ආරක්ෂාව සම්බන්ධයෙන්, දේශපාලනයේ සිය ප‍්‍රතිවාදියා වන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග එකගතාවයක් ඇතිකරගැනීමට පසුගිය සතියේ ජනපති සිරිසේන මහතාට හැකිවිය. 

2015 ජනපතිවරණයේ දී අගමැති වික‍්‍රමසිංහ මහතා හා එක්ව ජනපති සිරිසේන මහතා පහර පිට පහර ගැසූයේ ද මේ මහින්ද රාජපක්ෂටමය. දෙදෙන අතර එකගතාවයක් ඇතිකර ගත්තේ වුවත් ජනපතිවරයාට මුහුණදෙන්නට සිදුවනු ඇති තවත් දේවල් ද එමටය.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ ඇතිව තිබෙන ගැටුම් තවමත් අවසන්ව නොමැත. මෙම තීරුවෙන් සවිස්තරව වාර්තා කළ ආකාරයට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉතා ගැටුම්කාරී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් මෙහෙයවා එම වතාවට හෝ ජයග‍්‍රහණය තමන් සතුකර ගත්තේ පසුගිය පළමුවැනිදාය.

ජයග‍්‍රහණය දිනා ගත්ත ද, යම් යම් පසුබෑම්වලට ලක්වීමට ඔහුට සිදුවිය. එවන් තත්ත්වයක් උද්ගතවීමට ප‍්‍රධානම හේතුව වන්නේ වික‍්‍රමසිංහ මහතාගේ දෙවනියා වන සජිත් පේ‍්‍රමදාස මහතා පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙසට දිගින් දිගටම එල්ල වෙමින් තිබෙන බලපෑමය. පසුගිය සදුදා පැවැති එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැුස්වීමේදී ද මෙම කාරණය නැවත වරක් කරළියට පැමිණියේය. එහිදීත් එය මගහැර යාමට වික‍්‍රමසිංහ සමත්විය. නමුත් පේ‍්‍රමදාස ද සටන අතහරින සෙයක් පෙනෙන්නට නැත. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ඉදිරියටය.