ජාතික තවුහිත් ජමාත් ත්‍රස්ත කණ්ඩායම සමන්තුරේ සෙන්ගල් ග්‍රාමයේ සහ සමන්තුරේ නින්දවුර් යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුපුරන ද්‍රව්‍ය ගබඩා දෙකක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් ජාති මාමකයකුට රුපියල් ලක්ෂ 50ක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අනුමැතිය ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඉකුත්දා ප්‍රකාශයට පත් කළේය. එම ප්‍රසාද දීමනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ පිරිනැමිණ. 
අදාළ ඔත්තුකරු අප්‍රේල් 26 වැනි දින ලබාදුන් තොරතුරු දෙකකින් පොලිසියට හා හමුදාවට සෙන්ගල් ග්‍රාමයේ හා නින්දවුර් ප්‍රදේශවල පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවිය. එම තොරතුරු ඔහු අනාවරණය නොකළේ නම් රටේ ඇතිවිය හැකි තත්ත්වය අනුමාන කළ නොහැකි තරම්ය. එහෙයින් රට ඒසා විශාල විපතකින් මුදවා ගැනීමට දායක වූ අදාළ ඔත්තුකරු ඇගයීමට ලක් කිරීම අතිශයින්ම වැදගත්ය. එය වූ කලී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පුරවැසියා දිරිමත් කිරීමකි. ජාතික ආරක්ෂාව සක්‍රියව පවත්වාගෙන යාමට එබඳු දිරිමත් කිරීම් අත්‍යවශ්‍ය වූවකි. 

සහරාන්ලාගේ පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වන්නේ අප්‍රේල් 21 වැනිදාය. අප්‍රේල් 22 සවස් යාමය වනවිට රට සන්සුන් අතට හැරී ඇතැයි ප්‍රකාශයට පත්වූ මාධ්‍ය නිවේදන නිමක් නැති විය. එහෙත් සෙන්ගල් ග්‍රාමයේ හා නින්දවුර් ප්‍රදේශයේ මරාගෙන මැරෙන ත්‍රස්ත කල්ලියේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථාන පිළිබඳව අදාළ ඔත්තුකරු තොරතුරු සපයන්නේ අප්‍රේල් 26 වැනිදාය. එනම් පළමු ප්‍රහාරයෙන් දින 5කට පසුවය. 

පළමු ප්‍රහාරයෙන් දින 5කට පසු පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථාන අනාවරණය වීමෙන් පැහැදිලි වන්නේ මරාගෙන මැරෙන ප්‍රහාරකයන් සතුව නොනවතින ප්‍රහාරක රැල්ලක් තිබූ බවය. එහෙත් ඔත්තුකරුගේ මැදිහත්වීම නිසා එම සැලසුම් ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශවලට හැකිවිය. එහෙයින් එම ඔත්තුකරු අගැයීමට ලක් කිරීම අගය කළ යුත්තකි. 

පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථාන පෙන්වූ පුද්ගලයා ඔත්තුකරුවකු ලෙස හැඳින්වූවද ඔහු ඔත්තුකරුවකු නොවේ. සාමාන්‍යයෙන් ඔත්තුකරුවකු යනු රට තුළ ක්‍රියාත්මක බුද්ධි අංශ සමග සමීප සබඳතා පවත්වන්නෙකි. ඒ වෙනුවෙන් ඔහුට වැටුපක් හෝ දීමනාවක් ලැබේ. රටක බුද්ධි අංශය වඩාත් සාර්ථක වන්නේ එබඳු ඔත්තුකරුවන්ගෙන් සමන්විත ජාලයක් පත්වාගෙන යාමෙනි. එය බුද්ධි අංශයේම කොටසක් විනා ඉන් පරිබාහිර පුද්ගල පිරිසක් නොවෙති. 

සෙන්ගල් ග්‍රාමයේ සහ නින්දවුර් ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය ගබඩාකර තිබූ ස්ථාන පිළිබඳ තොරතුරු සැපයූ පුද්ගලයා එම තොරතුරු අනාවරණය කරන්නේ තමන්ට ඇතිවූ සැකයක් මතය. ඒ අනුව එයද අහම්බයකි. තමන් සමඟ ගමන් බිමන් ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් ඔහු ඔහුට ඇතිවන සැකය ආරක්ෂක අංශවලට අනාවරණය කිරීමෙන් පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවේ. 

සිද්ධි ගැළපීමෙන් පැහැදිලි වන්නේ පාස්කු ඉරිදා එක්දින මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු වනතුරුම බුද්ධි අංශ සතුව ශක්තිමත් ඔත්තු සේවා ජාලයක් නොතිබූ බවය. තිබුණේ වුවද ඒවා සක්‍රිය මට්ටමෙන් නොපැවැති බවය. දැන් බුද්ධි අංශ සක්‍රිය ද යන්න අමතර ප්‍රශ්නයකි. කෙසේ වෙතත් රටකට ශක්තිමත් බුද්ධි අංශ පවත්වාගෙන යෑමේ  වැදගත්කම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මනාව පැහැදිලි වේ. 

ආරක්ෂක අංශ සතුව සිද්ධි අංශ හා බුද්ධි අංශ යනුවෙන් අංශ දෙකක් පවතී. මේවා එකිනෙක පටලවා ගතයුතු නැත. සිද්ධි අංශ යනු කිසියම් සිද්ධියක් වූවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමය. එය එක් අතකින් එතරම් අසීරු කාර්යයක් නොවේ. ඇතැම් විට එබඳු පරීක්ෂණයකදී ඇසින් දුටු සාක්ෂි පරිවේනිය සාක්ෂි මෙන්ම ස්ථානීය සාක්ෂි ලැබේ. ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවා අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගත හැකිය. 

බුද්ධි අංශ යනු සිදුවීම් මෙන්ම ප්‍රවණතා සරලම අංශුවලට කඩා නිගමනවලට එළැඹීමය. නිගමනය අනාගතය සම්බන්ධයෙනි. අනාගතයේ දිනෙක මෙසේ සිදුවීමට ඉඩ තිබේ සහ නිගමනය ලබාදීම මගින් එම තත්ත්වය තුරන් කරගත හැකිය. ඒ සඳහා අදාළ අංශවලට පහසුකම් දිය යුතුය. ඔවුන්ගේ අනන්‍යතා අරක්ෂා කළ යුතුය. විවේක බුද්ධිය ලබාදිය යුතුය.

බුද්ධි අංශයක් සුළඟ මෙනි. සුළඟේ ක්‍රියාකාරිත්වය දැකිය හැකි නමුදු එය පියවි ඇසට නොපෙනේ. අතින් ඇල්ලිය නොහැකිය. බුද්ධි අංශද එසේමය. එබඳු බුද්ධි අංශයකට රටක අනතුරු කල් ඇතිව හඳුනා ගැනීමේ හැකියාව ලැබේ. ඉන්දීය බුද්ධි සේවය, ඇමරිකානු බුද්ධි සේවා ජාලය එයට කදිම උදාහරණ වේ. එබඳු බුද්ධි අංශයක් රටකට නොපවතින්නේ නම් සැකය මත තොරතුරු සපයන පුද්ගලයන් මත යැපීමට සිදුවේ. එය කොතරම් අවාසනාවන්ත තත්ත්වයක් දැයි තේරුම් ගැනීම අසීරු නොවේ.