මෙද‌ා තිළිණි යශෝධා ජයසූරිය මරා ගෙල සිඳලා කවන්ධය ගමන් බෑගයක බහා කුදලාගෙන ගොස් ඇත්තේ ද එද‌ා ඇඩ්ලින් විතාරණ මරා හෙලා සිරුර මතින් දෙවරක් රථය එළවා ගියේද කාන්තා දිනය සමරන මාර්තු මාසයේදීය. ඒ 1959 දීය. මේ 2021 වසරේය.

එද‌ා ගුරුවරයකු වූ ජයලාල් ආනන්දගොඩ නමැත්තා ඇඩ්ලින් විතාරණ නම් තරුණිය හා හාදවී ඇයගේ කුසට දරුවන්ද දී ඇය රථයේ නංවාගෙන විල්පත්තුවට ගෙන ගොස් ඉහත කී අයුරින් ඇය මරා වෛරයේ රථය ඇගේ සිරුර මතින් පදවා මහපාරේ ඇගේ සිරුර හුදෙකලා කොට යන්නට ගියේය.

මෙද‌ා අධිකාරී මුදියන්සේලාගේ ප්‍රේමසිරි නමැති පොලිස් නිලධාරියා යශෝධා ජයසූරිය සමග දින කිහිපයක් ගත කර ඇගේ ගෙල සිඳ දැමුවේය. ඇගේ හිස තවමත් සොයාගන්නට නැත.
එද‌ා ජයලාල් ආනන්දගොඩ අධිකරණ තීන්දුව යටතේ එල්ලුම් ගසේ හුස්ම හිරවෙනතුරු එල්ලී සිටියේය.

මෙද‌ා අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි තමන්ම තීන්දුව ලියාගෙන ගසක එල්ලී හුස්ම හිරකරගෙන මියගියේය.

ඇග්නස් විතාරණ වියපත් ගුරුවරියකි. වෙනද‌ා මෙන් එද‌ාද ඇග්නස් ටීචර් දිනපතා පත්තරයක් කියවමින් සිටියාය. ඒ පත්තරේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය කියවීමෙන් පසු ඇයගේ ඇස් උඩ ගියේය.
රූමතියකගේ මළ සිරුරක් අනුරාධපුර පුත්තලම පාරේ විල්පත්තුව ප්‍රදේශයේ තිබී ඊයේ අලුයම හමු වූ බවත් මැය ගැබිනියක් බවත් ඇයගේ සිරුර මතින් වාහනයක් කිහිපවතාවක් ගමන්කර තිබෙන බවත් ඒ ප්‍රධාන ප්‍රවෘත්තියේ සඳහන්ව තිබුණේ කාන්තාවගේ රුවද සමගය. පත්තරේ පළවී තිබූ විස්තරය අනුව ඇය තම නැගණිය වන ඇඩ්ලින් විතාරණගේ බව ඇග්නස් ටීචර්ට පහසුවෙන්ම හඳුනාගැනීමට හැකිවිය. මළ සිරුරේ වූ ඇඳුම් මගින්ද ඒ බවට ඇයට තහවුරු විය.

1956 මාර්තු මාසයේ 16 වැනිද‌ා නිකුත් වූ පුවත්පතේ රූමතියගේ අබිරහස් ඝාතනය ගැන විස්තර වාර්තා පළවී තිබිණි.

ඒ වන විට තරුණ ඇග්නස් ටීචර් නාවලපිටිය පැත්තේ පාසලක උගන්වමින් සිටියාය. ඇඩ්ලින් විතාරණ නම් වූ නව යොවුන් වියේ පසුවූ රූමත් තරුණිය හා කඩවසම් තරුණයකු වූ ආනන්දගොඩ අතර පැවති ආදර අන්දරය නිමාවට පත් වූයේ ගැබිනියක වූ ඇය සිය පෙම්වතා අතින් අමානුෂික ලෙස සහ කෲර ලෙස ඝාතනයවීමෙනි. මේ මිනීමැරුම අදටත් ප්‍රචලිතව ඇත්තේ විල්පත්තු මිනීමැරුම වශයෙනි.
ඇඩ්ලින් විතාරණ නම් රූමතියගේ අක්කා ඇග්නස් විතාරණ ගුරු මාතාව සොයා පසුගිය සඳුද‌ා අප කටුගස්තොට බලා ගියේ මීට වසර 61 කට පෙර සිදු වූ ඒ ශෝකාන්තය ඇයගේ වචනවලින්ම අසා දැනගැනීමේ අරමුණ ඇතිවය.

ඇග්නස් හා ඇඩ්ලින් යන දෙසොහොයුරියන්ගේ මව්පියන් වූයේ ඒබ්‍රහම් විතාරණ හා පුංචි මැණිකාය. ඒබ්‍රහම් ඇල්පිටිය, ගෝනගල ප්‍රදේශයේ සිට කටුගස්තොට ප්‍රදේශයට සංක්‍රමණය වී කුඩාවට බේකරියක් පටන්ගෙන ඇත. කටුගස්තොට බේකරිය කරගෙන යන අතරවාරයේ පුංචි මැණිකා දැන හඳුනාගෙන ඇය හා යුග දිවි ගමන් ආරම්භ කර තිබේ. වැඩිමල් දියණිය වූ ඇග්නස් උපත ලැබුවේ 1935 වසරේ වන අතර දෙවැනි දියණිය වූ ඇඩ්ලින් උපත ලබා ඇත්තේ 1937 වසරේදීය. දියණියන් දෙදෙනාම කුඩා කාලයේ සිටම ඉගෙනීමට උපන්හපන්කම් දක්වා ඇත.

අපේ තාත්තා ඒබ්‍රහම්ගේ. අම්මා සිදෝහාමි. එයා ජීවත්වුණේ ඇල්පිටිය ගෝනගල කියන ගමේ. 1959 වසරේ දවසක තාත්තාගේ අම්මා ගෝනගල පොළට ගිය වෙලාවේ වාහනයකට හැප්පිලා තියෙනවා. ඒ අනතුරින් ඇයගේ කකුලකට හානිවී හරිහැටි ඇවිද ගැනීමට නොහැකිවී තිබෙනවා. ඒ හින්ද‌ා තාත්තා එයාගේ අම්මාව කටුගස්තොට ගෙදරට කැන්ද‌ාගෙන එන්න කෝච්චියෙන් ගියා. ඒ යන ගමනට නංගි ඇඩ්ලින්ද ගියා. මට අද වගේ මතකයි. ඒ ගිය ගමනේදි කෝච්චියේ හිටිය තරුණයෙක් එක්ක කතාබහ කරලා හාදවෙලා තියෙන්නේ. මේ හාදකම මම දැනගත්තේ ගොඩක් කාලයකට පස්සේ. ලාල් අතපත්තු කියන තරුණයෙක් එක්ක තමා නංගි යාළුවෙලා තියෙන්නේ.

ඒ තරුණයා ලංකා බැංකුවේ වැඩකරන කෙනෙක් බවත් නංගි පසුකාලයක මට කිව්වා මතකයි. නංගිගෙන් ඒ තරුණයා ඇඩ්රස් එක ඉල්ලා තිබෙනවා. නංගි මුලදී එයාට අකමැතිවෙලා. අඳුනන්නේ නැති කෙනෙකුට ඇඩ්ඩ්‍රස් දෙන්න බැහැ කියලා. නමුත් ඒ තරුණයා දිගින් දිගටම ඇවිටිලිකළ නිසා නංගි ඔහුට ඇඩ්ඩ්‍රස් එක දීලා තියෙනවා. ඒ තරුණයාත් ඇඩ්ඩ්‍රස් එක බලෙන්ම වාගේ නංගිට දීලා. මේ විස්තර මාත් එක්ක කිව්වෙත් නංගි.

නංගි එක්ක කොච්චියේදි යහළුවුණ තරුණයාගේ සහෝදරයකුට රඹුක්කන කඩ තියෙනවා. ඔහු එද‌ා කොටුව ස්ටේෂන් එකෙන් කෝච්චියට නැගලා තියෙන්නේ ඒ සහෝදරයාගේ ගෙදර එන්න. කාර් එකක් අලුතින් සල්ලිවලට ගන්න රඹුක්කන එන බව ඔහු නංගි එක්ක පවසා තිබෙනවා.

අපේ තාත්තාගේ මහගෙදර ගිහින් ආපහු කෝච්චියෙන් මහනුවර එද්දි තමා මේ තරුණයා නංගිට මුණගැසී තිබෙන්නේ කියා මම දන්නවා. තාත්තයි නංගියි එක්ක අපේ කටුගස්තොට ගෙදර නවතින්න අසනීප වී සිටි තාත්තාගේ අම්මාත් ආවා මට මතකයි. නංගිට අසනීප වෙලා ගමේ වෙද මහත්තයෙක් ළඟට අම්මා එක්කගෙන ගියා. ඒ වෙද මහත්තයා නංගි  පරික්ෂාකාර බලා ගැබිනියක් බව අම්මාට කියා තිබෙනවා. එතකම් නංගි මේ කාරණය ගෙදරට වසංකරගෙන ඉඳලා තියෙන්නේ. අම්මා නංගිගේ දරුවාගේ තාත්තා කවුද කියා විමසා තිබෙනවා. ඒ වෙලාවේ නංගි කිව්වා ලාල් අතපත්තු කියා. ඔහු ලංකා බැංකුවේ වැඩකරන කෙනෙක් බවත් නංගි අම්මාට පැවසුවා.

නංගි තමාට බබෙක් ලැබෙන්න ඉන්නවා කියා ලාල් අතපත්තුට ලියුමක් දැම්මා. කටුගස්තොටදි තමා හමුවෙන්න කියා ලාල් අතපත්තු නංගිට ටෙලිග්‍රෑම් එකක් එවා තිබුණා. නංගි අපේ අම්මාත් එක්ක ලාල් අතපත්තු මුණගැහෙන්න කටුගස්තොට රේල්පාර ළඟට ගියා. අම්මා ඔහු මුල්වරට දැකලා තියෙන්නේ එද‌ා. ඊට පස්සේ ඒ තුන් දෙනාම කාර් එකකින් අපේ ගෙදරට ආවා මට අද වගේ මතකයි’’ යැයි ඇය අපහසුවෙන් වචන තෙපළමින් කීවාය.

ඇය තරමක අපහසුවෙන් කතාකළත් නංගිට වෙච්ච සිද්ධිය හොඳට මතකයේ පවතී. තව දුරටත් ඇග්නස් ගුරු මෑණියෝ මෙසේද පැවසුහ.

‘‘නංගිගේ පෙම්වතා අපේ ගෙදර ඇවිත් අපේ තාත්තා එක්ක සෑහෙන වේලාවක් කතාබහ කර කර හිටියා. මේ දවස්වල මම විභාගයකට සූද‌ානම් වෙනවා. ඒ විභාගය ඉවර වුණ ගමන් ඇඩ්ලින් කසාද බඳිනවා කියා ලාල් අතපත්තු අපේ අම්මා හා තාත්තා ඉදිරියේ පොරොන්දු වුණා. නංගිගේ වියදමට සල්ලි එවන බව කියා ලාල් අතපත්තු ගෙදරින් ගියා. තව දවස් දෙක තුනකින් ආයෙත් නංගිව බලන්න ගෙදර එනවා කියා තමා ඔහු ගියේ. ඒත් ආයෙත් කිසිම දවසක අපේ ගෙදර ඔහු ආවේ නැහැ. ඔහු අපේ ගෙදර ආවේ නැති නිසා අම්මයි තාත්තයි නංගියි හොඳටම කලබල වුණා.

සති කිහිපයක් ගත වී ගියත් ලාල් අතපත්තු අපේ ගෙදර නංගි බලන්න ආවේ නැති නිසා නංගි ඔහුට ලියුමක් ලිව්වා. එහෙම කෙනෙක් නොමැති බව සඳහන්කර ඒ ලියුම නැවත අපේ ගෙදරටම ආවා. ඥ‌ාති කෙනෙකුගේ බාරයේ කියා තමා නංගිට ලාල් ඇඩ්‍රස් එක දීලා තිබුණේ. බැරිමතැන අම්මා නංගි ද කැටිව පානදුරේ ඒ ඇඩ්‍රස් එක හොයාගෙන ගියා. ඒ ඥ‌ාති මනුස්සයා කළුතර පැත්තේ ඉස්කෝලෙක ගුරුවරයෙක් බව දැන ගැනීමට ලැබී තිබුණා. මේ ඥ‌ාති පුද්ගලයාගෙන් විස්තර අහද්දි නංගි එක්ක ලාල් අතපත්තු නමින් යාළුවෙලා ඉඳලා තියෙන්නේ වෙනත් කෙනෙක්. ඔහුගේ සැබෑ නම ජයලාල් ආනන්දගොඩ කියාත් ගුරුවරයකු බවත් ඔහුගෙන් දැන ගැනීමට ලැබිලා තියෙනවා.

කටුගස්තොට රෝහලේදී 1957 වසරේ අගෝස්තු මාසයේ 9 වැනිද‌ා ඇඩ්ලින් රෝස පොහොට්ටුවක් බඳු වූ පුංචි දූ සිඟිත්තියක් මෙලොවට බිහි කළාය. මව්පියන්ගේ ආධාර උපකාර ඇතිව ඇය ඒ පුංචි දූ සිඟිත්තිය ආදරයෙන් ඇති දැඩි කළාය.

‘‘දරුවා ලැබී කාලයකට පසු කෙසේ හෝ ඇඩ්ලින් ජයලාල් ඉන්නා තැනක් සොයාගෙන තමාව කසාද බඳින ලෙස ඔහුට කරදර කිරීමට පටන්ගෙන ඇත්තේ මොලොව බිහිකර සිටින දරුවාට පියකු අවශ්‍ය බව හඬා වැළපෙමින් පවසමිනි.

ජයලාල් ආනන්දගොඩ සොයාගෙන ඔහු උගන්වන පාසලටද කිහිපවතාවක් ගොස් තමා හැකි ඉක්මනින් විවාහකර ගන්නා ලෙස කරදර කරන්න පටන්ගෙන ඇත. ඇඩ්ලින් දෙවැනි වතාවටද මව් පදවියට පත්වූයේ මෙසේ ඔහු හමුවීමට ගිය අතරවාරයේය. තමා දෙවැනි වරටත් මව් පදවිය ලබා සිටින බව ඇඩ්ලින් ජයලාල් ආනන්දගොඩට කිව්වේ ළඟදී දවසක විවාහ කරගන්නා ලෙස ඔහු ඉදිරියේ බැගෑපත් වෙමිනි. නිතර නිතර විවාහ කරගන්නා ලෙස බල කිරීම ජයලාල් ආනන්දගොඩට මහත් හිසරදයක් විය. ඔහු ඒ වෙනවිටත් ධනවත් පවුලකින් විවාහයක් කර ගැනීමට සූද‌ානම්ව සිටියේය.

ඇඩ්ලින්ගේ කරදරයෙන් බේරීමට ඇය ඝාතනය කිරීමට තීන්දුකර ඒ සඳහා ආනන්දගොඩ විසින්ම සැලැස්මක් සකස්කර පොඩිසිංඤා සහ සිරිසේන යන පුද්ගලයන් දෙදෙනාගේද සහාය ලබාගත්තේය. ඔවුන් දෙදෙනාද කාර් රථයට ගොඩකරගත් ආනන්දගොඩ ඒ වන විට ඇඩ්ලින් සිටි කලවැල්ලෑව ප්‍රදේශයට ගොස් තිබේ. ඒ ඇය විවාහ කරගන්නා බවට පොරොන්දු වී තිබූ නිසාය. විවාහ කරගන්නා තෙක් ඇයට කලවැල්ලාවේ නවාතැන් සපයා තිබුණේද ආනන්දගොඩය. අපි යළිත් ඇඩ්ලින්ගේ සහෝදරිය වන ඇග්නස් ගුරු මාතාව කියන කතාවට සවන් දෙමු.

මගෙත් එක්ක ඉස්කෝලේ එකට උගන්වන ටීචර් කෙනෙක් පත්තරයක් ගෙනත් දුන්නා. ඒ පත්තරේ නම නම් දැන් මට මතක නැහැ. ‘රූමත් තරුණියක් ගෙල මිරිකා රථයකට යට කර මරාද‌ාලා’ කියා තමා ඒ පත්තරේ ප්‍රධාන සිරස්තලය වෙලා තිබුණේ. ඒ කාලයේ මිනීමැරුමක් ගැන වාර්තා වෙන්නේ බොහොම කලාතුරකින්.

මම නේවාසිකාගාරයේ කාමරයක පුටුවක වාඩිවෙලා හෙඩ්ලයින් එක කියෙව්වා. පුත්තලම අනුරාධපුර පාරේ තිබී සොයාගත් බවත් ඝාතනය කර ඇති ගැහැනිය ගැබිනියක බවත් ඇයගේ මළ සිරුර උඩින් කාර් රථයක් කිහිපවරක් ගමන් කර ඇති බවත් එම පුවත් වාර්තාවේ සඳහන්ව තිබුණා. මට හොඳට මතකයි. මළ සිරුරේ ඡායාරූප කිහිපයක් පළකර තිබුණා. මළ සිරුරේ තිබුණ ඇඳුම්වලින් මම මේ මළ සිරුර නංගිගේ බව මට පෙනීගියා. ඇයට ඒ වාගේ පාට සාරියක් තිබුණා බව මම දන්නවා.

මම හොඳටම බයවුණා. මම ඉස්කෝලේ මහත්තයාට කියලා නිවාඩු අරගෙන ඒ වෙලාවෙම නාවලපිටියේ ඉඳලා කටුගස්තොට ගෙදර එන්න පිටත්වුණා. ගෙදර ඇවිත් බලනකොට නංගි ගෙදර හිටියේ නැහැ. එයා දවස් කිහිපයකට කලින් ගෙදරින් පිටත්වෙලා ගිහින්. ඊට පස්සේ ඇවිත් තිබිලා නැහැ. පුත්තලම – අනුරාධපුරය පාරේ මරලා ද‌ාලා තියෙන්නේ නංගිම බව එයින් වඩාත් තහවුරු වුණා.

නංගිට කරදරයක් වෙලා තියන බව දැනගත්තාට පස්සේ මට ඉවසන්න බැරි වේදනාවක් ඇතිවුණා. අම්මා හා තාත්තා ද අඬන්න පටන්ගත්තා. මමයි නංගියි වැලිකෙළියේ ඉඳලාම පුදුම සහෝදර බැඳීමකින් හිටියේ. ඉස්කෝලේ යන කාලෙත් ඊට පස්සෙත් අපි දෙන්නා අතර ලොකු බැඳීමක් තිබුණා. නංගි හරිම අහිංසකයි. අම්මටයි තාත්තටයි මටයි හරියට ආදරෙයි. මේ වගේ සම්බන්ධයක් ඇති කරගෙන තිබුණට කීකරු ළමයෙක්. වංචාකාරයකුට රැවටුණ නිසා තමා මෙහෙම දෙයක් නංගිට සිද්ධවුණේ.

පත්තරේ තිබුණ විස්තරේ අම්මටයි තාත්තටයි කිව්වාට පස්සේ මම මේ ගැන අනුරාධපුරය පොලිසියට ගිහින් දැනුම් දෙන්න තීරණය කළා. ඊට පස්සේ අම්මත් එක්ක අනුරාධපුරය පොලිසියට ගියා. ඒ වෙනකොට නංගි ගැන හිතලා තාත්තා අසනීප වෙලා හිටියේ. ඒ නිසා අම්මයි මමයි විතරයි අනුරාධපුරයට ගියේ. අපි දෙන්නා බස් එකක නැගලා අනුරාධපුර පොලිසියට ගියා.

ඒ පොලිසියෙන් අපි දෙන්නව නංගි මරලා ද‌ාලා තිබුණ තැනට එක්කරගෙන ගියා. නංගි මරාද‌ාල තිබුණේ පුත්තලම – අනුරාධපුරය පාරේ විල්පත්තුව – තිඹිරිගස්වැව කියන හරියේ’.
මරා දමා ඇත්තේ තම නංගි බවට ඇග්නස් හඳුනාගත් ආකාරය ගැන සිය මතකය අවදි කළේ මෙසේය.

‘මළ සිරුර වසා දමා තිබූ රෙද්ද පොලිසියේ මහත්තයෙක් ඉවත්කළා. සිරුර දැක්ක ගමන් මම නංගිව හඳුනාගත්තා. වැලිකෙළියේ ඉඳලා ලොකු මහත් වෙනතෙක් එකට හිටිය මට නංගිව හඳුනාගන්න එක එතරම් අපහසුවක් වුණේ නැහැ. නංගි ජීවත්ව සිටියදී ඇතිව තිබූ සුව වූ තුවාල කැළැල් හා ඇඳුම් පැළඳුම්වලින් ඒ නංගි බව මම නිසැකවම තහවුරු කළා.

නංගිට මේ අපරාධය වෙනකොට අවුරුදු 21 ක් විතර වෙනවා. මමයි අම්මයි දෙන්නම නංගියේ සිරුර ළඟට වෙලා ගොඩක් වෙලා යනකම් හැඬුවා. නංගිගේ සිරුර ඒ වෙනකොට ඉදිමී නරක්වෙලා තිබුණේ’.


(***)
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ඇඩ්ලින් විතාරණගේ සොයුරිය වූ
ඇග්නස් විතාරණ හා සාකච්ඡා කොට
2019 නොවැම්බර් 30 වැනිද‌ා ඉරිද‌ා ලංකාදීපයේ පළවූ ලිපියකි.