කොවිඩ් එන්නතේ ප්‍රමුඛතා පැනීම, අපනයන ආදායම රුපියල් කිරීම, ජාතික සම්පත් පැවරීමේ දේශපාලනය, වනාන්තර විනාශය, ආණ්ඩුවට එරෙහිව නැඟෙන මානව හිමිකම් චෝදනා, තුනෙන් දෙක හදපු මන්ත්‍රීවරුන් කියන කතාව, කාදිනල්හිමියන්ගේ අනතුරු ඇඟවීම, පාස්කු ප්‍රහාර වාර්තාවට අලුතින් කමිටු පත්කිරීම, ජනාධිපතිවරයාට දේශපාලන නායකත්වයක් ලබාදීම හා හවුල්කාර පක්ෂ නොසලකා හැරියොත් වෙන දේ ගැන මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතායි.

ප්‍රශ්නය:- කොවිඩ් එන්නත්කරණය සිදුවන බව කී ප්‍රමුඛතා අනුපිළිවෙලට පිටින් එන්නත්කරණය සිදුවන බවට සෞඛ්‍ය වෘත්තිකයන්ම චෝදනා කරද්දී සමාජ මාධ්‍ය පුරා ද අප දකින්නේ ඊට එරෙහි ජනතා විරෝධයක්. මන්ත්‍රීවරුත් විවිධ කතා කියනවා. ජීවිතාරක්ෂාවේ අයිතියේදී මහජන නියෝජිතයන් සංවේදී වුණාද?
පිළිතුර:- එන්නත විදගන්නේ නෑ කියලා පුද්ගලික මතයේ මම ඉන්නෙ. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතැන කාරණා දෙකක් තිබෙනවා. මූලිකවම සෑහෙන්න පිරිසකට එන්නත් කරන තුරු අපි යම් ඉවසීමකින් හිටියා නම් එය විශාල ආදර්ශයක් වෙන්න තිබුණා. දෙවැනුව සෙනග සමග වැඩියෙන්ම ගැවසෙන්නේත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයි. වැඩිම සංචරණයේ යෙදෙන්නේ අවුරුදු 30 ත් 60 ත් අතර පිරිසනෙ. කොහොම නමුත් සීමා කිරීමක් කළා නම් හරි කියන එකයි මගේ අදහස.

ප්‍රශ්නය:- අපනයන ආදායමෙන් සියයට විසි පහක් බලපත්‍රලාභී බැංකුවකින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු බවට මහ බැංකුව ප්‍රකාශ කර තිබෙනවා. අපනයනකරුවන් එය ප්‍රායෝගික නොවන බව කියද්දී ඩොලර් ආදායම බලෙන් ගන්න හදනවාදැයි විපක්ෂය අසනවා. ආණ්ඩුව මුදල් නැති අර්බුදයක නේද?
පිළිතුර:- ඇත්තවශයෙන්ම ඩොලර්වල විශාල අර්බුදයක් තියෙනවා. මම නම් කියන්නේ ආණ්ඩුව මේක පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. යුද්ධ කාලේ ආර්ථිකයේ තිබුණු අවදානම ආණ්ඩුව පැහැදිලි කළාම මිනිස්සු ඒක තේරුම්ගත්තා. සමහරු උදවු කළා. අද වනවිට සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීම සමග අපට ඩොලර් බිලියන හයක් අහිමි වෙලා. විපක්ෂයේ අය ආර්ථිකය කඩාවැටෙනෝ කියලා කෑ ගහනවා. මම කියන්නේ ආණ්ඩුවද විපක්ෂයද කියලා නොබලා රට පැත්තෙ හිටගනිමු කියලයි. ඩොලර් සංචිතය අඩුවෙද්දී එහි අගය වැඩිවෙනවා. 2014දී විතර රුපියල් 135ට තිබුණු ඩොලරය අද වෙනකොට 200 පන්නන තැනට ඇවිත්. ඩොලර් සංචිතය ඉහළ දමාගැනීමෙන් අපට ආර්ථිකයේ ස්ථායිතාවය ඇතිවෙනවා. අපනයන මුදල් විදේශයන්හි ව්‍යාපාරවලට යොදාගැනීම නිසා ඒවා මුළුමනින්ම ලංකාවට නොලැබෙන තත්ත්වයක් ඇතැයි මහ බැංකුවේ නිරීක්ෂණයක් තිබුණා. මෙවැනි ක්‍රියාමාර්ග ගන්නේ ඒ නිසයි. අපනයනකරුවන්ට ප්‍රශ්න තිබෙනවා නම් ඒ ගැන ආණ්ඩුව සලකාබැලිය යුතුයි. දැනටමත් අපට අපනයන ආදායම් ටික ගෙනැත් දෙන්නේ ඔවුන්. එනිසා මෙය කාටවත් අසාධාරණයක් නොවන ලෙස විසඳාගත යුතුයි.

ප්‍රශ්නය:- ශ්‍රීලනිපයේ නියමුවාගේ ජීවිතය පවා බිලි දී රැකගත් ජාතික සම්පත් විකුණමින් ආණ්ඩුව නව ලිබරල් පාරේ යන බව කියන්නේ ආණ්ඩුවේම හවුල්කාර කොමියුනිස්ට් පක්ෂයයි. මේ ගැන ශ්‍රීලනිප මතය මොකක්ද?
පිළිතුර:- අපිත් ඔය කාරණේම තමයි මතුකරන්නේ. ආර්ථිකයේ අර්බුදය ජනතාවට වසන් කිරීම තුළ ජනතාව මේක තේරුම්ගන්නේ නෑ. ඇයි මේ අපට ආදායම් නැත්තේ, ඇයි කන්න දෙන්නේ නැත්තෙ, ඇයි මේ බඩු මිල ගණන් කියලා ඔවුන් හිතනවා. පුතේ මේ දවස්වල අමාරුයි වේලක් දෙකක් මගහැරිය යුතුයි කියලා අම්මයි තාත්තයි දරුවන්ට කිව්වාම ඔවුන් ඒක අහනවා. රටක් කියන්නෙත් කුටුම්භයක්නෙ. ඇත්ත කතාව කියලා ජනතාවට පහදන්න අප සූදානම් විය යුතුයි. ඒක නොකිරීමෙන් වෙන්නෙ විපක්ෂයට ආයුධ ලැබී ආණ්ඩුව බොරු කරනවා කියලා ජනතාව විශ්වාස කිරීමයි. ඒක නරක විදියට ආණ්ඩුවකට බලපානවා.

ප්‍රශ්නය:- හම්බන්තොට වරාය චීනයට විකිණීමත් එක්ක විදේශීය බලවේග මේ රටේ දේශපාලනය පාලනය කරන තත්ත්වයකට පත් වූ බව ඔබ 2019 දී කිව්වා. දැන් සමස්ත විවේචනය එන්නේ ආණ්ඩුව ජාතික සම්පත් විදේශයන්ට පවරමින් බලය කළමනාකරණය කරගන්නා බවටයි. මේ ආණ්ඩුවටත් විදේශ බලපෑම් පරාජය කරන්න බැරි වුණාද?
පිළිතුර:- අපි ඉන්නෙ නොබැඳි පිළිවෙතක යැයි ගෝඨාභය ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා. එහෙත් පසුගිය ආණ්ඩුව කාලේ හම්බන්තොට වරාය චීනයට බදු දීමත් මලික් සමරවික්‍රම මහතා මත්තල ගුවන්තොට, නැගෙනහිර ජැටිය, ත්‍රිකුණාමල තෙල් ටැංකි ආදී කරුණු 17ක් මුල් කරගෙන ඉන්දියාව සමග ගිවිසුම් අස්සන් කර තිබීමත් නිසා ජනාධිපතිවරයාට ලැබුණේ නොබැඳි පිළිවෙතේ ඉන්න පුළුවන් රටක් නෙවෙයි. අද ඉන්දියාව මේ රටේ හැමදේටම බලපෑම් කරන්නෙ ඒකයි. ඒ පසුපස ඉන්නෙ ඇමෙරිකාව. මොකද මේ වෙනකොට කොළඹ චීනයටම නතුවෙච්ච ජැටියක් තිබෙනවා. හම්බන්තොට වරාය බද්දටම ගෙන තිබෙනවා. මේ නිසා ලංකාව චීන ආක්‍රමණයට නතුවේය කියන බය ඇමෙරිකාවට තිබෙනවා. අපට උදවු කරන රටක් වූ ජපානය පවා මේ අසමතුලිත දේශපාලන වටපිටාව ගැන කල්පනාවෙන් ඉන්නෙ. මේ සම්බන්ධයෙන් අපි නිසි අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි.

ප්‍රශ්නය:- එහෙත් ආණ්ඩුව බලයට ගෙනඒමට වැඩ කළ භික්ෂූන් වහන්සේලා, සිවිල් සංවිධාන හා ආණ්ඩුවේම වෘත්තිය සමිති කියන්නේ බලයට එද්දී මේ කතා කිව්වේ නෑ කියලනෙ. ගිවිසුම් අහෝසි කරලා දීපු දේත් යළි පවරාගන්නවා කිව්ව කියලනෙ. අභ්‍යන්තර විවේචනය පිළිගන්නවද?
පිළිතුර:- ඒක සාධාරණයි. ජාතික සංවිධාන මේ ආණ්ඩුව බලයට ගෙනාවේ චීනයට හෝ ඉන්දියාවට හෝ ඇමෙරිකාවට ජාතික සම්පත් පවරන්න නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුණත් නැගෙනහිර ජැටිය ප්‍රශ්නයේදී අප පක්ෂයේ වෘත්තිය සමිතියත් ඉතා දැඩි කැපවීමෙන් ක්‍රියා කළා. අපට වෘත්තිය සමිති හෝ පක්ෂ විදියට විවේචන කළ හැකි වුණත් අපි යථාර්ථයත් පිළිගන්න ඕනෑ. මේකෙන් තවත් අර්බුදය උත්සන්න වෙනවා. පහුගිය ආණ්ඩුව භූ දේශපාලනික වශයෙන් විශාල උගුලකට අප හසුකර තිබෙන්නේ. එයින් බේරෙන්න නම් අපි ප්‍රශ්න නිවැරැදිව තේරුම්ගන්න ඕනෑ.

ප්‍රශ්නය:- පරිසර සංරක්ෂණය සටන් පාඨයක් බවට පත්කරගෙන පැමිණි ආණ්ඩුවෙන් පරිසරය ආරක්ෂා කරගන්න වෙලා යැයි පරිසරවේදීන් චෝදනා කරනවා. වන විනාශය වැඩිවෙලා කියල කියන්නෙ ආරක්ෂක ලේකම්වරයාමයි. ඇයි මෙහෙම වෙන්නේ?
පිළිතුර:- ලෝකයේ අංක එකේ මාතෘකාව පරිසරයයි. මෙතැනදි සංවර්ධන ව්‍යාපෘතිත් සමග පරිසරය රැකගන්නේ කොහොමද කියලා අපි කල්පනා කළ යුතුයි. නාගරික වන තීරු නිර්මාණයට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ ඒ අනුවයි. ඒ වගේම කිලෝමීටර ලක්ෂයක් පාරවල් ඉදිකිරීමේ ක්‍රියාවලියට ගල් කැඩීම, වැලි සපයාගැනීම වැනි තත්ත්වයකුත් තිබෙනවා. හැබැයි මේ ආණ්ඩුව ගෙනාවෙත් පරිසර විනාශය නතර කරන්නයි. ඒ නිසා වනාන්තර ආරක්ෂා කරගැනීම සඳහා කඩිනමින් ශක්තිමත් වැඩපිළිවෙළකට අප යා යුතුයි.

ප්‍රශ්නය:- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද ආරම්භ වෙනවා. මානව හිමිකම් කොමසාරිස්වරිය ලංකාව ගැන හදපු වාර්තාවේ අතිබහුතර කරුණු සඳහන් වන්නේ මේ ආණ්ඩු කාලයේ මානව හිමිකම් කඩකිරීම් ගැනයි. ආණ්ඩුවට මෙම විෂයේදී නිසි සැලැස්මක් නැති බවට දේශපාලන විචාරකයන් නඟන චෝදනාව ගැන සැලකිලිමත්ද?
පිළිතුර:- ඔව්. වර්තමාන ආණ්ඩුවේ මානව හිමිකම් කියල ඔවුන් කතා කරන්නේ රාජ්‍ය පාලනය ගැන. 20 වැනි සංශෝධනය ගැන අපටත් යම් මතවාද තිබුණා. හැබැයි ඒ මොනව කතා කළත් ඒක තුනෙන් දෙකක බලයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඒ කියන්නේ මේ රටේ ජනයාගේ කැමැත්ත මත. මානව හිමිකම් කවුන්සිලය ඒක ප්‍රශ්න කරන්නේ කොහොමද? හමුදාකරණය කියලා චෝදනා කරන්නේ හමුදාවේ පිරිස් වැඩ කිරීමනේ. මියන්මාරයේ, පාකිස්තානයෙත් විශාල වශයෙන් වැඩ කරන්නේ හමුදාව. ඒ රටවල්වලට මුකුත් ප්‍රශ්නයක් නෑ. හැබැයි විශ්‍රාමික මේජර් ජනරාල්වරුන් යම් යම් තැන්වලට පත්කිරීම තුළ ලංකාවේ අර්බුදයක් වෙලා. මේ විදියට ගත්තාම මේ කරන්නේ ලංකාවේ ආණ්ඩුකරණයට අත ගැසීමක්. ඒකට මුහුණ දෙන්න අපට වැඩපිළිවෙළක් තිබෙනවා. අපි ඒකට බය නෑ. මොකද තවමත් මේ රටේ දේශපාලන අයිතිවාසිකම් කඩ වී නැති බව අපට පැහැදිලිව කිව හැකියි.

ප්‍රශ්නය:- ආණ්ඩුව තුනෙන් දෙක හදාගත්තේ කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර දෙන්නේය යන පොරොන්දුව පිට යැයි සුළු ජාතික මන්ත්‍රීවරුන් කියද්දී මානව හිමිකම් සමගම ආණ්ඩුවේ තුනෙන් දෙකත් ප්‍රශ්න කෙරෙනවා නේද?
පිළිතුර:- ඒකට පොරොන්දු වුණේ කවුද කියලා මම නම් දන්නේ නෑ. ඒ අය නැතිව වුණත් අපට තුනෙන් දෙකක බලය ගන්න අවස්ථාව තිබුණා. කොහොම වුණත් ඔවුන් එකතු වීමෙන් අපට කිසියම් ශක්තියක් ලැබිලා තිබෙනවා. ඒ නිසා භූමදානය පිළිබඳ ප්‍රශ්නය දැන්වත් නිරාකරණය කරගන්න ඕනෑ. මොකද ඒකත් විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනයවීමක් හැටියට තමයි මානව හිමිකම් සංවිධාන දකිමින් ඉන්නේ. තාක්ෂණික කමිටු වාර්තාව නිකුත් කරලා මේකට කඩිනම් විසඳුමක් නොදුන්නොත් ඒක විශාල දේශපාලන අර්බුදයක් වේවි. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවත් මෙතැනදී විශාල අර්බුදයක ඉන්නෙ. ඒක සාධාරණ යැයි මම පිළිගන්නවා.

ප්‍රශ්නය:- මුස්ලිම් ජනතාව එහෙම කියද්දී ආණ්ඩුව ගැන ලොකු විශ්වාසයක් පළ කළ කාදිනල්හිමියන් කියන්නේ ආණ්ඩුව සැකකටයුතු විදියට ක්‍රියා කරනවා නම් පාස්කු ප්‍රහාරයට සාධාරණයක් පතා ජාත්‍යන්තරයට යන බවයි. මේ ප්‍රකාශය සරලව ගත හැකිද?
පිළිතුර:- මේක තමයි කොමිෂන්වල ප්‍රශ්නෙ. මේ ප්‍රහාරය සැබැවින්ම එල්ල කළේ කවුද කියන ප්‍රශ්නය අපිත් දිගින් දිගටම මතු කළා. ලෝකේ කොහේවත් ත්‍රස්ත සංවිධානයක නායකයා මරාගෙන මැරෙන්නේ නෑ. හැබැයි සහරාන් මැරුණා. එහෙම නම් ඔවුන් පසුපස සිටියේ කවුද කියන එකනෙ කොමිසම් වාර්තාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. අපට ලැබිලා තිබෙන තොරතුරු අනුව කොමිසම් වාර්තාවෙත් ඒවා නැති තත්ත්වයක් තිබෙන්නේ. ඒක රටට විශාල අර්බුදයක්. මේ තුළ කාදිනල්හිමියන් සහ කතෝලික ප්‍රජාව අහන්නෙ කවුද මේක කළේ කියලයි. අතපසුවීම් මත චෝදනා පටවන්න බෑ. එහෙම නම් මහ බැංකු බෝම්බ ප්‍රහාරය වලක්වාගත්තේ නෑ කියලා චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියටත් චෝදනා කරන්න පුළුවන්නෙ. එහෙම වුණොත් අමාත්‍යාංශයක වෙන පිපිරීමකට ඉදිරියේදී ඇමැතිවරයාට වගකියන්න වේවි. කාටවත් වැඩකරන්න ලැබෙන්නේ නෑ. එනිසා මමත් සීයට සීයක් කාදිනල්හිමියන්ගේ පැත්තේ ඉන්නෙ.  

ප්‍රශ්නය:- කටුවාපිටියේ ප්‍රහාරක හස්තුන්ගේ බිරිඳ වූ සාරාට ඉන්දියාවට පැනලා යන්න දුන්නා යැයි පොලිසියේ නිලධාරියෙක් අත්අඩංගුවට ගත්තා. එහෙම නම් ආණ්ඩුව සාරාව ඉන්දියාවෙන් ඉල්ලන්නේ නැත්තේ ඇයි?
පිළිතුර:- ඇත්තටම ඒක තමයි කාරණය. මේවා විශාල වශයෙන් ප්‍රශ්න කළ යුතු කාරණා. මේවා ගැන කොමිසම් වාර්තාවේ කොයි විදියට තියෙනවද කියලා මම දන්නේ නෑ. මේකට මුහුණ දිය යුත්තේ කොහොමද කියලා අපිට බලන්න වෙන්නේ වාර්තාව ආවාට පසුවයි.

ප්‍රශ්නය:- ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා උත්සන්න වී තිබෙනවා. හවුල්කාර පක්ෂවල ඇතැම් නායකයන්ට ඉන්න බැරි නම් යන්න කියලම කියනවා. ආණ්ඩුව ඇතුලෙ කඳවුරු කීපයක් ඇයි?
පිළිතුර:- මේ ජනාධිපතිවරයා බලයට පත්කිරීමට අප කැප වුණා. තුනෙන් දෙකේ බලය ගන්න ශක්තියක් වුණා. හැබැයි මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ ක්‍රියා කරගෙන යන ආකාරයෙන් ප්‍රශ්න මතුවෙලා තිබෙනවා. ඉතින් අපේ පක්ෂවලට තිබෙන ප්‍රශ්න කෙණෙහිලිකම් ගැන කතා කරන්න ජනාධිපතිතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා. මේක සියලු පක්ෂවල එකතුවෙන් ප්‍රශ්න කතා කරන්න හදපු වැඩපිළිවෙළක් මිස ආණ්ඩු විරෝධී කඳවුර ශක්තිමත් කිරීමක්වත්, කාගෙවත් පුද්ගලික න්‍යායපත්‍රයක්වත්, ආණ්ඩුව බෙදීමේ වැඩක්වත් නෙවෙයි. මෙතන වැරැදි වැටහීමක් තිබෙන්නේ. කිසිම කඳවුරුගතවීමක් නෑ.

ප්‍රශ්නය:- ගෝඨාභය ජනාධිපතිවරයා අංගසම්පූර්ණ වෙන්න නම් මීට කලින් හිටපු හැම ජනාධිපතිවරයකුම වාගේ පක්ෂ දේශපාලන ප්‍රවාහයේ ප්‍රධානියකු විය යුතුය යන්න වීරවංශ මහතාගේ තර්කයයි. ශ්‍රීලනිපය ඉන්නෙත් ඒ මතයෙද?
පිළිතුර:- ඔව්. මේ රටේ දේශපාලන ඉතිහාසය පුරාම රටේ නායකයා වී තිබෙන්නේ පක්ෂයක නායකයෙක්. මෙය වර්තමානයේදී නැතිවීමෙන් ජනාධිපතිතුමා නිලධාරීන් පිරිසක් සමග එක්ව සිය දේශපාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයනවා අපි දකිනවා. මේ නිසා පක්ෂ හා ඒවායේ නායකයන් සමග සම්බන්ධීකරණය වෙනවා අඩුයි. සති දෙකකට වරක් පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරන්නට අප යෝජනා කළේ ඒ අනුවයි. පක්ෂ නායකයකු වීම අත්‍යවශ්‍ය නොවුණත් දේශපාලන ක්‍රියාවලියේදී සම්බන්ධීකරණය වැදගත්.

ප්‍රශ්නය:- ශ්‍රීලනිපයේ ඉන්න ගමන් පොහොට්ටුවෙ සාමාජිකත්වය ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කටයුතු කරද්දි තමන් ඇක්ෂන් ගත්තා නම් ඒ අය ඉවරයි කියල මහින්ද අමරවීර ඇමැතිවරයා කලින් කිව්වා. හැබැයි දැන් පොහොට්ටුවෙ අය අනෙක් අයට කියන්නේ ඉන්න බැරි නම් යන්න කියල නේද?
පිළිතුර:- එක එක්කෙනාට ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි ඉතිහාසය පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු කරන කාලයේ කිසි කුඩා පක්ෂයකට මෙහෙම එළියට යන්න කිව්වේ නෑ. එහෙම එළියට ගිහින් තමයි 1970 ආණ්ඩුව විනාශ වුණේ. ඒ නිසා තමන් තමයි ලොක්කා කියල කවුරුවත් හිතන්න හොඳ නෑ. එහෙම හිතපු සන්ධාන හැම එකක්ම කඩාගෙන වැටුණා. ඒ දේශපාලන යථාර්ථය නොදැන කරන ප්‍රකාශවල අවසාන ප්‍රතිඵලය වෙන්නේ ආණ්ඩුව විතරක් නෙවෙයි රටත් විනාශ වෙන එක.


(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)