දැව හා දැව ආශ්‍රිත කර්මාන්ත බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවන ක්ෂේත්‍රයකි. එහෙත් තතුදන්නා පුද්ගලයන් කියන්නේ එමගින් රැකියා සුලබ කළ හැකි බවය. එසේම විදේශ විනිමය මහා පරිමාණයෙන් ඉපයිය හැකි බවය. කළ යුත්තේ කුමක්ද විශේෂාංගයෙන් අද කතා කරන්නේ ඒ ගැනය.

ඒ පිළිබඳව අද රටට කරුණු අනාවරණය කරන්නේ ඒ සංගමයේ සභාපති චන්න විජේසේකර මහතාය. මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු ඩිප්ලෝමාධාරියකු වන ඒ මහතා දැව තාක්ෂණය සහ අධ්‍යාපන පරිපාලනය පිළිබඳව ජර්මනියේ  ඩිප්ලෝමාධාරියෙකි. කටුබැද්දේ පිහිටි කර්මාන්ත ඉංජිනේරු පුහුණු ආයතනයේ ලී වැඩ අංශයෙහි ප්‍රධානියා සේම කථිකාචාර්යවරයකු ද වූ විජේසේකර මහතා පෞද්ගලික අංශයේ සමාගම් කීපයක නිෂ්පාදනය හා කර්මාන්ත ශාලා කළමනාකාර සහකාරවරයකු ලෙස ද සේවය කළ පුද්ගලයෙකි. ලී භාණ්ඩ නිෂ්පාදනය හා අභ්‍යන්තර අලංකරණය පිළිබඳ විශේෂඥයකු වන හෙතෙම ඒ පිළිබඳ සේවා සපයන සමාගමක හිමිකරුවෙකි. එසේම දැන් කර්මාන්ත අමාත්‍යංශයේ දැව ආශ්‍රිත කර්මාන්ත උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. දැව හා දැව ආශ්‍රිත කර්මාන්තවල දියුණුව සඳහා කළයුතු හා නොකළ යුතු දේවල් පිළිබඳව ඒ මහතා මෙසේ කරුණු දක්වයි.

ලංකාවේ දැව හා දැව ආශ්‍රිත කර්මාන්න අද පවතින තත්ත්වය පිළිබඳව කිසිසේත්ම සතුටුවිය නොහැකිය. ඒ සම්බන්ධයෙන් හොඳම තොරතුරු තිබෙන්නේ අපනයන සංවර්ධන මණ්ඩලය සතුවය. ඒ මණ්ඩලයේ පවතින තොරතුරු අනුව දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලංකාව 2007 දී ලබා තිබෙන ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 59කි. 2011 දී ඇමෙරිකන් ඩොලර් මිලියන 65 ක් වූ එය යළි 2017 දී ඇමෙරිකන් ඩොලර් මිලියන 61 දක්වා පහත වැටී තිබේ. කර්මාන්තය එක තැන පල්වෙන හැටි ඒ තොරතුරුවලින් මැනවින් අනාවරණය වෙයි. මේ තත්ත්වයට බලපා තිබෙන හේතු රාශියකි.

ගස් වැවීමෙන් හා දැව නිෂ්පාදන වලින් අතිමහත් ධනයක් උපයන හා විදේශ විනිමය උල්පත් පාදාගත් රටවල් බොහොමයක් ලෝකයේ තිබේ. උදාහරණ වශයෙන් ජර්මනිය, කැනඩාව හා මැලේසියාව ගනිමු. ඒ රටවල් දැව හඳුන්වන්නේ චිරස්ථායි. එනම් දිගුකල් පවතින (Sustainable Energy) බලශක්තියක් ලෙසය. ලෝකයේ පවතින වෙනත් බල ශක්ති එනම් ඛනිජ තෙල් හා ගල් අඟුරු වැනි නිධි කාලයක දී සිඳී යයි. එහෙත් දැව නැවත වගා කළ හැකි බැවින් එසේ සිඳී නොයයි. ගස් කපනවාට සාපේක්ෂව වගා කළහොත් මහ පොළොව පවතින තෙක් දැව සම්පතද පවතියි. ඉහත කී රටවල් ඒ බව මැනවින් අවබෝධ කරගෙන යළි යළිත් වගාකරයි. වගාව අවුරුදු පතා වැඩි කරයි. එමගින් පරිසරයත් රැක ගනියි. එසේම වාර්ෂිකව මහා ධනයක්ද උපයා ගනියි. ඒ ධනයෙන් වැඩි ප්‍රමාණයක් විදේශ විනිමයයි.

වුවමනාවක් තිබෙනවානම් අපේ රටටද එසේ කළ හැකිය. ඒ සඳහා පළමුව කළ යුත්තේ මැලේසියාවේ මෙන් දැව සභාවක් (Timber Council) පිහිටුවීමය. එය අදාළ කේෂ්ත්‍රය සම්බන්ධයෙන් තීරණ ගත හැකි පූර්ණ බලතල සහිත සභාවක් විය යුතුය. ඒ සභාවේ සාමාජිකයන් විය යුත්තේ දැව වගාව හා කර්මාන්තය ගැන පුළුල් දැනුමක් තිබෙන විශේෂයෙන් කර්මාන්තය හා එහි වාණිජමය පැත්ත ගැන දන්නා විශේෂඥයන් දෙදෙනකු වත් එයට පත් කළයුතුය. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව නම් ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ ජර්මානුවන්ය. ඊට අමතරව වන සංරක්ෂක හෝ ඔහුගේ නියෝජිතයෙක්, දැව ආශ්‍රිත කර්මාන්තකරුවන් තිදෙනෙක්, දැව සංස්ථාවේ නියෝජිතයෙක් හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා අධ්‍යනාංශයේ නියෝජිතයෙක් ද ඒ දැව සභාවේ නියෝජිතයෝ විය යුත්තාහ. පාරිසරික වන වගාව, වාණිජමය වන වගාව, ඒ දැව අමුද්‍රව්‍ය බවට පත් කිරීමේ ක්‍රියාවලිය, ප්‍රවාහන ක්‍රියාවලිය, කර්මාන්තයේ ආර්ථික පුනර්ජීවනය හා රැකියා සුලබ කිරීම යනාදී කටයුතු ගැන සාමූහිකව සිතා බලා ඊට අවශ්‍ය පරිසරය හා ක්‍රමවේද සකස් කිරීම ඒ සාමාජිකයන්ගේ වගකීම විය යුතුය.

දැව සභාවේ පළමු වගකීම විය යුත්තේ පාරිසරික සමතුලිතතාව රැක ගැනීමට ඉවහල් වන දැව හා කර්මාන්ත සඳහා බහුලව යෙදෙන වෙළෙඳපොළ ඉල්ලුම පවතින දැව හඳුනාගෙන ඒවා වගාකිරීම හා ඒ වගා ව්‍යාප්ත කරවීමය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා හොඳ ක්‍රියාවලියක දැනටත් නිරතව සිටියි. ඒ සඳහා ඒ දෙපාර්තමේන්තුවට තවත් සම්පත් දිය යුතුය. එසේම පෞද්ගලික අංශය ද උනන්දු කරවිය යුතුය. එමෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා අංශයේ දැනට පවතින දත්ත දැව කර්මාන්තකරුවන් අතට පත්කළ යුතුය. වන විද්‍යා ඒකකයේ අංශාධිපති ආචාර්ය හිරාන් අමරසේකර දැව පිළිබඳ පුළුල් පර්යේෂණවල නිරත වන පුද්ගලයෙකි. එතුමන් සොයා ගන්නා තොරතුරු සමාජගත විය යුතුය. ඊට අමතර ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයට හා කාර්මික තාක්ෂණ ආයතනයටද මේ සම්බන්ධව පර්‌යේෂණ කළ හැකිය. ඔවුන් සොයා ගන්නා තොරතුරු දත්ත ගබඩාවකට රැස් කළයුතු අතර අවශ්‍ය පුද්ගලයන්ට ඒවා ලබාගැනීමේ පහසු ක්‍රමවේදයක් සැකසිය යුතුය.

බර දැරිය හැකි ලී වර්ග මොනවාද, ගෘහ භාණ්ඩ සඳහා සුදුසු ලී වර්ග මොනවාද එළිමහනේ තබන භාණ්ඩ සඳහා සුදුසු ලී වර්ග මොනවද ආභරණ හා සැරසිලි (Ornamental) සඳහා සුදුසු දැව වර්ග මොනවාද සෙල්ලම් බඩු ක්‍රීඩා භාණ්ඩ (බැට්, දාම් බෝඩ්, කැරම් බෝඩ්, ටේබල් ටෙනිස් මේස) සඳහා සුදුසු දැව වර්ග මොනවාද පොළොවට ඇතිරීමට හා සිවිලිම්වලට සුදුසු දැව වර්ග මොනවාද යනාදී කාර්මිකයන්ටත් පුරවැසියන්ටත් අවශ්‍ය තොරතුරු ඒ දත්ත ගබඩාවෙන් ලබාගත හැකි විය යුතුය. එසේම ඒ දැව වර්ග මූලද්‍රව්‍ය ලෙස සකසා ගැනීම සඳහා (Processing) අනුගමනය කළයුතු ක්‍රමවේදය මොනවාද යනාදිය තීරණය කළ යුත්තේ දැව සභාව විසිනි. වාණිජ ලෙස වගාකරන ගස් මේරූ පසුව කපාගත යුතුමය. එසේ නොකපා දිරාපත්වීමට හැරිය හොත් ඒ ගසෙන් පරිසරයට වන්නේ හානියකි. ඕනෑම ගසක් මරණයට පත්වීමට පෙර පරිසරයේ කාබන් උරාගෙන ඔක්සිජන් පිට කරයි. එහෙත් ඕනෑම ගසක් මැරුණු පසු සිදුවන්නේ පරිසරයටත් පොළොවටත් කාබන් නිකුත් කිරීමය. එමගින් පරිසරයට වන්නේ හානියකි. එහෙයින් විශේෂයෙන් වාණිජමය වශයෙන් වගා කරන සියලු ගස් මේරූ පසුව කපාගත යුතුමය. මැරුණු ගස්වලින් පරිසරයට ඔක්සිජන් ලැබෙන්නේ නැත. ඒ ගස්වලින් වන්නේ පරිසරයට කාබන් විමෝචනය වීමයි. පරිසරය රැක ගැනීමට උනන්දුවක් දක්වන පරිසරවේදීන්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුය. මැලේසියාවේ පිහිටි දැව සභාවෙන් ප්‍රකාශයට පත්කර තිබෙන විස්තර පත්‍රිකාවලින් අපට බොහෝ ප්‍රයෝජන ගත හැකිය. එරට දැව කර්මාන්තයේ හා ආර්ථිකයේ විප්ලවීය වෙනසක් කිරීමට දැව සභාව බොහෝ කටයුතු කර තිබේ.

දැව කර්මාන්තයේ පවතින ප්‍රශ්න දෙස බලනවිට අගය එකතු කිරීමකින් තොරව ලී විශේෂයෙන් ලෑලි රට යැවීම නුසුදුසු ක්‍රියාවකි. එය වහාම නැවැත්විය යුතුය. අපනයන සැකසුම් කලාප දෙකක පිහිටි ආයෝජන මණ්ඩල ව්‍යාපෘති දෙකකින් රබර් ලෑලි රට යවයි. අගය එකතු කිරීමක් ලෙස බෝරෝන් රසායන ද්‍රව්‍ය යොදන බවත් ලී වේලා යතු ගා මූලික යන්ත්‍ර කිරීම් කටයුතු කරන බවත් ඒ සමාගම් පැවසුවත් ඒවා අගය එකතු කිරීම් නොවේ. ඒ කටයුතු සියල්ල මූල ද්‍රව්‍යයක් ලෙස සකස් කිරීමක් පමණකි. තේක්ක අරටු හැර අනෙක් කිසිම ලීයක් රසායන ද්‍රව්‍ය නොයොදා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කළ නොහැකිය. දැව අමුද්‍රව්‍යයක් ලෙස සලකන්නේ රසායනික ද්‍රව්‍ය යොදා සංරක්ෂණය කර උදුනේ වියලා පැති හතර යතු ගෑමෙන් පසුවය. එහෙයින් ඒ කටයුතු කිසිවක් අගය එකතු කිරීමක් නොවේ. රබර් ලී නම් රසායන ද්‍රව්‍ය නොයොදා මාස හයක් හතක්වත් තබාගත නොහැකිය. එමෙන්ම ලී භාණ්ඩ, ලී වලින් හදන සෙල්ලම් බඩු හෝ කර්මාන්තමය ලී කොටස්වල තෙතමන ප්‍රතිශතය අඩුකිරීමකින් තොරව ද එය අමුද්‍රව්‍යයක් ලෙස සැලකිය නොහැකිය. මේ කිසිවක් නොදන්නා ආයෝජන මණ්ඩලයේ හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ලංකාවේ පළපුරුදු කර්මාන්තකරුවන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා රේගුව දැනුවත් නොකර ලෑලි රට යැවීමට අනුමැතිය දී තිබේ. මෙරට කර්මාන්තකරුවන්ගෙන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, රේගුවේ, මධ්‍යම පරිසර අධිකාරියේ හා විදෙස් විශේෂඥයන්ගෙන් සමන්විත දැව සභාවකින් අනුමැතිය ලබා ගැනීමේ නීතිමය විධානයක් තිබුණේ නම් ලෑලි රට යැවීමේ ව්‍යසනයක් සිදුවන්නේ නැත. ලංකාවට වඩා විශාල ලංකාවට වඩා වෙළෙඳ වගා මහා පරිමාණයෙන් තිබෙන මැලේසියාව පවා අමුද්‍රව්‍ය ලෙස ලී රට යැවීමට අවසර නොදෙයි. කඳත් පිටින් දැව රට යැවීම බුරුමයේ පවා තහනම්ය. අමුද්‍රව්‍ය ලෙස දැව රට පැටවීම අපේ කර්මාන්තයටත් රටේ ආර්ථික සංවර්ධනයටත් මරු පහරකි.

සකස් කරන ලද ලී වෙළෙඳ පොළේ බහුලව නැතිවීම හා ප්‍රවාහනය සඳහා තිබෙන නීතිරීති මගින් සිදුවන දුෂ්කරතා හා ප්‍රමාදවීම් කර්මාන්තයේ පසුබෑමට බලපාන තවත් බරපතළ කාරණයකි. ජර්මනියේ හෝ කැනඩාවේ ලී වෙළෙඳ සලකට ගියවිට ලී බඩු සාදා ගැනීමට සුදුසු විවිධ ප්‍රමාණවලින් යුතු රසායනික ද්‍රව්‍ය යොදා සංරක්ෂණය කළ උදුන්වල වියළා තෙතමන ප්‍රතිශතය අඩුකළ ලී මිලදී ගත හැකිය. එහෙත් ඒ රටවල කැලෑ හෝ ගස් අඩු වී පරිසරය විනාශ වන්නේ නැත. එය එසේ වී තිබෙන්නේ කෙසේදැයි අප අධ්‍යයනය කළ යුතුය. ලෝහ, ඇලුමිනියම්, ඉලෙක්ට්‍රොනික් හා ඇඟලුම් වැනි නිෂ්පාදන කර්මාන්තවලට අමුද්‍රව්‍ය ලබා ගැනීම හා ප්‍රවාහනය සඳහා ලංකාවේද කිසිම බාධාවක් නැත. ලංකාවේ ඒ බාධා තිබෙන්නේ දැව කර්මාන්තයට පමණකි. පස් හා වැලි ප්‍රවාහනයට බලපත්‍ර ගැනීම අහෝසි කළා සේම කඳන් හැර වේලූ හා සංරක්ෂණය කරන ලද ලී ප්‍රවාහනයට බලපත්‍ර ගැනීමද අහෝසි කළ යුතුය.

ලංකාවේ ඉතා කුඩා, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් හා ස්වයං රැකියා ලාභියෝ බොහෝවිට සංරක්ෂණය නොකළ හා උදුන්වල නොවේළුෑ ලී යොදාගෙන අවර ගණයේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරති. ඉහළ ප්‍රමිතියකින් යුතු භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයෝ එවැනි නිෂ්පාදකයන්ගෙන් භාණ්ඩ මිලදී නොගනිති. ඒ නිෂ්පාදකයන්ට ගුණාත්මක භාවයෙන් පහළ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට සිදුවී තිබෙන්නේ රටේ පවතින නීතියේ දරදඬු ස්වභාවය ද නිසාය.

කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ හා තවත් දිස්ත්‍රික්ක කීපයක ප්‍රධාන නගර කීපයක් හැර රටේ අනෙක් බොහෝ ප්‍රදේශවල දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ගත යුතුය. පළමු බලපත්‍රය ගත යුත්තේ ගස්කැපීමටය. දෙවනුව ඉරා ගැනීමට සේම ඉරාගත් ලී රසායනික ද්‍රව්‍ය යොදන ස්ථානයට රැගෙන යාමට ද බලපත්‍ර ගත යුතුය. ලංකාවේ පාරිභෝගිකයන්ට ලී වේළීම හා සංරක්ෂණය යන කටයුතු දෙකම කරදෙන ස්ථාන ඉතා අල්පය. ඒ නිසා සංරක්ෂණය කළ ලී වේළීම සඳහා උදුන දක්වා ගෙන යාමටද නැවත බලපත්‍ර ගත යුතුය.

එහෙයින් මේ නීති දැව කර්මාන්තයේ ප්‍රගතියට බාධාවකි. අප කියන්නේ දැව ප්‍රවාහනය සඳහා වල්බූරු නිදහසක් අවශ්‍ය බව නොවේ. ඇතැම් ලී වර්ගවල කඳන් ප්‍රවාහනයට දැනට තිබෙන රෙගුලාසි එලෙසම ක්‍රියාත්මක කළ යුතුය. රබර් දැව ප්‍රවාහනයට බලපත්‍ර ගත යුතු නැතුවා සේම ඒ අතරට එක්කළ යුතු තවත් දැව වර්ග මොනවාදැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හඳුනාගත යුතුය. ඊට අමතරව ලී ප්‍රවාහනයේදී රක්ෂිත කැලෑ තිබෙන ප්‍රදේශ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ හඳුනාගෙන ඒවා වටේ තිබෙන මාර්ගවල ගමන් කරන්නේ නම් පමණක් ඒ සඳහා බලපත්‍ර ගත යුතු ලෙස පවතින නීති සංශෝධන කළ යුතුය. අනෙකුත් මාර්ගවල දැව ප්‍රවාහනය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දැව අලෙවි සල්වලින් නිකුත් කරන බිල්පත බලපත්‍රයක් ලෙස සැලකීම වඩා සුදුසුය. හොරු හා වංචනිකයන් කර්මාන්තයේ යෙදෙන බව නොරහසකි. එහෙත් ඒ නිසාම සාධාරණ හා යුක්තිගරුක මිනිසුන්ට බැටදීම අසාධාරණය, අයුක්ති සහගතය.

දේශීය දැව භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය වළපල්ලට යවන තවත් බරපතළ කාරණයක් වන්නේ වෙනත් රටවල භාවිත කළ ලී භාණ්ඩ ආනයනය කිරීමයි. එමගින් අපේ රටේ දැව නිෂ්පාදන කර්මාන්ත බරපතළ පසුබෑමකට ලක්වී තිබේ. ඊට අමතරව රටින් පිටට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණයද සුවිශාලය.

සෝෆා සේම රටින් ගෙන්වන බොහෝ ලී භාණ්ඩ මෙරට කාර්මිකයන්ට නිෂ්පාදනය කළ හැකිය. සෝෆාවලට අමතරව පාවිච්චි කළ පැන්ට්‍රි වැනි මුළුතැන්ගෙයි ලී භාණ්ඩද නිදන කාමරවල භාවිත කරන ගෘහ භාණ්ඩ සේම විසිත්ත කාමර ගෘහ භාණ්ඩද රටින් ගෙන්වයි. මේවා රටින් ගෙන්වීමේ කිසිම අවශ්‍යතාවයක් නැත. ඊට වඩා හොඳ භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි කාර්මිකයෝ ලංකාවේ සිටිති. එහෙයින් පාවිච්චි කළ ගෘහ භාණ්ඩ ගෙන්වීම වහාම තහනම් කළ යුතුය. එසේම භාවිත නොකළ ලී භාණ්ඩ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණයට ඇතුළත් කළ යුතුය. එසේම ඒ භාණ්ඩ ගෙන්වන්නේ නම් ඒවාට අතිවිශාල සෙස් බද්දක් අය කළ යුතුය. එසේ කළ යුත්තේ අත්‍යවශ්‍ය නොවන හා අනවශ්‍ය දේවල් රටට ඇතුළුවීම වැළැක්වීම සඳහාය. එමගින් රටේ විදේශ විනිමය සංචිත සුරැකෙන අතර දේශීය කර්මාන්තයද සුරැකෙයි.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතිවලට බව කියමින් රුපියල් ලක්ෂ 20 සිට 80 දක්වා ඉහළ මිලකින් යුතු පැන්ට්‍රි කබඩ් ආනයනය කිරීමද දැන් ජාවාරමක්ව තිබේ. ඒවා ගෙන්වන්නේ යුරෝපයේ රටවලිනි. ඒ තත්ත්වයෙන්ම යුතු පැන්ට්‍රි කබඩ් ලාංකිකයින්ට නිෂ්පාදනය කළ හැකිය. එසේම අපේ නිෂ්පාදන වියදමද යුරෝපයෙන් ගෙන්වන මිලට වඩා අඩුය. එහෙයින් එසේ ගෙන්වන භාණ්ඩවලට අධික සෙස් බද්දක් පැනවිය යුතු බවට අපි රජයට යෝජනා කරමු. යුරෝපයෙන් ලෑලි හෝ කඳන් ගෙන්වීමට අපේ විරෝධතාවක් නැති බවද සඳහන් කළ යුතුයි. අපේ රටේ ද ඉහළ ප්‍රමිතියකින් නිෂ්පාදනය කළ හැකි ගෘහ භාණ්ඩ ආනයනය කිරීම හේතුවෙන් අපේ කර්මාන්තකරුවන්ගේ වෙළෙඳ පොළ අවස්ථා සේම අපේ ශ්‍රමිකයන්ගේ රැකියාද අවදානමක වැටී තිබේ. එහෙයින් අත්‍යවශ්‍ය නොවන හා අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීම තහනම් කළ යුතුය. එසේ කළ නොහැකි නම් ඒවායෙන් ඉහළ සෙස් බද්දක් අය කළ යුතුය. එසේ කරන්නැයි අප ඉල්ලා සිටින්නේ අපේ බඩ වඩා ගැනීමට නොව දේශීය කර්මාන්තය හා රටේ විදේශ විනිමය සංචිත රැක ගැනීමටය.

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්