(*** මුදිතා දයානන්ද)

ප්‍රහාරය පිළිබඳව අප්‍රේල් 20 තොරතුර ලැබුණා නම් ජනාධිපතිවරයාත් ඒ වෙනුවට ක්‍රියාත්මක විය හැකි වැඩබලන ආරක්ෂක ලේකම්වරයකුත් නොසිටි නිසා රටේ අගමැති ලෙස තමාට ඇති බලය යොදා ජනාධිපතිට, පොලිස්පතිට, ත්‍රිවිධ හමුදාවට, බුද්ධි අංශවලට, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට, සියලු බුද්ධි අංශවලට, ගිනි නිවන හමුදාවට, සෞඛ්‍ය බලධාරින්ට, කතා කර ඇමති මණ්ඩලය ද රැස්කර අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පැවැසීය.

ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

ප්‍රහාරයෙන් පස්සේ මම කැඳවපු සාකච්ඡාවට ආරක්ෂක ලේකම් ආවේ නැහැ. ඒ නිසා ආපු කට්ටියත් එකතු කරගෙන මම ආරක්ෂක අමාත්‍යංශයට ගියා. එතකොටත් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මාධ්‍ය එකතු කරගෙන ප්‍රකාශ ලබාදෙනවා. මම මාධ්‍ය පිටත් කරලා එතනදීම සාකච්ඡාව කළා. ජනාධිපතිට කතා කර ඇඳිරි නීතිය පනවා අවශ්‍ය ක්‍රියා මාර්ග ගත්තා යැයි ද ඔහු පැවසීය.

ජනාධිපති එදා ලංකාවට එන බව කිව්ව නිසා ඔහුගේ ආරක්ෂාව ගැන බලන ලෙසත් මම ආරක්ෂක අංශ දැනුවත් කළා යැයි ද ඔහු පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ වික්‍රමසිංහ මහතා මෙසේ සාක්ෂි ලබාදුන්නේය.

කොමිසම- ප්‍රහාරයෙන් පස්සේ ඔබ අරලිය ගහ මන්දිරයේ දී කැඳවූ සාකච්ඡාවට ආරක්ෂක ලේකම් ආවේ නැත්තේ ඇයිද කියලා හොයා බැලුවාද?

සාක්කිකරු- සිද්ධිය දැනගත් වහාම මම රුවන්ව අමාත්‍යංශයට යැව්වා. ඔහු මට කිව්වේ සාකච්ඡාවට මේ අය එන එකක් නැහැ, ජනාධිපතිතුමා යන්න එපා කියලා තියෙනවා කියලා.

කොමිසම- ඇයි ජනාධිපතිතුමා එහෙම කියලා තියෙන්නේ ?

සාක්කිකරු- මම ඒ ගැන හෙව්වේ නැහැ. ඒක ඒවා ගැන හොයන වෙලාවක් නෙවෙයි. හදිසියේම අපිට කරන්න ගොඩක් දේවල් තිබුණා. ඒ නිසා මට ඒවා ඒ වෙලවේ වැදගත් වුණේ නැහැ.

කොමිසම- 2018 ඔක්තෝබරයෙන් පස්සේ පාස්කු ඉරුදින ප්‍රහාරය වන තුරු ඔබව ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වේ නැහැ නේද?

සාක්කිකරු- ඔව්. මට කැඳවීමක් ලැබුණේ නැහැ.

කොමිසම- ඔබතුමාගේ පාර්ශ්වය හා හිටපු ජනාධිපතිතුමාගේ පාර්ශ්වය අතර මත ගැටුම් තිබුණා ද?

සාක්කිකරු- මත ගැටීම නෙවෙයි. යම් කාරණාවලට එක එක්කෙනාට එක එක මත තිබුණා. සමහර දේවල්වලට සමහරු එකඟ වුණා,  සමහරු විරුද්ධ වුණා. ඒක ඕනම ආණ්ඩුවක තිබෙන්න පුළුවන් තත්ත්වයක්.

කොමිසම- ඔබතුමා ආරක්ෂක කවුන්සිල රැස්වීම් සියල්ලට සම්බන්ධ වුණා ද?

සාක්කිකරු- ලැබෙන හැම අවස්ථාවකම සම්බන්ධ වුණා. මේකට නිශ්චිත දිනයක් තිබුණේ නැහැ. දිනය හා වෙලාව දැනුම් දෙන්නේ පැය 24 ක් හෝ 48 වැනි කාලයකට පෙරයි. ඒ නිසා ඇතැම් අවස්ථාවල යොදාගත් වැඩ නවත්වන්න බැරි වුණාම ඒ රැස්වීමට යන්න වෙන්නේ නැහැ.

කොමිසම- ඔබ හිතන්නේ මේ රැස්වීම සතිපතා පැවැත්විය යුතු බව ද?

සාක්කිකරු- යුද්ධය පවතින කාලයේ දී නම් සතියකට වතාවක් පැවැත්වීම අත්‍යවශ්‍යයි. ඒත් ඉන්පසු අවම වශයෙන් සති දෙකකට වතාවක්වත් කැඳවීම වැදගත්. මම මේ ගැන ජනාධිපතිතුමා සමග කතා කළාම බුද්ධි අංශ වාර්තා ලැබෙන ආකාරය අනුව අවශ්‍යතාවයක් තිබෙන වෙලාවට කතා කරන්නම් කියලා කිව්වා.

කොමිසම- අන්තවාදී මතවාද අපේ රටේ පැතිරී යන බවට ඔබට දැන ගන්න ලැබුණා ද?

සාක්කිකරු- ඔව්. ඇත්තටම ලංකාවේ බෞද්ධ අන්තවාදය හා තවත් අන්තවාදයන් තිබුණත් ඒවාට වඩා ඉස්ලාම් අන්තවාදය වෙනස්. ඔවුන් ඉස්ලාම් ආගමේම සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ටත් විරුද්ධවයි කටයුතු කළේ. එවැනි දෙයක් අනෙක් ආගම්වල දකින්න ලැබුණේ නැහැ.

කොමිසම- මේ අන්තවාදය වැඩිපුරම ක්‍රියාත්මක වුණේ නැගෙනහිර කාත්තන්කුඩිවල කියලා ඔබ දැන සිටියා ද?

සාක්කිකරු-- ඔව්. ඇත්තටම කාත්තන්කුඩිවල සිට කල්මුණේ දක්වා තමයි මේක පැතිරුණේ.

කොමිසම- එය රටේ සාමකාමී පැවැත්මට තර්ජනයක් ලෙස ඔබ දැක්කේ නැද්ද?

සාක්කිකරු- ඔව්. සාම්ප්‍රදායික මුස්ලිම්වරු තමයි අපිත් එක්ක එදා සිටම සමගියෙන් ජීවත් වුණේ. ඒ නිසා ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම අපේ වගකීමක්.

කොමිසම- 2017 ජනවාරිවල අලියාර් හංදියේ ඉස්ලාම් කණ්ඩායම් දෙකක් අතර ගැටුමෙන් පස්සේ සහරාන් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කර තිබුණා. මේ ප්‍රහාරය වනතුරුම ඔහුව අත්අඩංගුවට ගන්න බැරි වුණේ ඇයි?

සාක්කිකරු- විදේශ රටවල අයිඑස් මතවාදය පැතිරී යාම ගැන මා ලැබූ අවබෝධයත් සමග ඔවුන් ගැන සෙවීමට වෙනම පොලිස් කණ්ඩායමක් පත් කරන ලෙස උපදෙස් දුන්නා. එවැනි ඒකකයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ආරම්භ කර තිබෙනවා. නමුත් සහරාන් ඉන්දියාවට පළාගිය බවට පසුව ලැබුණ බුද්ධි තොරතුරක් සමග තමයි මම හිතන්නේ ඔහු අත්අඩංගුවට ගැනීම වැළකුණේ. ඔහු ලංකාවේ සිටි බව දැන ගත්තේ ප්‍රහාරය වුණාට පස්සෙයි.

කොමිසම- ඔබ ආරක්ෂක රැස්වීම්වලට සම්බන්ධ වුණානේ. එහිදී රාජ්‍ය බුද්ධි ප්‍රධානීගේ තොරතුරුවලින් සහරාන් ඉන්න තැන් ගැන දැනුවත් කර තිබුණානේ.

සාක්කිකරු- මේ වාර්තා අනුව ඒ බව පැහැදිලි වෙනවා. ඒත් මම දැන සිටියේ නැහැ. ඒ ගැන මා නෙවෙයි නීතිය හා සාමය ඇමතිවරයාවත් දැනුවත් කර නැහැනේ.

කොමිසම- ඔහුටත් මේ වාර්තා ලබා දී ඇති බවට මේ කොමිසමේදී සාක්ෂි ඉදිරිපත් වී තිබෙනවා. ඇතැමුන් මේ කොමිසමේදී සාක්ෂි ලබාදෙමින් පෙන්වා දුන්නා අන්තවාදීන් සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේ දී සාකච්ඡා කළත් අදාළ බලධාරින් ඒ ගැන වැඩි තැකීමක් කළේ නැහැ කියලා.

සාක්කිකරු- මමත් අන්තවාදය ගැන කතා කළා. අන්තවාදය වැළැක්වීමේදී ඇතැම් ක්‍රියාමාර්ග ගැනීමට අපේ තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මදි කියලා ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට අපි කතා කළා. ඒක කෙටුම් පත් කළා. නමුත් ආණ්ඩු පෙරළි නිසා ඒක කරන්න බැරි වුණා.

කොමිසම- නීතිය හා සාමය ඇමතිවරයාට ලැබෙන වාර්තා සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නේ නැද්ද?

සාක්කිකරු- දැනුවත් කරනවා.

කොමිසම- විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසු ආරාබියේ පරිදි නිකාබය වැනි ඇඳුම් අඳින්න පටන් ගත්තා නේද?

සාක්කිකරු- විවෘත ආර්ථිකය නිසාම කියන්න බැහැ. අසූව දශකයේ අවසානයේ අනූව දශකයේ විතර තමයි මේ ඇඳුම අපේ රටේ අඳින්න පටන් ගත්තේ. විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවෝ මැද පෙරදිග රටවල ගෘහ සේවයට යන්න පටන් ගත්තාට පස්සේ.

කොමිසම- ඔබතුමා ආරක්ෂක කවුන්සිලයේ දී නිකාබය තහනම් කිරීමට විරුද්ධ වුණා කියලා හිටපු ජනාධිපතිතුමා මේ කොමිසමේ දී ප්‍රකාශ කළා.

සාක්කිකරු- ඔව් මම විරුද්ධ වුණා. මොකද ඒක අන්තවාදයට තිබෙන උත්තරයක් නෙවෙයි. මේක අඳින්නේ අන්තවාදීන්ම නෙවෙයි. නිකාබය තහනම් කළාට පස්සේ අන්තවාදීන් අපේ සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව අතර වැරදි මතවාදයක් පතුරවමින් ඔවුන්වත් අපට නැති කරන්න ඉඩ තිබුණා. මේ මුස්ලිම් ජනතාව තමයි අපේ රටේ යුද්ධය කාලයේ දී ආරක්ෂක අංශවලට තොරතුරු දුන්නේ. ඒ තත්ත්වය මෑතක් වනතුරුම තිබුණා.

කොමිසම- ඒත් සහරාන්ලා ගහන තෙක්ම ඔවුන් අපිට ඒ තොරතුරු දීලා තිබුණේ නැහැනේ.

සාක්කිකරු-එහෙම කියන්න බැහැ. ඒක නොලැබුණාට සහරාන්ලා කරන දේවල් ගැන ඔවුන් ආරක්ෂක අංශවලට තොරතුර ලබාදීම නිතර සිදුකළා. එතනින් එහාට ගිහින් වැඩිදුර විමර්ශනය කරගැනීම ආරක්ෂක අංශවල වගකීමක්.

කොමිසම- සහරාන්ලාගෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විදෙස් බුද්ධි තොරතුරක් ලැබුණත් එය තහවුරු කරගන්න අපේ බුද්ධි අංශවලට බැරි වුණානේ.

සාක්කිකරු- ඔව් ඒක අපේ දුර්වලතාවයක්.

කොමිසම- වහබ්වාදය ඉගැන්වීමට අපේ රටේ අරාබි පාසල් ආරම්භ කරන්න අරාබි රටවල් විශාල වශයෙන් මුදල් ගලාගෙන එන බව ඔබ දන්නවා ද?

සාක්කිකරු- අරාබි රටවලින් මුදල් ගලාගෙන ආවේ බොහොම ඉස්සර ඉඳලයි. බොහෝදුරට මුස්ලිම් පල්ලි ආරම්භ කරන්න තමයි මුලින්ම මුදල් ලැබුණේ. බැටික්ලෝ කැම්පස් ආරම්භ කරන්න සෞදි අරාබියෙන් මුදල් ලැබී තිබුණා.

කොමිසම- ඒ රටවලින් උන්ඩියල් ක්‍රමයටත් මුදල් එවනවා නේද? මේ විදිහට කළු සල්ලි එන එක ගැටලුවක් නේද?

සාක්කිකරු- ඔව්. එහෙමත් මුදල් එනවා. බැටික්ලෝ කැම්පස් එකට මුදල් ලැබුණේ නීත්‍යානුකූලවයි. මේ කළු සල්ලි විදිහට රටට මුදල් එවීම ඇතුළු කාරණා පාලනය කිරීමට තමයි අපි ප්‍රතිත්‍රස්ත පනත ගේන්න හැදුවේ.

කොමිසම- ලෝකයේ බොහෝ රටවල් අයිඑස් සංවිධානය තමන්ගේ රටවල තහනම් කළා. ඒත් අපේ රටේ එහෙම නොකළේ ඇයි?

සාක්කිකරු- අපේ රටේ එහෙම මතවාදයට නැඹුරු වන අය ඉන්න බව දැන සිටියත් සංවිධානයක් පවතින බව වාර්තා වුණේ නැහැ.

කොමිසම- යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක ලෙස එකල සිටි සුරේෂ් සලේ මහතා අන්තවාදයට එරෙහිව ගෙනා යෝජනාවලට ඔබ විරුද්ධ වූ බව කියනවා. ඒක ඇත්ත ද?

සාක්කිකරු- ඔහු හොඳ නිලධාරියෙක්. ඔහු ගෙනා යෝජනාවලට විරුද්ධ වීමට මට කිසිම හේතුවක් තිබුණෙත් නැහැ. මම එහෙම කළෙත් නැහැ. ඔහු කළ කාර්යයන් ගැන මාධ්‍ය ඉන්න නිසා මට දැන් කියන්න බැහැ. පසු අවස්ථාවක කියන්නම්.

කොමිසම- සහරාන්ලා පංති පවත්වමින් තමන්ගේ ඉස්ලාම් තරුණයන්ට ආයුධ පුහුණුව දුන් බව ඔබ දන්නවාද?

සාක්කිකරු- නැහැ. මම දන්නේ නැහැ.

කොමිසම- ඔබනේ අගමැති. ඔබට මේවා ගැන පොලිස් වාර්තා මගින් ලැබෙන්නේ නැද්ද?

සාක්කිකරු- මමත් ඒකම තමයි ඇහුවේ. මම අගමැති. ඒත් මට මේ කිසි දෙයක් කියන්නේ නැහැ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම ඊයේ සිදුකෙරිණ.

එහිදී හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් නීතිඥ මධු ජයතිලක මහත්මිය හරස් ප්‍රශ්න විමසනු ලැබීය.

නීතිඥ- අප්‍රේල් හතර වැනිදා රාජ්‍ය බුද්ධි ප්‍රධානීට ලැබුණ තොරතුර ගැන ඔහු අප්‍රේල් හත්වැනිදා ඔබට කතා කර දැනුම් දුන්නා නේද?

සාක්කිකරු- නැහැ. ඒ මට මුලින්ම ඒ ගැන කිව්වේ ජාතික බුද්ධි ප්‍රධානියි. ඒ අප්‍රේල් අට වැනිදායි. මම ජාතික බුද්ධි ප්‍රධානීගෙන් ඇහුවා මේක කොහෙන්ද ලැබුණේ කියලා. මට කලින් දැනුවත් කර තිබුණා නම් එහෙම අහන්නේ නැහැනේ.

නීතිඥ- එහෙත් දුරකතන දත්ත වාර්තා අනුව අප්‍රේල් හත්වැනිදා නිලන්ත මහතා ඔබට ඇමතුම් දෙකක් ලබාගෙන තිබෙනවා.

සාක්කිකරු- මේ වාර්තාවල එසේ සඳහන් වුණත් මට ඒවා ගැන මතක නැහැ.

එවිට කොමිසම පෙන්වා දෙනු ලැබුවේ මලල්ගොඩ කමිටු වාර්තාවේ ඔහුගේ සාක්ෂියේ දැක්වෙන පරිදි නිලත්න මහතා හත්වැනිදා කතා කර එම තොරතුර ගැන දැනුම් දුන් බව පිළිගෙන ඇති බවය.

සාක්කිකරු- මොන හේතුවක් ද මම දන්නේ නැහැ මට ඒ ගැන මතක නැහැ. මලල්ගොඩ කමිටු වාර්තාවේ කුමක් සටහන් වුවත් මට මතක හැටියට මට ඔහු හත්වැනිදා මේ ගැන දැනුම් දී නැහැ.

කොමිසම- ඔබට වඩාත් වැඩියෙන් මතක තියෙන්න පුළුවන් සිද්ධිය වූ වහාම මිසක් සිද්ධියෙන් බොහෝ කලකට පසුව නෙවෙයි නේද?

සාක්කිකරු- ඔව් මම පිළිගන්නවා. මට හිතාගන්න බැහැ මෙහෙම වරදක් මගේ අතින් වුණේ කොහොමද කියලා. මම ඒ කමිටු වාර්තාව පිළිගන්නේ නැහැ. සමහර විට එදා තිබුණ තත්ත්වය අනුව මට මුහුණ දෙන්න වුණ තත්ත්වය අනුව කියවුණා ද දන්නේ නැහැ.

 

කොමිසම- ඔබ අර විදෙස් මාධ්‍යයකට ප්‍රකාශයක් කරමින් කිව්වා අපි තොරතුර දැන සිටියා ඒත් මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැ කියලා.

සාක්කිකරු- ඒක මගේ මානසික ආතතිය නිසා කියවෙන්න ඇති.

 

කොමිසම- මානසික ආතතියක් තිබුණ බවක් අපිට ඒ වීඩියෝවේ පෙනුණේ නැහැ.

සාක්කිකරු- ආතතියක් නොතිබුණා නම් මම ඒ වගේ මෝඩ කතාවක් කියයි ද?

 

නීතිඥ- ඔබ තමයි ආරක්ෂක ලේකම්. ඔබට විසිවැනිදා තොරතුර ලබාදුන් පසු ඒ ගැන ජනාධිපතිට දැනුම් දීමේ වගකීම තිබෙන්නේ ඔබට නේද?

සාක්කිකරු- නැහැ. මම මුලින්ම එසේ බුද්ධි තොරතුරු ජනාධිපතිට දැනුම් දුන් විට මට කිව්වේ නිලන්ත ඒක කරයි කියලයි. නිලන්තත් ඒක තහවුරු කළා. ඒ නිසා එතැන් පටන් මම ඒ තොරතුරු ජනාධිපති සමග කතා කළේ නැහැ. රාජ්‍ය බුද්ධි ප්‍රධානී එවන වාර්තා විශ්ලේෂණාත්මක වාර්තා නෙවෙයි. ශිෂ්‍යත්ව පංතියේ ළමයෙක්ගේ රචනාත් මීට වඩා විශේලේෂණාත්මකයි.

 

නීතිඥ- ඔබ බුද්ධි වාර්තා ගැන ඉගෙන ගත්තේ කවදා ද?

සාක්කිකරු- මම ඒවා ප්‍රහාරයෙන් පසු කාලෙක අධ්‍යයනය කළා.

 

නීතිඥ- ඔබට ප්‍රහාරය වෙනතුරු ඒවා ගැන සොයන්න උවමනාවක් තිබුණේ නැහැ නේද?

සාක්කිකරු- මට අමාත්‍යංශයේ කරන්න වැඩ ගොඩක් තිබුණා.

 

කොමිසම- ජනාධිපතිවරයා විදේශගතව සිටිය දී ඔබ අප්‍රේල් විසිවැනිදා ඔහුගේ පෞද්ගලික ආරක්ෂකට දෙවතාවක් කතා කර තිබෙනවා. ඒ මේ තොරතුර කියන්න නෙවෙයිද?

සාක්කිකරු- මම එහෙම කතා කළ බවක් මතකයේ නැහැ. මම ඔහුට මේ ගැන කිව්වේ නැති බව හොඳටම මතකයි.

 

කොමිසම- ඔබ ජනාධිපති රට යද්දි ගුවන් තොටුපොළටත් ගියා. ඇයි ඒ වෙලාවෙත් කිව්වේ නැත්තේ?

සාක්කිකරු- එහෙම ගියාට අපිට කතා කරන්න වෙන්නේ නැහැ.

 

කොමිසම- කතා කරන්න වෙන්නෙත් නැත්නම් දකින්න වෙන්නෙත් නැත්නම් ඇයි මෙතනට යන්නේ?

සාක්කිකරු- ඒක සම්ප්‍රදායක්. ඒ වගේම කාර්යාලයේ ඉඳලා වැඩ කරලා එපා වුණාම වෙනසකටත් එක්ක හොඳ නිසා මේ ගමන යනවා.

මෙහිදී මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් වෙනුවෙන් නීතිඥ ෂමිල් පෙරේරා මහතා හරස් ප්‍රශ්න විමසීය.

 

නීතිඥ- ඔබ කියලා තිබුණා මේ ප්‍රහාරය ගැන ඇතැම් පල්ලිවලට හා පූජක තුමන්ලාට දැනුවත් කළ බව. කාටද කිව්වේ?

සාක්කිකරු- මා නෙවෙයි පොලිසියෙන් ලැබුණ වාර්තාවල එසේ සඳහන්ව තිබුණා. ඒ ගැනයි මා කිව්වේ.

 

නීතිඥ- එහෙත් එහෙම කිසිම සාක්ෂියක් නැහැ. මේ වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රහාරයෙන් පසුවයි. ඒ නිසා ඔවුන් තමන්ගේ බේරුමට බොරු කිව් බව ඔබ පිළිගන්නවා ද?

සාක්කිකරු- එහෙම වෙන්න පුළුවන්. මීට පෙරත් අවස්ථා කීපයක දී එවැනි දේ සිදුවුණා.

 

නීතිඥ- මේ සිදුවීම වෙන වෙලාවේ ජනාධිපති ලංකාවේ සිටියේ නැහැ. ඔහු තමන්ගේ බලය කාට හරි පවරා තිබුණා ද?

සාක්කිකරු- නැහැ. එහෙම නොකිරීමත් ප්‍රහාරය වළක්වා ගන්න බැරි වීමට එක හේතුවක්. වැඩ බලන ආරක්ෂක ඇමති කෙනෙක් හිටියා නම් මේ ගැන දැනුවත් කර අවශ්‍ය පියවර ගන්න තිබුණා.

 

නීතිඥ- ඔබ කියන්නේ හිටපු ජනාධිපතිවරයා මේකට වගකියන්න ඕන කියල ද?

සාක්කිකරු- ඔහුත් වගකියන්න ඕන. වෙන රටක නම් මෙවැනි දේ වුණාම රටේ නායකයා ජාතිය අමතලා සාමූහිකව වගකීම බාර ගන්නවා. ඒ වෙනුවට අපේ නායකයා මාවත් පූජිත් වත් දංගෙඩියට තල්ලු කළා. අනෙක් අය පොලිස් පොත්වල කොළ ඉරලා ඇඟ බේරගත්තා.

 

නීතිඥ- අප්‍රේල් අට වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සමග පැවති සාකච්ඡාවට ඔබ ගියා ද?

සාක්කිකරු- ඒකට ගියේ නැහැ. එදා මම ඉන්දියානු ආරක්ෂක ලේකම් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවක හිටියේ. එවැනි එක රැස්වීමකට නම් ගියා.

 

නීතිඥ- ඒ මොකක් ද?

සාක්කිකරු- ඒක ජාතික ආරක්ෂාව ගැන කතා කරපු එකක් නෙවෙයි. උද්ඝෝෂණයක ජල ප්‍රහාර එල්ල වීම ගැන කතා කරපු එකක්. දවසක් උද්ඝෝෂණයකට ජල ප්‍රහාරයක් එල්ල කරලා. ජනාධිපති මගෙන් ඇහුවා කවුද වතුර ගැහුවේ කියලා මම කිව්වා දන්නේ නැහැ කියලා. ඒ පාර මගෙන් ඇහුවා ආරක්ෂක ලේකම් නේද? පොලිසිය තියෙන්නේ තමුන් යටතේ නේද? මේක දන්නේ නැද්ද කියලා. මම කිව්වා දන්නේ නැහැ කියලා. ඒ පාර මම පොලිස්පතිගෙන් ඇහුවාම එයත් දන්නේ නැහැ කිව්වා. මම ඇහුවා තමුන් දන්නෙත් නැත්නම් මම ද දන්නේ කියලා. ඔහු කිව්වා ඒක ඒ වෙලාවට එතන ඉන්න ප්‍රධානියා ගන්න තීන්දුවක් අපෙන් අහන්නේ නැහැ කියලා. ඒ ගැන කතා කරන්න තමයි මේ රැස්වීම කැඳෙව්වේ. එහිදී ජනාධිපතිතුමා නියෝග කළා මීට පස්සේ මගෙන් අහන්නේ නැතිව වතුර ගහන්න එපා කියලා.           

 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි