අධ්‍යාපනය ලොව බොහෝ රටවලට ආදායම් උපයන ප්‍රමුඛ මාර්ගයකි. ඒ බොහෝ රටවල් එමගින් විදේශ විනිමය ද උපයයි. එහෙත් බරපතළ විදේශ විනිමය හිඟයකින් සේම සැලකියයුතු තරම් රාජ්‍ය ආදායමක්ද නැති අපේ රටේ පාලකයන් අධ්‍යාපනය ආදායම් ඉපයිය හැකි මාර්ගයක් බවට තවමත් පත්කර ගෙන නැත.

කළයුත්තේ කුමක්ද විශේෂාංගයෙන් අද සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳවය. ඒ ගැන අද රටට කරුණු කියන්නේ මහාචාර්ය ප්‍රසාද් අමරතුංගය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයා සේම දන්ත වෛද්‍ය පීඨයේ මුඛ ව්‍යාධිවේදී අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපතිවරයාද වන මහාචාර්ය අමරතුංග 1989 සිටම ඒ විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අනුකාරක සභාවේ සාමාජිකයකුද වූ මහාචාර්යවරයා අධ්‍යාපනය ආදායම් උපයන මාර්ගයක් කරගත යුත්තේ ඇයිදැයි මෙසේ කරුණු දක්වයි.

ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, මැලේසියාව, පිලිපීනය හා මහා බ්‍රිතාන්‍යය වැනි රටවල අධ්‍යාපනය ප්‍රමුඛ ආදායම් මාර්ගයකි. මා මහා බ්‍රිතාන්‍යයේ ඉගෙන ගන්නා සමයේ අධ්‍යාපනය සඳහා එරටට පැමිණ සිටි මැදපෙරදිග රටවල පුරවැසියන් ඉගෙන ගත්තේ මුදල් කන්දරාවක් වැය කරමිනි. මා එරට සිටියේ 1985 සිට 90 දක්වාය. මා එහි ගියේ ශිෂ්‍යත්වයකිනි. අධ්‍යාපනය සඳහා එරටට යන පිරිස දැන් එදාටත් වඩා වැඩිය.

එසේම පාඨමාලා ගාස්තුද දැන් අහස උසට නැග තිබේ. අද අපේ රටේ බොහෝ අය මැලේසියාවට යන්නේ එරට තිබෙන ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ශාඛාවෙන් අධ්‍යාපනය ලැබීමටය. ඉන්දියාවේ මනිපායි විශ්වවිද්‍යාලයේ ද ලංකාවේ සිසු සිසුවියෝ පිරී සිටිති. මනිපායි විශ්වවිද්‍යාලයේ ශාඛාවක් නේපාලයේද පිහිටා තිබේ. ඉගෙන ගැනීම සඳහා ලාංකිකයෝ පිලිපීනයටද යති. සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ ජොර්ජියාවද ලැටිවියාවද අධ්‍යාපනය ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගත් රටකි. අද බංග්ලාදේශයද ඒ තත්ත්වයට පත්ව සිටියි.

අසල්වැසි රටවල් සේම කලාපයේ රටවල්ද එසේ වෙනස් වෙමින් තිබුණත් ලංකාව වෙනස් නොවේ. අපේ රටේ ඇතැමුන් “පෞද්ගලික අධ්‍යාපනය” යන වචන දෙක ඇසුණු විගස දඟලන්නේ භූමිතෙල් ගෑවුණු ගැරඬින්සේය. ආණ්ඩු කළ බොහෝ අය රාජ්‍ය ප්‍රතිපත්ති තීන්දු කළේද ඔවුන්ගේ මනදොළ සපිරෙන අයුරිණි.

උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන් දියත් වූයේ 1980 දශකයේ මුල් භාගයේය. ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අපිදු විරුද්ධ වූයෙමු. ඒ එහි ඉගෙන ගන්නා පුද්ගලයන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිරිනැමීමට කර තිබූ සැලසුම්වලට එරෙහිවය. පසු කාලයක අපට දැනගන්නට ලැබුණේ එකල ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් මෙරට ස්ථාපිත කිරීමට ඕස්ට්‍රේලියාව සූදානම් වූ බවය. එහෙත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දියත් වූ සටන් නිසා මොනෑෂ් විශ්වවිද්‍යාලය ලංකාව අතහැර මැලේසියාව තෝරාගත් බවය. එදා එසේ නොවූයේ නම් හා එදා සිටි පාලකයන් බුද්ධිමත්ව හා ප්‍රඥාගෝචරව කටයුතු කළා නම් මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ලංකාවේ බිහිවන්නේ 1980 දශකයේදීය. විදෙස් ආයෝජකයන් ලංකාවට නොඑන්නේ විරෝධතා නිසාය. විරෝධතා ඇදී ඇදී දිග් ගැස්සෙන්නේ පාලකයන් නිසි කල නිසි වෙලාවට ගතයුතු තීරණ නොගන්නා නිසාය.
එහෙත් දැන් තිබෙන්නේ නව යුගයකි. ගැඹුරින් සිතා බලා විදෙස් විශ්වවිද්‍යාලවලට දොර ඇරීම දැන් කාලෝචිතය. ලොව අනෙක් රටවල් කරන්නාසේ අප රට ද අධ්‍යාපනය ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගත යුතුය. ඒ සඳහා ලොව බොහෝ රටවලට නැති වාසිදායක තත්ත්වයක් අප සතුව පවතී.

ඉන් පළමු වැන්න වන්නේ අපේ රටේ අධ්‍යාපනය තත්ත්වයෙන්, ප්‍රමිතියෙන්, ගුණයෙන් ඉහළ මට්මකට තිබෙන බවට ලොව පුරා පවතින විශ්වාසයයි. ලොව පුරා පවතින ඒ පිළිගැනීම් ඉතා වැදගත්ය. විදෙස් රටවල විශ්වවිද්‍යාලවලට ඇරියුම් කර ඒවායේ ශාඛා ලංකාවේ පිහිටුවා විදෙස් සිසුන් මෙරටට ගෙන්වාගෙන විදෙස් විනිමය ඉපයීමට දැන්වත් යොමු විය යුතුය. මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලවල ඉගෙනීමට යන වියදම් ඉතා විශාලය. ඒ බව එරට විශ්වවිද්‍යාලවල පාලකයෝද මැනවින් දනිති. එරට ඉගෙනීමට යන වියදමෙන් තුනෙන් එකකින් ලංකාව වැනි රටවලදි ඉගෙන ගතහැකි බව ඒ රටවල විශ්වවිද්‍යාලවල පරිපාලකයෝ කියති. උදාහරණයකට එරට විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට කැමැති ලාංකිකයකුට හෝ විදේශිකයකුට සම්පූර්ණ පාඨමාලා කාලය හෝ අඩුම කරමින් අවුරුදු 3 ක් වත් මෙරටදී ඉගෙන ගැනීමට හැකි තත්ත්වයක් උදාකළ හැකිනම් එය රටක් ලෙස අප ලබන ජයකි.

මහා බ්‍රිතාන්‍යයේ ඇබඩින් විශ්වවිද්‍යාල පරිපාලනයේ සිටින මහාචාර්යවරුන් දැනටත් ඒ සම්බන්ධයෙන් ලාංකික මහාචාර්යවරුන් සමග කතා කරන බව මම පෞද්ගලිකව මැනවින් දනිමි. එහෙත් අවසානයේ සියල්ල තීන්දු වන්නේ දේශපාලකයන්ගේ තීරණමතය. සරලව කිවහොත් ආණ්ඩුවේ තීන්දු තීරණ මතය. ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු නොකළොත් ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ශාඛාව අහිමි වූවා සේම මහා බ්‍රිතාන්‍යයේ ඇබඩින් විශ්වවිද්‍යාලයේ ශාඛාවක්ද ලංකාවට අහිමි විය හැකිය. රටට යහපතක් වන ලෙස තීන්දු ගැනීම ආණ්ඩුකරන අයගේ වගකීමකි. එසේම මා ඉහත කී අසුබවාදීන්ද පෙට්ටියෙන් පිටත ලෝකය දැකිය යුතුය. ඔවුන් සිතිය යුත්තේ තම දේශපාලනය ගැන නොව රට ගැනයි. තම දරු මුනුපුරන් ගැනය.

මහා බ්‍රිතාන්‍ය වැනි රටවල් තම විශ්වවිද්‍යාලවල ශාඛා ලංකාවේ ආරම්භ කිරීමට සැරසෙන්නේ ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් ලංකාවේ තිබෙන බැවිනි. ලංකාවේ බොහෝ උගතුන් සිටින බව ඒ රටවල ආචාර්ය මහාචාර්යවරු දනිති. ලංකාවේ මෙන් ඒ රටවල ආචාර්ය මහාචාර්යවරුන් වයස අවුරුදු 65න් විශ්‍රාම ගන්නේ නැත. වැඩ කළ හැකි තරම් කාලයක් වැඩ කරති. වැඩ ගනිති. ඒ රටවල් බලන්නේ වැඩ කිරීමේ හැකියාව (work out put) පමණකි. අවුරුදු 65 න් විශ්‍රාම ගත් එහෙත් වැඩකළ හැකි ආචාර්ය. මහාචාර්යවරු ලංකාවේ ඕනෑ තරම් සිටිති. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පවත්වාගෙන යන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාමගත් ආචාර්ය මහාචාර්යවරුන්ය. බටහිර රටවල් බලන්නේ පුද්ගලයාගේ වයස ගැන නොව වැඩ කිරීමේ හැකියාව ගැනය.

ලංකාව ලෝකයේ මැද තැනක පිහිටීම මහා බ්‍රිතාන්‍යයේ මහාචාර්යවරුන්ගේ අවධානය ලංකාවට යොමුවීමට තවත් හේතුවකි. ඉන්දියානුවන් පකිස්තානයටත් පකිස්තානුවන් ඉන්දියාවටත් වැඩි කැමැත්තක් නොදක්වන බවද මහා බ්‍රිතාන්‍ය මහාචාර්යවරු දනිති. එහෙත් ලංකාවට ඒ කවුරුත් කැමැතිය. බ්‍රිතාන්‍ය මහාචාර්යවරුන් ලංකාව දෙසට හැරී සිටින්නේ එහෙයිනි. ලංකාවට වඩා ඉන්දියාව හා පකිස්තානය භූමියෙන් සේම ජනගහනයෙන්ද විශාල වුවත් බ්‍රිතාන්‍ය මහාචාර්යවරුන් ලංකාව දෙසට හැරී සිටින්නේ ලංකාව සමස්ත ආසියාවට සේම මැද පෙරදිග රටවලට ද පිළිගත හැකි ඒ කවුරුත් කැමැති කාටත් හොඳ තැනක්. (Common Ground) වන හෙයිනි. ලංකාව දැන් දේශපාලන වශයෙන් ස්ථාවර බව ලෝකයාගේ පිළිගැනීමයි. එහෙයින් මේ එළඹ තිබෙන්නේ හොඳ කාලයකි.

දැනට අපේ රටේ තිබෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල 15 කි. එසේම විශ්ව විද්‍යාල මණ්ඩප (Campus) තුනක් හොරණ (ශ්‍රිපාලි) වව්නියාවේ හා ත්‍රිකුණාමලයේ පවතී. එසේම විශ්වවිද්‍යාල අනුබද්ධ ආයතන (Institiute) ද 19 ක් පවතී. ඒ සියල්ල අයිති රජයටය. එසේම දැනටත් පෞද්ගලික විශ්වවිද්‍යාල ද පවතී. ස්ලිට්, ඇපිට්, එන්.අයි.බී.එම්. ඇක්වයිනාස් හා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය උදාහරණ කීපයක් පමණකි. පෞද්ගලික අධ්‍යාපනය ලංකාවට අලුත් දෙයක් නොවේ. ඇක්වයිනාස් ඒ සම්බන්ධයෙන් තිබෙන හොදම උදාහරණයකි. එය අවුරුදු 65 ක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වන පෞද්ගලික අධ්‍යාපන ආයතනයකි. අප කළ යුත්තේ පෞද්ගලික අධ්‍යාපන ආයතන නිසිලෙස නියාමනය කර ඒවායේ ප්‍රමිතිය ඉහළ නැංවීමය. එහෙත් ඒ සෑම පෞද්ගලික අධ්‍යාපන ආයතනයකම ඉලක්කය වන්නේ ලංකික සිසුන්ය. මා පුන පුනා කියන්නේ අප විදෙස් සිසුන්ද ඉලක්ක කළ යුතු බවය. විදෙස් විනිමය අතින් අපේ රටේ දැන් තිබෙන්නේ අහේනියකි. දැන් රටට වැඩියෙන්ම විදෙස් විනිමය එවන්නෝ මැදපෙරදිග රටවල කඹුරන ලාංකික ගෘහ සේවිකාවෝය. මගේ වැටහීම, අවබෝධය හා තක්සේරුව අනුව නිසි දැක්මක් හා සැලැස්මක් ඇතිව වැඩ කළහොත් ගෘහ සේවිකාවන් එවනවාට වඩා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපට අධ්‍යාපනයෙන් උපයාගත හැකිය. පෑදී තිබෙන ඉල්ලම ගරා ගැනීම ආණ්ඩුවේ වගකීමකි.

ඉන්දියාවේ මනිපායි විශ්වවිද්‍යාලය දැනටත් ලංකාවට පැමිණ සිටියි. ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු හා කළමනාකරණ උපාධිය මෙරටෙහි ආරම්භ කිරීම සඳහා මෙරටෙහි ස්ථාපිත කරන විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් දැනටත් කරගෙන යයි. මනිපායි ලොව පිළිගත් විශ්වවිද්‍යාලයකි. ඔවුන් වඩාත් කැමැති මෙරටෙහි වෛද්‍ය පීඨයක් ගොඩනැගීමටය. එහෙත් පැවැති රජය සයිටම් සම්බන්ධයෙන් අනුගමනය කළ දියාරු පිළිවෙත නිසා මනිපායි පරිපාලනය පසු බැස සිටියි. ඔවුන් පෙරට ගැනීම වත්මන් ආණ්ඩුවේ වගකීමකි. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය ද නැවතත් ලංකාව දෙස ඇස ගසාගෙන සිටින බව අපි දනිමු. විදෙස් විශ්වවිද්‍යාල ලංකාවට පැමිණීමේ වාසිය අපේ රටටය. ඒ වාසිය ලබාගැනීම රජයේ වගකීමකි. ඒ සඳහා ලංකා රජයට කිසිම වියදමක් යන්නේ නැත. කළ යුත්තේ දිගු කාලීන දැක්මකින් යුතුව සැලසුම් සහගතව තීන්දු තීරණගෙන වැනෙන්නේ නැතිව අධිෂ්ඨානයකින් යුතුව ඒ තීරණ ක්‍රියාවට නැගීමය. රජය කැමැති නම් පෞද්ගලික හා පොදු ව්‍යාපාර (Public & Private Partnership) ලෙස විදෙස් විශ්වවිද්‍යාල මෙරටෙහි ආරම්භ කළ හැකිය. එසේ කළ විට ආයෝජකයා වන්නේ එතෙර විශ්වවිද්‍යාලයයි. අපේ රජය කළ යුත්තේ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමයි. ඒ හවුල් ව්‍යාපාරයේ කළමනාකරණයට රජයෙන් නියෝජිතයන් පත්කරන අතර එහි ප්‍රමිතිය ඉහළින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නියාමනය නිසි ලෙස කිරීම රජයේ වගකීමකි.

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වැඩි වැඩියෙන් බිහි කිරීමෙන් දුප්පතුන්ට තව තවත් නිදහස් අධ්‍යාපනයේ දොර ඇරෙන බව මගේ වැටහීමයි. අවබෝධයයි. තක්සේරුවයි. පෞද්ගලික ආයතන වැඩි වැඩියෙන් බිහි වූ විට ඇති හැකි අය හැරෙන්නේ ඒ පෞද්ගලික ආයතන වෙතටය. ඊට හොඳම උදාහරණය රෝහල්ය. අද පෞද්ගලික රෝහල්වලට වැඩි වැඩියෙන් යන්නේ ඇති හැකි අයය. නැති බැරි අය අදටත් රජයේ රෝහල්වලට යති. එසේම ඇති හැකි අය තම දරුවන් පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට යොමු කළ කල රජයේ අධ්‍යාපන ආයතනවල දොරවල් වැඩියෙන් විවර වන්නේ නැති බැරි අයගේ දරුවන්ටය. නැති බැරි මිනිසුන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපන වරම් අහිමිවීම අද බරපතළ ප්‍රශ්නයකි. සෑම අවුරුද්දකම විශ්වවිද්‍යාලවලට යාම සඳහා 1,60,000 ක් සුදුසුකම් ලබති. එහෙත් ඒ අතරින් විශ්වවිද්‍යාලවලට ගන්නේ 28,000කි. සුදුසුකම් ලබා සිටියදීත් විශ්වවිද්‍යාලයේ දොර වැසෙන සංඛ්‍යාව අවුරුද්දකට 1,32,000 කි. එතරම් සුවිසල් පිරිසකට ඒ අසාධාරණය වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉඩකඩ හා වෙනත් පහසුකම් නැති හෙයිනි. ඒ 1,32,000 අතරින් උසස් අධ්‍යාපනය සඳහා විදෙස් රටවලට යන්නේ ඉතාමත් අතළොස්සකි. අතිවිශාල බහුතරය මෙරටෙහිම සිටින්නේ නැති බැරිකම නිසාය. එහෙත් මෙරටෙහි විදෙස් විශ්වවිද්‍යාල ආරම්භ කළහොත් හැකි අයට උසස් අධ්‍යාපනයට යොමු විය හැකිය. ඔවුනට මෙරටදීම විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගත හැකිය. මෙරටදී නොමිලේ උසස් අධ්‍යාපනයට වරම් නොලබන ඒ 1,32,000 ට එවැනි දොරක් හෝ විවෘත කර නොදීම අපරාධයක් නොවේද?

අනෙක් අතට බිහිවන පෞද්ගලික විශ්වවිද්‍යාලවලින්ද නැති බැරි අයගේ දරුවන්ට ශිෂ්‍යත්ව මගින් උසස් අධ්‍යාපන අවස්ථා විවර කර දිය හැකිය. යම් කිසි ශිෂ්‍ය සංඛ්‍යාවකට සියයට සියයක ශිෂ්‍යත්ව පිරිනමන්නැයි ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලයට කොන්දේසි පැනවීමේ හැකියාවක් අපේ රජයට තිබේ. අනතුරුව ශිෂ්‍යත්ව ලබා දෙන පිරිස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින්ම තෝරාගත හැකිය. එය කිරීමට අපහසු දෙයක් නොවේ. අවශ්‍ය වන්නේ ඒ සඳහා දැක්මක් හා සැලැස්මක් පමණකි. සියල්ල එලෙසින් කළ හැකි බැවින් දේශීය හෝ විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමෙන් නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් වෙනවා මිස නිදහස් අධ්‍යාපනයේ දොරටු වැසෙන්නේ නැත. ඒ දොරටු වැසෙන බව පෙනෙන්නේ පුළුල් දැක්මක් නැති මා ඉහත කී භූමිතෙල් ගෑවුණු අසුබවාදීන්ට පමණකි. ඒ අසුබවාදීන් රටේ ප්‍රශ්න වවමින් දේශපාලනය කරන නරුමයන්ගේ දේශපාලන රූකඪ මිස නිදහස් චින්තනයක් ඇති පුද්ගලයයෝ නොවෙති.

පෞද්ගලික අධ්‍යාපනය පුළුල් කිරීමෙන් රටට ලැබෙන වාසි රැසකි. ප්‍රබලම වාසිය ඉහත කී ලෙස විදෙස් විනිමය උපයා ගැනීමට හොඳ ඉල්ලුමක් පෑදීමය. එය රට වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට පිටිවහලක් වී අවසාන වශයෙන් රටේ ආර්ථිකය වර්ධනය වෙයි. ඉහත කී ලෙස නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල්වීමෙන් රටේ සමාජ සංවර්ධනය ද ඉහළ යයි. තෙවනුව සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනින් බිහිවී ජන ජීවිත සුඛිත මුදිත වෙයි. දැනට සේවයේ නියුක්ත ආචාර්ය මහාචාර්යවරුන්ට අර්ධ කාලීන රැකියා බිහිවෙයි. රටේ නීතිය අනුව වයස අවුරුදු 65න් විශ්‍රාමගත් එහෙත් වැඩ කළ හැකි විශ්‍රාමික ආචාර්ය මහාචාර්යවරුන්ට නව ජීවයක් ලැබෙයි. ඔවුනගේ සේවය තවදුරටත් රටේ ආර්ථික හා සමාජ සංවර්ධනයට ලැබෙයි. විදෙස් විශ්වවිද්‍යාල මෙරටට පැමිණීමෙන් රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහළ යයි. එහෙත් ඒ සියල්ල ඉබේ සිදු නොවෙයි. සියල්ල එසේ සිදුවන්නේ ඒ ඉලක්ක සපුරා ගැනීමේ අධිෂ්ඨානයකින් හඹායන දේශපාලන නායකත්වයකි. එවැනි නායකත්වයකට රට වෙනස් කළ හැකිය. රට ගොඩ ගත හැකිය. රට බබළවා තමන්ට ද බැබලිය හැකිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති
මහාචාර්ය ප්‍රසාද් අමරතුංග