(උණවටුන - ඩී.ජී. සුගතපාල)
අයහපත් දෙයක් පිටුපස යහපත් දෙයක් පැමිණීම සිරිතකි. කොරෝනා පසුපසද යහපත් දේවල් රැසක් පැමිණියේය. යහපත් සෞඛ්‍ය පුරුදු ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේය. එහෙත් මේ කතාව කොරෝනා නිසා සූදුවෙන් ඈත් වූ මිනිසකුගේ කතාවකි.


ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර ගමක ජීවත් වූ පුද්ගලයෙකි. ස්ථිර රැකියාවක් නොකළද සූදු කෙළීම නම් ඔහුගේ ස්ථිර ක්‍රියාවක් වීය. ඇඳිරි නීතිය දිනවල ගමේ සූදු පිටියක් විය. ජංගම දුර කතන පණිවුඩයක් මගින් ඔහුට ඒ බව දැන ගන්නට ලැබිණි. ඔහුගේ සූදානම පිළිබඳ බිරිඳට දැනුණි.


‘‘හැබැයි සූදුවට ගිහිල්ල කෝටියක් දිනුවත් ගෙදර නම් ගේන්න එපා. තමුසේ සූදු කෙළිනවා. අපට පාරේ බැහැල යන්න විදියක් නැහැ. මට නම් ඔය සූදු සල්ලි සත පහක්වත් එපා. බිරිඳගේ ගෝරනාඩුව ඔහු සත පහකට ගණන් ගත්තේ නැත. නිවසේ තිබූ රුපියල් පන් දහස සාක්කුවේ දමාගත් ඔහු නතරවූයේ සූදු පිටියේය.


කිසිවකුටත් අදහා ගන්නට බැරි තරමට ඔහු මුළු සූදු පිටියම සුද්ධ කළේය. ඔඩොක්කුව පුරා මුදල් නෝට්ටුය. පැය කිහිපයකින් සූදුව අවසන් විය. සූදු පිටියේ සිටි සියල්ලෝම හිස් අතින් පිටව ගිය අතර ඔහු පමණක් ජයග්‍රාහි ලෙස නැගී සිටියේය. විශාල මුදලක් ඔඩොක්කුවේය. ඔහු ගමේ සූදු පොළකදී මෙතරම් මුදලක් කිසිම දිනක දිනා නැත.


එහෙත් ඔහුගේ සිතට සතුටක් නැත. ‘‘සුදු කෙළල රුපියල් කෝටියක් දිනුවත් ගෙදර නම් ගේන්න එපා’’ බිරිඳගේ හඬ රැව් පිළි රැව් දෙන්නට විය.


ඔහු තවත් දෙතුන් දෙනෙකු සමග ගමේ කඩේකට ගියේය. ‘‘මුදලාලි හාල් ගෝනි කීයක් විතර තියෙනවාද? ඔහු ඇසුවේය.
‘‘ඇයි පාරිභෝගික අධිකාරියේ රස්සාවක්වත් ලැබුණාද? හාල් මිටි පහක් තියෙනවා.’’ මුදලාලි කීවේය.


‘‘නැහැ මුදලාලි මට ඔය හාල් මිටි පහම  දෙන්න. පරිප්පු තියෙන තරමක් දෙන්න. සීනිත් ගෝනියක් දෙන්න’’ ඔහු ඉල්ලා සිටියේය.


පුදුමයකි. ඔහු විහිළු කරනවා යයි මුදලාලි සිතුවේය. එහෙත් ඔහු සල්ලි මිටිගෙන ඒ සඳහා මුදල කොපමණදැයි විමසූවිට විහිළුවක් නොවන බව මුදලාලි දැන ගත්තේය. හාල් පරිප්පු, සීනිවලට අමතරව ඔහු රුපියල් පන් දහසක් හැර  අතේ තිබූ හැම සතයකටම හරියන පරිදි බිස්කට් සබන් ආදී තවත් බඩුද ගත්තේය. කඩේ රාක්කද හිස්විය.


‘‘මට ලොකු ෂොපිං බෑග් පනහකුත් ඕනෑ. කීයද මුදලාලි බිල ‘‘ඔහු ඇසුවේය.


මුදලාලි බිල කීවේ තරමක් ගොත ගසමිනි. ඔහු කිසිම ලෝබ කමක් නැතිව සල්ලි ගණන් කර මුදලාලිගේ බිල ගෙව්වේය. අතේ ඉතිරිවූයේ රුපියල් පන් දහසක නෝට්ටුවක් පමණි. පසුව කඩේ ඉදිරිපිටම තබාගෙන අනෙක් අයද හවුල්කරගෙන සහනමලු සකස් කළේය.


ගමේ දුප්පත් පවුල්වලට කඩේ අසලට පැමිණෙන ලෙස ඔහු පණිවුඩයක් යැව්වේය. විනාඩි කිහිපයකදී කඩේ ඉදිරිපිට මිනිස් පොදියකි. ඔහු දන්නා ඉතාම දුප්පත් පවුල් පනහකට බෑග් පනහ බෙදුවේය. ඔහුගේ සිතට දැනුනේ විශාල සතුටකි. සියල්ලන්ම ගිය පසු ඔහු නැවත කඩේට ගොඩවිය.


‘‘මුදලාලි මම මීට පස්සේ කවදාවත් බූරුව ගහන්නේ නැහැ. අද තමයි මගේ අන්තිම බූරුව ගැහිල්ල’’ යනුවෙන් කී ඔහු ජයග්‍රාහී ලීලාවෙන් පිටව ගියේය.


මේ බව ඔහුගේ බිරිඳටද සැලවී තිබිණි. ඔහු සිනාසෙමින් ගෙට ගොඩවී රුපියල් පන් දහසක් බිරිඳගේ අත තබමින් ‘‘මෙන්න මම ගෙදරින් ගෙනිච්ච රුපියල් පන් දාහ’’ යනුවෙන් කීය.