(උණවටුන ඩි.ජි.සුගතපාල)
ඔහු ගමේ කා අතරත් ප්‍රසිද්ධ වූයේ පොඩි බාස් යනුවෙනි.පොඩි බාස් ගෙවල් දොරවල්  අලුත්වැඩියා කිරීමට ඉතා දක්ෂයකු විය. නිවෙසකට ගැලපෙන තීන්ත වර්ගය පමණක් නොව සුදුසු පාට පවා තෝරා දෙන්නේ ඔහුය. මේ නිසා ඔහුට බොහෝ අවස්ථාවල ගමෙන් පිට ප්‍රදේශවලින් පවා කැඳවීම් ලැබිණි.


ඔහු දිනපතා අධික ලෙස මත්පැන්ද පානය  කළේය. දිනපතා සවස් කාලයේ ඔහු හමුවීමට අවශ්‍ය නම් යායුතු වූයේ තැබෑරුමටය. එහෙත් පොඩි බාස්ගෙන් කිසිවකුටත් කරදරයක් නොවීය. මඟදී හමුවන හැම කෙනෙකු සමගම විහිළු කිරීම ඔහුගේ සිරිතක්ද විය.


මේ අතර හදිසියේම ඔහු මියගියේය. ගමේ සියල්ලෝම පාහේ ඔහුගේ හදිසි මරණය ගැන සැබැවින්ම දුක්වූහ. ඔහුගේ මරණයෙන් පසු පුතා තාත්තාගේ රැකියාව කරන්නට පටන් ගත්තේය. මේ අතර තුන් මාසයේ දානය ක්‍රමයෙන් ළංවිය. පුතා ඇතුළු පවුලේ අය එක්ව තුන් මාසයේ දානයට සූදානම් වූහ.


මියගිය අය ජීවතුන් අතර සිටියදී වැඩියෙන්ම ප්‍රියකළ ආහාර පාන තුන් මාසයේ දානයට දියයුතු බවට ගමේ අයගේ මතයක් විය. ඒ අනුව පොඩි බාස්ගේ පුතා තුන් මාසයේ දානයට මත්පැන් දෙන්නේ කෙසේදැයි කල්පනා කළේය. ඒ තාත්තා ජීවතුන් අතර සිටියදි මත්පැන්වලට වැඩියෙන්ම ලොල්ව සිටි නිසාය.


ඔහුගේ මිතුරෙක් එයට හොඳ උපදෙසක් දුන්නේය. “මචං බෝතල් දෙකක් අරන් ගිහිල්ල තාත්තගේ සොහොන ළඟ තියමු”. මිතුරාගේ උපදෙසට ඔහුද එකඟ විය. තුන් මාසයේ දානයේ දිනයට පෙරදින රාත්‍රියේ ඔහු තාත්තා නිතරම පානය කරන ලද මත්පැන් වර්ගයේ බෝතල් දෙකක් ගෙන ගොස් සොහොන දෙපැත්තේ තබා ආවේය.


දානයේ කටයුතු හොඳින් සිදුකෙරිණි. දන්දීමේ අගය බණට ද කීවේය. සියලු වැඩ කටයුතු අවසන්වීමෙන් පසු ඔහු ගොස් තාත්තාගේ සොහොනට ගොස් බැලූ අතර පෙරදින රාත්‍රියේ  තබන ලද මත්පැන් බෝතල් දෙක එහි නොතිබිණ. ඔහුගේ සිතට දැනුණේ සතුටකි “කව්ද අරක්කු බෝතල් දෙක බීලා. තාත්තට පින් ලැබේවි”. ඔහු නිවෙසට ගොස් නිවැසියන්ටද ඒ බව කීවේය.