(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
වන්දනාවේ ගොස් මුදල් පසුම්බිය නැති වී නැවත ගම්රට බලා ඒමට අපූරු උපක්‍රමයක් යෙදූ පුද්ගලයකු පිළිබඳව ගම්බඳ ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.


සිදුවීම මෙසේය.


ඔහු මැදිවියේ පුද්ගලයෙකි. අවිවාහයෙකි. ඔහුට සිතුණු විට වන්දනා ගමනක් යන්නේ ඔහු පිළිබඳව සොයා බලන්නට කිසිවකු නොවූ බැවිනි. ඔහු එවරද කතරගම බලා ගොස් ඇත්තේ ගමනට අවශ්‍ය කෑමබීමවලටද මුදල් සොයා ගැනීමෙන් අනතුරුවය.


කෙසේ වෙතත් කතරගමට බස් රථයෙන් ගොස් බැස ටික වේලාවකින් ඔහුගේ මුදල් පසුම්බිය සොයා බැලීමේදී එය නොමැති බව දැනී හීන් දහඩිය දමා ඇත. සරම කොනක ගසා තිබූ මුදල් පසුම්බිය ගැට කපන්නකු අරගෙන හෝ වැටී ඇති බව ඔහුට අවබෝධ වී ඇත. කෙසේ වෙතත් බස් රථයෙන් ඉතුරු මුදල් වශයෙන් දුන් රුපියල් විස්සක මුදලක් ඔහුගේ කමිස සාක්කුවේ ඉතිරිවී ඇතත් එයද සෑහීමට පත්විය නොහැකිය.


ඔහු ටිකක් කපටි පුද්ගලයෙකි. එම කපටි කමින් ප්‍රයෝජන ගැනීමට සිතුවේ මිනිසුන්ගෙන් මුදල් ඉල්ලා නොලැබී යාමෙන් හෙම්බත් වී කුසගින්න දරා ගත නොහැකි අවස්ථාවේදීය. ඔහු සිල්ලර බඩු කඩයකට ගොස් පාන් පිටි රුපියල් විස්සක මිලට ගෙන හෝටලයක් පිටිපසට ගොස් අඟුරු කැට කුඩුකර පාන්පිටි සමග කලවම් කර වතුර දමා ගුලි කර කල්ක ප්‍රමාණයට ගුලි කිහිපයක් සාදා ගෙන මාර්ගයේ සෙනඟ ගැවසෙන ස්ථානයක ගොස් මෙම කල්කය බඬේ අමාරුවට ඉක්මන් විසඳුම ලබාදෙන බව පවසා අලෙවි කර ඇත. කල්ක ටික ඉක්මනින් අවසන් වූ අතර ඔහු නිවසින් රැගෙන ආ මුදලට වඩා මුදලක් ඔහුට ලැබී ඇත. ආ ගමනට වඩා තව දුර යාමට මුදල් තිබූ බැවින් ඔහු පිටත්ව ගොස් ඇත්තේ නාඳුනන පදික වෙළෙන්දන්ගේ දේවල් මිලට ගන්නා මිනිසුන්ටද කදිම පාඩමක් කියා දෙමිනි.