(තිහගොඩ උපසේන ලියනගම)
අත්තමාගේ අනවශ්‍ය ඇඟිලි ගැසීමක් නිසා දැඩි කෝපයට පත් මිණිබිරියක පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දෙහිවල පැත්තේ නිවෙසකිනි.


මෙම නිවෙසේ මවුපිය දෙදෙනාම සේවයට ගිය පසු නිවෙසේ රැඳී සිටියේ වියපත් අත්තම්මාත් යොවුන් වියේ දුවක් සහ බාල සහෝදරයෙකි.


සාමාන්‍යයෙන් උපකාරක පන්ති යන යොවුන් වියේ දුව කොරෝනා අර්බුදය නිසා නිවෙසේ නැවතී සිටි අතර ඇය උදේ පාන්දර සිටම නිවෙසේ ගේට්ටුව අසල ‘‘තරුණයකු’’  සමඟ විහිළු තහළු කරමින් සිටිනු දුටු බාල සහෝදරයා ආත්තම්මාට එය පෙන්වූයේ තරමක කෝපයකිනි.


 මෙය දුටු ආත්තම්මාට යකා වැහිණ. ‘අම්මා තාත්තා ගෙදර නැති වෙලාවෙ කොල්ලෙක් එක්ක ඔහොම විහිළු කර කර ගේ ඉස්සරහ ඉන්න  එක හරි කැතයි.’ හෙමින් කියූ ඇය මිනිබිරියට ඇහෙන්නට කීප වරක් කීවත් එය නොඇසූ නිසා ඇය තරුණයාට කෝපයෙන් බැනවැදී ආපසු ආවාය.


ඔහු යන්නට ගිය අතර මිණිබිරිය ගෙට ආවේ බලවත් ලජ්ජාවෙනි ‘‘මොකක්ද ආත්තම්මා කියපු ඒ හරුපෙ. ඒකි මගේ යාලු කෙල්ලෙක්.

කොල්ලෙක් නෙමෙයි’’ ඇය කීවෙන් අත්තම්මා ‘‘හත් දෙයියනේ කොණ්ඩෙ කපලා, කැප් තොප්පියක් ද‌ාලා, කලිසම ඇඳගෙන පිරිමියෙක්  වගේ නෙව හිටියේ’’ කීවේ කම්මුලේ අත තබාගෙන ලු.