කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න
යතුරුපැදියකින් නගරයට ගමන් කරමින් සිටිය දී ආදරේ වැඩිකමට තරුණියක සිය පෙම්වතාගේ ඇස් දෙක අත් දෙකෙන් වහපු අවස්ථාවේ දී තරුණයාට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පෙරැළී තුවාල ලබා සිටි පෙම් යුවළ රෝහලකට ඇතුළත් කර ඇතැයි කියන පුවතක් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක 25 හැවිරිදි තරුණයෙක් සිටියි. වසර දෙකක පමණ කාලයක සිට මෙම තරුණයා කොළඹ කොම්පැනියක නිෂ්පාදනය කරන ලද භාණ්ඩ කෑගල්ල දිස්ත්‍රික්කය පුරා පිහිටි වෙළෙඳසල් වෙත ලොරි රථයකින් පිරිසක් සමග බෙදා හරින්නේය.
මෙම තරුණයා කලකට ඉහතදී නවීන පන්නයේ යතුරුපැදියක් ද මිලට ගෙන තිබේ. සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනයන්හි තරුණයා මිතුරන් සමග යතුරුපැදියෙන් ගම වටේ රවුම් ද ගහන්නේය. මාස කිහිපයකට ඉහතදී තරුණයා වෙළෙඳසලකට භාණ්ඩ ලබා දීමට ගිය අවස්ථාවේ දී වෙළෙඳසලේ හිමිකරුගේ දියණිය දැක ඇය සමග ප්‍රේම සබඳතාවයක් ඇති කර ගත්තේය. ඇය ද සුරූපී උසස් පෙළ සමත් තරුණියකි.
තමන් දියණිය සමග සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බව දිනක් තරුණයා වෙළෙඳසලට බඩු දීමට ගිය අවස්ථාවේ දී තරුණියගේ පියා සමග පැවසීය. වෙළෙඳසල් හිමියා බොහොම සතුටට පත් වී සිද්ධිය සම්බන්ධයෙන් ඔහු බිරිඳ ද දැනුවත් කර තිබේ. දෙදෙනාගේ සම්බන්ධතාවයට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කර තිබේ. මීට දින කිහිපයකට ඉහතදී තරුණයා පෙම්වතියගේ නිවෙසට ගොස් තිබේ. එම අවස්ථාවේ දී තරුණයා යතුරුපැදියෙන් නගරයට යාමට සූදානම් වූ අවස්ථාවේ දී තමා ද එන බව පවසා තරුණිය ද කළු කණ්ණාඩියක් පැළැඳ යතුරුපැදියට නැග පිටුපස ගමන් කරමින් සිට ඇත. පළමුවරට තරුණිය පෙම්වතා සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී විවිධ දේවල් කතාබහ කරමින් සිනාසෙමින් නගරය දක්වා ගමන් කරමින් සිට තිබේ.
එක පාරට තරුණිය තරුණයාගේ ඇස් දෙක වසා ඇත.
තරුණයාට කිසි දෙයක් කර කියා ගත නොහැකිව යතුරුපැදිය පාරෙන් ඉවතට පැන තණකොළ ගොල්ලකට පෙරැළී ගියේය. තරුණයා හා තරුණිය ද සුළු තුවාල ලබා තිබේ. පසුව අනතුර සිදු වූ ප්‍රදේශයේ සිටි තරුණ පිරිසක් තරුණයා හා තරුණිය රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ. රෝහලේ දී තරුණයා “ඇයි මගේ ඇස් දෙක වැහුවේ. මට පාර පේන්නේ නැතිව ගියා. ඊට පස්සේ බයික් එක මට පාලනය කරගන්න බැරිව ගිහිල්ලා පෙරළුණා. අනේ මන්දා මීට වඩා ලොකු දෙයක් වුණා නම් කියලා වැඩක් නෑ” තරුණයා තරුණිය දෙස බලා කීවේය. “ඔයාට තියෙන ආදරේ වැඩිකමට සුදු මහත්තයා මට ඇස් දෙක වහන්න හිතුණා” යැයි තරුණිය තරුණයාගේ මුහුණ දෙස බලා ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd