කරුවලගස්වැව - ජයරත්න වික්‍රමාරච්චි



විවාහයක් කර ගැනීම සඳහා සිය පවුලේ අයත් සමග තරුණියක බැලීමට යමින් ගමන අතරමග අලෙවි සලකින් මිලදී ගත් කේක් ගෙඩියේ කොටසක් අතුරුදන් වී ඇතැයි කියන සිද්ධියක් නිසා ලජ්ජාවට පත් තරුණයකු මඟු‍ලට එදාම තිත තැබූ බව කියන පුවතක් ඌව පළාතේ ගමකින් පසුගිය දිනක අසන්නට ලැබුණේය.
කතාවට අනුව සුබ ගමනේ ගමනාන්තය කිලෝමීටර් තිහ හතළිහක් පමණ විය. ඒ සඳහා අදාළ තරුණයා සමග ඔහුගේ මව්පියෝ, සහෝදරයා හා සහෝදරිය, ඔවුන්ගේ සැමියා, බිරිඳ හා දරු දෙදෙනෙක්ද, ඥාති පාර්ශ්වයේ තිදෙනෙක්, මිතුරෙක් හා කපුකම කළ හිතවත් කාන්තාවක්ද එක්වී සිටියහ.
සුළු ව්‍යාපාරිකයකු වූ තරුණයා පවුලේ වැඩිමලා වූ අතර ඔහු විවාහයක් සඳහා එතරම් උනන්දුවක් නොදැක්වූ අයෙක්ද විය. මේ නිසා ඔහුගේ බාල සහෝදරයා සහ සහෝදරිය ද ඔහුට කලින් දරුමල්ලන් වී සිටින්නවුන් බවද කියති.


මෙවන් පසුබිමක් තුළ කනස්සල්ලට පත්ව සිටි මව්පියන් සිය පුත්‍රයාට ඒ ගැන කියා විවාහයක් සඳහා නිරන්තරව ඇවටිලි කරන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ ඔහු මෙම ගමනට කැමැත්ත පළ කර තිබුණි.
ඒ අනුව ඥාති හිතමිතුරු සියල්ලන්ගේම ආශීර්වාදය මැද සුබ මොහොතින් පිටත් වූ එම ගමනේදී තරුණියගේ නිවෙසට රැගෙන ගිය කේක් ගෙඩියේ කොටසක් අඩුවී තිබීමක් පිළිබඳව එදිනම රාත්‍රියේ සත්‍ය තොරතුරු මත පදනම්ව තරුණයා ඇතුළු පවුලේ උදවියට දැනගන්නට ලැබී ඇත.
එය එසේ වූයේ කෙසේදැයි යන්න පිළිබඳව ගමනට එක්වූ එකිනෙකාගෙන් විමසා බලා ඇති අතර එය ගමනට එක්වී වාහනයේ පසුපස අසුනක පියකු සමග සිටි දරුවකුගේ බලවත් ඉල්ලීමක් හීන්සීරුවේ ඉටුකිරීමක් බව එහිදී අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් මහත් සේ ලජ්ජාවට පත්වූ බව කියන තරුණයා අවසානයේ එම මඟු‍ල ද එතනින්ම හමාර කරන්නට තීරණය කළ බවද එම කතාවෙන් වැඩිදුරටත් කියැවිණි.