අම්බලන්තොට සනත් ගමගේ



තරුණියකට වැලඳී ඇති බඩේ රුදාවක් සුව කිරීමට නොයෙක් ශාන්ති කර්ම කටයුතු කළත් කිසිම සුවයක් නොවූ හෙයින්, යමෙකු දීපු දෙයක් මත මෙම තරුණියට බඩේ රුදාව ඇතිවී තිබෙන බවට බොහෝ දෙනකු පැවැසීම මත ආසන්න ගමක දේවාලයක් වෙත ගොස් සාස්තරයක් අසා ඇත.
මෙම දේවාලයේ දී සාස්තර කීම කාන්තාවක සිදු කරන අතර, ප්‍රතිකර්ම කිරීම සිදු කරනු ලබන්නේ තවත් පුද්ගලයකු විසිනි.
උදෑසනින්ම පිබිදී බුලත් අතක් ගෙන පඬුරු පාක්කුඩක්කම් රැගෙන දේවාලයට යන විටත් දේවාලය අසල දිගු පෝලිමක් විය. මව සමඟ දේවාලයට පැමිණි මෙම තරුණිය පෝලිමේ සිටිය දී ද කිහිප වතාවක් බඩේ රුදාව ඇති වී තිබේ. අසල සිටි අය ඇයට අවස්ථාව ලබාදී දේවාලය ඇතුළට යන ලෙසටද දන්වා ඇත.


දොහොත් මුදුන් දී දේවාලයට පැමිණි මෙම දෙපල බුලත් අත තබා සාස්තරය ඇසීය. ‘‘දීපු දෙයක්, පිරිමි ප්‍රාණයක් තමයි දීලා තියෙන්නේ, බඩේ රුදාව එන්න එන්නම වැඩි වෙනවා. බඩට ඇතුළු කරපු දේ ඉවත් කරන්න පුළුවන්ද කියා බලන්න ඕනැය’’ කිවූ දේවාලයේ කපු හාමිනේ ප්‍රතිකර්ම සිදුකරනු ලබන පුද්ගලයාට කතාකරන්නට විය. ඇයි කපු හාමිනේ ප්‍රතිකාරයකට යන්න සිදු වෙලා දැයි විමසා දේවාලය තුළට ඇතුළුවන විට මව සහ තරුණ කාන්තාව දුටු ප්‍රතිකාර කරන පුද්ගලයා බියට පත් වී අඩියක් දෙකක් පස්සට ගන්නට විය. 
‘‘මොකද උඹ බයවෙලා, මේ ලෙඩාට යමක් බඩට ඇතුළුවෙලා. එය ඉවත් කරගැනීමට ප්‍රතිකාර කළ යුතු වෙනවා’’ එසේ කපු හාමිනේ පවසනවාත් සමග තරුණියද කලබලයට පත් විය. අම්මේ අපි යමු ගෙදර මට ටිකක් අමාරුයි යැයි කෙඳිරිලි හඬක් මැද තරුණිය හා මව දේවාලයෙන් පිටව ගියහ. 
ඇත්ත කියාපන් මොකද උඹට වෙලා තියෙන්නේ හඬා වැටුණු තරුණිය දේවාලයේ ප්‍රතිකාර කරන පුද්ගලයාගෙන් තමාට කරදරයක් වූ බව මවට පවසා ඇත.