කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත



නගරයේ නිවෙස ආසන්නයේ ආපනශාලාවකට යතුරුපැදියෙන් ගොස් වැරැදීමකින් පාපැදියකින් එද්දී විනෝද චාරිකාවකින් පැමිණි පාසල් සිසුන්ගෙන් හූ සංග්‍රහයක් විඳින්නට සිදුවූ විශ්‍රාමිකයකු ගැන කතාවක් රූකඩවලට ප්‍රසිද්ධ පුරවරයකින් ඇසේ.
හේ රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කර විශ්‍රාම ලැබූ අයෙකි. හැට පැන්න නිසාය. හැට පැන්නත් මිනිහා තවමත් ඉන්නේ කොල්ලා වගේය. තවමත් කරන්නෙත් කොලු‍ වැඩය. ඔහු කොල්ලා වගේ ඉඳීමට ප්‍රසිද්ධ රහසක් තිබේ. ඒ සිරුර හොඳින් නඩත්තු කරන නිසාවෙනි. යාන වාහන කෙතරම් තිබුණත් ශරීර සෞඛ්‍ය ගැන සිතා ඔහු වැඩිපුරම කෙටිදුර ගමන් යන්නේ පාපැදියෙනි. ඔහුගේ නිවෙස පිහිටියේ රූකඩවලට ප්‍රසිද්ධ නගර මධ්‍යයේය. 
එදා ඔහු යතුරුපැදියෙන් නගරයේ ආපනශාලාවට ගියේ උදේට ආහාරයට ගැනීමට කෙටි කෑම වර්ග ටිකක් මිලදී ගැනීමටය. ඒ හදිසි අවශ්‍යතාවයක් නිසාමය. මේ වන විට එම ආපනශාලාවට දුර පළාතකින් විනෝද චාරිකාවක් සඳහා පාසල් ළමයින්ගෙන් පිරී පැමිණි බස් රථයක් ද නතර කර තිබුණේය.


ඔහු එම ආපනශාලාවෙන් කෙටි කෑම ටිකක් දනිපනිගා මිලදී ගෙන එන්න පිටත් වූවේය. ඒ යතුරුපැදි හෙල්මට්ටුවක් දමා පාපැදියකිනි. මෙය දුටු විනෝද චාරිකාවේ පාසල් සිසුහු හොඳ හූ හඬක් දුන්හ. තමාට මෙසේ සිසු, සිසුවියන් හූ තියන්නේ මක්කටැයි ඔහු මඳක විපරම් කළේය. දෙයියන්ට ඔප්පු වෙච්චාවා තමන් හෙල්මට්ටුවක් දමාගෙන යන්න ගොස් ඇත්තේ එම ආපනශාලාව ඉදිරිපිට නතර කර තිබූ වෙන කෙනෙක් පැමිණි පාපැදියකිනි. තමා පැමිණි යතුරුපැදිය නවතා දමා තිබූ තැනමය.
පාසල් සිසුන්ගේ හූ හඬ මධ්‍යයේම ඔහු යන්න ගිය පාපැදිය ආයෙත් එතනම නවතා තමා ආ යතුරුපැදියෙන් එන්න පිටත්වූවේ තමාට හූ හඬ තියූ පාසල් සිසු, සිසුවියන්ට ස්තූති කරමිනි.