IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ආත්ම තෘප්තියට වීදි පහන් නිවද්දී දොස්මුරයක්

(පෝද්දල සරත් ආනන්ද ගමගේ)
ප්‍රධාන මාර්ගයේ විදුලි පහන් කණුවක දැල්වෙමින් තිබුණු වීදි පහනක් නිවා දැමීමට කටයුතු කරමින් සිටි අයෙකුට මාර්ගයේ ගමන් කරමින් සිටි වෙනත් පුද්ගලයෙකු පැමිණ රාජකාරිය හරියට ඉටු කරන්නේ නැතැයි බැණ තර්ජනය කළ සිද්ධියක් පිළිබඳ තොරතුරු දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.


ප්‍රදේශයේ කාගෙත් හොඳ හිත දිනාගෙන සිටින පුද්ගලයෙකු වන ඔහු දිනපතාම උදෑසන සිය පාපැදියෙන් නගරයට යන්නේ පුවත්පත් මිලදී ගැනීම සඳහාය. එම ගමනේදී නිවසේ සිට නගරය තෙක් ප්‍රදේශයේ දැල්වෙමින් තිබෙන වීදි පහන් නිරීක්ෂණය කරගන්නා ඔහු නැවත නිවසට එන අතරේදී එම සියලු පහන් නිවා දමමින් පැමිණීම පුරුද්දක් කරගත් අයෙකි.


ඔහු පාපැදිය විදුලි පහන් කණුව අසලම නවත්වා පාපැදියේ සිටිමින්ම පහන ක්‍රියාවිරහිත කරන අතර ප්‍රධාන පාලම අසල පහන නිවාදැමීමට පමණක් පාපැදියෙන් බැසීමට සිදුවන්නේ එය මාර්ගයෙන් පිටත ආරක්ෂිත වැටකින් එපිට සිටුවා තිබෙන බැවිනි.


පසුගිය දිනක ඔහු මෙම පාලම අසල වීදිපහන නිවාදැමීම සඳහා පාපැදිය ආරක්ෂක වැටට හේත්තුකර ඒ දෙසට ගොස් පහන නිවා දමමින් සිටියේය. එම අවස්ථාවේ යතුරු පැදියකින් නගරයට දෙසට යමින් සිටි අයෙකු හරවාගෙන ඇවිත් ඔහු අසල නතරකර මොකද්ද ඔහේගෙ නම යැයි කියා විමසා සිටියේය.


ඇයි මගේ නම අහන්නේ කියා ඔහු විමසා සිටිත්දී, අර පන්සල ළඟ ලයිට් එකත් තාම පත්තු වෙනවා. අර බන්ට් එක ළඟ ලයිට් එක ඊයේ දවසෙම පත්තු වුණා. අර අසවල් ගුරුවරයාගෙ ගේ ඉස්සරහ ලයිට් එක හැමදාම දවල්ටත් පත්තු වෙනවා. ඒවා නිවන්නෙ නැත්තේ මොකදැයි කියා දෝෂාරෝපණයෙන් විමසා සිටියේය.


තමා ප්‍රාදේශීය සභාවේ රැකියාවේ යෙදෙන්නේ නැතැයිද තම ආත්ම තෘප්තිය සඳහා ස්ව කැමැත්තෙන් මෙසේ කරන බවත් ඔහු පැවසීය.


බොරු කියන්න එපා. මම හැමදාම දැකල තියෙනව මේ රස්සාව කරනව. මම සභාපතිතුමත් හොඳට දන්නවා. මේ විදියටනම් රාජකාරි කරන්නේ මට ඔහේ ගැන පැමිණිලි කරන්න වෙනවා යැයි දබර ඇඟිල්ල එල්ල කරමින් දෝෂාරෝපණය කළේය.


මාර්ගයේ යමින් සිටින අයද සිය වාහනවල වේගය අඩුකර මේ බහින්බස් වීම නරඹමින් ගිය අතර යතුරුපැදියකින් යමින් සිටි ඔහුගේ මිත්‍රයෙකු සිද්ධිය වූ ස්ථානයට පැමිණ කරුණු පැහැදිලි කිරීමෙන් පසු අර තැනැත්තා කරබාගෙන පිටත්ව ගියේය.


හොඳ වැඩක් කළත් මිනිස්සු බලන්නෙ ඒකෙ වැරදි පැත්තක් යැයි පැවසූ මිතුරා උඹ ඕක ගණන් ගන්න එපා යැයි පවසා පිටවී ගිය අතර සිදුවූ අලකලංචිය මෙනෙහි කරමින් ඔහු ඉතිරි පහන් ටිකද නිවා දමමින් නිවස කරා පියනැගීය.

 



අදහස් (0)

ආත්ම තෘප්තියට වීදි පහන් නිවද්දී දොස්මුරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1455 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1308 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 472 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site