දකුණු පළාතේ වෙරළ බඩ වූ ග්‍රාමීය බැංකුවකි. උදා වූ නව වසර සඳහා තමාටත් දරුවන්ටත් මුදලක් තැන්පත් කිරීමට ආ කාන්තාවක් දෙස බැලූ කළමනාකාරිණිය පුදුමයට පත්වුවාය. ඒ ඇය වසර තුනකට පමණ පෙර මෙම බැංකුවට පැමිණ ණය මුදලක් ලබාගෙන එහි වාරිකය නොගෙවීම ගැන ආරවුලක් ඇති කරගෙන පසුව පැමිණ මුළු මුදලම ගෙවා ‘තවත් මේ බැංකුවේ පස් නොපාගන’ බව පවසමින්  කෝපයෙන් ආපසු ගොස් තිබු නිසාය.


මෙදින ඉතා සතුටෙන් කාලය ගතකළ ඇය ගනුදෙනු කොට අලුත් අවුරුද්දට කාටත් සුබ පතමින් ඔයාලට මගෙන් සංග්‍රහයක් කියමින් කළමනාකාරිණියට කිරිබත් පාර්සලයක්ද දුන්නාය. ඇය ආපසු යාමත් සමඟම ලිපිකාරිණියක්“ අපෝ මටනං එපා ඕවට මොනව දාලද දන්නෙ නෑ” කීවාය.


“ඒකත් ඇත්ත” කී කළමනාකාරිණිය මඳක් සිතා අපි අර එහා පැත්තෙ ඉන්න බල්ලට කෑල්ලක් දීල බලමු”කීවාය. බැංකුව පසුපසට ගිය ඇය එතැන බල්ලන් දෙදෙනකු සිටිනු දැක කෑලි දෙකක් උන් අසල තැබුවාය. කිරිබත් දුන් කාන්තාව යළි ආපසු ආවේ අමතක වූ බැංකු පොත ගෙන යාමටය. 


ඒ අවස්ථාවේම කිරිබත් කෑලි දෙක කටින් රැගෙන එකිනෙකාට ගොරවමින් එන බල්ලන් දෙදෙනා දෙස ඇය බලන විට කළමනාකාරිණියට “හත්දෙයියනේ” කියැවුනාලු.                                   (තිහගොඩ උපසේන ලියනගම)