(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 රෙදිපිළි සාප්පුවක ඩමියක හැපී ‘අනේ නංගි සොරි’ කියද්දී වටපිටාවේ සිටියවුන් සිනාසෙනු දැක රෙදි මිලදී ගැනීම පසෙකලා ආපසු ගිය අක්ක නඟෝ දෙදෙනකු පිළිබඳව කොළඹට නුදුරු නගරයකින් පසුගිය නත්තල් උත්සව සමයේදී අසන්නට ලැබිණි.


නාගරික පරිසරයක හැදුණු වැඩුණු සොයුරියන් තිදෙනෙකි. දෙවැනි අක්කා වසර ගණනකට ඉහත දී විවාහ වී ගියේ ගැමි පරිසරයකටය. ගමට ගිය දෙවැනි අක්කා මහගෙදර එන්නේ වසරකට එක් වතාවකි. ඒ දෙසැම්බර් පාසල් නිවාඩුවටය.


තම දරුවන් ද සමග ඉකුත් දාක ඇය මහගෙදරට පැමිණියාය. ඒ පැමිණි පසු ෂොපින් යාම මේ දෙන්නාගේ පුරුද්දකි. දෙයක් අවශ්‍ය නැති වුවත් මේ නංගිලා දෙන්නා සාප්පු සාවාරි යන්නේ නව නිපැයුම් ආදිය දැක ගන්නට අවස්ථාව සැලසෙන නිසාය.


කුලියට ගත් ත්‍රිරෝද රියකින් මේ අක්කා නඟෝ නගරයේ වෙළෙඳ ආයතනයකට ගියහ. දැන් තිදෙනා ඉහළ මාලයට යන්නේ ස්වයංක්‍රීය පඩිපෙළ දිගේය. එක් එක් ඩමිවලට අන්දවා ඇති ඇඳුම් දෙස බලමින් නංගිලා දෙන්නා ඒවා තම දියණියන්ට සුදුසු ඒවා බවට නිගමනය කරද්දී අක්කා නිහඬව ගමනේ යෙදුණි. ඉහළ මාලයට ගියා පමණි.


ඉදිරියට තැබූ පය පැටළී අක්කා වැටෙන්නට ගියේය. ඇය ඩමියක හැප්පීමත් සමග ඩමිය ද පැත්තකට විසි වී ගියේය. තරුණියක ලෙස එම ඩමිය  දුටු අක්කා “අනේ නංගි සොරි සොරි” කියද්දී අසල සිටි වෙළෙඳ සේවිකාවන් මෙන්ම රෙදි මිලදී ගැනීමට පැමිණ සිටි කතුන් ද සිනාසෙන්නට වීම නිසා සොහොයුරියෝ දෙදෙනා බලවත් අපහසුතාවකට පත්වූහ.


සිනාව නවතා ගැනීමට නොහැකි නිසාම ඔවුහු ඇඳුම් ගැනීම පැත්තක තබා හෙමින් සීරුවේ වෙනත් රෙදි කඩයකට ගියෝය. එවිට නංගි අක්කා අමතා කීවේ “කවුරු ඇඟේ හැප්පුනත් සොරි කියන්න නම් එපා” කියාය.