සමානාත්මතාවය සහ යුක්තිය සඳහාවු කේන්ද්‍රය
2023 වසර වන විට ශ්‍රී ලංකාවේ පවුල්වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ණය බරින් පීඩිතව සිටියහ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, එම පවුල්වලින් හතරෙන් එකක් පමණ ණය ලබාගෙන ඇත්තේ හුදෙක් ජීවත් වීමට සහ එදිනෙදා ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වේ. සුළු හා පෞද්ගලික ණය ලබාදීමේ පවතින සූරාකෑමේ ස්වභාවය නිසා, මෙම පවුල් බොහොමයක් අදටත් ණය බරින් මිදී නොමැති බව උපකල්පනය කළ හැකිය. මෙය ප්‍රජා මට්ටමින් ආර්ථික වර්ධනය අඩාල කරන අතර ජාතික මට්ටමින් රාජ්‍ය ණය ඉහළ යාමට ද හේතු වේ.
පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති මෙම වර්ධනය වන ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින්, රජය විසින් 2026 මාර්තු මුලදී 2026 අංක 9 දරන ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත සම්මත කරන ලදී. ලියාපදිංචි කිරීමේ සහ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලියක් හරහා සූරාකෑමේ ස්වභාවයක් ගන්නා ණය දීමේ ක්‍රම වැළැක්වීම සහ නියාමනය නොකළ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුවල අහිතකර බලපෑම් අවම කිරීම මෙම පනතේ යහපත් අරමුණ වේ. මූලධර්මයක් ලෙස ගත් කල, ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ කලක පටන් පවතින වගකීම් විරහිත සහ අයථා ණය ලබාදීමේ මෙන්ම ණය අයකර ගැනීමේ ක්‍රමවේද පාලනය කිරීමත්; බිය ගැන්වීම්, බලහත්කාරකම් සහ ලිංගික අල්ලස් ඇතුළු බරපතළ අවභාවිතයන් තුරන් කිරීමත් මෙම පනතේ අරමුණ වේ. කෙසේ නමුත්, මතුපිටින් බලන විට යහපත් යැයි පෙනෙන දෙයක ඇති සැබෑ ගැටලුව හෝ අන්තරාය මතුවන්නේ එහි ඇති සියුම් කරුණු සොයා බැලීමේදීය.
මෑතකදී සම්මත කරන ලද මෙම නීතිය මගින් එහි ප්‍රකාශිත අරමුණු ඉටු කර ගැනීමට අපොහොසත් වනවා පමණක් නොව, එය ක්‍රියාත්මක වීමෙන් ප්‍රජා පාදක අත්‍යවශ්‍ය මූල්‍ය ආකෘතීන් පවා බිඳවැටීමේ අවදානමක් පවතින බවට විෂය ප්‍රවීණයන්, බිම් මට්ටමේ ක්‍රියාකාරීන් සහ ප්‍රජා සාමාජිකයන් දැඩි කනස්සල්ල පළ කර ඇත. නීති සම්පාදකයින් විසින් ප්‍රජා සාමාජිකයින්ගේ (විශේෂයෙන්ම කාන්තාවන්ගේ) අදහස් මෙන්ම ප්‍රජා ණය වැඩසටහන්, කාන්තා ආර්ථික අයිතිවාසිකම් සහ ක්ෂුද්‍ර මූල්‍ය නියාමනය පිළිබඳ කටයුතු කරන අයගේ අදහස් තේරුම් ගැනීමටත්, ඒවා මෙම නීතියට ඇතුළත් කිරීමටත් කටයුතු කළේ නම් මෙම තත්ත්වය මඟහරවා ගැනීමට තිබුණි.
ඇත්ත වශයෙන්ම, නිසි ප්‍රජා උපදේශනයකින් තොරව මෙම ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත කඩිනමින් සම්මත කිරීමට එරෙහිව ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින කාන්තාවන් 4,000කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් සංවිධානය වී පෙත්සමක් සකස් කර අත්සන් තබා ඇත. විවිධ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රම සම්බන්ධයෙන් තමන් ලැබූ සැබෑ අත්දැකීම් බෙදා ගැනීමට ස්වයං උපකාරක කණ්ඩායම්වල කාන්තාවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවීමට අවස්ථාව ඉල්ලා සිටියද, ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් හිමි නොවුනි.
කාන්තාවන්ගේ, විශේෂයෙන්ම සමාජයෙන් කොන්වූ සහ පීඩිත කාන්තාවන්ගේ අදහස් තේරුම් ගැනීමට සහ ඒවා පනතට ඇතුළත් කිරීමට අපොහොසත් වීමෙන් අයථා ණය ලබා දීමේ සහ ණය අයකර ගැනීමේ ක්‍රමවේදයන්ට අර්ථවත් ලෙස විසඳුම් සෙවීමට මෙම පනතට නොහැකි වනු ඇත. එපමණක් නොව, වත්මන් පනතේ දක්වා ඇති පටු නිර්ණායක හේතුවෙන් බොහෝ විට කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන, ප්‍රජාව මත පදනම් වූ ඉතා වැදගත් හා ඵලදායී ඉතිරි කිරීමේ සහ ණය ලබාදීමේ වැඩසටහන් නීති විරෝධී ඒවා බවට පත්වනු ඇත.
ස්වයං උපකාරක කණ්ඩායම් යනු සාමූහික තීරණ ගැනීම් හරහා කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය වර්ධනය කරන, විශ්වාසය මත පදනම් වූ, ස්වයං-පාලනයක් සහිත, ලාභ නොලබන ප්‍රජා වේදිකාවන් වේ. මෙම ස්වයං උපකාරක කණ්ඩායම්වල හරය වන්නේ ප්‍රජාව මත පදනම් වූ ඉතිරි කිරීමේ සහ ණය වැඩසටහන් වන අතර, එමඟින් කාන්තාවන්ට සහ පවුල්වලට සුළු සේවා ගාස්තුවක් යටතේ ඉතා ඉක්මනින් සහයෝගීතාවයෙන් යුතු ණය පහසුකම් ලබාගත හැකිය. කෙසේ වෙතත්, ස්වයං උපකාරක කණ්ඩායම් මඟින් ණය පහසුකම්වලට වඩා වැඩි යමක් ඉටු කරයි. අධ්‍යාපනය සහ වඩා හොඳ සෞඛ්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කරමින් පවුල් සහ ප්‍රජාවන් වැඩිදියුණු කිරීමට, මෙම කණ්ඩායම් මඟ පාදයි. එසේම ස්වභාවික හෝ පෞද්ගලික ව්‍යසනයන් හමුවේ පවුල් ආරක්ෂා කරමින්, ගෞරවනීය ලෙස නැවත නැගී සිටීමට ද ශක්තිය ලබා දෙයි. සාමාජිකයින් සතු දැනුම එක්රැස් කරමින් ප්‍රගතිශීලී වෙනසක් වෙනුවෙන් පෙනී සිටීමටත්, කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුන් සමාජය තුළ ඉහළ තලයකට ඔසවා තැබීමටත්, එමඟින් අවභාවිතයන් හා හිංසන වැළැක්වීමටත් මෙම කණ්ඩායම් උදවු වේ. තවද, සාමූහික මිලදී ගැනීම් හෝ වෙළඳපල ප්‍රවේශයන් පුළුල් කරගැනීම සඳහා ප්‍රජා මට්ටමේ ව්‍යාපාර දිරිමත් කිරීමටත් ස්වයං උපකාරක කණ්ඩායම් පහසුකම් සලසයි. අවසාන වශයෙන්, සබඳතා වර්ධනය කිරීමට, කුසලතා නැංවීමට සහ ජාතික වර්ධනයට දායක වන සක්‍රීය ප්‍රජාවක් ගොඩනැගීමට අවශ්‍ය ආරක්ෂිත සහ සහයෝගී අවකාශයක් මෙමඟින් නිර්මාණය වේ.
පනතේ ඇතුළත් දැඩි නීතිරීති මෙන්ම එහි පවතින වියදම් අධික, සීමා සහිත සහ දුෂ්කර ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයන් හේතුවෙන් ප්‍රජාව මත පදනම් වූ ඉතිරි කිරීමේ සහ ණය වැඩසටහන් අඩපණ වනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැනටමත් අසරණ වී සිටින ජනතාවට ඇති මූල්‍ය විකල්ප, සීමා වන අතර ඔවුන් තවදුරටත් අයථා ණය ලබාදෙන්නන්ට ගොදුරු වීමටත්, ආයතනික වශයෙන් 'ණය ලබා ගැනීමට නුසුදුසු' පුද්ගලයන් ලෙස හංවඩු ගැසී කොන් වීමටත් ඉඩ ඇත. එමෙන්ම, මෙම ප්‍රජා මූල්‍ය වැඩසටහන් නොමැති වුවහොත් ස්වයං උපකාරක කණ්ඩායම් ද විසිරී යාමට ඉඩ ඇති බැවින්, එහි සාමාජිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ද ඉන් දැඩි බලපෑමක් එල්ල වනු ඇත.
කෙසේ නමුත්, මෙය නිවැරදි කිරීමට තවමත් කල් තිබේ. පනත සම්මත වී තිබුණද, නියාමන අවධියේදී පහත පරිදි සරල හා සාධාරණ සංශෝධන කිහිපයක් එක් කිරීමෙන් එය බෙහෙවින් වැඩිදියුණු කළ හැකිය. (1) පනත ක්‍රියාත්මක කිරීමේදී බිම් මට්ටමේ යථාර්ථයන් පිළිබිඹු වන පරිදි, අදාළ පාර්ශ්වයන් (විශේෂයෙන්ම කාන්තා පීඩිතභාවයන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා ප්‍රජා කාන්තාවන්) නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම සහ ඔවුන්ගේ උපදෙස් ලබා ගැනීම සහතික කිරීම. (2) ක්ෂුද්‍ර මූල්‍ය ආයතන, පෞද්ගලික ණය දෙන්නන් සහ ප්‍රජා ණය වැඩසටහන්වල විවිධ කාණ්ඩ මොනවාදැයි පැහැදිලිව අර්ථ දැක්වීම. (3) කාන්තාවන් විසින් මෙහෙයවන ලාභ නොලබන ස්වයං උපකාරක කණ්ඩායම් සහ එවැනි වැඩසටහන් සඳහා පනත යටතේ නීත්‍යානුකූලව ක්‍රියාත්මක වීමට අතිරේක ක්‍රමවේදයක් ඇතුළත් කිරීම. මෙම ක්‍රමය අවම නීතිරීති සහිත, පරිපාලනමය බරක් නොවන, වියදම් අඩු සහ එම වැඩසටහන්වල ස්වාධීනත්වය ආරක්ෂා වන සරල ප්‍රජා මට්ටමේ ලියාපදිංචි වීමේ ක්‍රියාවලියක් විය යුතුය. (4) පාරිභෝගික ආරක්ෂාව මෙම නීති සම්පාදනයේ මූලික පදනම බවට පත් කිරීම. (5) උපරිම පොලී අනුපාතයන් තීරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ ලබා දීම. (6) වාණිජ ව්‍යාපාර සහ වාණිජ නොවන ප්‍රජා මූල්‍ය වැඩසටහන් සඳහා වෙනස් වූ ඇපකර අවශ්‍යතා හඳුන්වා දීම. (7) බලහත්කාරයෙන් ණය අයකර ගැනීමේ ක්‍රම සහ ලිංගික අල්ලස් වැනි ක්‍රියාවලට එරෙහිව ආරක්ෂණ විධිවිධාන ඇතුළත් කිරීම සහ එවැනි උල්ලංඝනයන් සිදු වූ විට නිසි පියවර ගැනීමට ප්‍රතිපාදන සැලසීම. (8) නියාමන තීරණවලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට පැහැදිලි ක්‍රමවේදයක් සැකසීම සහ ණය ගැතියන්ගේ නීතිමය නියෝජනයක් ලබා ගැනීමේ අයිතිය සීමා නොකිරීම.
මෙම ක්‍රියාමාර්ග ඇතුළත් කිරීම මගින්, ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනතේ මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීමටත්, වඩාත් අසරණ වූ සහ අවාසි සහගත තත්ත්වයට පත්ව සිටින ජනතාව අර්ථවත් ලෙස ආරක්ෂා කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd