ළමුන්ට පහරදීම ඔවුන් ප්‍රචණ්ඩවීමට හේතුවක් බව ඇමෙරිකාවේ සිදුකළ පරීක්ෂණයකින් තහවුරු වී ඇත. ඔවුන් පවසන්නේ දෙමාපියන් හා වැඩිහිටියන් දරුවන්ගේ විනය ඇතිකිරීමට ගන්නා ක්‍රියාමාර්ග දරුණු ලෙස ළමයින් බලපාන බවයි. පසුකාලීනව දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාව කොතරම් හොඳ වුවත් මේ මුලින් තරවටු කිරීම පසුව ද අහිතකර ලෙස බලපාන බව පර්යේෂකයෝ කියති.

පරීක්ෂණය සිදුකළ මිචිගන් විශ්වවිද්‍යාලයේ සමාජ සේවා කටයුතු සම්බන්ධ සහකාර මහාචාර්ය ෂවනා ලී පවසන්නේ පොදු විශ්වාසයට අනුව දෙමාපියන් හා ළමයින් අතර ධනාත්මක හා හොඳ සම්බන්ධතාවක් තිබීම ළමයින් අහිතකර තත්ත්වයන්ගෙන් අත්මුදවා ගැනීමට හේතුවක් වන බවයි.

මව සිය දරුවන් හා හිතවත්කමින් සිටීමෙන් වඩා වැදගත් ප්‍රතිඵල අත්කැරගත හැකි බව ද පර්යේෂණයේ දැකවේ. මහාචාර්ය ෂවනා ලී මහත්මිය මෙසේ පවසයි.

'' ළමයින්ට අතුල් පහර දීමෙන් ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය ඉහළ යනවා. ශාරීරික දඬුවම් මේ තත්ත්වය ඉහළ යාමට බලපානවා. අපි මේ අධ්‍යයනයට සුදු ජාතික ඇමෙරිකානු හා අප්‍රිකානුවන් සහ එම භාෂා කතාකරනු ලබන පවුල්වල ළමුන් 3200ට වඩා යොදාගත්තා. වයස අවුරුදු 1-5 දක්වා වයස් කාණ්ඩයන්ගේ දත්ත භාවිතා කරමින් අපි මේ පර්යේෂණය කළා. මෙහිදී අප අවධානය යොමු කළා ළමයින්ට පහරදුන්නා ද ? කොතරම් කාලයක් ළමුන් සමග හිතවත්ව කටයුතු කළා ද යන්න සම්බන්ධයෙන්. "

ඔවුන් සිදුකළ තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ යොවුන් වියේ ළමුන්ට තරවටු කිරීම හෝ තර්ජනය කිරීම මගින් ඔවුන් අවපීඩනය වැනි මානසික ආබාධ වලට ගොදුරුවන බවයි. නව යොවුන් වියේ හා යොවුන් වියට පිවිසි තම දරුවන්ට බැන වැදීම, තරවටු කිරීම සහ පරිභව කිරීම හේතුවෙන් ඔවුන් මානසික ආබාධ වලට ගොදුරුවීම වැළැක්විය නොහැකියැයි ද මේ පරීක්ෂණයෙන් හෙළි වී ඇත.

බොව්ලින් ග්‍රීන් සරසවියේ මනෝ විද්‍යා මහාචාර්ය ඇනටි මැ‍හොනි පවසන්නේ මව හෝ පියා වචනයෙන් බැන වැදීම හෝ කෑ ගසා පහර දීම දෙමාපියන් විසින් ළමුන්ට කරන හානියක් බවයි. ළමුන්ට දඬුවම්  කිරීමෙන් ඔවුන් තවත් දරුණු වන බව මහාචාර්ය මැහොනි වැඩිදුරටත් කියා සිටියි. ඔහු පවසන්නේ කැගසම්න් හා පහර දෙමින් තම ළමුන් මට්ටු කිරීමට නොයන දෙමාපියන්ගේ දරුවන් මානසික ආබාධ වැළඳීමේ අනතුරුදායක තත්ත්වයෙන් මිදී සිටින බවයි.