ඉරානය සමගය යුද වැදීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඇමෙරිකානු රජය සතුව ඕනෑතරම් පවතින බවත්, ඒ සඳහා එරට වැසියන් මත අමතර බදු බරක් පැටවීමේ කිසිදු සූදානමක් නොමැති බවත් ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් අවධාරණය කර ඇත.

ස්කොට් බෙස්න්ට් මෙසේ අවධාරණය කළේ ‘මීට් ද ප්‍රෙස්’ මාධ්‍ය හමුවට එක් වෙමිනි. ඔහු පැහැදිලි කළේ යුද වියදම් පියවා ගැනීමට බදු වැඩි කිරීමක් පිළිබඳව සලකා බැලීම පවා විහිළුවක් ලෙස තමන් සලකන බවය.

පෙන්ටගනය (ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව) විසින් අනාගත හමුදා මෙහෙයුම්  ඉහළ නැංවීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 200ක අතිරේක අයවැය ප්‍රතිපාදනයක් ඉල්ලා ඇති බවට වාර්තා පළ වුව ද, භාණ්ඩාගාර ලේකම්වරයා එම නිශ්චිත අගය තහවුරු කිරීමෙන් වැළකී සිටියේය. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී මෙන්ම දෙවන ධුර කාලයේදීත් හමුදා බලය ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත්, ඉදිරියේදී හමුදාවට අවශ්‍ය සියලු සැපයුම් සහ පහසුකම් අඩුවකින් තොරව ලබා දීමට රජය සූදානම් බවත් ස්කොට් බෙස්න්ට් වැඩිදුරටත් සඳහන් කළේය.