පොලන්තයේ වර්සව් හිදී පසුගියදා පැවැත්වූ ලෝක දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ සමුළුවේදී මෑතක සිට ඉහළ ගොස් ඇති ස්වභාවික ව්‍යසන වලට හේතුව මිනිසාගේම ක්‍රියාකාරකම් යැයි චෝදනාවක් නැගුනි.

මෙම චෝදනාව පසුපස සිටියේ චීනය ඇතුලූ සංවර්ධනය වෙමින් පවතින රටවල් 130 කි. සංවර්ධිත රටවල් එදවස සිට සංවර්ධනයේ නාමයෙන් ඉවක් බවක් නැතිව කළ දේවල ප්‍රතිඵල දැන් ලොවටම අත්විදීමට සිදුව තිබෙන්නේ යැයි ද ඒවාට වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේත් ඔවුනට නොව නැගිටීමට උත්සාහ කරන සංවර්ධනය වෙමින් පවතින තමන් වැනි රටවල ජීවත් වන්නන්ට යැයි ද එම රටවල නියෝජිතයෝ චෝදනා  කළහ.

ඔවුන් යෝජනා කළේ ස්වභාවික ව්‍යසන අවස්ථාවකදී සංවර්ධිත රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවලට ක්ෂණිකව ආධාර ලබා දීමේ වැඩ පිළිවෙලක් ඇති කළ යුතු බවයි. මෙම ආධාර ලබා දීම ඔවුනට අනුව සිදුවිය යුත්තේ කදිම කොන්දේසියක් මතය. එනම් කිසියම් රටක් සංවර්ධිත මට්ටමට ඒමට කෙතරම් කාලයක් ගතකළේ ද එම ගතකළ කාලය වැඩි වන තරමට එම රට පිරිනැමිය යුතු ආධාර ප්‍රමාණයද වැඩි විය යුතු බවයි.

මෙම යෝජනාවට සංවර්ධිත රටවල නියෝජිතයන්ගේ දැඩි විරෝධයක් එල්ල විය. එවන් වැඩ පිළිවෙලක් සකස් කිරීම කිසිසේත් සාධාරණ නොවන බව ඔවුන්ගේ අදහස විය. ස්වභාවික ව්‍යසනයකදී අවශ්‍යතාව බලා ආධාර ලබා දෙනවා මිස සෑම ස්වභාවික ව්‍යසනයකදීම ආපදාවට පත් රටට ආධාර පිරිනැමීමේ හැකියාවක් තමන්ට නැති බව ඔවුන් පැවසීය.

දෙපාර්ශ්වයේ මත ගැටුම නිසා සාමකාමීව අවසන් වේ යැයි සිතා සිටි සමුළුව ගැටුම්කාරී ස්වරූපයක් ගත්තේය. සංවර්ධනය වෙමින් පවතින රටවල් රැසක් අවසානයේ තීරණය කළේ කිසිදු පැහැදිලි අරමුණකින් තොරව ක්‍රියාත්මක වන මෙවන් සමුළුවක සාමාජිකත්වයෙන් වැඩක් නොමැති බවයි. මෙය සංවර්ධිත රටවල් තම තමන්ගේ වැරදි වසා ගැනීමේ අරමුණින් ඇති කර ගත්   සමුළුවක් බව ඔවුන්ගේ අදහස විය.