හෝමූස් සමුද්‍ර සන්ධිය හරස් කළ ඇමෙරිකන් නාවික හමුදාවට පහර දීමටත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ බිම් බෝම්බ ඇතිරීමටත් ඉරාන විප්ලවීය හමුදාවේ නාවික බලකාය පුහුණු කරන ලද ඩොල්පින් මසුන් යොදා ගැනීමට ඉඩ ඇතැයි වෝල් ස්ටී්‍රට් ජර්නල් පුවත්පත අනාවරණය කර ඇත.

ඩොල්පින් යනු සාගරයේ ජීවත් වන බුද්ධිමත් ක්ෂීරපායීන්ය. ඕනෑම කාර්යයක් සඳහා ඩොල්පින් මසුන් පුහුණු කළ හැකිය. ඇමෙරිකාව සහ රුසියාව සාගරයේ ඔත්තු බැලීම් සඳහා විශේෂ හමුදා පුහුණුවක් ලබා දුන් ඩොල්පින් මසුන් යොදා ගන්නා බව ප්‍රකට රහසකි. 

මෙවැනි ඩොල්පින් මසුන් හැඳින්වෙන්නේ ‘කමකාසී ඩොල්පින්’ යන නමිනි. 

“ඉරානය කමකාසී ඩොල්පින් මසුන් යොදා ගනිමින් ඇමෙරිකන් නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමටත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ බිම් බෝම්බ ඇතිරීමත් සිදු කරන බවට වාර්තා පළ වෙනවා. ඒත් ඒ බව තහවුරු කිරීමේ හැකියාවක් නැහැ. ඉරාන නාවික හමුදාව සතුව කමකාසී ඩොල්පින් මසුන් සිටිනවාදැයි යන්න තහවුරු කිරීමේ හැකියාවක් ද නැහැ” යැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සිත් මාධ්‍ය හමුවකදී පැහැදිලි කර ඇත.

නිරවි යුද සමයේ දී එදා රුසියාව හෙවත් සෝවියට් දේශය කමකාසී ඩොල්පින් මසුන් බහුලව යොදා ගැනීම කළේය. මෙම ඩොල්පින් මසුන් ඔත්තු බැලීම්වලට අමතරව, සාගරයේ බෝම්බ ඇතිරීමට බෝම්බ රැගෙන යෑම, පුපුරන ද්‍රව්‍ය රැගෙන යෑම ආදිය සඳහා පුහුණු කෙරේ. ඩොල්පින් සතුන් සාගරයේ නිතර දකින්න ලැබෙන බැවින්, ඔවුන් ගැන සැකයක් ඇති නොවීම නිසා උන් හමුදා මෙහෙයුම් සඳහා යොදා ගැනීම සිදු වෙයි.