ඇමෙරිකාවත් ඉරානයත් අතරේ, කටාරයේ දෝහා නුවර පැවැත්වෙන සාකච්ඡා‍ සාර්ථක මාවතකට යොමු වී ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. 

ඇමෙරිකන් ජනාධිපතිවරයා ඊයේ (1) මේ බව කියා සිටියේ එම සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්, එම සාකච්ඡාවල ප්‍රගතිය ඔහුගෙන් විමසූ අවස්ථාවේදීය.

ඇමෙරිකා සහ ඉරාන නියෝජිතයන් අතරේ, මෙම වක්‍ර සාකච්ඡා පැවැත්වෙන්නේ, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අදාළවය.

ගැටුම් නැවැත්වීමට ඉරානය කොන්දේසි 14 ක් ඉදිරිපත් කර ඇත. එම කොන්දේසි සම්බන්ධයෙන් තවමත් මත ගැටුම් පවතී.

එසේ අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබියදී පවා, ඉකුත් සති අන්තයේ යළිත් වරක් ඇමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් පැවැතිණි. 

තමන් පටන් ගත් දේ අවසන් කරන බවත්, ඉරානය සුන්නද්ධූලි කරන බවත් පවසමින් ට්‍රම්ප් ඉරානයේ ඉලක්කවලට පහර දීමට ඇමෙරිකන් හමුදාවට අණ කළේය.

ඇමෙරිකන් හමුදාව ඉරානයට පහර දෙද්දී, ඉරානය පෙරළා කලාපයේ අසල්වැසි අරාබි ඇමෙරිකන් ඉලක්කවලට පහර දුන්නේය.

මෙම ප්‍රහාර සමග, අවබෝධතා ගිවිසුම හරහා ඇති කරගත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් බිඳ වැටීමේ තර්ජනයක් මතුව තිබුණ ද කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවැති සාකච්ඡා සාර්ථක කර ගැනීමට දෙපාර්ශ්වය උනන්දුවක් දක්වන බව තමන්ට පෙනෙනවා යැයි කටාර් බලධාරීහු පවසති.

අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අදාළව, ගැටුමකට නොයා සිටීමටත්, දෙපාර්ශ්වය අතරේ හොඳ සන්නිවේදනයක් පවත්වාගෙන යෑමටත් ඇමෙරිකන් සහ ඉරාන නියෝජිතයන් අතරේ එකඟතාවක් ඇති කරගෙන තිබේ.