හමුදා කුමන්ත‍්‍රණයකින් පසු පිහිටුවන ලද නව රජය නිත්‍යනුකූලදැයි තීන්දු කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි බලයෙන් නෙරපා දැමුණු මාලදිවයින් ජනපති මොහොමඞ් නෂීඞ් පෙරේදා (24) කොළඹදී පැවැසීය. හිටපු ජනපතිවරයා මෙසේ කියා සිටියේ තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩ පිළිවෙළට සහාය ලබා ගැනීමට, ශ්‍රී ලංකා රජයේ සහ කොළඹ මූලස්ථානය කොටගත් සෙසු රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය. පසුගිය පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත‍්‍රණයෙන් බලය අහිමි වූ නෂීඞ්, විදෙස් රටක සංචාරය යෙදෙන ප‍්‍රථම අවස්ථාව වන්නේද මෙයයි. ජනතා විරෝධය සහ හමුදාවේ බලකිරීම් මැද නෂීඞ්, බලයෙන් ඉවත් වූයේ එවකට උප ජනපතිව සිටි වහීඞ් හසන්ට බලය පවරා දීමෙන් පසුවය. ඉන්පසු වහීඞ්, ජනපති ධුරයේ දිවුරුම් දුන් අතර මාලදිවයින් නව රජය පිහිටු වූයේ ද ඔහුය. නෂීඞ් සහ ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පවසන්නේ මාලදිවයිනේ කඩිනමින් මැතිවරණයක් පැවැත්විය යුතු බවය. හසන් ජනපති ධුරයට පත් වූ අවස්ථාවේදී කියා සිටියේ හදිසි මැතිවරණයකට යෑමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් වත්මන් රජයේ නිල කාලය අවසන් වන තෙක් මැතිවරණයක් නොපවත්වන බවත්ය. රජයේ නිල කාලය අවසන් වන්නේ 2013 දීය. එහෙත් දිගින් දිගටම විරෝධතා එල්ල වීමත් සමඟ ඊට පෙර මැතිවරණයක් පැවැත්වීමට ජනපති හසන් එකඟ වුව ද ඒ සඳහා දිනයක් තවම ප‍්‍රකාශයට පත් කර නැත.