බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම මැතිවරණ කොට්ඨාසයට අයත් වැවේගම ප්‍රාදේශීය රෝහල වනාහී වැවේගම, ඉළුක්වෙල, ඇල්ලන්ද, කොහිලගම, කිඳගොඩ,මස්පන්න,යාලගමුව,රන්කිඳ,මැදිපොකුණ,තුප්පිටිය,පනාගොඩ,බඹරපාන,යන ග්‍රමසේවා කොට්ඨාසවලට අයත් ගම්මාන තිහක පමණ දහස් ගණනක් ජනයාට සෞඛ්‍ය පහසුකම් සැපයූ රෝහල ය.

2014වසරේ ඇතිවූ අයහපත් කාලගුණයත් සමග නායයාමේ අවදානමකට මේ රෝහල් ගොඩනැගිල්ලට ද බලපෑම් ඇතිවිය. ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය විසින් සිදුකළ පරීක්ෂාවක දී එම අවදානම තවදුරටත් සනාථ විය. මේනිසා මේ රෝහල වසා දැමීමට ඌව සෞඛ්‍ය බලධාරීහු පියවරගත්හ. ඒ වනවිට මෙහි පිරිමි වාට්ටුවක්, කාන්තා වාට්ටුවක් ගැබිනි වාට්ටුවක් සහ දන්ත වාට්ටුවක් ද තිබිණ. රෝහල වසා දැමීමට පමණක් නොව ඩිස්පෙන්සරිය වෙනත් ස්ථානයකට  රැගෙන යාමටද සෞඛ්‍ය බලධාරිහු පියවරගත්හ.

කෙසේ නමුත් ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය යළි සිදුකළ පරීක්ෂාවකින් පසු - නාය අවදානම පාලනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. ඒ සඳහා රුපියල් කෝටි 5 ක් පමණ මුදලක් වැය විය.

එහෙත් වාට්ටු ගොඩනැගිල්ල තවදුරටත් අස්ථාවර තත්ත්වයේ පැවතිණ.

මෙම රෝහල සහ ‍ඩිස්පෙන්සරිය අහිමිවීම නිසා මෙම ගම්මානවල රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීම සදහා කි.මී. 30 - 35ක් දුර ඌවපරණගමට හෝ වැලිමඩට යාමට සිදුවිය. අනෙක් පැත්තෙන් කි.මී.20ක් පමණ දුර ගෙවා මඬුල්ලට හෝ උඩපුස්සැල්ලාවට යාමට සිදුවිය.

ඌවපරණගමට යනවා නම් බස්රථ දෙකකින් යාමට සිදුවූ අතර, මඬුල්ලට හෝ උඩපුස්සැලාවට ගියහොත් අසාධ්‍ය රෝගීන් නුවරඑළිය මහ රෝහලට යැවීමට සිදුවිය.

එමෙන්ම කඩිනමින් රෝගින් රෝහල් කරා රැගෙන යාමට නොහැකිවීමෙන් 15දෙනෙක් පමණ නිවෙස්වලදීම මියයන ලදැයි  වැවේගම රෝහල් කමිටුවේ හිටපු ලේකම් විශ්‍රාමික පරිපාලන ග්‍රාම නිලධාරි එම්.එම්.ඩී.බී රත්නායක සඳහන් කරයි.

ඊට පස්සේ මොකද වුණේ? 

හෙතෙම ගෙවුණු අතීතය අනාවරණය කළ අයුරුයි මේ.

“මේ ගම්මානවල ජනයාගෙන් සියයට 95ක්ම ගොවිතැනින් ජීවත්වන අය.  රෝහල වසා දැමීම නිසා ඔවුන් දැඩි අසීරුතාවකට පත්වුණා. ඊට පස්සේ රෝහල් කමිටුවේ බලවත් ඉල්ලීම මත ඩිස්පෙන්සරිය පමණක් යළි  වැවේගමට ගෙනාවා. රෝහලේ ගොඩනැගිලි සියල්ල විනාශවෙලා තිබුණා .මෙසේ තියෙද්දි එවකට කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහත්තය මස්පන්න විදුහලේ උත්සවයකට ආවා. එතුමාගේ පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි මහත්තයගේ සම්බන්ධීකරණය යටතේ වැවේගම රෝහල් කමිටුව චාමර මහත්තයත් එක්ක සාකච්ඡාවක් පවත්වා ඉල්ලා සිටියා අලුතින් මේ රෝහල ඉදිකර දෙන්න කියල.”

“එතුමා බොහොම කැමත්තෙන් කිව්වා එවකට හිටපු සෞඛ්‍ය ඇමති හා කර්මාන්ත ඇමතිතුමත් එක්ක සාකච්ඡා කරල වචනයක් දෙන්නම් කියල.

ඒ වැඩේ හරියන තැනට ආවා. චාමර මහත්තය රුපියල් ලක්ෂ 40ක් දුන්නා. ඊට අමතරව සිමෙන්ති කොට්ට 250 ක් එව්වා. ගම්මානවල ජනයා  1,153 දෙනෙක් ශ්‍රමදානයෙන් ඉදිකිරීම් පටන් ගත්තා. අත්තිවාරම මේ විදියට කරගෙන ගියත්, අපේ ජනතාවට මේ විදියට හැමදාම  ශ්‍රමදානයෙන් වැඩ කරන්න බැරිබව පෙනී ගියා. හේතුව තමයි ඒ ගොල්ලන්ගේ වගා කටයුතු නතර කරලයි ශ්‍රමදානයට ආවේ. කෙහොම හරි අත්වාරම් කොටස මේ විදියට අවසන් කළත්, ඉතිරි කොටස නතරවුණා. ආණ්ඩුවත් පෙරළුණා.”

“රෝහල් කමිටුව කතරගමට ගිහිල්ල හිටපු බස්නායක නිලමේ මුණ ගැහිලා මේබව කිව්වම ඉතුරු කොටස කරල දෙන්න එතුමා කැමතිවුණා.

රෝහලේ ඉදිකිරීම් නිරීක්ෂණය කරමින්...

ඇස්තමේන්තු ඉදිරිපත් කරන්නත් කිව්වා. ඒත් නිලධාරින්ගේ නොසැලකිල්ල නිසා ඇස්තමේන්තු ඉක්මනින් අනුමත කර දෙන්න ඒ නොහැකි වුණා. අපි ප්‍රමාද වෙලා ඒකත් අරන් ගිහින් නිලමේතුමා හම්බවුණාම එතුමා කිව්වා -දැන් පමා වෙලා වැඩියි, අපේක්ෂා රෝහලට විශාල මුදලක් වැයවුණා. ඒ වගේම දේවාල සංවර්ධනයටත් විශාල මුදලක් වැයවුණා. ඒ නිසා මේ අවස්ථාවේ මොකුත් කරන්න බැහැ කියල.”

“පසුව අපි ඌවපළාත් සභාවෙන් මුදල් ඉල්ලු‍වත්, ඒගොල්ලෝ කිව්වා සල්ලි නැහැ කියල. වැඩේ ඔයවිදියට අත්තිවාරමට  පමණක් සීමාවුණා.”

“මේ අතරෙ ඇමෙරිකාවෙ සේවයකළ  ඉංජිනේරු උපදේශක ආනන්ද සරත් චන්ද්‍රවංශ ද සිල්වා මහත්තයා ඔහුගේ වියදමින් මස්පන්න විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිකරලා ඒක විවෘත කරන්න ආවා. ඒ වෙලාවේ එම විද්‍යාලයේ ගුරුවරයෙක් වූ ජයජීව  මහත්තයා ඒ මහත්තයගෙන් ඉල්ලීමක් කළා මේ ඉස්පිරිතාලේ ඉතිරි වැඩටික ටික නිම කරලා දෙන්න කියල. ඒකට එතුමා කැමතිවුණා. දැන් වැඩේ කරගෙන යනවා.” 

රත්නායක ඒ ආකාරයෙන් විස්තර කළේය.

කවුද මේ ආනන්ද මහත්තයා?

ඔහු ඇමෙරිකාවේ ප්‍රධාන පෙලේ ගොඩනැගිලි සමාගම් කීපයක උපදේශක ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරන ආනන්ද සරත් චන්ද්‍රවංශ ද සිල්වා ය.

මම මේ කීර්තිමත් ඉංජිනේරුවරයා හමුවිමට වැවේගම රෝහල් පරිශ්‍රයට ගියෙමි. ඔහු සිය බිරිඳ සුරනි ද සිල්වා මහත්මිය සමග ඒ අවස්ථාවේ වැඩබිමට පැමිණ සිටියේය. 

අපි එතුමා සමග කළ කතාබහ මෙතැන් සිට කියවමු.

‘මගේ ගම දොඩන්දූව. අම්මා ගුරුවරියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්.

ඉගෙන ගත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන්. මම විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය ලියලා මාස 3ක් ප්‍රතිඵල එනතෙක් බලාගෙන සිටිද්දි ඩේලිනිවුස් පත්තරේ දැන්වීමක් තිබුණා, විද්‍යා විෂයට ගුරුවරු බඳවා ගන්නව කියල. ඒකට මම ඇප්ලයි කළා. මට පත්වීමේ ලිපියක් ආවා. ඒ ලිපිය ආවේ සිංහල භාෂාවෙන් පත්වීම තිබුණේ බ/ ගම්පහ විද්‍යාලය කියල.

මං හිතුවේ කොළඹ ගම්පහ වෙන්න ඇති කියල. මම ඒ ගම්පහ විද්‍යාලයට ගියාම එ්ගොල්ල කිව්වා එහේ නෙවෙයි බණ්ඩාරවෙල හරි බදුල්ලේ හරි වෙන්න ඇති කියල. අපි බණ්ඩාරවෙල අධ්‍යාපන කාර්යාලයට ට ගිහිල්ලා ඇහුවාම කිව්වා මේක කොස්ලන්දේ තියෙන මස්පන්න විද්‍යාලය කියල.

මං එහාට ගිහිල්ලා නතරවෙලා උගන්වන්න ලෑස්තිවෙන කොට ස්කූල් ඉන්පෙක්ටර් කෙනෙක් ඇවිත් කිව්වා ඔයාගේ පත්වීම් ලිපිය මට ඇවිත් නැහැ. ඒ නිසා ආපසු ගිහිල්ලා බලන්න කියල.”

“ඒ ගොල්ල කිව්වා මේක බණ්ඩාරවෙල නෙවෙයි බදුල්ල දිස්ත්‍රික්කයේ  ඌවපරණගම මස්පන්න විද්‍යාලය වෙන්න ඇති කියල. ඒ දවස්වල මගේ මාමා වැඩකළේ උඩුපුස්සැල්ලාව දුම්රිය ස්ථානයේ. උඩුපුස්සැල්ලාවට ඇවිල්ල ඒ මස්පන්න ඉස්කෝලෙ සොයාගෙන ගියා. ඒ දවස්වල මේ වගේ පාරවල් නැහැ හරිම දුෂ්කරයි. මස්පන්න වෙදමහත්තයා ගේ ගෙදර නතරවෙන්න පුළුවන් වුණා.මාස 3ක් ඒ ඉස්කෝලෙ ඉගැන්නුවා. වෙද මහත්තයාගේ පුතාලා දෙන්නෙකුත් ඒ ඉස්කෝලෙම ඉගැන්නුවා.”

රෝහලේ ඉදිකිරීම් නිරීක්ෂණය කරමින්...

“මට ප්‍රින්සිපල් කිව්වා විද්‍යාව උගවන්න විද්‍යාගාරයකුත් නැති නිසා ඉංග්‍රීසිවත් උගන්වන්න කියල. සීනියර් පාස් කරගන්න බැරිවෙලා මටත් වඩා වයසක ළමයි මගේ පන්තියේ හිටියා.මම ඉගැන්නුවට පස්සේ මාසයකින් ඉංග්‍රීසි කතාකරන්න ඒ අයට පුළුවන් වුණා.”

“ඔහොම ඉන්න කොට මගේ ප්‍රින්සිපල් වේරගම මහත්තය කිව්වා එයාගේ පුතාට නම් යුනිවර්සිටි එන්ට්‍රන්ස් ලියුම ආව කියල. මං කිව්වා මට නම් තාම ආවේ නැහැ කියල. මම උඩුපුස්සැල්ලාව තැපැල් කන්තෝරුවට ගිහින් ඇහුවා මට මොනව හරි ලියුමක් ඇවිත් තියෙනව ද කියල. ඔව් සර් ලියුමක් ඇවිත් තියෙනවා, අපි බදාදාට ගිහිල්ලා දෙන්න හිටියේ. ඔබතුමා ආව නිසා දැන් දෙන්නම් කියල.”

“මේ අතර මගේ තාත්තා ටෙලිග්‍රෑම් එකක් එවල තිබුණා ප්‍රතිඵල සතුටුදායකයි ගෙදර එන්න, කියල. මේ ගැන මට හරිම සතුටුයි. 1960 අප්‍රේල් මාසේ . මං හිතුවා මගේ මුල් පඩියෙන් හග්ගල මල්වත්තට ළමයි එක්ක යන්න. මේ ළමයි කවදාවත් කෝචිචිය දැකල තිබුණෙ නැහැ. මහමුහුද දැකල නැහැ. බාහිර දේවල් දැකල තිබුණෙම නැහැ. ළමයි එක්ක බස් එකෙන් තමයි ඒ ගමන ගියේ. මම ඒගොල්ලන්ට අයිස්ක්‍රීම් අරන් දුන්නා. ළමයි හොඳට විනෝද වුණා. මම හිටිය වෙදමහත්තයාගේ ගෙදරට හරියට කට්ටිය එනවා. සර්පයෝ දෂ්ට කරලා ඒගොල්ලට වෙලාවක් නැහැ. මහ රෑ පවා දොරට තට්ටු කරනවා. මේක  හැමෝටම මහ කදරයක්. මම ඉලෙක්ට්‍රික් බෙල් එකක් හදල ඉදිරි දොරේ සවි කළා.ඊට පස්සේ හැමෝම නිකමට ඒක ඔබනවා වැඩ කරනව ද බලන්න. ඒ නිසා මම ඒක ගැලෙව්වා. හැබැයි ගමේ අයගෙන් මේ බෙල් එකට ලොකු ඉල්ලු‍මක් තිබුණා. මම බෙල් හදලා රුපියල් තුන ගානේ ඒ ගොල්ලන්ට විකිණුවා.”

“මම කොළඹ විශ්වවිද්‍යාලයට ගියාම ඇහුවා මොනවද කළේ කියල.මං කිව්වා ඉලෙක්ට්‍රික් බෙල් හදල විකුණුවා කියල. එහෙනම් ඉංජිනේරුවෙක් වෙන්න සුදුසුයි කියල මාව විශ්වවිද්‍යාලයට ඇතුළුකර ගත්තා. කොළඹ විශ්වවිද්‍යාලයටම ටකරන් ෆැකල්ටි කියල ඒ දවස්වල කිව්වේ. විභාගය අවසන් වෙලා මාස 3 ක නිවාඩුවක් ලැබුණා. පේරාදෙණියට යන්න තියෙන නිසා මම ගිහිල්ලා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති ඒ.එන්.එස්.කුලසිංහ මහත්තයා හමුවුණා. රැකියාවක් දෙන්න පුළුන්ද කියල මම ඇහුවා. වැඩක් තියෙනවා කීදෙනෙක් ගේන්න පුළුවන්ද ඇහුවා. ඕන තරම් ගේන්න පුළුවන් කියල මං කිව්වා.”

“නෝනයි මමයි නිරන්තරයෙන් ඇවිල්ල මේ ඉදිකිරීම් බලල සතුටු වෙනවා. දැන් ඉදිකිරීම් පවතින්නේ අවසන් අදියරේ. ළඟදීම විවෘත කරන්න පුළුවන් වෙයි. රෝගීන්ට සිදුවන සේවාව නිසා අපි දෙන්නම ලොකු පිනක් කරගත්තා කියල හිතනවා. මගේ ජීවිතය වෙනස් කළේ ඇමෙරිකාවේ සඟරාවක්. ජීවිතය වෙනස් කළ හැම දෙනාටම ස්තුතියි. ඒක නම් අතිශයින්ම විස්මිත අත්දැකීමක්”

දහදෙනෙක් එක්ක මාව බදවාගෙන කොළඹ ග්‍රහලෝකාගාරයේ ටවර් එක හදන්න කිව්වා මම ඒක බාරගත්තා.

“පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ අක්බාර් හොස්ටල් එකේ හිටපු කාලය නම් සතුටින් හිටියා. අවුරුදු තුනහමාරක් විතර එහේ හිටියා. 1965 අන්තිම  විභාගය තිබුණේ. මම විභාගය පාස්වුණා. කුලසිංහ මහත්තයා කිව්වා කොහේවත් යන්න එපා කියල රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට මාව දැම්මා. ඉන්පසු මාව යොමු කළ මෝදර පාන්පිටි මෝල හදන්න. ඒ දවස්වල ලංකාවේ තිබුණ උසම ගොඩනැගිල්ල තමයි එහෙම හැදුවේ (උස අඩි 214) යි. පැයකට අඩියක් ගානේ උස්කරගෙන ගියේ. වඳුරෙක් ගහකට නගිනවා වගේ ජැක් එකෙන් උඩට යනව, උඩ කොන්ක්‍රීට් දදා උස්සනවා. රෑ දවල් දෙකේම කණ්ඩායම් දෙකක් කොන්ක්‍රීට් කළා. මාසයක් යනකොට බිල්ඩින් එක උස්කලා.”

“ඒක ඉවර වුණාම කුලසිංහ මහත්තයා ඇහුවා, තුල්හිරිය කර්මාන්තපුරයට යනව ද? නැතිනම් පුත්තලමේ සිමෙන්ති කම්හල හදන එකේ වැඩ බාරගන්නව ද? කියල. මම පුත්තලමට යන්න කැමතිවුණා. ඒවැඩේ කරනකොට ඩේලිනිවුස් පත්තරේ ඇඩ් එකක් දැක්කා. ඔබට ඇමෙරිකන් සඟරා අවශ්‍ය නම් මේ ලිපිනයට ලියන්න කියල. මං ඒ අතරේ මම FULBRIGHT  ශිෂ්‍යත්වයකටත් ඇප්ලයි කළා.”

“මම සම්මුඛ පරීක්ෂණයට ගියාම ඒ ගොල්ල කිව්වා අපි ඔයා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයකට යවන්නම් කියල. පුත්තලමේ සිමෙන්ති කම්හලේ වැඩ ඉවරවෙනකොට ඇමෙරිකාවට යන්න පුළුවන් වුණා. 1969 සැප්තැම්බර් මාසේ 30 වැනිදා මම ලංකාවෙන් පිටත්වුණා. ඇමෙරිකාවට ගිහින් මං ඉල්ලු‍වේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. එගොල්ල කිව්ව ඒ  තරම් සල්ලි, ශිෂ්‍යත්වයේ නැහැ කියල. ඒ නිසා මම නිව්යෝක් විශ්ව විද්‍යාලය ඉල්ලා ගත්තා. එහේ දි මගේ මාස්ටර්ස් උපාධිය කළා. එහාට ගිහිල්ලා මාස 3කට පස්සේ මට මැගසින් එවපු කළු ජාතික Dutton  නෝනට දැනුම් දුන්නා මම නිව්ෙ‌යා්ර්ක්වලට ඇවිත් ඉන්න බව. එතුමිය මට  මැගසින් පාර්සලයක් එව්වා.”

“මට කෝල් කරල කිව්වා අමෙරිකාවේ කළු සුදු බේදය තදින්ම තියෙනවා මං ආසයි ඔයගොල්ලන්ගේ වගේ රටවල අය සමග කතා කරන්න කියල කිව්වා. ඔයා නිව්ෙ‌යා්ර්ක්වලට ඇවිත් ඉන්න නිසා ඇවිත් මුණගැහෙන්න කිව්වා. මම ලිපිනය සොයාගෙන ගිහින් එයා මුණ ගැහුණා. ඒ නෝනා ලංකා තානාපති කාර්යාලයට කතා කරලා ලංකාවේ විදියට එළවළු එහෙම හදන්නේ කොහොම ද කියල අසා දැනගෙන මා වෙනුවෙන් ලොකු කෑම මේසයක් ලංකාවේ විදියට හදල තිබුණා.”

ක්වීන්ස් විදුහලේ පුස්තකාලය

“එයාගේ මහත්තයා Benson.  එයත් කළු ජාතික ලොකු ඉංජිනේරුවෙක්. එයා තමයි බොහෝ කාලකට පස්සේ එරට ඉංජිනේරුවෙක් වූ කළු ජාතිකයා කියල පසුව දැනගන්න ලැබුණා.එයා ඇහුවා ඔයා දැන් මොකද කරන්නේ කියල. මම කිව්වා ශිෂ්‍යත්වය ඉවර වුණාම ආයෙත් ලංකාවට යනවා කියල. ඔයා කැමති නම් මෙහේ ජොබ් එකේ ලෑස්ති කරල දෙන්න පුළුවන් කියල කිව්වා. මම ඒකට කැමතිවුණා.”

“එයා ලියුමක් දුන්නා ඊ.ඩබ්ලිව්.ෆින්ලි කියන මහත්තයට දෙන්න කියල.

ඒ මහත්තය මාව දැක්ක ගමන්ම කිව්වා හෙට ඉඳල වැඩට එන්න කියල. මට දුන්නා තට්ටු 6ක ඉදිකිරීම් අධික්ෂණය(Structural design) මටත් මගේ සමාගමටත් ලැබුණා. එතැන ඉන්නකොටම මගේ උපන්දිනය දවසේ හිම වැටුණා. මම කන්තෝරුවට කෝල් කළාම කිව්වා හිම වැටිල නම් ඔතන වැඩ කරන්න බැහැනේ, ආපසු ඔෆිස් එකට එන්න කියල.”

“මෙහේ බිල්ඩින් එකක් තියෙනවා මාස හතරක පහක්. ඒ ගොල්ල අත ගගා ඉන්නවා. ඔයාට මේක ඉක්මනින් ඉවර කරන්න පුළුවන් ද? කියලත් ඇහුවා .මම සුමානයකින් ඉදිකිරීම් ඩිසයින් කරල අවසන් කළා. එයා බොහොම සතුටු වෙලා ප්‍රධාන ඉංජිනේරු කරන්නම්, වැඩ බාරගන්න කියලත් කිව්වා.”

තවත් ඒවගේ දුලබ ඉදිකිරිම් ඔබතුමා කරන්න ඇති නේ ද? යි විමසුවෙමි.

“ඔව් ඇමෙරිකාවේ Smithsonian  කෞතුකාගාරය ධවල මන්දිරය එක පැත්තෙන් පෙන්සිල්වේනියා මාවතේ පොළොව යට මේ කෞතුකාගාරය හදන්න තීරණය කළා. ඒ ගොඩනැගිල්ලෙත් (Structural design) මමත් සමාගමත් කළා. බොහොම කල්පනා කරලා කරන්න සිදුවුණා. අවුරුදු 130 ක් පැරණි ලන්ඩන් ප්ලෙන්ට්‍රී කියල එකක් තියෙනවා. ඒකෙ මුල්වලට ඩැමේජ් වෙයි එනිසා අමුතුම විදියකට මේ බිල්ඩිම හදන්න ඕන කිව්වා.

අපේ ගෘහනිර්මාණ ශිල්පියා හිටියේ බෝස්ටන්වල. මම කතා කරල කිව්වා. හොඳම විදිය අඟල් දෙකේ කානුවක් පොළොව යටටම හාරල ඒක  කොන්ක්‍රීට් වගේම තියෙනbentonite slurry  මිශ්‍රණයකින් පිරෙව්වා . පස්වලට  තෙරපීමක් නැහැ. ඒක පොම්පකරල කොන්ක්‍රීට් කරනවා. අඩි 80ක් යටට බස්සලා ස්මිත්ෂොන් කියන කෞතුකාගාරය අපි හැදුවා.”

“බිල්ඩින් එකේ වතුර එනකොට විදුරු පයිප්පයෙන් වතුර එනවා. ඕන කෙනෙකුට  බලන්න පුළුවන්. හැබැයි ගොඩනැගිල්ලට කරදරයක් නැහැ. ඒකෙ උඩ තියන අඩි 8 ක පස්තට්ටුවේ තමයි දැන් ශාක පැළ කරල තියෙන්නේ.”

“තවත් අමතක නොවන ඉදිකිරීම්ක් තමයි නැෂනල් සිකියුරිටි ඒජන්සිය කියන්නේ. ඇමෙරිකාවේ තියෙන ලොකුම ආරක්ෂක ඒජන්සිය. ඒක ඔත්තු සේවා පවත්වාගෙන යන ස්ථානයක්. ඒගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් එක මම තමයි ඩිසයින් කළේ. කවදාවත් ආරක්ෂක ගොඩනැගිල්ලකට වීදුරු පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මම වීදුරුවලින් හදලා කොපර්වලින් දැලක් දාලා සම්පූර්ණයෙන්ම ඒක ආවරණය කළා.”

තවත් විශේෂිත ගොඩනැගිලි හැදුව ද? තවදුරටත් විමසුවෙමු. 

“ඔව් ඇට්ලාන්ටා ගුවන්තොටුපොළේ යට තියෙන ටර්මිනල් පද්ධතිය ටර්මිනල් එකෙන් ටර්මිනල් එකට මාරුවෙන්න පුළුවන් විදියට හැදුවේ.

ඒවගේම මැරියට් හෝටලයක ලොකුම කුස්සිය හා ආහාර පරිශ්‍රය හැදුවේ මගේ ඩිසයින් එකට. තවත් අමතක නොවන ඉදිකිරීමක් තමයි මාර්ටින් ලූතර් ගේ සොහොන. හැමෝම කිව්වා මෙතැන පයිල් දාන්න බැහැ කියල. මම කිව්වා ෆ්ලොටින් ෆවුන්ඩේසන් එකක හදල තනි ආච් එකක් කරමු කියල. ඒක ඒ විදියට ඉදිකළා. ඒ ආච් එක තමයි සොහොනට යන මාර්ගයේ තියෙන්නේ.”

“විශේෂයෙන් සඳහන් කරන්න මේක. අපි ඇමෙරිකාවේ නිව්ෙ‌යා්ර්ක්වල  පන්සලක් හැදුවා. මමත් තවත් කීපදෙනෙකුත් එකතු වෙලා, අපේ වියදමින්  ඇමෙරිකාවෙන් ඉඩමක් මිලදී ගෙන ඒක හැදුවේ. මමයි, නෝනයි අවුරුදු 11ක් තවත් තිස් දෙනෙකුගේ විතර සහයෝගය ඇතිව මහන්සිවෙලා හදපු මේ පන්සල තමයි අත්තිවාරමේ ඉඳලම පන්සලක් සඳහා හැදුවේ.  පන්සල් තිබුණට පන්සලක් කියලා මුල ඉඳලම හදල තිබුණේ නැහැ.  ගොඩක් ඒවා තියෙන්නේ කුලියට ගත් ගොඩනැගිලිවල. අපි පන්සල හදනකොට එකවට හිටිය ශ්‍රීලංකා තානාපති දයා පෙරේරා මහත්තයා පන්සලේ  ප්‍රධාන දොර හදල දුන්නා. පන්සල හදද් දි ඔක්කොටම කෑම හදල දුන්නේ මගේ නෝනා.”

නිව්ෙ‌යා්ර්ක්හි හැදූ පන්සල

ඇයි ලංකාවට ආවේ?

මම ඇමෙරිකන් සමාගමේ වැඩ බාරගත්තේ 1969 නොවැම්බර් මාසේ 19 වැනිදා. අවසානයේ මම එහි සභාපති වුණා. වයස අවුරුදු 67 වෙන කොටම මම විශ්‍රාම ගත්තා. මම ලංකාවට ආවේ 2004.  නමුත් සමාජ ආරක්ෂණය හම්බවෙනවා. සියයට 30 ක් අඩුකරගෙන ඒක දෙනවා.

ඒක ඇමෙරිකන් බැංකුවකට යනවා. මගේ නෝනා මගේ කාර්යාලයේ ලේකම් විදිහට වැඩ කළා. එයාටත් ලැබෙන මුදල නිව්ෙ‌යා්ර්ක් බැංකුවකට යනවා. පළමු සුමානය තුළ මටත් නෝනටත් සල්ලි එනවා. ඒ සල්ලි වලින් තමයි මේ රෝහල් ගොඩනැගිල්ල හදන්නේ.”

ඇයි වැවේගම රෝහල හදන්න හදන්න හිතුවේ?

“මට උවමනාව තිබුණේ මගේ ගමේ ඉස්කෝලෙ ගොඩනැගිල්ලක් හදන්න. 2024 වර්ෂයේ දී මම ඒ සඳහා ඩිසයින්  කළා. ඒක තට්ටු 3ක ‍සැලැස්මක්. වර්ග අඩි අටදාහක් වන ගොඩනැගිල්ලක්. ආකෘතිය  හැදුවත් මට ඕන විදියට කරන්න ඉඩ ලැබුණේ නැහැ. පාසල් කමිටුව ඒගැන තීරණයක් නොදී කල්ගත කළා. තවත් අයකුට කියනවා තීරණයක් ගන්න කියල.”

“අපි මුල්ගල් දෙකක් අරන් ලෑස්ති‍ වෙනකොට බස්නාහිර හිටපු ආණ්ඩුකාරතුමෙකුගේ ලේකම් ඇවිත් කිව්වා, එම ස්ථානයේ හදන්න දෙන්න බැහැ කියල. මම කිව්වා මම මේක හදන්න හැදුවේ ගමට සේවයක් විදියට කියලා. ඊට පසුදා වැඩේ කැන්සල් වුණා. මම කිව්වා ඔය ගොඩනැගිල්ල හැදුවම ඉන්න ළමයි අනූනමය හාරසීයක් වෙයිනේ, විද්‍යාවට සහ අනෙක් විෂයයන්ට ගුරුවරු දැම්ම නම් වෙන ඉස්කෝලෙකට ළමයින්ට යන්න වෙන්නේ නැහැනේ කියල. නමුත් ඒගොල්ල කැමති වුණේ නැහැ. ඒගොල්ල කිව්වා ඉස්කෝල තුනක් එකතු කරල වෙන තැනක හදනව කියල. නමුත් තාමත් මොකුත් කරල නැහැ.

එහෙම ඉන්නකොට තමයි මම මුලින්ම රැකියාව කළ මස්පන්න විදුහලට ආවේ.”

මස්පන්න විදුහලේ පුස්තකාල ගෙඩනැගිල්ලක් මගේ වියදමින් ඉදිකරල දුන්නා. ඒක විවෘත කරන දවසේ එම විදුහලේ ගුරුවරයෙක් වුණ සමන්ත ජයදේව මහත්තය මගෙන් ඉල්ලීමක් කළේ, අවුරුදු 13 ක් තිස්සේ නතර වේච්ච වැවේගම ඉස්පිරිතාලේ ගොඩනැගිල්ල හදලා දෙන්න කියල. 

මොකද ජයදේව මහත්තය දැනගෙන හිටිය මම අපේ ගමේ පාසල හදන්න ගිහින් ඒක හරි ගියේ නැහැ කියල. ඒ මුදල මේකට දෙන්න කියල තමයි ඉල්ලීමක් කළේ.”

“මම කිව්වා කරන්නම්, හැබැයි මම කියන විදියට කරන්න ඕන කියල. 

ඊට පස්සේ වැවේගම රෝහලේ කාර්යමණ්ඩලය සහ  පළාත් සභාවේ  නිලධාරීන් සමග මේ පිළිබඳව සාකච්ඡාවක් සංවිධානය කරල තිබුණා.මම කිව්වා සැලැස්ම ඉදිරිපත් කරන්න කියල. ඒ සඳහා ආ දවසේ මම මගේ ‍ඉලෙක්ට්‍රික් කාර් එකෙන් බණ්ඩාරවෙල එනකොට බැට්රි බැස්සා. මුස්ලිම් කෙනෙකුගේ උදව් ඇතිව අපි කාර් එක චාජ් කරගෙන එදා වැලිමඩ හෝටලයක නතරවෙලා පහුවදා වැවේගම ඉස්පිරිතාලෙට එන්න පිටත්වුණා. එදා දිට්වා සුළිකුණාටුව ආව දවස.”

භූගත ඉදිකිරීමක් සිදුකළ කෞතුකාගාරය

“ආණ්ඩුකාර කාර්යාලයේ අය කිව්වා වැවේගමට එන්න විදියක් නැහැ දිට්වා නිසා පාරවල් වැහිල බණ්ඩාරවෙල ඉස්පිරිතාලෙට එන්න කියල. බොහොම අමාරුවෙන් යනකොට  ඒ පාරටත් පස් කණ්ඩියක් වැටුණා. අපි එතැන කාර්එක නතර කරල අනික් පැත්තට පයින් ගිහින් ඒ ගොල්ලන්ට ඉදිරිපත් කිරීමක් කළා. ඒකට ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහත්තයාගේ උපදෙස් මත අනුමැතිය ලැබුණා.”

“ආණ්ඩුකාරතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සමග කතා කරල නාවුක හමුදාව මේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වල ශ්‍රම දායකත්වයට  යොදවන්න අවස්ථාව ලබා ගත්තා. මගේ ඩිසයින් එකට මගේ අධීක්ෂණය යට​ෙත් දැන් ඉදිකිරීම් සිදුවෙනවා. රෝහල් කාර්යමණ්ඩලයේ ඉල්ලීමකට අනුව මගේ මුල් සැලසුමට අතිරේකව බාත්රූම් 11 ක් සහ නාන කාමර 2 ක් වන සේ ඇතුළත් කළා. උණුවතුර සෝලා පැනල් 18 ක විදුලියත් ලබා දීල තියෙවා. පිවිසුම් මාර්ගයත් හදනවා. රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් මේ රෝහල ඉදිකරන්න මම වැයකරනවා”.  

“නෝනයි මමයි නිරන්තරයෙන් ඇවිල්ල මේ ඉදිකිරීම් බලල සතුටු වෙනවා.

දැන් ඉදිකිරීම් පවතින්නේ අවසන් අදියරේ. ළඟදීම විවෘත කරන්න පුළුවන් වෙයි. රෝගීන්ට සිදුවන සේවාව නිසා අපි දෙන්නම ලොකු පිනක් කරගත්තා කියල හිතනවා. මගේ ජීවිතය වෙනස් කළේ ඇමෙරිකාවේ සඟරාවක්. ජීවිතය වෙනස් කළ හැම දෙනාටම ස්තුතියි. ඒක නම් අතිශයින්ම විස්මිත අත්දැකීමක්” යැයි ද ආනන්ද මහත්මා පැවසීය. 

ජීවිතය වෙනස් කළ හැම දෙනාටම ස්තුති කරන බව ද කීවේය.

සටහන හා ඡායාරූප 
බදුල්ලේ පාලිත ආරියවංශ 

රොනල්ඩ් රේගන් ගොඩනැගිල්ල