අද ලෝකය වේගයෙන් දියුණු වන අතරම, මිනිසුන්ගේ මානසික ආතතිය, කාංසාව, මානසික අවපීඩනය, හෘද රෝග, අධි රුධිර පීඩනය සහ විවිධ ජීවන රටා ආශ්‍රිත රෝග සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. එවැනි පසුබිමක, ස්වභාවධර්මය සමඟ නැවත සම්බන්ධ වීම මිනිසාගේ මානසික හා ශාරීරික සුවතාවයට ඉතා වැදගත් බව නවීන විද්‍යාත්මක පර්‌යේෂණ මගින් තහවුරු කර තිබේ. මෙම සුවදායක ක්‍රමය අද ලෝකය පුරා ”‍වන චිකිත්සාව”‍ (Forest Therapy) හෝ ”‍වනාන්තර ස්නානය”‍ (Forest Bathing - Shinrin-yoku) ලෙස ප්‍රචලිත වී තිබේ.

වන චිකිත්සාව යනු කුමක් ද?

වන චිකිත්සාව යනු වනාන්තරයක සන්සුන් පරිසරය තුළ සියලු‍ ඉන්ද්‍රියයන් භාවිත කරමින්, මන්දගාමීව ඇවිදීම, ගැඹුරු හුස්ම ගැනීම, නිහඬව නිරීක්ෂණය කිරීම සහ වර්තමාන මොහොත තුළ සම්පූර්ණයෙන්ම රැඳී සිටීම තුළින් ස්වභාවධර්මය සමඟ ගැඹුරු සම්බන්ධතාවක් ගොඩනැගීමේ මනෝවිද්‍යාත්මක සහ සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාවලියකි. මෙය කඳු නැගීමක්, ව්‍යායාමයක් හෝ විනෝද චාරිකාවක් නොවේ. එහි අරමුණ වන්නේ සිත නිදහස් කිරීම, ආතතිය අවම කිරීම, මනස සන්සුන් කිරීම සහ ස්වභාවධර්මය සමඟ ආත්මීය බැඳීමක් ඇති කිරීමයි.

වන චිකිත්සාවේ ඉතිහාසය

මිනිසා සහ ස්වභාවධර්මය අතර ඇති සම්බන්ධතාවය ශතවර්ෂ ගණනාවක් පැරණි වුවද, නවීන වන චිකිත්සාව ආරම්භ වූයේ 1982 වසරේ ජපානයේදීය. නාගරීකරණය සහ කාර්යබහුල ජීවන රටාව නිසා ඇති වූ මානසික ආතතිය අවම කිරීම සඳහා ජපාන රජය විසින් ”‍Shinrin-yoku ”‍ හෙවත් ”‍Forest Bathing ”‍ නම් ජාතික සෞඛ්‍ය වැඩසටහන හඳුන්වා දෙනු ලැබීය.

එතැන් සිට ජපානයේ විශ්වවිද්‍යාල සහ වෛද්‍ය පර්‌යේෂණ ආයතන සිය ගණනක් පර්‌යේෂණ සිදු කරමින් වන චිකිත්සාවේ සෞඛ්‍ය ප්‍රතිලාභ විද්‍යාත්මකව තහවුරු කර ඇත. අද වන විට මෙම සංකල්පය ජපානයෙන් ඔබ්බට, දකුණු කොරියාව, චීනය, ෆින්ලන්තය, ජර්මනිය, ස්වීඩනය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක සෞඛ්‍ය, සංචාරක හා අධ්‍යාපන වැඩසටහන්වල කොටසක් බවට පත්ව ඇත.

විද්‍යාත්මකව තහවුරු කළ සෞඛ්‍ය ප්‍රතිලාභ

පසුගිය දශක කිහිපය තුළ ජපානය, දකුණු කොරියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් සිදු කළ විද්‍යාත්මක පර්‌යේෂණ රැසකින් වන චිකිත්සාවේ සෞඛ්‍යමය ප්‍රතිලාභ තහවුරු කර ඇත. එම පර්‌යේෂණවලට අනුව වනාන්තර පරිසරයක සන්සුන්ව කාලය ගත කිරීමෙන් මානසික ආතතිය සැලකිය යුතු ලෙස අඩුවන අතර, ආතතියට සම්බන්ධ කෝටිසෝල් හෝමෝනයේ මට්ටමද පහළ යයි.

එමෙන්ම රුධිර පීඩනය පාලනය වීම, හෘද සෞඛ්‍යය වැඩිදියුණු වීම සහ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීමද සිදු වේ. වන චිකිත්සාව නිතිපතා අනුගමනය කරන පුද්ගලයන්ගේ නින්දේ ගුණාත්මකභාවය ඉහළ යන අතර, මානසික අවපීඩනය සහ කාංසාව වැනි තත්ත්වයන් අවම වීමද දක්නට ලැබේ. තවද, මතක ශක්තිය, අවධානය යොමු කිරීමේ හැකියාව සහ නිර්මාණශීලී චින්තනය වර්ධනය වන බව විද්‍යාත්මක සාක්ෂි මගින් පෙන්වා දී ඇත.

විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ ගස් මගින් නිකුත් කරන ”‍Phytoncides ”‍ නම් ස්වභාවික සංයෝග මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටද උපකාරී වන බවයි. මේ හේතුවෙන් වන චිකිත්සාව අද වන විට ලෝකය පුරා නිවාරණ සෞඛ්‍ය සේවාවක් (Preventive Healthcare) සහ මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කරන ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පුළුල් පිළිගැනීමක් ලබා තිබේ.

වන චිකිත්සාව ප්‍රායෝගිකව සිදු කරන්නේ කෙසේ ද?

වන චිකිත්සාව යනු ඉක්මනින් ගමන් කිරීම හෝ දිගු දුරක් ඇවිදීම අරමුණු කරගත් ක්‍රියාකාරකමක් නොව, ස්වභාවධර්මය සමඟ සවිඥානිකව සම්බන්ධ වීමේ අත්දැකීමකි. සාමාන්‍යයෙන් පැය දෙකත් තුනත් අතර කාලයක් පවතින මෙම වැඩසටහනේදී සහභාගිවන්නන් කිලෝමීටරයකටත් අඩු දුරක් ඉතා මන්දගාමීව ඇවිදින අතර, සෑම පියවරක්ම ස්වභාවධර්මයේ සුන්දරත්වය විඳ ගැනීමට යොමු කෙරේ.

එහිදී ගැඹුරු හුස්ම ගැනීම, ගස්, කොළ, මල් සහ පාසි ස්පර්ශ කර ඒවායේ ස්වභාවය දැනීම, මල් හා වනාන්තරයේ ස්වභාවික සුවඳ විඳීම, කුරුල්ලන්ගේ නාද, සුළඟේ හඬ සහ ගලා යන ජලයේ මිහිරි ශබ්දවලට සවන් දීම, නිහඬ භාවනාවක යෙදීම සහ ස්වභාවධර්මය දෙස සන්සුන්ව නිරීක්ෂණය කිරීම වැනි ඉන්ද්‍රියයන් සක්‍රීය කරන ක්‍රියාකාරකම් සිදු කරනු ලැබේ. වැඩසටහන අවසානයේ සහභාගිවන්නන් තම අත්දැකීම් එකිනෙකා සමඟ බෙදා ගන්නා අතර, දේශීය ඖෂධීය පැළෑටිවලින් සකස් කළ උණුසුම් තේ කෝප්පයක් රස විඳිමින් ස්වභාවධර්මය සමඟ ඇති වූ මානසික බැඳීම තවදුරටත් තහවුරු කරගනී. මෙම සරල නමුත් ගැඹුරු අත්දැකීම මගින් ශරීරය, මනස සහ ස්වභාවධර්මය අතර පවතින ස්වාභාවික සම්බන්ධතාවය නැවත ජීවමාන කරමින් පුද්ගලයාට අභ්‍යන්තර සන්සුන් බවක් හා මානසික ප්‍රබෝධයක් ලබා දීමට වනාන්තර චිකිත්සාව සමත් වේ.

ශ්‍රී ලංකාවට ඇති විශාල අවස්ථාවක්

ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්වයෙන් පොහොසත් රටවලින් එකකි. වන චිකිත්සාව සඳහා ඉතා සුදුසු ස්ථාන ලෙස, සිංහරාජ ලෝක උරුම වනාන්තරය, කන්නෙලිය වනාන්තරය, හෝර්ටන් තැන්න, නකල්ස් කඳු වැටිය, සමනොළ අඩවිය, ගල්ඔය, වස්ගමුව, බුන්දල ආදී ජාතික වනෝද්‍යාන, පේරාදෙණිය, හැගල්, හම්බන්තොට උද්භිද උද්‍යාන සහ කඩදොර වනාන්තර පද්ධති ඇතුළු ස්ථාන ගණනාවක් භාවිතා කළ හැකිය. මෙය ශ්‍රී ලංකාවේ ස්වභාවික සංචාරක කර්මාන්තයට නව මානයක් එක්කරනු ඇත.

පරිසර සංචාරක මාර්ගෝපදේශකයන් වන චිකිත්සක උපදේශකයන් ලෙස පුහුණු කිරීම

ශ්‍රී ලංකාව තුළ දැනටමත් වනජීවී, පක්ෂි නිරීක්ෂණ, වනාන්තර සහ පරිසර සංචාරක ක්ෂේත්‍රවල අත්දැකීම් සහිත දක්ෂ මාර්ගෝපදේශකයන් විශාල පිරිසක් සේවය කරති. ඔවුන්ගේ පවතින දැනුම හා ක්ෂේත්‍ර අත්දැකීම් පදනම් කරගෙන විශේෂිත පුහුණු වැඩසටහනක් මඟින් වන චිකිත්සක උපදේශකයන් (Forest Therapy Guides ) ලෙස බිහිකිරීම ශ්‍රී ලංකාවේ ස්වභාවික සංචාරක කර්මාන්තයට නව දිශාවක් ලබා දිය හැකිය.

එම පුහුණුවේදී වන චිකිත්සාවේ මූලධර්ම, සතිමත්බව, ස්වභාව සබැඳියාව, පාරිසරික මනෝවිද්‍යාව, මූලික ප්‍රථමාධාර, ආරක්ෂක ක්‍රියාමාර්ග, ජෛව විවිධත්වය, සංරක්ෂණ ආචාරධර්ම, තිරසර සංචාරක කළමනාකරණය සහ ඵලදායී සන්නිවේදන කුසලතා වැනි විෂයයන් පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දිය යුතුය.

මෙවැනි වෘත්තීය පුහුණු සහ සහතික කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා වන විද්‍යා ආයතනය එක්ව ක්‍රියාත්මක කළ හැකිය. එමඟින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන චිකිත්සක උපදේශකයන් පිරිසක් බිහිකරමින්, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වන චිකිත්සාව සහ ස්වභාව සුවතා සංචාරක (Nature Wellness Tourism ) ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත් කිරීමේ ශක්තිමත් පදනමක් සකස් කළ හැකි වනු ඇත.

ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ

වන චිකිත්සාව ශ්‍රී ලංකාවේ පරිසර සංචාරක කර්මාන්තයට නව ආර්ථික අවස්ථා රැසක් උදාකර දිය හැකි තිරසාර සංකල්පයකි. ලෝකය පුරා වේගයෙන් වර්ධනය වන ස්වභාව සුවතා සංචාරක ක්ෂේත්‍රයට අයත් ඉහළ ගෙවීම් කරන සංචාරකයන් ආකර්ෂණය කිරීමේ විශාල හැකියාවක් මෙයට ඇත.

ග්‍රාමීය ආර්ථිකය නංවාලීම: ග්‍රාමීය ප්‍රජාවන්ට නවාතැන්, ආහාර සැපයීම, දේශීය නිෂ්පාදන අලෙවිය, ප්‍රවාහන සේවා සහ මාර්ගෝපදේශන සේවා වැනි නව ආදායම් මාර්ග රැසක් බිහිවන අතර, පරිසර සංචාරක කර්මාන්තයද තවදුරටත් විවිධාංගීකරණය වේ.

වනාන්තරවල අගය ඉහළ නැංවීම: වනාන්තරවල වටිනාකම දැව නිෂ්පාදනයට පමණක් සීමා නොවී, මානව සෞඛ්‍යය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කරන ස්වභාවික සම්පතක් ලෙස නව ආර්ථික අගයක් හිමිකර ගනී.

සංරක්ෂණයට ජනතා දායකත්වය: මෙය වනාන්තර සංරක්ෂණය සඳහා ජනතා සහභාගීත්වය සහ ආයෝජන වැඩිදියුණු කරන අතර, පරිසරය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමටද දායක වේ.

හරිත රැකියා බිහිවීම: වන චිකිත්සක උපදේශකයන්, පරිසර අධ්‍යාපනඥයන්, ස්වභාවික සංචාරක

 මාර්ගෝපදේශකයන් සහ ප්‍රජා මට්ටමින් සේවා සපයන්නන් වැනි හරිත රැකියා (Green Jobs ) රැසක් නිර්මාණය කරමින්, ආර්ථික සංවර්ධනය සහ පාරිසරික සංරක්ෂණය එකිනෙක ශක්තිමත් කරන තිරසාර සංවර්ධන ආකෘතියක් ගොඩනැගීමට වන චිකිත්සාවට හැකියාව ඇත.

අනාගතය අප ඉදිරියේ

ලෝක සංචාරක කර්මාන්තයේ වේගයෙන් වර්ධනය වන අංශයක් වන්නේ ස්වභාව සුවතා සංචාරක ක්ෂේත්‍රයයි. ශ්‍රී ලංකාවේ අද්විතීය වනාන්තර පද්ධති, ජෛව විවිධත්වය සහ ස්වභාවධර්මය සමඟ බැඳුණු සංස්කෘතිය සැලකිල්ලට ගත් විට, වන චිකිත්සාව ආසියාවේ ප්‍රමුඛ සංචාරක නිෂ්පාදනයක් බවට පත් කිරීමට අපට විශාල හැකියාවක් ඇත. ස්වභාවධර්මය මිනිසාට ලබාදුන් විශිෂ්ටතම ත්‍යාගය වන්නේ දැව හෝ ජලය පමණක් නොව, නීරෝගී සිතක්, සන්සුන් ජීවිතයක් සහ සතුටින් පිරි මනුෂ්‍යත්වයක් ගොඩනැගීමයි.