එච්.එම්.ජී. හේරත්ගේ උපන් ගම නිකවැරටිය, හල්මිල්ලෑව ය. ගොවිතැන් බතින් ජීවිතය ගොඩනැඟූ මවුපිය යුවළකගේ වැඩිමහල් දරුවා වූ ඔහුට බාල සහෝදර සහෝදරියන් හත් දෙ​ෙනක් සිටියහ. ජීවිතයේ පැමිණි විවිධ ආර්ථික අපහසුතා හමුවේ ඔහු තම ළමාවිය ගෙවා දමන්නේ පවුලේ වැඩිමහල් දරුවා ලෙස නොයෙක් අභියෝගවලට මුහුණ දෙමිනි.

“මගේ ළමාවිය ගෙවුණෙම මට බාල සහෝදර සහෝදරියන්ගේ වගකීම් එක්කමයි. අපි හත් දෙනාම එක ළඟ ඉපදුණේ. අපේ ළමා විය ගෙවුණේ 70 - 77 කාල සීමාවල. මේ කාලය අපේ රට ආර්ථික අතින් ඉතා පහතට වැටුණු යුගයක් කියලා කවුරුත් දන්නවා. ඒ අභියෝගවලට අපි නොසෑහෙන්න මුහුණ දුන්නා. අපේ තාත්තා කුඹුරු වැඩ කරලා තමයි අපි හැමෝම පෝෂණය කළේ. ඒ වගේම ගෙදර කිරි හරක් කීපදෙනෙක් හිටියා. අපි කුඹුරු වැඩ කාලෙට ඉස්කෝලෙ යන්නෙ නැතුව ඒ වැඩවලට උදව් කරනවා. සමහර කාලෙට දවස් දහය පහළොව ඉස්කෝලේ යන්නෙ නෑ. ඒ වගේම හරක් බලනවා. මේ දේවල් එක්ක තමයි මගේ ළමා කාලය ගෙවුණේ.”

හේරත් 1 වසරේ සිට 11 වසර දක්වා පාසල් අධ්‍යාපනය ලබන්නේ තම නිවස අසල වූ හල්මිල්ලෑව කනිෂ්ඨ විදුහලෙනි. සෑම වසරකම පන්තියේ පළමුවැනියා වූ ඔහුට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නට රජදෙහිගම කනිෂ්ඨයට යාමට සිදුවන්නේ හල්මිල්ලෑවේ පැවැති ගුරු හිඟය හේතුවෙනි. එම පාසලට ගොස් පළමු වාරයේ පන්තියේ අන්තිමයා වූ ඔහු වාර අවසානය වන විට ප්‍රථමයා දක්වාම ඉදිරියට ආවේය.

“අපේ ගම්වල පාසල්වල ගුරු හිඟය තදින්ම තිබුණා. ඒකයි මටත් පාසල් මාරු කරන්න වුණේ. අපිට පාසලෙන් උගන්වන දේ විතරයි තිබුණේ. මොකද ටියුෂන් ගිහින් ඉගෙන ගන්න වත්කමක් අපි කාටවත් ඒ කාලෙ තිබුණේ නැහැ. කොහොමහරි මම සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ කලා විෂයන් හදාරන්න නිකවැරටිය මහසෙන් ජාතික පාසලට ඇතුළත් වෙනවා. ඒ කාලයේ උසස් පෙළ විභාගයත් එක්කම ගුරු විභාගයත් ගැසට් කරලා ඒ විභාගයත් පැවැත්වුණා. මම ගුරු විභාගයට පෙනී සිටලා ඒකෙන් සමත් වුණා. ප්‍රාථමික ගුරුවරයකු ලෙස පළමු පත්වීම මට ලැබෙන්නේ අවුරුදු විසි දෙකේදී. ඒ ගලගෙදර කනිෂ්ඨ විදුහලට.”

ප්‍රාථමික ගුරුවරයකු ලෙස ගුරු සේවයට එක්වුවද ඔහුට සිදුවන්නේ සාමාන්‍ය පෙළ සිසුන්ට සමාජ අධ්‍යයනය උගන්වන්නටය. මහත් වූ කැපවීමකින් තම දරුවන්ට අධ්‍යාපන කටයුතු කරදුන් ඔහු එම පාසලේ අවුරුදු දෙකක් පමණ සේවය කළේය.

“මේ කාලයේ මම ඉගෙනගත් හල්මිල්ලෑව කනිෂ්ඨයට විදුහල්පති වෙලා එන්නේ මගේ ඥාති සහෝදරයෙක්. ඔහු මට කියනවා ගමේ පාසලට එන්න, ඒක ගොඩනඟමු’ කියලා. මටත් ගුරු මාරුවක් ලැබෙනවා. ඒ කාලයේත් මම ඉගැන්නුවේ 6 - 11 පන්තිවලට. අපිට පුළුවන් වුණා ඒ පාසල හොඳ මට්ටමකට ගේන්න. මම ඒ පාසලේ අවුරුදු 13ක් රාජකාරි කළාට පසුව තමයි ආයෙත් මාරුවීමක් ලැබෙන්නේ. ඒ මාගල්ලේගම විදුහලට හා දණ්ඩුවාව විදුහලට. මේ පාසල් දෙකේම මම දවස් පහ බෙදාගෙන වැඩ කළා.”

මාගල්ලේගම විදුහලට නැවත විදුහල්පතිවරයකු ලෙස පැමිණෙන්නේ හේරත් සමඟ හල්මිල්ලෑව විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කළ ඔහුගේ ඥාති සහෝදරයා ය. ගුරුවරයකු ලෙස හේරත් එම පාසලේ කටයුතු කළේ දින තුනක් බැවින්, විදුහල්පතිවරයා ඔහු දිගටම ඒ පාසලේ රඳවාගැනීමට කටයුතු කරන්නේ විශේෂ හේතුවක් මතය. ඒ කාලය තුළ මෙම විදුහලේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන්නේ නගර සභාවේ සනීපාරක්ෂක කටයුතු කරන පවුල්වල දරුවන් පමණක් බවට මතයක් ගොඩනැගී තිබුණි. ඒ සංකල්පය වෙනස් කිරීමට විදුහල්පතිටත්, හේරත්ටත් තිබුණේ අසීමිත වුවමනාවකි. ඒ වන විට පාසලේ සිටියේ දරුවන් ඉතාමත් සීමිත ප්‍රමාණයක් බැවින් හේරත් කරන්නේ තම බිරියට ද මෙම පාසලට ගුරු මාරුවක් ලබාගෙන ගෙන්වා ගැනීමය. මන්ද ඇය ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව හසල දැනුමක් ඇති ප්‍රවීණ ගුරුවරියක වූ බැවිනි.

“අපි ඉස්සෙල්ලම කළේ පාසලේ නම වෙනස් කරපු එක. අද නිකවැරටිය බබළවන රජබිම විදුහල’ තමයි ඒ. පළමු අවුරුද්දේ පහේ පන්තියේ හිටියේ ළමයි නවදෙනයි. අවුරුදු දොළහකට පස්සේ ශිෂ්‍යත්වයෙන් ළමයි දෙන්නෙක් සමත් වෙනවා. ඒකට මගේ නෝනා මහත් කැපවීමක් කළා. එයාව උදේ 6.30ට මම පාසලට ගිහින් දානවා. පස්සේ මම ආයෙත් ගෙදර ඇවිත් තමයි පාසලට එන්නේ. නෝනා හවස 5.30 වෙනතුරු දරුවන්ට උගන්වනවා. එහෙම කැපකිරීමක් කළා. මම මගේ දුව ගිය පාසලෙන් අස් කරලා මේ පාසලට දැම්මා. ඒ වගේම තවත් ගුරුවරියකුත් ඒ වැඬේම කළා. මේකෙන් මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න ගත්තා. හැම අවුරුද්දක් පාසාම ශිෂ්‍යත්ව විභාගයෙන් ළමයි විශාල ලෙස සමත් වුණා. අවුරුදු තුනක් යද්දී පාසලේ ළමයි තුන්සියය පැන්නා. පාසල විශාල වශයෙන් දියුණු වුණා. ගොඩනැඟිලි හැදුණා. ඇත්තටම අපිට ලොකු පෙරළියක් කරන්න පුළුවන් වුණා. අද වෙද්දී ඒ පාසලේ දරුවන් සංඛ්‍යාව දහස පැන්නා.”

මේ කාලය තුළ නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ගාමිණී බණ්ඩාරය. රජබිම පාසල දිනෙන් දින ලබන ප්‍රගතිය දැක ඔහු හේරත්ගෙන් තවත් ඉල්ලීමක් කළේය. ඒ, නිකවැරටියේ වැසෙන්නට යන තවත් පාසලක් ගොඩගන්නට සහයෝගය දෙන ලෙසය. ඒ, රඹපොකුණ ප්‍රාථමික විදුහල ය.

“මට ඇත්තටම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම ඉවත දමන්න බැරි වුණා. මම ඉස්සෙල්ලම කළේ නිවාඩු දවසක ගිහින් පාසල නිරීක්ෂණය කරපු එක. ඒ පාසල පිහිටා තිබුණේ ඉතා සාරවත් බිමක. හැබැයි මම ඉල්ලීම් දෙකක් කළා. එකක් තමයි මගේ නෝනවත් ඒ පාසලටම දෙන්න කියලා. මොකද ඇය ප්‍රාථමික අධ්‍යාපනය ගොඩගන්න හොඳම කෙනා බව මම දැනගෙන හිටියා. ඒ වෙද්දී ඒ පාසලේ හිටපු විදුහල්පති විශ්‍රාම යන්න මාස කිහිපයයි තිබුණේ. පාසලේ අරමුදල් රුපියල් 1,65,000කුත් තිබුණා. මම ඉල්ලීමක් කළා, මම පත්වීම බාරගන්නේ මට අවශ්‍ය විදියට පාසලේ භෞතික පරිසරය වෙනස් කරන්න අවස්ථාව දෙනවා නම් විතරයි’ කියලා. ඔවුන් එයට එකඟ වුණා. විදුහල්පති වගේම ගුරු මණ්ඩලයත් හයියට හිටියා. මම ඒ පාසලට යද්දී ළමයි හිටියේ 28යි. එකේ සහ පහේ පන්තිවල ළමයි හිටියෙම නැහැ. ඒක මට විශාල අභියෝගයක් වුණා.”

ඔහු කරන්නේ පාසල අවට පෙරපාසල් දෙකක ගුරුවරියන් දෙදෙනකු හමු වී, පෙරපාසල් ගුරු - දෙගුරු රැස්වීමකට සහභාගි වීමය. ඒ තුළින් පාසල පිළිබඳව එම මවුපියන්ට වටහා දී 1 වසරට දරුවන් 12 දෙනකු ගෙන්වා ගැනීමට ඔහු සමත් වෙයි. මේ වන විට පාසල උඩුයටිකුරු වෙමින් පරිසර පද්ධතිය, ගොඩනැඟිලි අලු‍ත් මුහුණුවරක් ගත් නිසා %නැණසර තක්සලාව’ වයඹ දිස්ත්‍රික් රන් සම්මානය ද හිමිවන්නේ මේ පාසලටය.

“පාසල් ඉතිහාසයේ අවුරුදු දාහතරකට පස්සේ ශිෂ්‍යත්වයෙන් ළමයෙක් සමත් වෙනවා පළමු අවුරුද්දෙන්ම. ඒ දරුවාට ලකුණු 180ක් තිබුණා. කොළඹ රෝයල් එකට විතරයි යන්න බැරි වුණේ, ලංකාවේ ඕනෑම පාසලකට යන්න පුළුවන්කම තිබුණා. ඒ දරුවා ගියේ කොළඹ ආනන්ද විදුහලට. මේ වසරේ ඔහු උසස් පෙළ ලියනවා. ඒ වගේම සෑම වසරකම ශිෂ්‍යත්වය සමත් සංඛ්‍යාව ඉහළ යද්දී, දරුවන්ගෙන් අයැදුම්පත් කැඳවලා 1 ​ශ්‍රේණියට බඳවාගන්න මට්ටමට මේ පාසල පත් වෙනවා. 2025 වසරේ දරුවන් 17 දෙනෙක් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙනවා.”

• රඹපොකුණ ප්‍රාථමිකයේ වැඩ බාරගන්නකොට ළමයි 28යි - එකේ සහ පහේ පන්තියෙ ළමයි හිටියෙම නැහැ.
• ගුරු ජීවිතය පුරාම උගන්වන්න ලැබුණේ ඉතා අහිංසක, ගොවිතැන් බතින් එදාවේල රැකෙන දරුවන් පිරිසකට.

 

මේ කාල සීමාව තුළ පාසල ශීඝ්‍ර දියුණුවකට පත් වන අතර අධ්‍යාපනයට එහා ගිය බාහිර ක්‍රියාකාරකම්වලින් ද රඹපොකුණ ප්‍රාථමික විදුහල ඉහළින් ඔසවා තබන්නට හේරත් සමත් විය. වයඹ පළාතේ සියලු‍ම පාසල් අභිබවා  ශාන්ත ජෝන් ගිලන්රථ සේවාව මගින් පවත්වන ලද ප්‍රාථමික දරුවන්ගේ පළාත් (සමස්ත) කිටී ශූරතාව දිනාගැනීමට ද සමත් වන අතර, ළමා මිතුරු කණ්ඩායම් ඇතුළු බාහිර ක්‍රියාකාරකම් රැසක් පාසල තුළ ක්‍රියාත්මක විය.

“මේ වෙද්දී පාසලේ දියුණුව දැකලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මට කිව්වා තෑග්ගක් දෙනවා කියලා. ඒක තමයි නිකවැරටිය කලාපයට ලැබුණු ගොඩනැඟිලි හතරෙන් එකක් භෞතික සම්පත් මධ්‍යස්ථානයක් ලෙස අපේ පාසලටත් හිමිවීම. ඒකෙ එක කාමරයක් විදුහල්පති කාමරය ලෙස භාවිත කරන්න හැකි වුණත් මම ඒක භාවිත කළේ නැහැ. එක කාමරයක් ඉංග්‍රීසි ක්‍රියාකාරකම්වලටත්, අනෙක් කාමරය ගණිත විෂය හදාරන්නත් භාවිත කළා. මොකද ප්‍රාථමික පන්තිවල ගණිත විෂයට විවිධ ද්‍රව්‍ය අවශ්‍යයිනේ. ඉරටු මිටි, ලී කෑලි වගේ දේවල් දරුවෝ ගෙවල්වලින් ගේන්නේ පාඩමට. අපි එහෙම නැතුව ඒ පාඩම්වලට අවශ්‍ය සියලු‍ දේවල් එක්රැස් කරලා ඒ කාමරයේ තැබුවා. දැන් දරුවන්ට ගෙවල්වලින් මොනවත් ගේන්න ඕන නෑ; ගණිත පාඩමේදී මේ කාමරයට ආවම ඇති. ඒ වගේම අනෙක් කාමරය පුස්තකාලයක් කළා. ඒකත් අලු‍ත් විදියට. දරුවකුට හිටගෙන, හාන්සි වෙලා, බිම ඉඳගෙන පොතක් කියවන්න පුළුවන් විදියටයි එය නිර්මාණය කළේ.”

නිකවැරටිය කලාපයේ පාසල් රැසකට අප්‍රමාණ මෙහෙවරක් ඉටුකළ හේරත් විදුහල්පතිවරයා විශ්‍රාම දිවියට පා තබන්නේ ද රඹපොකුණ ප්‍රාථමික විදුහලෙනි. ඒ 2025 වසරේදීය. දැයේ දරුවන් වෙනුවෙන් කළ අප්‍රමාණ මෙහෙවරෙහි පිනෙන් ඔහුගේ ආදරණීය දියණිය සහ පුතා යාපනය සහ කොළඹ විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලබා, මේ වන විට පෞද්ගලික අංශයේ ඉහළම තලයේ රැකියාවල නිරත වෙති. ඔහුට සෙවණැල්ලක් වෙමින් අප්‍රමාණව දිරිදුන් සිය බිරිඳ ද මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවන්නීය.

“අපේ ගුරු ජීවිතය පුරාම මේ කලාපයේ උගන්වන්න ලැබුණේ ඉතාම අහිංසක, ගොවිතැන් බතින් එදාවේල රැකෙන දරුවන් පිරිසකට. ඒ දරුවන්ගේ අම්මලා තාත්තලාවත් පාසල් ගිහින් නැති අය අනන්තවත් හිටියා. වේලක් ඇර වේලක් කාලා පාසල් ආපු දරුවෝ හිටියා. ඒත් අපි කවදාවත් ඒ දරුවෝ අතහැරියේ නෑ. අපි දරුවන් ගෙදර ගිහින් වැඩ කරන හැටි බලන්න ගෙවල් ගානේ පවා ඇවිද්දා. අධ්‍යාපනයේ වටිනාකම දරුවන්ට වගේම මවුපියන්ටත් කියා දුන්නා. ඒ තුළින් ප්‍රයෝජන ගත්ත බොහෝ දරුවෝ අද මේ රටේ ඉහළම තැන්වල ඉන්නවා. ඒ සතුට ගුරුවරයකු ලෙස මට තියෙනවා. අපි ඉපැයුවේ සල්ලි නෙමෙයි. අපේ අම්මටයි තාත්තටයි අකුරු බැහැ. ඒත් ඒ දෙන්නා අධ්‍යාපනයේ වටිනාකම දැනගත්තු නිසා තමයි මම අද මේ තැනට ආවේ. ඒ දේවල් මම මේ දරුවන්ට දුන්නා. අදටත් පාරක තොටක යද්දී නැවතිලා කතා කරන දරුවෝ ඉන්නවා. අපි උගන්වපු දරුවන්ගේ දරුවෝ පවා මේ අපේ සර්නේ’ කියලා අපි ළඟට ගෙනෙනවා. මම අදටත් ගොවිතැන් වැඩ කරනවා. ඒ වගේම මම උගන්වපු හැම පාසලකම කෘෂිකර්මය දියුණු කළා. අද ගොඩක් පාසල් ඒ තුළින් පාසලට මුදල් උපයා ගන්නවා. අන්තිමට උගන්වපු පාසලේ ඩෙස්ක්, පුටු ටික පවා හැදුවේ මගේ අත් දෙකෙන්. කලාපයෙන් ඩෙස්ක්, පුටුවක්වත් අරගෙන නැහැ. ඒ නිසා මේ රටට, සමාජයට ගුරු වෘත්තියෙන් වැඩක් කළා කියන සතුටනම් මැරෙන තුරාම පවතීවි.”

සුජිත් ප්‍රසංග