මුරුගන් කාවඩි

දකුණේ මිනිසුන්ට කාවඩි කියන්නේ හරියට ආගමක් වගේ ය.

“හරෝ හරා....! හරෝ හරා...!”

බෙර හඬත් සමඟ ඒ හඬ පරිසරයට මුසු වෙද්දී, කාවඩි කරේ තබාගත් පිරිසගේ පාද එකම තාලයකට රිද්මයක් මවයි. එක පියවරක් ඉදිරියටත්‍ව තවත් පියවරක් ඉදිරියටත්‍ව ලෙස තබමින් කාවඩි සම්ප්‍රදායත් සමඟ එකට බැඳුණු අපූරු දසුනක් මවන්නේය.

කතරගම දෙවියන් වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කරමින්, පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන මෙම කාවඩි සම්ප්‍රදාය නර්තනයක් පමණක් නොවෙයි. එය විශ්වාසයකි. එය භක්තියකි. එය පරම්පරා ගණනාවක් තිස්සේ ජන හදවත් තුළ ජීවත්වන සංස්කෘතික මතකයකි.

බෙරයේ “තකිත තකිත” තාලයට පාද තබමින්, කාවඩි කරේ තබාගත් භක්තිකයන්ගේ ගමන කතරගම පූජාභූමිය දෙසට ඇදෙන්නේ දෙවියන් වෙනුවෙන් වූ භාරයක අවසානයක් සොයාගෙනය. එහෙත් ඒ ගමන තුළ ඇත්තේ පෞද්ගලික භක්තියක් පමණක් නොවේ. ශ්‍රී ලාංකීය ජන සම්ප්‍රදායේ අපූරු උරුමයක් ද එහි ගැඹුරින් සැඟවී තිබේ.

දකුණේ කාවඩි යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ඇසළ පෙරහර මංගල්‍යයන් සහ දේව මංගල්‍යයන් ආශ්‍රිතව දැකගත හැකි, උද්‌යෝගිමත් භක්තිවන්ත නර්තන විශේෂයක් වන අතර කාවඩි ප්‍රධාන වශයෙන් නටන්නේ කතරගම දෙවියන් උදෙසාය. කතරගම මහා දේවාලය, දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ කුඩාවැල්ල, ගුරුපොකුණ වැල්ලේ දේවාල, සීනිගම දේවාලය වැනි වෙරළබඩ පූජනීය ස්ථානවල ප්‍රධාන වශයෙන්ම ප්‍රකට කාවඩි නැටීම සිදු වේ.

මෑතකදී දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ ඇති වූ පාතාල තර්ජන සිදුවීමක් මුල් කරගනිමින් ‘කාවඩි‘ යන වදන මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් විය. විශේෂයෙන්ම පහතරට දකුණේ ජනතාව කාවඩි පූජාව කෙරෙහි දක්වන්නේ දැඩි භක්තිමත් ප්‍රියතාවයකි. සෑම වසරකම දකුණේ තරුණ පිරිස් කණ්ඩායම් වශයෙන් දෙවිනුවර හා කතරගම පුදබිම් වෙත පැමිණ දෙවියන් සතුටු කිරීම උදෙසා මහත් හරසරින් කාවඩි පූජාවේ නිරත වෙති.

කාවඩි පූජාවේ ආධ්‍යාත්මික අරුත

දේව විශ්වාසයන් සමඟ බැඳුණු අභිචාර ලෙස විවිධ චාරිත්‍ර පුදසිරිත් ශ්‍රී ලංකාව තුළ ඇති වූ අතර, පුද්ගලයන්ගේ කායික මානසික ව්‍යාධිවල සිට ඉටු කරන සියලු‍ සුබ කාර්යයන්හිදී කතරගම දෙවි විෂයෙහි භාරහාර වීම තුළින් එකී කටයුතු ඉටු වන බවට තරයේ විශ්වාස කරන වැසියෝ රෝහණ දේශයට අධිපති කතරගම දෙවි උදෙසා පුදසිරිත් ඉටු කිරීමට පටන් ගත්තාහ. එහි ප්‍රතිඵලයක් ලෙස කප් සිටුවීම, ගිනි පෑගීම, දිය කැපීම වැනි පුදසිරිත් ආරම්භ වූ අතර කාවඩි නර්තනය යනු එවැනිම දෙවියන් විෂයෙහි ආරම්භ වූ පූජා නර්තනයකි.

කාවඩි නර්තනයේ ප්‍රධාන දේව විශ්වාසය බැඳී පවතින්නේ මුහුණු සයක්, අත් දොළසක්, රන්වන් සිරුරක් හෙබි, රණමයුරකු පිට නැඟී සැමවිටම ජයග්‍රහණයේ සීනු සහ කොඩි දරන, ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන් සමඟය. ඉන්දියාවේ සුබ්‍රමනියම්, මුරුගන් ආදී ලෙසත්, ලංකාව තුළ කඳ කුමරු, ස්කන්ධ දිව්‍යරාජ ලෙසත් උන්වහන්සේ පිදුම් ලබති.

රුහුණු මහා කතරගම දේවාලය මුල් කරගනිමින්, කඳ කුමරුන් වෙනුවෙන්ම වෙන් වූ සුවිශේෂී සංස්කෘතිකාංගයක් ලෙස නටන කාවඩි නර්තනය, වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයන්හිදී නිරන්තරයෙන් දැකිය හැකිය. මෙම කාවඩි නැටුම නැරඹීමට මෙන්ම ඊට එක්වීමට දේශීය බැතිමතුන් මෙන්ම විදේශීය සංචාරකයන් ද දක්වන්නේ මහත් රුචිකත්වයකි. කාවඩි කලාව පිළිබඳව බොහෝ දෙනකු උනන්දු වුවද, එහි සැබෑ ආගමික අරුත හෝ ඔවුන් මෙය නටන්නේ කුමන අරමුණකින්ද යන්න පිළිබඳව හරිහැටි දන්නේ සීමිත පිරිසකි.

සියලු‍ ප්‍රේත දෝෂ හා අපල උපද්‍රව දුරු කරගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වන අතර, ඇතැමෙක් භාරහාර ඔප්පු කිරීමටත්, තවත් පිරිසක් විනෝදය පිණිසත් මෙයට එක්වෙති.

විවිධත්වයෙන් පිරි කාවඩි වර්ග

අප රටේ දැකිය හැකි කාවඩි කලාව තුළ විවිධ කාවඩි වර්ග රැසක් පවතියි. පරවි කාවඩි, භක්ති කාවඩි, ගිනි කාවඩි, කිරි කාවඩි, මත්ස්‍ය කාවඩි ආදී ලෙස කාවඩි වර්ග කිහිපයකින් කාවඩි නර්තනයන් ප්‍රධාන වශයෙන් වර්ග කරයි. ඒ අතරින් ප්‍රධාන කාවඩි වර්ග කිහිපයක සුවිශේෂීතා මෙසේය:

1. පරවා කාවඩි
කටු ගසාගෙන මොවුන් නර්තනය කරන අතර මස් මාංශ සහ සුරාවෙන් වැළකී මොවුන් මෙම කටයුත්ත සඳහා සහභාගි වේ. කිලි කුණුවලින් තොරව පිරිසිදුව දින ගණන් පේවී දේවාශීර්වාදය ලබා ගැනීම මෙහිදී වැදගත් වන අතර දේව විශ්වාසය නිසා සිරුරට වේදනාවන් ඇති ​ෙනාවන බව ඔවුහු විශ්වාස කරති. දේව හාස්කමක් ලෙස බැතිමතුන් මෙය විශ්වාස කරන අතර පරවා කාවඩි නැටීමෙන් පසු ශරීරයේ සිදුරු වූ තැන්වල තින්නෝරු කුඩු විශේෂයක් ගල්වති. තින්නෝරු කුඩු තුවාල මත ආලේප කළ සැණින් සියලු‍ම ලප කැලැල් සුව වී, වියළී මැකී යනු ලබන අතර එහි ඇති අගනා ඖෂධීය ගුණය එයින් පෙන්නුම් කරයි.

2. කිරි කාවඩි
කළු පැහැ කිරි එළදෙනක් සිය පැටවා ද සමඟ ගෙන මනාව නහවා, මල් මාලාවලින් සරසා, සුවඳ දුම් අල්ලා පිරිසුදු කරගෙන කිරි දොවා ගනු ලැබේ. දොවාගත් කිරි පිරිසුදු මුට්ටිවලට දමා කට බැඳ කාවඩි කූඩුවේ දෙපස එල්ලනු ලබයි. ඉන්පසු ජනතාවට ආශීර්වාද කිරීමට කිරි කාවඩි නර්තනය කරනු ලබයි. මෙම කාවඩිය නැටීම දරුවන් ලෙඩ වූ විට හා දරුඵල ලබා ගැනීමට පෙර දෙවියන්ට සිදු කරනු ලබන භාරහාර ඔප්පු කිරීමක් වශයෙන් සිදු කෙරේ.

3. මත්ස්‍ය කාවඩි
බැතිමතුන් විශ්වාස කරන්නේ පිසූ මසුන් අධික දේව භක්තියට අනුව යළි පණ ලබා දියෙහි පීනා යන බවය. පිළිගත නොහැකි සිද්ධීන්ගෙන් යුත් නාමමාත්‍ර පූජා විශේෂයක් වශයෙන් මත්ස්‍ය කාවඩි හැඳින්වෙයි. මෙය වර්තමානයේ භාවිතයෙන් තොර ක්‍රමයකි.

4. ගිනි කාවඩි (අග්නි කාවඩි)
අනෙකුත් කාවඩිවලට වඩා තරමක අසීරු මෙන්ම අවදානම් සහගතය. මෙහිදී අමුකැවිලි සහ නාග පෙණ 7ක ආකෘතියක් සාදා, මොණර පිහාටුවලින් සරසා ගනිති. එම ආකෘතිය මත පහන් දල්වා, එය පිටේ බැඳගෙන බැතිමත්හු රංගනයේ යෙදෙති.

5. දුටුවන් මවිත කරනිපරවි කාවඩිය’
මෙහිදී කරත්තයක් මත එල්ලු‍ම් ගහක ආකාරයට සකස් කළ ආධාරකයක් දැකිය හැකිය. ලීවලින් නිම වූ තොටිල්ලක් බඳු මෙවලමක ආධාරයෙන්, භක්තිවන්තයාගේ පිටෙහි කටු ගසා, කඹයකින් එල්ලා පද්දමින් මෙම පූජාව සිදු කරයි. මෙම කරත්තය ඇදගෙන යාම සඳහා තවත් දෙදෙනකුගේ සහාය අවශ්‍ය වේ.

6. දේව ප්‍රතිමා ඇදගෙන යන අලගු කාවඩි’
තම ශරීරයට දැඩි ලෙස දුක් දී කරනු ලබන වත්පිළිවෙතකි. බැතිමතුන් සිය මුඛය හරහා විශාල වේලායුධයක් (වේලක්) සහ ශරීරයේ විවිධ ස්ථානවල කුඩා වේලායුධ 108ක් පමණ ගසා ගනිති. ඉන් නොනැවතී, තුනටිය ප්‍රදේශයේ මස්ගොබ සිදුරු කර කොකු අමුණා, එම කොකුවලින් දේව ප්‍රතිමාවක් සහිත කරත්තයක් තනිවම ඇදගෙන යමින් දෙවියන්ට උපහාර දක්වති.

7. මුරුගන් කාවඩිය
මේ සඳහා ඉතා විශාල ලෙස මෙම කාවඩිය සකස් කරයි. කොස් හා සඳුන් දැවවලින් නිර්මාණය කරන අතර මෙම කාවඩිය නටන පුද්ගලයා ශක්තිවන්ත අයකු විය යුතු වේ. මෙම කාවඩියේ මොණර පිල් රැසක් ගසා ඇති අතර බර අතින් ද වැඩිය. සෑම වසරකම අසුර සංහාරය සිදු වූ ඉල් මහා මංගල්‍ය දිනය, දේව සේනාපති තනතුර ගත් වෘශ්චික රවියේ කැති නැකත යෙදෙන දිනය, උපන් දිනය වන මකර රවිගේ කැති නැකත යෙදෙන දිනය හා කතරගම දෙවිඳුන් වල්ලි මාතාව සමඟ විවාහ වූ බක් මහ උත්‍රපල් නැකත යෙදෙන දිනය යන දිනවල භක්ති කාවඩි පූජා පැවැත්වේ.

කතරගම දෙවියන්ට පමණක් ආවේණික වූ භක්ති කාවඩි
ප්‍රමාණයෙන් ඉතා විශාල මෙහි නිර්මාණය සඳහා කොස් සහ සඳුන් වැනි වටිනා දැව භාවිත කරයි. වටේම මොනර පිල් සවිකර ඇති, බරින් අධික මෙම කාවඩිය නටන පුද්ගලයා කායිකව මෙන්ම මානසිකව ද දැඩි ශක්තිවන්තයෙක් විය යුතුය.

දේව භක්තිය කුළුගන්වන පූජා ක්‍රමයකි. එය අසුර සංහාර දිනය, ස්කන්ධ කුමාර උත්පත්තිය, වල්ලි මාතාව විවාහ කරගත් දිනය ආදී සිදුවීම් නිමිති කරගෙන පවත්වනු ලබයි.

කාවඩියේ ඓතිහාසික කතා පුවත්
කාවඩි පූජාවේ ආරම්භය පිළිබඳව හින්දු පුරාණෝක්තිවල රසවත් කතා පුවත් කිහිපයක් සඳහන් වේ.

පෙර කලෙක දෙවියන්ට සතුරු වූ ‘සුරපද්ම‘ නම් අසුරයාගේ ‘හිඩිම්බේෂ්වර‘ නම් බලසම්පන්න සෙන්පතියා, කඳ කුමරුන් සමඟ ඇති වූ සටනින් අසුරයන් පැරදීමෙන් පසු අගස්ති ඍෂිවරයා ළඟ සැඟවී ජීවත් විය. පසුව ඔහු කඳ කුමරුන්ගෙන් අභයදානය ඉල්ලා යාච්ඤා කළේය.

තම ප්‍රාර්ථනාවන් ඉටුකර ගැනීම උදෙසා ඔහු ‘සිවගිරි‘ සහ ‘සප්තගිරි‘ යන පූජනීය කඳු දෙක විශාල දණ්ඩක දෙකෙළවර බැඳ කරමත තබාගෙන රැගෙන ආවේය. අතරමඟදී බාහිර අවශ්‍යතාවක් සඳහා ඔහු මෙම කඳු බිම තැබූ අතර, නැවත එසවීමට උත්සාහ කළද එය පොළොවෙන් එසවීමට නොහැකි විය. පරික්ෂා කර බැලීමේදී කඳු මුදුනේ කුඩා දරුවකු (කොලු‍ගැටයකු සේ පෙනී සිටි කඳ කුමරු) සිටිනු දැකගත හැකි විය. ඔහුට එතැනින් ඉවත් වන ලෙස දැක්වුවද එය අසාර්ථක වූ අතර, ඇති වූ දැඩි සටනින් හිඩිම්බේෂ්වර මරුමුවට පත් විය.

පසුව, අගස්ති මුනිවරයාගේ ඉල්ලීමට අනුව යළිත් ඔහුට ජීවය ලබා දී කඳ කුමාරයාගේ සෙන්පතියකු ලෙස පත් කරනු ලැබීය. මෙසේ ජීවිත දානය ලැබීමෙන් මහත් ප්‍රීතියට පත් හිඩිම්බේෂ්වර, තමන් කර තබාගෙන ආ කඳු දෙක සිහිවීම පිණිස කාවඩි කූඩුවක් සාදා ප්‍රීති ඝෝෂා පවත්වමින් නර්තනයේ යෙදුණේය. කාවඩි නැටුමේ ආරම්භය එය බව පැවසෙයි.

ඉන්දීය ජනප්‍රවාදයේ එන පලනිමලේ කතාව
තවත් ඉන්දීය බැතිමතුන් අතර ඇති විශ්වාසයකට අනුව, ශිව දෙවියන් විසින් කඳ කුමරුන්ට දඬුවමක් ලෙස මදුරේයි දිස්ත්‍රික්කයේ පලනිමලේ කඳු මුදුනේ නිරාහාරව සිරකර තබන ලදී. මෙය දැනගත් පාර්වතී දේවිය, ශිව දෙවියන්ට රහසින් සිය පුත්‍රයාට ආහාර යැවීමට උත්සාහ කළද එය මුරකරුවන්ට හසුවිය. පසුව පාර්වතී දේවිය කාවඩියක් සකස් කර එහි දෙකෙළවර කිරි කළ දෙකක් එල්ලා හිඩිම්බේෂ්වර අත පලනිමලේ කන්දට යැවූ බවත්, ඔහු එය කර තබාගෙන නටමින් ගොස් කඳ කුමරුන්ට කිරි ආහාර ලෙස ලබාදුන් බවත් විශ්වාස කෙරේ. බොහෝ දෙනා පලනිමලේ කන්ද කාවඩියේ උපත ලෙස සලකති.

පේවීම සහ වත්පිළිවෙත්වල වැදගත්කම
භක්තිය, ශරීරයට දැනෙන වේදනාව අභිබවා යන අයුරු කාවඩි කලාව දෙස බලන විට මනාව පැහැදිලි වේ. පාද ආබාධිත වූවන්, විවිධ රෝගාතුර වූවන් සිය අදහස් සඵල වූ පසු භාරහාර ඔප්පු කිරීමට කාවඩි නැටීම සිදු කරති.

කාවඩි නැටීමට පෙර නිවැරදිව ‘පේවීම‘ අතිශය වැදගත්ය. මස් මාංශයෙන් තොරව ශරීරය පිරිසුදුව තබාගත යුතුය. කාවඩි නැටීමට පෙර මැණික් ගඟේ දිය නා පිරිසිදුව, සුදු හෝ රතු පැහැති පිරිවටයක් (ඇඳුමක්) ඇඳගෙන මෙම පූජාවට එක්විය යුතුය. බොහෝ විට හින්දු භක්තිකයන් මෙන්ම දකුණේ පාරම්පරිකව කාවඩි නර්තනයේ යෙදෙන බැතිමත්හු දිනකට එක් නිර්මාංශ ආහාර වේලක් ගනිමින්, සුරාපානයෙන් හා සියලු‍ අපවිත්‍රතාවලින් වැළකී සිටිමින්, නිතරම දෙවියන්ගේ ආශීර්වාදය පතමින් මෙම කාවඩි නර්තනයේ යෙදෙති.

අග්නි කාවඩි

වර්තමානයේ ඇතැම් පිරිස් මෙය හුදෙක් විනෝදය පතා සිදු කරන අතර, සමහරුන් අරක්කු බී කාවඩි නටන අයුරු ද දැකගත හැකිය. එවැනි අය කාවඩි නටා මැණික් ගඟෙන් එතර වීමට පෙර ක්ලන්තය හැදී, දත කට පූට්ටු වූ අවස්ථා පවා සිදුව ඇති බවට දේවාල භූමියේ සාක්ෂි ඇත.

“බැතිමතුන් තනි මතයට කාවඩි නටන්නේ නැහැ. දැන් කරන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය බීගෙන, ඇඟ පුරාම පච්ච කොටාගෙන සැණකෙළි සංදර්ශන ගානට කාවඩි නැටීම. මේවා ඇත්තටම වස්. දෙවියන් කෙරෙහි භක්තියක් නැතුව කාවඩි නැටීමෙන් බැතිමතුන්ට මුහුණ පෑමට සිදුවූ අනතුරු බොහොමයක් තියෙනවා. කාවඩි නැටිය යුත්තේ ඒ සංගීතයට තියෙන ආසාවට නෙමෙයි; දෙවියන් උදෙසා ඇති අප්‍රමාණ භක්තියෙන්.”

රුහුණු පුරවරයට ගැම්මක් දෙන දකුණේ කාවඩි
කාවඩි නර්තන සම්ප්‍රදාය තුළ ඇත්තේ ශක්තිමත් රිද්මය, භක්තිය සහ කැපවීමයි. සාම්ප්‍රදායික සහ නවීන මිශ්‍රණය මෙහි ගැබ්ව ඇත.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අතර දකුණු පළාතේ කාවඩිවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මහා රුහුණු පුරවරයේ ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල අභිමුව සහ වෙරළබඩ ධීවර ගම්මාන කේන්ද්‍ර කරගනිමින් ඇසෙන වේගවත් බෙර රිද්මයක් ඇත. ඒ වෙන කිසිවක් නොව, මුළුමහත් දකුණු පළාතම එකම භක්ති අසිරියකින් වෙළාගන්නා ”‍දකුණේ කාවඩි”‍ නාදයයි. කාවඩි කලාව යනු හුදෙක් නර්තනයකට එහා ගිය ගැඹුරු ආගමික හා සංස්කෘතික බැඳීමක් සහිත ඉතිහාසයක් ඇති කලාවක් වන අතර එය භක්තිය, භාරය සහ දේව වන්දනාව සමඟ බැඳුණු දිගු සංස්කෘතික ගමනකි.

කාලයත් සමඟ මෙම සම්ප්‍රදාය දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණ, කතරගම දෙවියන් වෙනුවෙන් වූ භක්තිමය චාරිත්‍රයක් ලෙස මෙරට ජනජීවිතය තුළ ද මුල් බැසගෙන ඇත.

1938 වසරේදී වේල් සහ සෙල්වම් නමැති පුද්ගලයන් විසින් මැණික් ගඟ ආශ්‍රිත ප්‍රදේශයේදී කතරගම දෙවියන් උදෙසා කාවඩි උපහාර පවත්වා තිබේ. එවකට කතරගම කාවඩි සම්ප්‍රදාය ප්‍රධාන වශයෙන් ඉන්දියානු චාරිත්‍ර හා සම්ප්‍රදායන් පදනම් කරගෙන පැවති අතර, දමිළ කාවඩි සංගීතයට අනුව වාදනය කළ කණ්ඩායම් හරහා එම සංගීත සම්ප්‍රදාය ක්‍රමයෙන් සිංහල ජනතාව අතරට ද ව්‍යාප්ත විය. එතැන් පටන් දකුණේ පරම්පරාවෙන් පරම්පරාවට කාවඩි කලාව සිංහල ජනසමාජය තුළ ද මුල් බැස ගත්තේය.

වසර හැත්තෑ පහකට අධික කාලයක් කතරගම සාම්ප්‍රදායික කාවඩි සංගීතය හා කලාව සමඟ බැඳී සිටින ජේ.එච්. රෝහණ අද කවුරුත් හඳුන්වන්නේ “රුහුණු මාස්ටර්” යන නාමයෙනි. ඔහු මෙම කලාවට අවතීර්ණ වූයේ තම පියා වූ පේරිස් සිල්වාගෙන් ලැබුණු උරුමය අනුවය. වර්තමානය වන විට රුහුණු මාස්ටර් මෙන්ම ඔහුගේ පුත්‍රයා ද කතරගම කාවඩි සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින් සිටිති. චතුර සංජුක හෙවත් “කතරගම කාවඩි පොඞ්ඩා” ලෙසින් හඳුන්වනු ලබන්නේ රුහුණු මාස්ටර්ගේ පුත්‍රයාය.

වසර ගණනාවකට පෙර කාවඩි

එකල කතරගම කාවඩි වාදනය සිදුකරනු ලැබ ඇත්තේ වේල් සහ සෙල්වම් නම් දමිළ ජාතිකයන් දෙදෙනකු විසිනි. ඔවුන්ගෙන් පසුව මෙම කලාව ඉදිරියට ගෙන යාමට කිසිවකු නොසිටි බැවින්, ඔවුන් සමඟ හිතවත්කමක් පැවැත්වූ පේරිස් සිල්වාට කාවඩි කලාව ඉගැන්වීමට ඔවුහු කටයුතු කළහ.

ඔවුන්ගේ අභාවයෙන් පසුව පේරිස් සිල්වා කතරගම කාවඩි සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින් “සිල්වා මාස්ටර්” යන නාමයෙන් ප්‍රසිද්ධියට පත් විය. එතැන් සිට ඔහුගෙන් ඊළඟ පරම්පරාවට ද මෙම වටිනා කලා උරුමය ගලා ගියේය. අද “රුහුණු මාස්ටර්” සහ “කතරගම කාවඩි පොඞ්ඩා” යන නාමයන් ඔස්සේ එම පරම්පරාගත සම්ප්‍රදාය තවදුරටත් ජීවමානව පවතී.

“කාවඩි කියන්නේ අපේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන සම්ප්‍රදායක්. සුර-අසුර යුද්ධය ජයගත්තට පස්සේ ඒ ජයග්‍රහණයේ සතුට නිමිත්තෙන්, ඉර හඳ පවතින තුරු ඇසළ පෙරහර පවත්වනවා කියලා පොරොන්දුවක් දීලා තියෙනවා කියලා අපේ පැරැණි අය කියනවා. ඒ සම්ප්‍රදායත් එක්ක තමයි කාවඩි සම්ප්‍රදායත් කතරගමට එකතු වෙලා තියෙන්නේ.

කතරගම වැඩහිටි කන්ද ළඟදී, කතරගම දෙවියන් මහලු‍ මනුස්සයෙක් මෙන් වෙස්වලාගෙන, වර්ෂාවක් වැටෙන වෙලාවක තෙමෙන්නේ නැතුව ඉන්න ආවරණයක් ඉල්ලලා තියෙනවා කියලා ජනප්‍රවාදයේ කියනවා. මුලින්ම දමිළ ජනතාවගෙන් ඒ ඉල්ලීම කළත්, ඔවුන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පස්සේ සිංහල මිනිස්සු ළඟට ගිහින් ඒ මහලු‍ මනුස්සයා ආවරණයක් ඉල්ලු‍වාම, ඔවුන් ඔහුට ආවරණයක් ලබා දීලා තියෙනවා කියලා කියනවා.

ඒ සිදුවීමෙන් පස්සේ දමිළ ජනතාව දෙවියන්ගෙන් යම් යම් ඉල්ලීම් ඉටු කරගන්න කටු ගහගෙන කාවඩි උපහාර පවත්වනවා කියලා කියනවා.”

යැයි රුහුණු මාස්ටර් “ඉරිදා ලංකාදීප”යට පැවසීය.

කාවඩිය යනු කර මත තබාගෙන නර්තනය කරන සැරසිලි කළ රාමුවක් පමණක් නොවේ භක්තිය, විශ්වාසය සහ භාරය එකට බැඳුණු පූජාමය සම්ප්‍රදායකි. කාවඩියක් කර මත තබාගෙන කතරගම දෙවියන්ගේ පූජාභූමිය වෙත පැමිණෙන සෑම භක්තිකයකු පිටුපසම කිසියම් ප්‍රාර්ථනාවක්, භාරයක් හෝ විශ්වාසයක් පවතී.

කාවඩියේ හැඩය, එහි සැරසිලි සහ භාවිත කරන ද්‍රව්‍ය අනුව ද එහි ස්වභාවය වෙනස් ය. ඇතැම් කාවඩි මොනර පිහාටුවලින් අලංකාර කරනු ලබන අතර, තවත් කාවඩි පූජාමය අරමුණු සඳහා විශේෂිත ආකාරයකින් සකස් කරනු ලැබේ. එමෙන්ම පරම්පරාගත විශ්වාස, ප්‍රදේශීය සම්ප්‍රදායන් සහ භක්තිකයාගේ භාරය අනුව ද කාවඩිවල විවිධත්වයක් දැකගත හැකිය.

දකුණට කාවඩි මෙතරම් විශේෂ වෙන්නේ ඇයි?

ලංකාවේ වෙනත් ප්‍රදේශවල දක්නට ලැබෙන කාවඩි කලාවට වඩා දකුණේ කාවඩි විලාසිතාව හා සංදර්භය හාත්පසින්ම වෙනස්ය. කතරගමදී මුරුගන් දෙවියන් උදෙසා කාවඩි නටන විට, දෙවිනුවරදී එය කැපවන්නේ උත්පලවන්න ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙනි.

විශේෂයෙන් කුඩාවැල්ල, ගුරුපොකුණ, ගන්දර වැනි දකුණේ වෙරළබඩ ගම්මානවල ධීවර ජනතාව තමන්ගේ මහ මුහුදේ රැකියාව රැකදීම සහ සාගර උපද්‍රවවලින් ආරක්ෂා වීම උදෙසා භාරහාර වෙමින් කාවඩි නර්තනයේ යෙදෙති.

දකුණේ කාවඩි සඳහා යොදාගන්නා ”‍කාවඩි බෙර”‍ වාදනය සුවිශේෂී වේගවත් රිද්මයකින් යුක්තය. තරුණ පිරිස් ඉතා උද්‌යෝගයෙන්, දින ගණනාවක් වෙහෙස නොබලා නර්තනයේ යෙදෙන්නේ මේ ”‍දකුණේ ගැම්ම”‍ නිසාය.

රුහුණු මාස්ටර්

භක්තිය පුරවන වත්පිළිවෙත් සහ ආගමික චාරිත්‍ර

කාවඩි උසුලාගෙන පෙරහරේ ගමන් කිරීම සෙල්ලමකට කළ හැක්කක් නොවේ. ඒ පිටුපස දැඩි ආත්ම සංයමයක් සහ වත්පිළිවෙත් සමුදායක් පවතී. කාවඩි නටන බැතිමත්හු පෙරහරට දින 7කට හෝ 21කට පෙර සිට නිර්මාංශ ආහාර පමණක් ගනිමින්, පිරිසිදුව, බ්‍රහ්මචාරීව ජීවත් වෙමින් ”‍පේවීම”‍ සිදු කරති. පෙරහර දින උදෑසන මුහුදෙන් හෝ පූජනීය ගංගාවකින් ස්නානය කර, කහ දියර ඉස ශරීරය පවිත්‍ර කර ගනිති.

සමහර බැතිමතුන් දැඩි භක්තිය ප්‍රකාශ කිරීමක් ලෙස පිටේ සහ දිවේ කටු ගසා ගනිමින් නර්තනයේ යෙදෙති. වෘත නිවැරදිව රැක්කහොත් මෙයින් ලේ වැගිරීමක් හෝ වේදනාවක් සිදු නොවන බව ඔවුන්ගේ විශ්වාසයයි.

අවසානයේ දේවාලය වෙත පැමිණ කාවඩි කූඩුව දෙවියන් උදෙසා පූජා කර භාරහාර ඔප්පු කිරීම සිදු කෙරේ. 

“කාවඩි සංගීතයේ විශේෂත්වය වන්නේ එය සංගීත සටහන් මත පමණක් රඳා නොපවතින සම්ප්‍රදායික වාදන කලාවක් වීමයි. පරම්පරාවෙන් පරම්පරාවට ගුරුවරුන්ගෙන් ශිෂ්‍යයන්ට, පියවරුන්ගෙන් පුතුන්ට මෙම තාල හා වාදන රටා ලැබිලා තියෙනවා. සමහර ගම්පිටින් ඉන්නවා පෙරහර කාලෙට කාවඩි නටන; ඒ වගේ පුංචි දරුවාගේ ඉඳලා පවුල් පිටින් නටන බැතිමතුන් ඉන්නවා. දකුණේ මිනිස්සුන්ට කාවඩි කියන්නේ දේවත්වයෙන් සලකන පූජාවක්. සමහර අය දෙවුන්දර හරි වැල්ලේ දේවාලේ හරි කාව‍ඩි නැටුවේ නැත්නම් අසනීප වෙනවා කියලා මතයක් හදාගත්ත අයත් ඉන්නවා. මේ සම්ප්‍රදාය විනාශ කරන්න මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා මස්මාළු කාලා නටන අයත් ඉන්නවා. ඒ අයට දෙවියන් විසින් දඬුවම් කරපු අවස්ථාත් තියෙනවා.” යැයි දෙවුන්දර පාරම්පරිකව කාවඩි නර්තනයේ යෙදෙන සුමිත් පැවසීය.

කතරගම කාවඩි සංගීතය තුළ ප්‍රධාන වශයෙන් බෙර වාදන භාවිත වන අතර, වාදකයන්ගේ තාලයට අනුව කාවඩි නර්තනයේ ස්වරූපය ද වෙනස් වේ. අතීතයේදී කාවඩි සංගීතය සඳහා තම්මැට්ටම, දවුල, උඩැක්කිය සහ තාලම් වැනි වාද්‍ය භාණ්ඩ ප්‍රධාන ස්ථානයක් ගත් අතර වර්තමානයේදී මේවාට අමතරව ට්‍රම්පට්, සිම්බල්, සැක්සෆෝනය වැනි වාද්‍ය භාණ්ඩ ද යොදා ගනී.

කාවඩි සංගීතයේ ඇති විශේෂත්වය වන්නේ එය හුදෙක් සවන් දෙන සංගීතයක් නොව, ඇතැම් භක්තිකයන් තුළ දැඩි භක්තිමය හැඟීමක් හා ආධ්‍යාත්මික අත්දැකීමක් ඇති කරන සංගීතයක් වීමය.

කාවඩි සම්ප්‍රදාය තුළ මෙවැනි තත්ත්වයක් ඇතැම් විට “ආවේස වීම” ලෙස හැඳින්වෙයි. එය භක්තිකයාගේ විශ්වාසය, මානසික ඒකාග්‍රතාව, සංගීතයේ රිද්මය සහ පූජාමය වාතාවරණය සමඟ බැඳුණු අත්දැකීමක් ලෙස ඔවුහු සලකති. බෙර තාලය තීව්‍ර වන විට කාවඩි නර්තනයේ වේගය ද වැඩි වන අතර, එම සංගීතමය වාතාවරණය තුළ ඇතැම් භක්තිකයන් තමන්ට දෙවියන්ගේ බලපෑමක් ඇති වූ බව විශ්වාස කරති.

බෙර හඬ මැකී ගියද, කාවඩි තාලය මැකී යන්නේ නැත. පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආ මෙම සම්ප්‍රදාය අදත් කතරගම භූමියේ ජීවමානව පවතින්නේ, එය හුදෙක් නර්තනයක් හෝ සංගීතයක් නොව මිනිසුන්ගේ විශ්වාසය, භක්තිය සහ සංස්කෘතික මතකය සමඟ බැඳී ඇති නිසාය.

දිශානි ජයමාලි කරුණාරත්න
(තොරතුරු - කතරගම කේ.ඩී. දේවප්‍රිය)
(ඡායාරූප - අන්තර්ජාලයෙනි)