අද ඇවිත් තියෙන්නෙ ‘‘ගුරු - ශනි’’ නියඟය ලු?
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකු ලෙස සේවයට එක්වී විශ්‍රාම යන විට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඔහු නමින් ලක්ෂ්මන් වික්‍රම සෙනෙවිරත්නය. පේරාදෙණිය සරසවියෙන් මූලික උපාධිය ලැබූ ඔහු, ඉන්දියාවේ රූර්කි විශ්වවිද්‍යාලයෙන්, පශ්චාත් ඩිප්ලෝමාව සහ Master of Engineering පළමු පෙළ සාමාර්ථයක්ද, පරිසර විද්‍යාව සම්බන්ධයෙන් මොරටුව සරසවියෙන් පශ්චාත් ඩිප්ලෝමාවද ලබා ඇත. කාලගුණය, දේශගුණය සහ ඉංජිනේරු දැනුමෙන් තවත් බොහෝ දේ ප්‍රගුණ කළ චරිතයකි. අද ඉරිදා ලංකාදීප විශ්‍රාමික සුපිරි තරු විශේෂාංගයේ ආරාධිතයා වන්නේ ඔහුය.ඔබගේ සම්පූර්ණ නම?
ලක්‍ෂ්මන් වික්‍රම සෙනෙවිරත්න.
ගම් පළාත?
ගාල්ලෙ නියාගම.
පාසල් ගියේ?
මුලින් ගියේ නියාගම විජිත විද්‍යාලයට. ඉන්පස්සෙ මාපලගම සිරි සුනන්ද විද්‍යාලයට සහ පසුව රිච්මන්ඩ් විද්‍යාලයට.
පාසල් ජීවිතයේ මතක එහෙම?
ඒ කාලයේ ඉඳලම හොඳ කථිකත්වයක් තිබුණා. ඉස්සර කවි තරග තිබුණනෙ. ඉතින් පිරිමි ළමුන් එක් පැත්තක, ගැහැනු ළමුන් අනෙක් පැත්තෙ. ඒ අය අතර කවි තරග තිබුණා. ඒවා අපට ගෙන දුන්නෙ රසවත් අත්දැකීමක්. රිච්මන්ඩ් විද්‍යාලයට ගියාම විවාද කණ්ඩායමට එක්වුණා. සිංහල, ඉංග්‍රීසි විවාද කණ්ඩායම් දෙකේම හිටියා.
මොන වගේ පවුලක කෙනෙක් ද?
තාත්තා විදුහල්පතිවරයෙක්. අම්මා රස්සාවක් කළේ නැහැ. පවුලේ පස් දෙනයි. මම දෙවැනියා.
ඉගෙනීමෙන් ඉහළට ගියේ ඔබ විතර ද?
මල්ලි ශල්‍ය වෛද්‍යවරයක්. එයාගෙ නම අනුර වික්‍රම සෙනෙවිරත්න.
ඔබ වෘත්තීය ජීවිතය පටන් ගත්තෙ?
මම උපාධිය ගත්තෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්. සිවිල් ඉංජිනේරු උපාධිය ලැබුවෙ. ඉන්පසුව සේවය කරන්න පටන් ගත්තෙ මහවැලි බෝඩ් එකේ. සාමාන්‍ය ඉංජිනේරුවකු ලෙස පටන් ගත්තෙ. කලාවැව ප්‍රදේශයේ ගල්නෑවෙ සේවය කළේ. ඒ දිනවල එහේ තදින්ම මැලේරියාව තිබුණා. මැලේරියාව හැදිලා මම සෑහෙන්න දුක්වින්දා. වියළි කලාපයේදී හැදෙන මැලේරියාව පිට දැම්මෙ තෙත් කලාපයට ආවාම. ඊට පස්සෙ ඒ ජොබ් එක අත්හැර දාලා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ආවා. කොළඹ ජාවත්ත ප්‍රධාන කාර්යාලයට පත්වීම ලැබුණෙ. අවුරුද්දක් හිටියෙ සැළසුම් අංශයේ. පසුව රඹකැන්ඔය ව්‍යාපෘතියෙ සැලසුම් කටයුතුවලට සම්බන්ධ වුණා. IDB එකෙන් කෝටි හයක ලෝන් එකකින් තමයි, ඒ ව්‍යාපෘතිය පටන් ගත්තෙ. අපි ඒක කරගෙන යද්දි ගාමිණී දිසානායක මහත්තයා දිනුවට පස්සෙ ඒක කැන්සල් කරලා, මහවැලි ව්‍යාපෘතියට දැම්මා. පසුව ඒ රඹකැන් ව්‍යාපෘතිය යළිත් වසර 20කින් පටන්ගෙන තිබුණා.
මුල්ම වැටුප ගැන මතක ද?
රුපියල් 800ක් වගේ ලැබුණෙ. රජයේ නිසා පඩි අඩුයිනෙ. වාර්මාර්ගෙ සිටින අතරවාරයේදී වරලත් ඉංජිනේරු උපාධියත් ලබාගෙන හිටියෙ. ඒ වෙලාවෙ ගිංගඟ ව්‍යාපෘතියට අනුයුක්ත කෙරුණා.
ගිංගඟ ව්‍යාපාරයට ගිහින්?
චීන ජාතිකයන් 300ක් විතර එක්ක, ගිංගඟ ගංවතුර නැවැත්වීමේ ව්‍යාපෘතිය කළා.
ඉන් පසුව?
බිබිලට ගියා. මාගන්දන ව්‍යාපෘතියෙ වැඩ කළේ. පසුව මොණරාගල ප්‍රධාන කාර්යාලයට ආවා. එතැනින් පසුව කුරුණෑගලට ඇවිත්, නිකවැරටියේ කටයුතු කරන්න පටන් ගත්තා. වැව් 80ක විතර ප්‍රතිසංස්කරණ කටයුතු මගේ යටතේ තිබුණා. ඒ කටයුතුවලින් පසුව ආපහු ආවෙ ගාල්ලට. ඉන්දියාවේ රූර්කි (Roorkiy) යුනිවර්සිටි එකට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. එහිදී මාස්ටර් එකත් ඉවර කරලා තමයි ආපහු ආවේ.

බිරිඳ සහ ගෙදර විස්තර සඳහන් කළොත්?
මගේ බිරිඳ ප්‍රධාන ගණකාධිකාරිවරියක ලෙස ජලසම්පාදන මණ්ඩලයේ සේවය කළා. අපට පුතෙක් ඉන්නවා. එයා උසස් අධ්‍යාපනය කළේ තොරතුරු තාක්ෂණ අංශයෙන්. දැන් එයා පදිංචි වෙලා ඉන්නෙ ඇමරිකාවේ.
ඔබගේ වෘත්තීය ජීවිතයේදී ඔබ කළ හොඳම සොයාගැනීම හැටියට දකින්නෙ?
කීපයක් ගැනම මට විස්තර කරන්න පුළුවනි. ඒ අතරින් ජල විද්‍යාඥයකු හැටියට රටේ අනාගතයේ එන නියඟ ගැන සොයා ගත්තා. සොයාගෙන ඒ ගැන කෙළින්ම ප්‍රකාශ කළා. දැන් මේ ඇතිවෙලා තියෙන නියඟය ගැනත් මම කලින්ම කිව්වා.
කලින්ම සොයා ගත්තා කිව්වෙ?
92දී ‘‘රාහු-කේතු’’ නියඟය ගැන කිව්වා. ඒක ආවා. ඊට පස්සෙ 96දී තව එකක් හොයා ගත්තා. ඒකට කියන්නෙ ‘‘ගුරු-ශනි’’ නියඟය. ඒක එන්නෙ අවුරුදු 10න් 10ට. අද මේ ඇවිත් තියෙන්නෙ ඒ ගුරු-ශනි නියඟය.
මේ නියඟය ගැන ඔබ කලින්ම අනාවැකි කිව්වා?
ලංකාව ඇතුළෙදි විතරක් නෙවෙයි. 92 දී සොයාගත්ත දේ 93 - 94 දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ පැවැති ලෝක ජල දින සමුළුවේදී පවා ඒ තර්කය ඉදිරිපත් කළා. මේ අවුරුද්දෙ එන මේ නියඟය ගැන අවුරුදු දෙකකට කලිනුත් කිව්වා. එදා වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්ට මේ ගැන කියලා මට, ඒ ගැන පහදා දෙන්න ‘‘ලෙක්චර්’’ එකක් ලැහැස්ති කරලා දෙන්න කිව්වා. මාර්තු 22 ජල දිනය දවසේදී මට එය කරන්න අවශ්‍ය වුණත්, එදා ඒ අවස්ථාව ලැබුණෙ නැහැ.
වාරි ඉංජිනේරුවකු ලෙස කටයුතු කළ ඔබට ගුරු - ශනි - රාහු - කේතු එක්ක තියෙන සම්බන්ධය මොකක් ද?
අපේ අම්මා ප්‍රගුණ කළ සහ දැන සිටි ශාස්ත්‍රයක් තිබුණා. ග්‍රහයින් සහ ග්‍රහ වස්තු හැසිරීම් ගැන ලියැවුණු පොත් පත් බොහොමයක් තිබුණා. කුඩා කාලයේ ඉඳලම මාත් ඒවා කියවන්න පුරුදුවෙලා හිටියෙ. යමෙකුගේ කේන්දරය බලලා ඉදිරිය ගැන කියන්න පවා කරුණු අධ්‍යයනය කළා. අම්මගෙ පොත්පත් බලලා තමයි මම ඒවා ඉගෙන ගත්තෙ. පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් කරද්දි මගේ ඉදිරිපත් කිරීමට මම මාතෘකා කර ගත්තෙ නියඟ ගැන.

කොහොම ද පොත් බලලා ඔබ අනාගතය ගැන කියන්නෙ? ඒක එච්චර ප්‍රායෝගික නැහැ නේද?
74 දී මම වැඩ කළේ මහියංගණයේ. 83 දී වැඩ කළේ ගාල්ලෙ. 83 එල් නිනෝ වගේ නියඟයක් ආවා. ග්‍රහ හැසිරීම් මත තමයි එහෙම වුණේ. ඉතින් මම ඒවා අධ්‍යයනය කරලා කරුණු දැනගෙන හිටියෙ. අදත් මම මේ නියඟය හඳුන්වන්නෙ එල්නිනෝ කියලා නෙවෙයි. රාහු-කේතුට වගේම ගුරු-ශනිට මේ නියඟ ඇති කරවන්න පුළුවනි. අද මේ ඇති වෙලා තියෙන්නෙ ‘‘ගුරු-ශනි’’ නියඟය. මම ඒක මේ විදිහට පැහැදිලි කරන්නම්, අපේ ‘‘හඳ’’ ගනිමු. හඳ ‘‘දිල්ලි’’ නගරයට හොඳින් පිහිටලා, ටිකෙන් ටික ඩකාවලට යනවා. ඊට පස්සෙ නැවත බොම්බායට හෙවත් මුම්බායි ඉහළට එනවා. දිල්ලියේ සිට නැවත මුම්බායි එන ගමනට ඒ කියන්නෙ හරියටම කෙළින් පිහිටන ගමනට අවුරුදු 9ක් ගතවෙනවා. ඒ කාලයේදී බංග්ලාදේශයේ ඩකාවලට කෙළින් පිහිටා තිබියදී තමයි මේ නියඟ එන්නෙ. අපි ඒකට කියන්නෙ ‘එජ්’ කියලයි. ඒ කියන්නෙ සඳේ කොන දැන් පිහිටා තිබෙන්නෙ ඩකාවල. හඳ උඩහට ගිහින් හැරිලා එන තැන Edge කියලා කියන්න පුළුවන්.
කොහොම ද ඔබ මේ ක්‍රමය හොයා ගත්තෙ?
වසර 30-40 ක් විතර මම පර්‌යේෂණ කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගිහින්, පොත් පත් කියවලා බොහෝ කරුණු දැන ගත්තා. එක් රැයකින් - එක් දිනකින් හොයාගත්ත දෙයක් නෙවෙයි. පොත් කියවලා, පර්‌යේෂණ කරලා, ගණනය කිරීම් කරලා අවසන මේ ක්‍රමය සහ විදිහ හොයා ගත්තා. මට ඇතිවුණේ ලොකු සංතෝෂයක්.
‘ආකිමිඩිස්’ ගණිතමය ප්‍රහේලිකාව විසඳගත්තාම සතුටට යුරේකා - යුරේකා කියමින් දිවගිය විදිහට මටත් මම හොයාගත්ත ක්‍රමය ගැන වටහා ගත්තාම කෑ ගහන්න හිතුණා. එච්චරම සතුටක් එදා ඇතිවුණේ. 74 දි 83 දි සහ 92 දි අඛණ්ඩව මේ වගේ කාලගුණය වෙනස් වන බව හොයා ගත්තා. මෙය සිදුවන්නෙ විද්‍යාත්මකව කියන අනාවැකිය පහදා දෙන්න මට පුළුවන් වුණේ 2001 දි. 92 ආ නියඟයෙන් ‘ලුණුගම්වෙහෙර’ පතුලටම හිඳුණා.
2026 මේ නියඟය ගැන ඔබ කලින් ප්‍රකාශ කළේ කොහොම ද?
යාපනයේදි දේශනයක් සංවිධානය කරලා තිබුණා. ඒ දේශනයේදි මම මේ ගැන පැහැදිලි කළා. සාමාන්‍යයෙන් මගේ දේශනයක් පැය 2ක් වගේ කාලයක් පැවැත්වෙනවා. ඒවා ඉතින් අපට අතින් වියදම් කරගෙන ගිහින් නොමිලේ කරන්න බැහැ. යම්කිසි සංගමයක් හෝ ආයතනයක් සංවිධානය කළොත් මම සහභාගි වෙනවා.

කොහොම හරි ඔබ මේ ගැන කලින් කියලා තිබුණත් කවුරුවත් ඒ ගැන උනන්දු වෙලා නැහැ කියල ද හිතන්නෙ? මම අහන්නෙ ඔබ කී දේ ඇහුවා නම්?
එහෙනම් කලින් ලැහැස්ති වෙන්න තිබුණනෙ.
ස්වභාවික ව්‍යසනයකදි කලින් සූදානම් වුණත් එයින් පලක් වෙන්නෙ නැහැ නේද?
ඇයි නැත්තෙ. අපි කෘෂිකර්මය එක්ක යන රටක්නෙ. එහෙම නම් අපට වැව්වල වතුර බොන්නවත් ඉතිරි කරගන්න තිබුණා.
ඒක කොහොම ද කරන්නෙ?
ගොවි කාරක සභාවක් තියෙනවනෙ. ඒ සභාව තමයි තීන්දු කරන්නෙ අහවල් දවසෙ තමයි ගොවිතැන් වෙනුවෙන් අපි වතුර මුදාහරින්නෙ කියලා. එතකොට බලධාරියා හෙවත් වාරි ඉංජිනේරු ඒක දැනගෙන සිටිය යුතු වෙනවා. ඒක සෑම වාරි ඉංජිනේරුවකුම දැන සිටිය යුතු දෙයක්. මොකද ගොවියට ඒ ගැන කියාදීමේ වගකීම තියෙන්නෙ වාරි ඉංජිනේරුවරුන්ට.
ඉංජිනේරුවරු ඒ විදිහට වතුර පාලනය කරන්න ගියාම ගොවීන් ඊට හරස් වෙනවනෙ?
නොතේරුම්කමට මුලදි එහෙම වේවි. ඒත් පසුව ගොවීන් එය තේරුම් ගනීවි. තව දෙයක් කියන්නම්?
ඒ මොකක් ද?
පෙර කී විදිහට හඳෙන් ඇතිවන නියඟ, එල්නිනෝ එක තවත් වැඩි කරන්න පුළුවන්. එල්නිනෝ සංසිද්ධිය හටගන්නෙ පැසිෆික් සාගරයේ උෂ්ණත්වය ඉහළ යාමෙන්. ඒ නිසා එල්නිනෝ සහ සඳ ගමන නිසා ඇතිවන නියඟ සමහර අය ඉස්සර හිතුවෙ එල්නිනෝ කියලයි. හැබැයි මා කරපු සඳේ Edge පිහිටීම එක්ක ‘ගුරු - ශනි’ නියඟය එල්නිනෝ එකට සම්බන්ධයක් නැහැ. ‘පොළොව – ගුරු - ශනි’ ත්‍රිකෝණාකාරව පිහිටීමක් සිදු වෙනවා. ඒක ඇතිවෙලා තියෙන්නෙ මේ වසරේදි. ඒ නිසා එල්නිනෝ එකට ඇතිවන බලපෑම වැඩියි. ගුරු ශනි නියඟය කියලා ගණන් බලලා මම කිව්වෙ ඒ නිසයි.
මේ නියඟය කොච්චර කල් පවතීවි කියලා ඔබ ගණන් බලා තියෙනව ද?
ලබන අගෝස්තු අන්තිම දක්වා යාවි. එයින් පසුව වසර එකහමාරක් විතර යනකල් එහි බලපෑමට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ නිසා නියඟ ස්වභාවයට අමතරව ගංවතුර, ලැව්ගිනි වගේ දේ විටින් විට ඇතිවේවි.
ඔබ ප්‍රගුණ කරන මේ විද්‍යාවට කියන්නෙ ජ්‍යොතිර් විද්‍යාව ද?
අපෝ නැහැ. මේකට කියන්නෙ ‘Astronomical’ (තාරකා විද්‍යාත්මක) Features කියලයි. ග්‍රහ වස්තු හැසිරීම් අනුව නිගමනය කරන දෙයක්.
යමකුගේ කේන්දරයක් දුන්නොත් ඔබට ඒ කෙනාගේ කේන්දරය බලලා අනාගතය ගැන කියන්න පුළුවන් ද?
බැරිකමක් නැහැ. දවසක් මම එහෙම කළාම මගේ බිරිඳගෙ කාර්යාලයේ කෙනෙක් අහලා, ඔයාගෙ හස්බන්ඩ් ඉංජිනේරුවරයෙක් ද? කේන්දර බලන කෙනෙක් ද? කියලා. නොදන්නාකමට මිනිස්සු ඒ වගෙත් හිතනවා. ඒක ඉතින් එහෙම තමයි.

ග්‍රහයන්ගේ හැසිරීම අනුව ලෝකයේ හෙට දවස ගැන ඔබ වටහාගෙන ඉන්නෙ කොහොම ද?
ලෝකය ඉතා උණුසුම් වෙනවා. ඒ කියන්නෙ රත්වීම වැඩි වෙනවා.
කොන්ක්‍රීට් පිළිබඳ ක්‍රමයක් ගැන ඔබ හොයාගත්තා කියලා අපට කිව්වනෙ. මොකක්ද ඒ ක්‍රමය?
ඒක කරන්නෙ බාස්ලා. අපි ඉංජිනේරුවන් වුණත් වැඩබිමක වැඩ කරන්නෙ බාස්ලා. එයාලගෙන් සමහර අය ප්‍රමිතිය ගැන දන්නෙ නැහැ. වැඩේ අනලා - වහලා දාන්න සහ ඉක්මනට ඉවර කරන්න හදන්නෙ. කොන්ක්‍රීට් නිෂ්පාදනය කරන සමහර අය වගේම, බාස්ලා, කොන්ක්‍රීටයකට අවශ්‍ය වතුර ප්‍රමාණයට වඩා වැඩිපුර දානවා. සිමෙන්ති කොට්ටයකට වැලිගල් සමග වතුර ගැලුම් 6ක් තමයි නියම ප්‍රමිතිය. අනුපාතය වැලි 2යි, ගල් 4යි. ඒත් සමහර අය එහෙම කරන්නෙ නැහැ. ඒවා අඩු කරලා වතුර වැඩිපුර දානවා. වතුර 6ක් දාන්න ඕනෑ නම් සමහර බාස්ලා 12ක් දානවා. එතකොට කොන්ක්‍රීට් එක ගැට වගේ. බාල වෙනවා. ශක්තිමත් නැහැ. ඒක දුර්වල කොන්ක්‍රීට් එකක්.
ඇයි එයාලා එහෙම කරන්නෙ?
හොරාකෑමනෙ කරන්නෙ.
ඉතින් ඒක භයානක දෙයක් නේද? ප්‍රමිතියක් නැති කොන්ක්‍රීට් එක දැම්මාම?
භයානකයි නේන්නම්. පාලම්, බෝක්කු හදද්දි එහෙම කළාම එ්වා කල්පවතින්නෙ නැහැ.
ඒ කියන්නෙ කොන්ක්‍රීට් දූෂණය සිදුවෙනවා?
ඔව්, ඒක වළක්වන්න පුළුවන් ඉංජිනේරු නිලධාරීන්ට. නමුත් සමහර අවස්ථාවලදී බාස්ලා එක්ක ඒ අයත් එකතු වෙලා දැනුවත්ව ඒ දේ කළොත් එතැන වෙන්නෙ ලොකු දූෂණයක්. වැඩේ ෂේප් කරලා ඉවර කරන න්‍යායක් එතකොට සිද්ධ වෙන්නෙ. ගෙවල් හදද්දි තව ප්‍රශ්නයක් තියෙනවා.
ගෙවල් හදද්දි තියෙන ප්‍රශ්නය මොකක් ද?
බිත්ති බඳින්න ලක්ෂයක් ගත්තොත්, වහල හදන්න දෙලක්ෂයක් ගන්නවා. ඒක හරි වැරදි දෙයක්. මිනිස්සු ඒකට රැවටිලා. ඒ නිසා ඒ ගැනත් දැන ගෙන සිටීම කළ යුතු දෙයක්.
ඇයි එහෙම කරන්නෙ? ගෙවල් හදන අය?
ලී ගණන් නිසා, ඒ මාර්ගයෙන් ගණන වැඩි කරනවා. හැබැයි එකට එකක් වැඩිපුර අය කිරිමක් කරන්නෙ.
ඉතින් මේකට ඔබගෙ විකල්පය මොකක් ද?
වහලයේ බාල්ක වෙනුවට කොන්ක්‍රීට් යොදාගෙන බාල්ක දාන්න. මම මගේ නිවසට දැම්මෙත් ඒ විදිහට. හැබැයි වාස්තු විද්‍යා සහ ඉංජිනේරු උපදෙස මත තමයි ඒ ක්‍රමය අනුගමනය කරන්න වෙන්නෙ. ලී වෙනුවට කොන්ක්‍රීට් බාල්ක යෙදීම හරිම ලාභයි.

වාරි ඉංජිනේරුවරයකු හැටියට ඔබට අපේ රටේ වැව් ගැන හොඳ අවබෝධයක් තියෙනවනෙ. අපි ඒ ගැන කතා කළොත්? අපේ රටේ කොච්චර වැව් ප්‍රමාණයක් තියෙනව ද?
කුඩා වැව් 80,000ක් විතර තියෙනවා. ලොකු වැව් 100ක් විතර තියෙනවා. වික්ටෝරියා වගේ ජලාශත් අපට ලොකු වැව් විදිහට සලකන්න පුළුවනි. ලොකු වැසි ඇදහැළුණාම ගංවතුර පාලනය වෙන්නෙ වැව් නිසයි. ඒ ජලය ආරක්ෂා කරන්නෙ වැව්. වැව් නිසා මහ වැස්සකදී ජල ගැලීම් අඩු වෙනවා.
එහෙම නම් ගංවතුර ආවාම පාලනය කර ගන්න අපට බැරිවෙලා තියෙන්නෙ ඇයි?
මිනිස්සු ගංගා නිම්න සහ ඉවුරු අසල අනවශ්‍ය ඉදිකිරීම් කරගෙන. භයානක තැන්වල ගෙවල් සහ කඩසාප්පු හදලා. ඒ නිසා ගංවතුරකට පෙර සූදානමක් ලෙස අඩු තරමින් ජීවිත හානි නොවෙන්න මිනිස්සු ඒ ස්ථාන අසලින් ඉවත් කරන්න වෙනවා. නමුත් වැඩි දෙනෙක් ඒ තැන් දාලා ඉවත්වෙලා යන්නෙ නැහැ. අමාරුවෙ වැටෙන්නෙ ඒ නිසයි. ඒ අතරේදි සුළි කුණාටු ආවාම විනාශය දෙගුණ වෙනවා.
වැව්වලින් විතර ද ගංවතුර පාලනය කරන්න පුළුවන් වෙන්නෙ?
වැව්වලින් විතරමයි. ඒ හැර, By pass විදිහට ඇළ වේලි කපන්න වෙනවා හදිසි අවශ්‍යතාවයකදි ජලය ගලා යන්න. ඒත් ඒවා පෙර සූදානමකින්, සැලැස්මක් ඇතිව කළ යුතු දෙයක්.
අපේ රටේ වාරි කර්මාන්තය පවතින්නෙ මොන වගේ තැනක ද?
වසර දහසකට වඩා ඉපැරණි ඉතිහාසයක් අපේ වාරි කර්මාන්තයට තියෙන්නෙ. අපේ වාරි කර්මාන්තය උපරිම හොඳ තැනක තියෙන්නෙ. අපි උදාහරණයකට එක ගඟක් තියෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශයක් ගනිමු. එයාලා මහ වැස්සකදි කොටඋඩ. ඒත් අපිට එහෙම නැහැ. ලංකාවේ වාරි පද්ධතිය පවත්වාගෙන යන විදිහ හොඳයි.
ඔබ ජීවිතාරක්ෂකයකු ලෙසත් කටයුතු කරනව නේද?
ඔව්, රිච්මන්ඩ් විද්‍යාලයේ සිටි කාලයේ සිට මම ජීවිතාරක්ෂක කණ්ඩායමේ හිටියා. එතෙර ගිහින් පුහුණුව පවා ලැබුවා. එම අංශයේ වැඩමුළු උපදෙස් සහ මගේ දැනුම ලබා දී තිබෙනවා. ඒ වගේම අනතුරට පත් අවස්ථාවල මිනිස්සු බේරාගෙනත් තියෙනවා.
තවත් මොනව ද කරලා තියෙන හපන්කම්?
1973 නවක වද කොමිසම ඇති කළා. ඒ නවක වද කොමිසමට අක්බාර් හෝල් සභාපති හැටියට මම සාක්කි දෙන්න ගියා. සාක්කි දෙන්න ගිහින් විශ්වවිද්‍යාල ප්‍රශ්න තියෙන දිස්ත්‍රික්ක හඳුනාගෙන, ඒවාට විසඳුම් ඉදිරිපත් කළා. ඒ නිසා දිස්ත්‍රික් පදනම් මත ඒ විශ්වවිද්‍යාලවලට සිසුන් ගන්න කියලා. කොළඹට ගනිද්දි කොළඹ ජනගහණය අනුව ගත යුතු ක්‍රමය ගැන මම වටහලා දුන්නා. එදා මම කියා දුන් ඒ ක්‍රමය වසර 50ක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. 73 දි යෝජනා කළේ, 75 සිට ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන මට තියෙන්නෙ සතුටක්.
අපි එක්ක එකතු වුණාට ඔබට බොහොම ස්තූතියි. කියන්නකො ඔබගෙ විශ්‍රාමික දිවිය ගැන?
බිරිඳ – මම පදිංචිය පානදුරේ. පුතා ඉන්නෙ ඇමරිකාවේ. ඉඳහිටලා අපි ගිහින් එන්න යනවා. ඒත් ටිකක් පාළුවක් වගේ දැනෙනවා. අපි ඉන්න මේ පළාතේ හැමෝගෙම ගෙවල්වල දරුවො එක්කෝ ඔස්ට්‍රේලියාවෙ, එක්කෝ ඇමරිකාවෙ. ඒත් නැත්නම් තවත් රටක. ඉතින් පාළුයි වගේ දැනෙන්නෙ. හැබැයි ජීවිතයේ කළ රාජකාරි ගැන, අවංක සේවය ගැන හිතද්දි ලොකු සතුටක් ඇතිවෙන්නෙ.
සාකච්ඡා සටහන:
සඳුන් ගමගේ
ඔබත් රාජ්‍ය සේවයේ යෙදී සිටි මෙවැනි අවංක අත්දැකීම් ඇති නිලධාරී මට්ටමේ, පරිපාලන අංශයේ චරිතයක් නම්? මෙවැනි අත්දැකීම් ඔබට ඇත්නම් ඉරිදා ලංකාදීප අපට කතා කරන්න. එවැනි විශ්‍රාමික සුපිරි තරු ගැන විස්තර දන්වන්න.
0112479261
[email protected]
අපගේ ඊමේල් ලිපිනයයි.
අපගේ ඊමේල් ලිපිනයයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd