
අධි ආරක්ෂිත කලාපයක මිනී මැරුම්
නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව මේ දිනවල විවිධ කතා ඇතිවෙලා තිබෙනවා. මේ සිද්ධියේදී පැහැදිලි කරන්න ඕනේ මූලික කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ සිද්ධිය සිදුවෙන්නේ
ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාව කියන මේ මූලික ආරක්ෂක වලලු තුනේම මූලස්ථාන වලට ඉතාමත් ආසන්න ස්ථානයක.එතකොට මෙවැනි ස්ථානයක් රටක අධිආරක්ෂක කලාපයක් විදිහට තමයි හඳුන්වා දෙන්නේ. මේ වගේ ප්‍රදේශයක් තුළ වෙඩි තැබීමක් කරලා, මනුෂ්‍ය ඝාතනයක් සිදු කරලා පලා යන්න පුළුවන් කියන එක ඇත්තටම ඉතාමත් සැලකිය යුතු කරුණක්. රටක් විදිහට මහජනතාවට සිවිල් පුරවැසියන්ට තමන්ට ඔබ මොබ යාමට තියෙන අයිතිය, ගමන් බිමන් කිරීමට තියෙන අයිතිය සාමාන්‍ය පුරවැසියන් විදිහට තියෙනව. තමන්ගේ ජීවිතය පිළිබඳ අයිතිවාසිකම් සුරක්ෂිතද කියන ගැටලුව මෙතන්දි තියෙනවා. මොකද අධි ආරක්ෂක කලාපයක් තුළ මේ වගේ අනතුරක් කරලා මිනිමැරුමක් කරලා ආරක්ෂකඅංශ වලට හසු නොවී පලා යන්න පුළුවන් කියන්නේ ඇත්තටම රටක් විදිහට අපි ඉතාමත් සැලකිලිමත් විය යුතු සහ අවධානය යොමු කළ යුතු කාරණාවක්.
මේ වගේ ස්ථානයක නීතිඥවරයෙක් වෙන්න පුළුවන්, සිවිල් පුරවැසියෙක් වෙන්න පුළුවන්, කවුරු වුනත් ඒවා ආරක්ෂක අංශවලට හසු නොවෙයි කියලා කෙනෙක් ඝාතනය කරලා පලායන්න පුළුවන් කියන්නේ ඒක බරපතල ප්‍රශ්නයක්.එතෙන්දි අපි තවත් සැලකිය යුතු කාරණාවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේක අධිආරක්ෂක කලාපයක් විදිහට ගැසට් කරලා තියෙනවද? මේ ප්‍රදේශයන් ඒ අවශ්‍ය මාර්ග බාධක යොදලා, ඒ අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග සියල්ලක්ම මේ ප්‍රදේශ තුළ අරන් තියෙනවද කියන ගැටලු අපිට එනවා. මොකද මේ තරම් දෙයක් කරලා පලායන්න පුළුවන් කියන සිදුවීමත් එක්ක.
මේ වගේ ප්‍රදේශයක නෙමෙයි රට තුළ ඕනෑම ස්ථානයක සිදුවන මනුෂ්‍ය ඝාතනය අපරාධමය වරද යටතේ තමයි සංස්ථාපන කර තිබෙන්නේ. නමුත් මෙවැනි ස්ථානයක සිදු වෙනවා කියන එකෙන් අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන රටේ ජාතික ආරක්ෂාව අවධානමක තියෙන්නේ කියන එක. ඒ නිසා අපි පැහැදිලිව ඒ සඳහා අවශ්‍ය විධි විධාන ශක්තිමත් කරන්න ඕනේ. අවශ්‍ය වන අනපනත් ගෙන්න ඕනේ. මොකද ජාතික ආරක්ෂාව පිළිබඳ ජාතික රහස් තොරතුරු පිළිබඳ පණත මේ දේවල් සඳහා සංශෝධන පනත් ගෙනල්ලා මේ නීති තවත් විධිමත් කරන්න කටයුතු කරන්න ඕන කියන එක මේ වගේ අවස්ථාවක පෙන්වා දිය යුත්තේ.
ජාතික ආරක්ෂක පනතේ පැහැදිලිව තියෙනවා ජනාධිපතිවරයාට විශාල බලතලයක් ඒ හදිසි අවස්ථාවල අධිආරක්ෂක කලාප වෙන් කරන්න, ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණගන්න, හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කරන්න, ඒ සම්බන්ධ බලතල ගන්න. ඉතින් ඒ වගේ ඒ අනපනත් හරහා ඒ අනපනත් වලට සංශෝධන ගෙනල්ලා මෙවැනි සිදුවීම් වලක්වන්න අධි ආරක්ෂක කලාප නම් කරලා ඒවායේ ආරක්ෂාව තර කරන්න. අවශ්‍ය ක්‍රියා මාර්ග අරගෙන, ඒ පණත් අනපනත් වුනත් සංශෝධනය වීම මේ අවස්ථාවේදී සුදුසු ක්‍රියාමාර්ගයක්. මොකද දැනට තිබෙන්නේ ඉතාමත් පැරණි අණ පනත්.
සැකකරුවා සහ අපරාධකරුවා
මේ පිළිබඳව මහජන මත අනුව තිබෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ වගේ අපරාධයක් කර පලා ගිය තැනැත්තෙකුටත් නීතිඥවරු පෙනී සිටිනවද කියන කාරණය. මෙවැනි අපරාධයක් හෝ වේවා කුමන අපරාධයක් හෝ වේවා යම්කිසි අපරාධයක් සම්බන්ධව සැකපිට යම්කිසි පුද්ගලයෙක් අත්තංගුවට ගත්තොත් පොලිසියට ඒ තැනැත්තා සැකකරුවෙක් පමණයි.
යම්කිසි ස්වාධීන අධිකරණයකින් අපක්ෂපාති විමර්ශනය විභාගයක් පවත්වලා සාධාරණ නඩු විභාගයකින් අනතුරුව යම්කිසි පුද්ගලයෙක් අපරාධකරුවෙක් බවට තීරණය වෙන තුරු ඒ තැනැත්තා සැකකරුවෙක් පමණයි.
අපරාධමය වරදකදී පොලිසිය විසින් විමර්ෂණ කටයුතු ආරම්භ කරලා යම් පුද්ගලයෙක් හෝ යම් තැනැත්තියක් සැකපිට අත්තංගුවට ගත් පමණින් ඔහු ඒ අපරාධය සිදු කළ වරදකරු කියලා සමාජයේ හංවඩු ගහන එක ඉතාමත්ම වැරදියි. සමාජ මාධ්‍ය මගින් මිනිස්සුන්ට ඉතාම ක්ෂණිකව යම් යම් අසත්‍ය තොරතුරු සමාජගත කරන්න පුළුවන්. මේ තත්ත්වය මත අපරාධයක සැකකරුවෙක් අත්ඩංගුට ගත් වහාම ඔවුන්ගේ ඔවුන්ගේ පෞද්ගලික වීඩියෝ දර්ශන ඡායාරූප ආදීය කිසිඳූ හොයා බැලීමකින් තොරව සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කරනවා. නමුත් ඔහු ඒ අවස්ථාවේ සැකකරුවෙක් පමණයි. ඔහු යම් දවසක සාධාරණ නඩු විභාගයකින් අනතුරුව නිවැරදිරුවෙක් හෝ වැරදිකරුවෙක් විදිහට අධිකරණය තීරණය කරන තෙක් ඔහු සාමාන්‍ය සැකකරුවෙක් විතරයි. මේ නිසා සැකකරුවෙකුට හිමිවිය යුතු අයිතිවාසිකම් වල මූලික කාරණාවක් තමයි ඔහුගේ නඩු විභාගයෙන් ඔහු අවසානේ වැරදිකරුවෙක් හෝ නිවැරදිකරුවෙක් වෙන තෙක් ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් වීම. ඒ වනතෙක් ඔහුගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතුයි. ඔහුට නීතියේ සහන ලබා දී, නීති උපදෙස් ලබා ගැනීමට අයිතිය තියෙනවා. අධිකරණය ඔහු වෙනුවෙන් නීතිඥයකුට පෙනී සිටීමේ අයිතිය ලබා ගැනීමට අයිතිය ද තිබෙනවා. ඒ වගේ සැකකරුවෙක්ව සමාජ මාධ්‍ය මඟින් හෝ වෙනත් ආකාරයකින් අපරාධකරුවෙක් හෝ වරදකරුවෙක් යැයි හංවඩු ගසන එක බරපතල වරදක්. මොකද ඒක අර යුක්තිය පසදලීමේ කර්තව්‍යයටත් විශාල බාධාවක් වෙනවා. මොකද සමහර වෙලාවට හඳුනා ගැනීමේ පෙරට්ටු වලට මේ තැනැත්තන් ඉදිරිපත් කරන්න ඕනේ. එවැනි අවස්ථාවල ඒ හඳුනා ගැනීමේ පෙරට්ටුවලදී සමහරවිට වැරදි තැනැත්තන් හඳුනා ගැනීම සිදු වෙන්න පුළුවන්.එවැනි අවස්ථාවලදී අර සැකකරුවන්ට බරපතළ අසාධාරණයක් වගේම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිද්ධ වෙනව. ඒ නිසා යම් කෙනෙක් සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගත් පමණින් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කරමින්, ඔහුව අපරාධ කරුවෙක් ලෙස හංවඩු ගැසීම ඉතාමත් වැරදි. ඒක අපි නොකළ යුතු දෙයක්.
සැකකරුවා සහ අපරාධකරුවා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු
තමන් වෙනුවෙන් කරුණු කියාපෑමට තමන් වෙනුවෙන් නීතියේ සහය ලබා ගැනීමට සැකකරුවෙකුට තියෙනවා අයිතිවාසිකමක්. අධිකරණයේ විමර්ශනය කටයුතු වෙනුවෙන් නීතිඥ සහය ලබාගැනීමට සැකකරුවෙකුට අයිතිය තිබෙනවා. එම අයිතීන් සුරක්ෂිත කරද්දී ඒකට කියනවා නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය කියලා. පුද්ගලයෙක් සාධාරණ නඩු විභාගයකින් අපරාධයකට හෝ යම්කිසි දෙයක වරදකරුවෙක් කරන තෙක් ඔහු සැකකරුවෙක්. එතකොට සැකකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නීතිඥවරයකුගේ කාර්යයක්. මොකද යම්කිසි නීතිඥවරයෙක් ඉදිරියට යම්කිසි පුද්ගලයෙක් ඇවිල්ලා තමන්ට අවශ්‍ය නීතිමය සහය ඉල්ලා සිටියොත් නීතිඥවරු බැඳී සිටිනවා. ඉතින් එතෙන්දි යම්කිසි සැකකරුවෙක් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරුන්ට අවස්ථාව තියෙනවා. ඒ වගේම නීතිඥ සහය ලබා ගැනීමට ඒ සැකරුවන්ටත් අයිතිවාසිකමක් තියෙනවා. එහෙම වුනොත් තමයි ඒ නඩු විභාගයේදී ඔහුට සාධාරණත්වය ඉෂ්ට කරගන්න හැකියාව තියෙන්නේ. අවශ්‍ය සහය ලබාගන්න හැකියාව ලැබෙන්නේ. එහෙම නොවුනොත් ඇත්තටම පොලීසියෙන් යම්කිසි අපරාධයක් හෝ යම්කිසි සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්තංගුවට ගන්න හැම කෙනෙක්ම අවසානයේ අපි බන්ධනාගාර ගත කරන්නේ නැහැ. අවසානයේ පෝරකයට යවන්නේ නැහැ. එතනදි සමහර වෙලාවට ඒ තැනැත්ත් නිර්දෝෂී වෙන්න පුළුවන්. අපේ රටේ ඉතිහාසයේ ඕන තරම් සිදුවීම් තියෙනවා ඒ වගේ අපරාධ වලට සැකකරුවන් විදිහට ගෙනල්ලා මේ සැකකරුවන් අපරාධකාරයන් විදිහට හංවඩු ගහපු. නමුත් අවසානයේ නඩු විභාගයෙන් ඔවුන් නිදොස් කොට නිදහස් වුණ අවස්ථා ඕන තරම් අපේ රටේ ඉතිහාසය සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. නිවැරදි අපරාධකරු සොයා ගැනීමට සමහර අවස්ථාවල පළමු අවස්ථාවේම නොහැකි වෙනවා. ඒ නිසා ඒ අදාල පුද්ගලයින්ට තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න නීතිඥවරුන්ගේ සහාය ලබා ගන්න අයිතියක් තියෙනවා. වෙනත් විමර්ෂණ තුළ තවත් පුද්ගලයන් අනාවරණය වෙන්න ඉඩකඩ තියෙනවා. නමුත් එතෙන්දි අධිකරණයක් පසිඳලීමේ කාර්ය විධිමත්ව කරන්න සහ ඒ නිසි වැරදිකරුවන් නීතිය ඉදිරියට ගේන්න එහෙම ගෙනවිත් නිසි දණ්ඩනයට ඔවුන් ලක් කරන්න ඒ යුක්තිය පසිඳලීමේ කර්තව්‍යයට උපරිම සහය ලබාදීමේ වගකීම සහ යුතුකම නීතිඥවරුන්ට තියෙනවා.
ඒක නිසා මේ සිද්ධියේදී අපි රටක් විදිහට අපි ජාතියක් විදිහට සැලකිලිමත් වෙන්න ඕනේ කාරණාව දෙකක් තියෙනවා. මූලිකවම කුමන වෘත්තියෙක් වුනත් ඒ වෘත්තිය හෙලා දකිමින් ඒකේ අඩුපාඩු කියමින් විවේචනය කිරීමවත් එහෙම නැත්නම්, කවුරුවත් විවේචනය කිරීමවත් නෙමෙයි. මේ වගේ අවස්ථාවක යම් යම් වෘත්තීන් හෝ එකිනෙකාගේ පුද්ගලික වෛරයන් තරහවන්ට මේක අවස්ථාවක් නොකරගෙන ඔවුන්ගේ සේවාවන් පිළිබඳ අවබෝධයක් ලබාගෙන අනවශ්‍ය සාවද්‍ය තොරතුරු සමාජගත කරන්න සමාජ මාධ්‍ය අනෙකුත් මාධ්‍ය භාවිතා කරන්නේ නැතුව, තමන් තහවුරු කරගත් නිවැරදි කරුණු අනාවරණය කරලා තමන් දන්න තොරතුරු ආරක්ෂක අංශ වලට දැනුවත් කරලා මෙවැනි අවස්ථාවන් මෙවැනි අපරාධකරුවන් නීතිය රැහැනට අල්ලගන්න සහය දැක්වීමයි සිවිල් පුරවැසියන් විදිහට අපි හැමදෙනාගෙම වගකීම වෙන්නේ.
වෛද්‍යවරයෙක් ළඟට ඖෂධ ලබාගන්න එන පුද්ගලයා අපරාධ කාරයෙක්ද, කුඩුකාරයෙක්ද , මංකොල්ලකාරයෙක්ද නැද්ද යනබව වෛද්‍යවරයාට අදාළ නැහැ. ඔහු රෝගියා සුවපත් කර යවනවා. ඒ වගේම තමයි නීතිඥවරයා ළඟට එන ඕනෑම සේවාදායකයෙක් අපරාධකාරයෙක්ද ,කුඩු කාරයෙක්ද මංකොල්ලකාරයෙක්ද නැද්ද යන වග නීතිඥවරයාට අදාලත් නැහැ. වෛද්‍යවරයෙක් වගේම නීතිඥවරයෙක් කරන්නෙත් තමන්ගේ වෘත්තිය. වෛද්‍යවරයාට රෝගියා ප්‍රතික්ෂේප කරන්න බැහැ වගේම නීතිඥවරයාට තම සේවා දායකයා ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. නීතිඥවරුන්ට තියෙන්නේ ඔහුට අවශ්‍ය නීතිමය සහාය ලබාදීම. මේ නිසා කළ යුත්තේ එවැනි වෘත්තීන්වල ස්වභාවය තේරුම් ගැනීමයි.
සටහන - D.N අභයවර්ධන.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd