ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලන ක්‍රමය එක්තරා සන්ධිස්ථානයකට පැමිණ තිබේ. සම්ප්‍රදායික දේශපාලන පක්ෂ පසුගිය කාලයේ දී අවලංගු වූ අතර විකල්ප වශයෙන් හැදුණු අලුත් දේශපාලන පක්ෂ ද අර්බුදයකට පත්ව ඇත. මහජන විශ්වාසය දිනා ගත නොහැකිවීම විශේෂ අවධානයකට ගත යුතු කරුණකි. දේශපාලන පක්ෂ විශාල ගණනක් ඇති කුඩා රටක, පාලන ක්‍රමයේ අසාර්ථක අංශ ගැන බුද්ධිමත්, මැදහත් සමාලෝචනයක් අවශ්‍ය වී තිබේ.

හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්ම ඉතා සංකීර්ණ තැනකට පත් කර තිබේ. රට තුළ පැවැති අරගලකාරී වාතාවරණය ද සමාජ, ආර්ථික කටයුතු කළඹා ඇත. ජනාධිපතිවරයකු, පාර්ලිමේන්තුවේ පවත්වන අභ්‍යන්තර ඡන්දයකින් තෝරා ගැනීමට සිදුවිය.

ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයේ බරපතළකම සලකා මූලික ගැටලු කළමනාකරණය කරගන්නා, එනම් ඉදිරි ජනාධිපතිවරණය දක්වා එකඟතාවකින් තීරණයක් ගැනීමට ඉඩ තිබුණි. පාර්ලිමේන්තුව තුළ ඇති බෙදීම්, සහ පටු දේශපාලන අරමුණු එවැනි කැපවීමකට ඉඩ දී නැත. අලුතින් පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ආරාධනා කර ඇත. ඇතැම් දේශපාලන පක්ෂ එවැනි සූදානමක් නැති බව ප්‍රකාශ කර තිබේ. තවත් දේශපාලන පක්ෂ තීරණයක් ගෙන නැත. සියලු පාර්ශව එකතු වී, වැදගත් තීරණ ගෙන නැවත රට ඔසවා තැබීම කාලීන අවශ්‍යතාවකි. එකඟතාව ප්‍රධාන සාධකයකි. 

බල තණ්හාව වෙනුවට ජනතාව වෙනුවෙන් පරිත්‍යාග

ආණ්ඩු බලය ලබා ගැනීම දේශපාලනඥයන්ගේ සිහිනයකි. තනතුරු වලට පත් වූ පසු තමන්ට රට ගොඩනැගිය හැකි බව විශ්වාස කරති. දේශපාලන පක්ෂවලට සහ පක්ෂ නායකයන්ට ඔවුන්ගේ න්‍යාය පත්‍ර ඇත. එහෙත් අද මුහුණ දී ඇති තත්ත්වය වෙනස්ය. තනි ගමන් නැත. ඉතිහාසයේ දරුණුතම ආර්ථික පරිහානියට අප මුහුණ දී සිටී. එහි ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන ක්‍රමය ද ප්‍රතික්ෂේප වී ඇත.

සමාජය නොසන්සුන්ය. නැවත නැගී සිටිම සඳහා දැවැන්ත ප්‍රතිසංස්කරණයකට යා යුතුව තිබේ. බලය, තනතුර වෙනුවට රට ගොඩනගන ප්‍රබල සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුය. අප සියලුම දෙනාට අදහස් ඇත. රට හදන ක්‍රමය තමන්ට ඇති බව කල්පනා කරන කණ්ඩායම් සිටී. වැටුණු රටක් ගොඩනගන වෙනස් ක්‍රම නැත. අදහස් එකතු කර හදන මැජික් සලාදයකින් ප්‍රාතිහාර්යයක් සිදු නොවේ. එකතු වී, එක අදහසකට ඉඩ දිය යුතුය. අද කැපවීමක් නොකළහොත් අනාගතය තවත් භයානකය. 

ජන ජීවිතය පහසු තැනක නැත. රට පුරා පෝලිම් තිබේ. ගෑස්, තෙල් පෝලිම් තරමක් අඩු බව පෙනෙන නමුත් ස්ථාවර සැපයුමක් සඳහා විදේශ විනිමය නැත. බැංකු පොලිය වැඩිවෙමින් තිබේ. උද්ධමනය ඉහළ අගයක ඇත. ආහාර ද්‍රව්‍යවල මිල පසුගිය වසරට වඩා දෙගුණයකින් පමණ ඉහළ නැග තිබේ. ප්‍රවාහන වියදම්, බස් ගාස්තු දරාගත නොහැක. රෝහල් පද්ධතිය දුබල වී ඇති අතර අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල පවා මිල ඉහළ ගොස් තිබේ. අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති අතර දරුවන්ගේ අනාගතය අවිනිශ්චිතය.

සෘණ හතක අගයක් දක්වා ආර්ථිකය පහත වැටීම මෙයට හේතු වී තිබේ. නැවත ගොඩනැගෙන්නට වෙනස්කම් කළ යුතුය. නවීන, කාර්යක්ෂම ප්‍රතිසංස්කරණවලින් තොරව ගමනක් නැත. එය පහසු ක්‍රියාවලියක් නොවේ. වැඩ කරන ජනතාවගේ අතට ලැබෙන ආදායම අඩුවිය හැකි අතර ඇතැම් අයට රැකියා අහිමිවනු ඇත. අද තීරණ නොගැනීමෙන් තත්ත්වය තවත් අසීරු විය හැක. අනතුර අප ඉදිරියේ තිබේ. ජනතාව විඳින දුක සහ වේදනාව මහජන නියෝජිතයන් තේරුම්ගත යුතුය. මට කරන්නට පුළුවන් යැයි කරන ප්‍රකාශයට වඩා රට නැවත ගොඩනගන්නට ඉඩ දෙන බව ප්‍රකාශ කරන දේශපාලන නායකයන් රටට අවශ්‍යය. 

පාර්ලිමේන්තුවේ පක්ෂ එකතු වී ආණ්ඩුවක් හදන යෝජනාවලට ඉතිහාසයක් ඇත. ත්‍රස්තවාදය, සුනාමි ව්‍යසනය වැනි අවදානම් අවස්ථාවල එකතු වී මුහුණ දීම ගැන සාකච්ඡා කළේය. එහෙත් පුළුල් සන්ධානයක් ඇති වූයේ නැත. සර්ව පාක්ෂික රජයක් බිහි නොවීමට බලපෑ සාධක අදටත් වලංගුය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කරන අතර අරමුණ වෙනත් එකකි. තනතුරු බෙදා ගැනීමය. ඇමැතිධුර, අමාත්‍යංශවල පදවි, සංස්ථා දෙපාර්තමේන්තුවල තනතුරු තමන්ටත් පාක්ෂිකයන්ටත් බෙදාගන්නා කෝටා ගැන සාකච්ඡාව යොමුවේ. ගැටුම ඇතිවෙන්නේ එතැනින්ය. සර්ව පාක්ෂික ආණ්ඩු සංකල්ප තීරණයකින් තොරව අවසන් කෙරේ. බලය හා තනතුරු සඳහා ඇති ආසාව අත්හැර, කළ හැකි නායකයකුට රට කරගෙන යන්නට, මෙම දුෂ්කර මොහොතේ දී ඉඩ දිය යුතුය. පුනර්ජීවනයකින් පසු අයිතිය සඳහා තරඟ කළ හැකිය.

අත්‍යවශ්‍ය තීරණ සඳහා එකතුවිය යුතු මොහොත

එකතු විය යුතු ඇයි? ආර්ථිකය හා සමාජය ගොඩනගන්නට ඉක්මනින් ගත යුතු තීරණ රැසක් ඇත. ඒවා ජනප්‍රිය තීරණ නොවේ. සමාජයේ විනය සහ නීතිගරුකභාවය තහවුරු කළ යුතුය. විනය පිරිහීම ප්‍රශ්නයකි. අත්දැකීම් ඇති, වැඩිහිටියන් ඇසුරෙන් පෝෂණය වන සමාජයක් රටට අවශ්‍යය. නීතිය අතට ගෙන හැසිරෙන, කඩාකපල්කාරී ක්‍රියාවලට ඉඩ දිය යුතු නැත. සමාජයට, දේශපාලන පක්ෂවලට එවැනි සිද්ධිවලට ඉඩ නොදෙන වගකීමක් ඇත. ඇමරිකාවේ සිද්ධිය පාඩමකි. ජනාධිපති ඡන්ද ප්‍රතිඵල පිළිගත නොහැකි බව දක්වා කඩාකප්පල්කාරීව හැසිරුණ අයට අවුරුදු හතක් දක්වා සිරදඬුවම් නියම කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රචණ්ඩ ක්‍රියා අතර වෙනසක් තිබේ.

වහාම ආර්ථිකය නිසි මගට ගැනීමට සිදුවේ. අපනයන වැඩි කර විනිමය උපයා ගත යුතුය. සෘණ අගයක සිට ඉහළ වර්ධනයක් සඳහා ගත යුතු තීරණ ගණනාවකි. වියදම කළමනාකරණය කරගත හැකි තරමට බදු වැඩි කරන්නට සිදුවේ. නැත්නම් වියදම කපා හැරිය යුතුය. ආදායම හා වියදම අතර පරතරය අඩු කරගැනීමට ඉඩ දෙන ආයෝජන අවස්ථා ඇති කළ යුතුව තිබේ. තරඟකාරී ආර්ථිකයකට ගැළපෙන, අලුත් මූල්‍ය නීති සහ අණ පනත් රටට අවශ්‍යය. කාලෝචිතභාවය සලකා ඉඩම්, ආගමන විගමන නීති, විනිමය රෙගුලාසි සංශෝධනය කරන්නට සිදු වී තිබේ. 

දැනට අති විශාල අලාභ, අසාර්ථක ව්‍යවසාය බවට පත්ව ඇති රාජ්‍ය ආයතන ගැන තීරණ ගැනීම බලවත් අවශ්‍යතාවකි. ආයතන රැකගත යුතු නම් ඒවායෙන් සැපයෙන සේවාව සඳහා පිරිවැය ආවරණය කරන ක්‍රම අනුගමනය කළ යුතුව ඇත.

විදුලිය, ඉන්ධන, ගෑස්, ජලය, පොදු ප්‍රවාහනය යන අංශවල පරිවර්තනයක් කරන්නට සිදුවේ. ඇතැම් අංශ පෞද්ගලීකරණය කරන තීරණ ගත යුතුය. විදේශ ආයෝජකයන් සම්බන්ධ කරගතහොත් විනිමය ලැබේ. අලුත් තාක්ෂණික දැනුම ලබාගත හැක. රජයේ සේවය කරන පිරිස අඩු කර කාර්යක්ෂම කළ යුතුවේ. රැකියා අවදානමකට පත්වන කණ්ඩායම ආරක්ෂා කිරීම සඳහා පියවර යෝජනා කළ යුතුය. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරයට, දේශීය ණය ගැන පවා කටයුතු කරන්නට සිදුවේ. අඩු පොලියට දීර්ඝ කාලයකින් ආපසු ගෙවන ක්‍රමයකට හරවන්නට සිදුවිය  හැක. මෙම තීරණ ගැනීමේ දී වාණිජ බැංකු ශක්තිමත් කරන්නට සිදුවන අතර අමතර ප්‍රාග්ධනය යොදවන්නට සිදුවන බව ද මතක තබා ගැනීම වැදගත්ය.

මෙම තීරණ අතරවාරයේ දේශීය හා විදේශීය ආයෝජන සම්බන්ධයෙන් සතියකින් දෙකකින් අනුමැතිය දෙන අලුත් පද්ධතියක් නිර්මාණය කිරීම ද අවශ්‍යතාවකි. ප්‍රමාදය වළකන, සම්ප්‍රදායික ක්‍රම අභිබවන, පුළුල් බලතල ඇති යාන්ත්‍රණ හඳුන්වා දීමට සිදුවනු ඇත. මෙවැනි තීරණ ගැනීමේ දී සුපුරුදු විවේචන එනම් රට විකුණන, රටේ සම්පත් වෙන්දේසි කරන වැනි අදහස් වලින් පලක් නැත. අනුචිත සටන්පාඨ වෙනුවට රටට උචිත තත්ත්ව වෙත අනුගත විය යුතුය.

ආර්ථිකය හා සමාජය ශල්‍යාගාරයට තල්ලු කිරීම

ශ්‍රී ලාංකිකයන්ගේ අනාගත බලාපොරොත්තු ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. අපට අවශ්‍ය දරුවන්ට අනාගතයක් ඇති රටකි. අද දුෂ්කරතා උහුලාගෙන කටයුතු කළහොත් හෙට ගොඩනැගේ. පරිවර්තනයක් සඳහා අවකාශයක් තැනීම පාර්ලිමේන්තුව සතු බරපතළ වගකීමකි. දීර්ඝ කාලයක් තිස්සේ රටත් සමාජයත් නොයෙක් ව්‍යාධිවලින් ගැහැට විඳිමින් තිබුණ බව මතක් කළ යුතුය.

ගොඩවෙදකම් වලින් පලක් නැති තැනට පත්ව ඇත. ඇප නූල්, තෙල් සාත්තු හෝ යන්ත්‍ර මන්ත්‍රවලින් ගොඩගත හැකි කාලය අවසන්ය. රටත් සමාජයත් ශල්‍යාගාරයකය. අසාධ්‍ය වූ පසු ලෝකයේ හොඳම වෛද්‍යවරයා සෙවීම අපගේ සිරිතය. සැත්කමක් කරන වෛද්‍යවරයාට තීරණ ගන්නට ඉඩ දිය යුතුය. පරිවාර වෛද්‍යවරුන්ට කපන කොටන තැන් ගැන අදහස් ඇත. විවිධ අදහස් අනුව තැනින් තැන කපා කොටා, වෙනස් බෙහෙත් රාශියක් දී රෝගියා සුවපත් කරන්නට වෑයම් කළහොත් ඛේදවාචකයකින් අවසන් වනු ඇත.

රටට අවශ්‍ය තනතුරුවලට පොරකන ක්‍රමයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන විවෘත ආර්ථික ක්‍රමයෙන් ලබාගත හැකි වාසි ගැන කල්පනා කරන ශක්තිමත් වැඩ පිළිවෙළකි. ජාත්‍යන්තරය පිළිගෙන ඇති ක්‍රමය හැර වෙනත් ක්‍රම නැත. අලුත් අත්හදා බැලීම් කරන්නට කාලය නොවේ. මෑත කාලය තුළ රටේ ආර්ථිකය ගැන කරන ලද අත්හදාබැලීම් වලින් උගත් පාඩම් ප්‍රමාණවත්ය. 

සර්ව පාක්ෂික ආණ්ඩුව හොඳ උත්සාහක් විය හැක. මෙහි දී දේශපාලනඥයන්, සිය පාක්ෂික අරමුණු හා තද ස්ථාවරයන්ගෙන් මිදී, පියවරක් පිටුපසට ගත යුතුය. පහසු නැත. පක්ෂ අතර මහා පොදු සාධකය සොයාගැනීම අවශ්‍යය. දේශපාලන දර්ශනය, ප්‍රතිපත්ති හා තීරණ ගන්නා ආකාරය ගැන ඇති විශාල වෙනස්කම් අතරින් නිර්මාණය වන පොදු සැලැස්මක් සඳහා කැපවීමක් තිබිය යුතුය. වෙනස්කම් දරාගැනීම සඳහා ධෛර්යයක් අවශ්‍ය කෙරේ. මෙම සියලු කාරණා අතරට මහජන විශ්වාසය දිනාගැනීම ද ඇතුලත්ය. අපට එය කළ හැකිද? රට ගොඩනගන්නට එකී කැපවිම කළ යුතුය.

තාවකාලික විශේෂ ඇමැති මණ්ඩලයක්

නැවත ගොඩනැගෙන වුවමනාව අනුව නවීන, තරඟකාරී ආර්ථික ප්‍රතිපත්ති සකස් කළ යුතුව තිබේ. කාර්යක්ෂමතාව ඇති කරන, ආයෝජන ගෙන්වන, ප්‍රතිසංස්කරණය කරන සංකීර්ණ සැලැස්මක් තුළ ඇතැම් පක්ෂවල ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මතබේද ඇතිවිය හැක. ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමත්, පවත්වාගෙන යෑමත් පහසු නැත. අඩුම වශයෙන් නිශ්චිත කාලයකට පමණක් සීමාවන, තෝරාගත් මූලික කරුණු කිහිපයක් එනම් ව්‍යවස්ථාව, ආර්ථිකය, අධ්‍යාපනය වැනි අංශ සඳහා හෝ එකඟවන, තනතුරු අපේක්ෂාවෙන් තොර, එකිනෙකාට ගරු කරන ව්‍යුහයක් සකස් කරගතහොත් එය සර්ව පාක්ෂික ආණ්ඩුවකි. 

රට ගොඩනගන වැඩපිළිවෙළ සඳහා දැනට පත්ව ඇති පිරිසට වැඩ කරන්නට ඉඩ දිය යුතුය. සර්ව පාක්ෂික අදහසකට එකඟ නැත්නම් විශේෂ කැබිනට් මණ්ඩලයක් යෝජනා කළ හැකිය. ආර්ථික ප්‍රශ්න මැද අස්ථාවර වූ පසු පකිස්තානය 1993 දී මොවිනුඩීන් කුරේෂි මහතා භාරකාර අගමැතිවරයකු වශයෙන් පත් කරගත් අතර ඔහුගේ නිල කාලය මාස හතරකට සීමා විය.

ලෝක බැංකුවේ උප සභාපතිවරයකු වූ හෙතෙම පකිස්තානයේ ආර්ථිකයට අවශ්‍ය වෙනස්කම් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සංචිතයක් ලබා දී නැවත රට පුරුදු මාර්ගයට ඇතුළු කළේය. ලෝකයේ තවත් සමහර රටවල් යුද අවස්ථාවල, ආර්ථිකය ප්‍රශ්න ඇති වූ පසු විකල්ප, තාවකාලික පියවර ගෙන තිබේ. නායකයකුට, තනි මතයට වැඩ කරන්නට ඉඩ දී ඇති අවස්ථා ද ඇත. රටක් ගොඩනගන්නට තීරණ ගත යුතු අතර සමාජය ඉඩ දෙන්නේ නම් ව්‍යවස්ථානුකූලව සුපුරුදු සම්ප්‍රදායෙන් පිට තීන්දු ගැනීම ප්‍රශ්නයක් නොවේ.

තීරණයක් නැත්නම් නැවතත් ඡන්දයක් 

රට මුහුණ පා ඇති බරපතළ අවස්ථාවක ගත හැකි තවත් පියවර තිබේ. ආර්ථිකය නිවැරදි කරන වැදගත් තීරණගත හැකි පිරිසකට තාවකාලිකව ක්‍රමය බාර දිය හැක. ආර්ථික විශේෂඥයන් කණ්ඩායමක් ජාතික ලැයිස්තුවෙන් පත් කරගත හැකි අතර ඔවුන්ට ඇමැති බලතල පවරා තාක්ෂණික විසඳුමක් ගැනීම තවත් අදහසකි. දක්ෂ විශේෂඥයන් තීරණ ගැනීමේ දී ඡන්ද පදනම ගැන කල්පනා කරන්නේ නැත. එය මහජනතාවට කටුක අත්දැකීමක් විය හැක. ස්වභාවය නිවැරදි කිරීමෙන් පසු මහජන නියෝජිතයන්ට කටයුතු කරගෙන යන්නට හැකිවේ.  

මෙවැනි විකල්ප යෝජනා වලට දේශපාලනඥයන් එකඟ නැත. ඡන්දයකින් බලයට පැමිණ, පක්ෂ දේශපාලන රාමුවකින් අර්බුද ඉදිරියේ තීරණ ගැනීම සාමාන්‍යයෙන් සිදුවේ. අද පවතින තීරණාත්මක තත්ත්වය ඉදිරියේ කල් ගැනීම ප්‍රශ්නය අසීරු කරයි. ස්වභාවය දිනපතා දරුණු විය හැක. මහජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ නොවන පසුබිම තුළ නැවත අරගල, වර්ජන, විරෝධතා ඇති වියහැක. දෙවැනි අරගලය පළමුවැනි රැල්ලට වඩා බිහිසුණු වන  බව මතක තබාගත යුතු කරුණකි. 

පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායම රට වෙනුවෙන් තීන්දු නොගන්නේ නම් අවසාන පියවර මහ මැතිවරණයකි. දුෂ්කරතා පසෙත තබා, ජනතා තීන්දුව අනුව කටයුතු කිරීම උචිතය. හදිසි මැතිවරණයක් කැඳවීමට පාර්ලිමේන්තුවේ එකඟතාවක් අවශ්‍යය. එයට අවශ්‍ය විශාල මුදල් ප්‍රමාණයක් ද සොයාගන්නට සිදුවේ. පක්ෂවලට ජනතාව රට ගොඩනගන සැලැස්ම ඉදිරිපත් කළ හැකි අතර ජනතාව තමන්ට කැමැති ආණ්ඩුව තෝරා ගනු ඇත. මැතිවරණ ප්‍රකාශන වල දී දෙන පොරොන්දු, සංවර්ධනය ගැන මවන සිහින අවසානයේ දී, ශ්‍රී ලංකාව නැවතත් පැරණි, පුරුදු බෙලහීන චක්‍රයට ඇතුළු කරන අතර එය කොපමණ විනාශයකින් කෙළවරවනු ඇත් ද යන්න කල්පනා කළ යුතු වැදගත් කාරණයකි.

අර්බුද තිබිය දී, ඡන්ද පවත්වන ලද ඇතැම් රටවල ආණ්ඩුවලට වැඩි ආයු කාලයක් තිබුණේ නැත. නැවත නැවතත් ආණ්ඩු බිඳ වැටුණ අතර ආර්ථිකය තවත් උග්‍ර වූ බව සඳහන් කළ යුතුය. මෙරට දේශපාලනඥයන්, පක්ෂ නායකයන් මෙම කරුණු නොදන්නවා නොවේ. ඔවුන් සිරවී සිටින ගතානුගතික මායාව ඉදිරියේ රට ගැන පුළුල්ව හිතන, තීරණයකට සූදානම් බවක් පෙනෙන්නට නැත.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට යොමු කරන්නේ නම් කෘතඥවෙමි.

මිලින්ද මොරගොඩ විසිනි

(***)