මහ වැසි ඇද වැටී පොළොව තෙතබරිත වෙමින් තිබේ. ඒ හා සමාන්තරව රුධිරයෙන් ද පොළොව පෙඟෙමින් තිබේ. ඒ පාතාලයේ අනු අංක මැකූ ගිනි අවිවලින් නික්මෙන වෙඩි උණ්ඩවලිනි. අලුත්ම වෙඩි උණ්ඩය ඇදී ගියේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සුමුදු රුක්ෂාන් පින්තුගේ ළය හරහාය. එම සිදුවීම වාර්තා වූයේ ඉකුත් 2 වැනිදා එනම් පෙරේදා සන්ධ්‍යාවේදීය.

අප රට පතුල නොපෙනෙන අඳුරු අගාධයකට වැටී තිබේ. එකක් පසුපස එකක් වශයෙන් පැමිණෙන විවිධ උවදුරුවලින් ජන ජීවිතය හෙම්බත් වී තිබේ. එක් අතකින් බරපතළ ආර්ථික අර්බුදයකි. තෙල්, ගෑස් පෝලිම් ද අවසන් නැත. සමාජ අසහනය පුපුරු ගසමින් තිබේ.

කොවිඩ් මාරයා එක් අතකින් ද ඩෙංගු මාරයා අනිත් අතින් ද රට ගිල ගැනීමට මාන බලමින් සිටිති. මේ බරැති දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදී පෙනහලුවලට අලුත් හුස්මක් පිරෙන දිනයක් සම්බන්ධ අත් නොහළ අපේක්ෂාවෙන් පෙළෙන රටට දැන් පාතාලයන්ගේ අණසකෙන් මිදෙන දවසක් පිළිබඳව ද අලුතෙන් සිතන්නට සිදු වී තිබේ.

පාතාලය යනු දිය යට සැඟවූ රබර් බෝලයක් මෙනි. ඉඩක් ලද ඇසිල්ලෙන් රබර් බෝලය දිය මතට එන්නා සේ අවස්ථාව ලද සැණින් පාතාලයෝ ද හිස ඔසොවති. සමාජයේ සාමකාමී සන්සුන් සංහිඳියාව බිඳ දමා මුළු රටම තම අණසකට ගැනීමට පාතාලයන් සමත් වන්නේ ඒ අනුවය. ගෙවුණු දින 62ක කාලය තුළ පාතාලයන් බිලිගත් ජීවිත සංඛ්‍යාව 22කි. නිරිත දිග මෝසම සක්‍රිය වූවා සේම ඉකුත් සතිය තුළ පාතාලය ද සක්‍රිය වී තිබේ. මෙම සටහන තබන ඊයේ දිනය වන විට දින හතක් තුළ වෙඩි තබා මරා දැමුණු සංඛ්‍යාව 8 දෙනෙකි.

ඉහත සංඛ්‍යා ලේඛන නියත වශයෙන්ම භ්‍රාන්තිය රැගෙන එන්නකි. පාතාලයන්ගේ ග්‍රහණයට මෙසේ පත්වීම සියලු පුරවැසියන්ගේ ජීවිත අනතුරට පත්කිරීමකි. පාතාලයන් මිනී මරන්නේ මහ රෑ සැඟව සිට නොවේ. දෙනෝදාහක් ජනී ජනයා ගැවැසෙන මංසන්ධිවල මහ දවාලේය. නීතියට භයක්, ගරු කිරීමක් වේ නම් මහ දවාලේ මෙසේ මිනී මරන්නේ නැත. පාතාලයේ වියරුව එමගින් පැහැදිලිය. මෙම වියරුව නොතකා හැරිය නොහැක. දකින දකින මිනිසුන්ට වෙඩි තැබීමට තරම් මෙම වියරුව පෙළඹීමට ඉඩ ඇත.

පාතාලයේ ඉලක්කයක් බවට පත් වූ පුද්ගලයකු සම්බන්ධයෙන් පොලීසියේ ක්ෂණික ප්‍රකාශය වන්නේ “මියගිය පුද්ගලයා අහවල් පාතාල කණ්ඩායමේ සාමාජිකයකු” බවය. ඉන් නොනැවතී එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණ පුද්ගලයකු බව ද පොලීසිය කියයි. තවදුරටත් ඉදිරියට යන පොලීසිය මෙම පුද්ගලයා මරා දමා ඇත්තේ “අහවල් පාතාල කණ්ඩායම” බව ද පවසයි.

 පාතාල ඝාතනයට අග මුල – සුල මුල ඉතා පැහැදිලිව මෙගා ටෙලිනාට්‍යයක මෙන් එසේ දිග හරින පොලීසිය, එම පාතාල කණ්ඩායම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවූයේ මන්දැයි නොකියයි. පොලීසියේ වගකීම නීතිය හා සාමය ආරක්ෂා කිරීම මෙන්ම නීතියේ විධානය පවත්වාගෙන යාමය. එය කළ නොහැකි නම් එය පොලීසියේ අසමත්කමය. අසමත් පොලීසියකට එම පොලීසියට පැවරුණු වගකීම ඉටු කළ නොහැකිය. රට පාතාලයන්ට නතු වීමෙන් පැහැදිලි වන්නේ එයය.

පොලීසිය රාජකාරි ඉටු කරන්නේ අතිශයින්ම දුෂ්කර කොන්දේසිවලට යටත්වය. ඔවුන්ට ප්‍රමාණවත් වැටුපක් නොලැබෙන බව ද ප්‍රකාශිතය. එමෙන්ම සුදුසුකම් මත හා කුසලතා මත උසස්වීම් ලැබීමට සාධාරණ ඉඩක් පොලීසිය තුළ නැති බවට ද චෝදනාවකි. රාජකාරි කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති බව ද සුබසාධනය ඉතාම පහළ අඩියකට වැටී ඇති බව ද කියති. මෙම පරිසරය තුළ පොලිස් නිලධාරීන් උදාසීන වීම පිළිගත යුත්තකි.

පොලීසියට ඇති බරපතළම ප්‍රශ්නය වනුයේ බලපෑම්ය. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාගේ සිට මැති ඇමැතිවරු දක්වා පිරිස්වලින් එල්ලවන බලපෑම හමුවේ ස්වාධීනව රාජකාරි කිරීමේ අවස්ථාව පොලිස් නිලධාරියාට අහිමි වෙයි. එම බලපෑම්වලට යටත් නොවන පොලිස් නිලධාරීහු ද සිටිති. එහෙත් එසේ නිර්භය වීමට විවිධ හේතු මත නොහැකි පොලිස් නිලධාරීහු ද සිටිති. මන්ද යත් දේශපාලක වියරුව පාතාල වියරුව තරම්ම බරපතළ හෙයිනි. එයට අවශ්‍ය උදාහරණ ආසන්න මෑත අතීතයේ ද වෙයි. පොලීසිය අසමත් වන්නේ මෙබඳු සියලු සාධක මත පදනම්වය.

පොලීසිය අසමත් වන තරමට ඊට වඩා වැඩි වේගයකින් පාතාලය සමත් වේ. රටක් වශයෙන් අප මේ ගෙවා දමමින් සිටින්නේ එම වන්දියයි. එහෙත් රටකට මෙබඳු ගමනක් තිබිය නොහැක. එහෙයින් රට තුළ සාමය ඇති කිරීම සඳහා පාතාලයන්ගේ අවි නිහඬ කරවීම සඳහා කළ යුතු දෑ නොපමාව කළ යුතුය. එයට දැනුදු කල් පමා වැඩිය.

(***)