ශ්‍රී ලංකාව යනු කොළඹ යැයි සිතන දේශපාලනඥයෝද නිලධාරීහුද මෙරට සිටිති. කොළඹ ඇති පහසුකම් සියල්ලම රටේ ඈත කෙළවර පිහිටි නගර හා ගම්වල ඇතැයි ඒ අනුව ඔවුහු සිතති. එහෙත් එය එසේ නොවන බව ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤංකේනි ඛේදවාචකයෙන් මනාව ඔප්පු විය.

කුරුඤ්ඤංකේනි කළපුවේ පාලම් පාරුව පෙරළීමෙන් දරුවන් ඇතුළු හය දෙනෙක් මිය ගියහ. දහ හතර දෙනෙක් රෝහල්ගත කරනු ලැබ සිටිති. ඉන් සිව් දෙනකුගේ තත්ත්වය බරපතළ බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පාසල් යමින් සිටි, රැකියාවට යමින් සිටි දූ පුතුන්ට, මිනිසුන්ට ගමන් අපහසුතාවට විසඳුමක් ලෙස ලබා දී තිබූ පාලම් පාරුවෙන් යෑමට ගොස් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය. මියගිය පිරිස අතර මවක හා දියණියක සිටින බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. 

ගුවනේ මෙන්ම දියඹේ ගමන බොහෝ සංවිධානාත්මක විය යුතුය. සැබැවින්ම එම ගමන්වලදී අත්වැරැදිවලට ඉඩක් නැත. ඕනෑම අත්වැරැද්දකට වන්දි ගෙවීමට සිදුවන්නේ ජීවිතවලිනි. කින්නියා ඛේදවාචකය එයට කදිම නිදසුනකි. 

කින්නියා කළපුවේ යාත්‍රා කළ පාලම්පාරුවේ ගමන් ගන්නා මගීන්ගෙන් මුදල් අය කරයි. එහෙත් එහි ගමන් ගන්නා මගීන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් තිබී නැත. අඩුම තරමින් ජීවිත ආරක්ෂක කබා හෝ සපයා නැත. ඔරු තුනක් එකට යා කරමින් මෙම පාලම් පාරුව සකස් කර ඇත. සීමිත පිරිසත් ප්‍රවාහනය කළ හැකි වුව පාලම් පාරුව පෙරළෙන මොහොත වන විට එහි මගීන් තිස් දෙනකු පමණ ගමන් කර ඇත. පාලම් පාරුවේ අබලන් බවත්, වැඩි පිරිසක් ගමන් කිරීම නිසා පාලම් පාරුවේ සමබරතාවය ගිලිහී යාම නිසාත් මෙම අනතුර සිදුවී ඇති බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. 

පාලම් පාරුවට නොමිලේ ප්‍රවාහන කටයුතු කළ නොහැකිය. එයට සාධාරණ මුදලක් අය කළ යුතුය. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. ප්‍රවාහනය සඳහා මුදල් ගන්නේ නම් ඒ සඳහා සුදුසු පාලම් පාරුවක් යෙදිය යුතුය. එමෙන්ම එහි ගමන් ගන්නා මගීන්ගේ ආරක්‍ෂාව සහතික කළ යුතුය. එහෙත් මුදල සාක්කුවේ දමා ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු වූ විට පෙර කී දේවල් අමතක වී යයි. අවසානයේදී ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවුණේ අහිංසක දරුවන්ටය. අහිංසක මිනිසුන්ටය. 

පාලම් පාරුව සඳහා ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබාගත යුතුය. එම අවසරය නිකම් ලැබෙන්නේ නැත. ඒ සඳහා සැපිරිය යුතු කොන්දේසි තිබේ. පාලම්පාරු හිමිකරුවා එම කොන්දේසි එලෙසින්ම සපුරන බවට ශපථ කර අවසරය ලබා ගනී. එහෙත් එම කොන්දේසි සපුරා ඇද්දැයි සොයා බැලිය යුතුය. පළාත් පාලන ආයතනයේත්, පොලීසියේත් වගකීමට එය යටත්ය. එහෙත් එම වගකීම ඉටුවී නැත. පාලම් පාරුවේ හිමිකරුවා තමන්ට අවශ්‍ය පරිදි මගීන් ප්‍රවාහනය කර ඇත. දැන් නීතිය ක්‍රියාත්මක කරන්නේ යැයි පැවසුවද එම මිනිසුන්ට පණ එන්නේ නැත. සංහාරයට පෙර සංරක්‍ෂණය ගැන අවධානය යොමු කළ යුතුය. 

කින්නියාවේ පමණක් නොව බෝට්ටු සේවා පවත්වාගෙන යන බොහෝ ස්ථානවල ඒවා පවත්වාගෙන යන්නේ විධිමත් ප්‍රමිතිවලට අනුව නොවේ. සංචාරකයාගෙන් ‘‘ගාන කපා ගැනීම’’ පමණක් එකම අරමුණ බව ප්‍රදර්ශනය වන ලෙස එම සේවා පවත්වාගෙන යන අයුරු දැකිය හැකිය. වගකිවයුත්තන් ඒ සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් නොකරන හෙයින් සල්ලි පමණක් පතන ජාවාරම්කරුවන්ට තමන්ගේ ජාවාරම් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාව ලැබී තිබේ. මිනිස් ජීවිත සම්බන්ධයෙන් මීට වඩා වගකීමක් සියල්ලන්ම දැරිය යුතුය. 

කුරුඤ්ඤංකේනි පාලම සෑදීමට 2017 වසරේදී මුල්ගල තබා තිබේ. එහෙත් තවමත් එම පාලම ඉදිවී නැත. පාලම වෙනුවට විකල්ප මාර්ගයක් හඳුන්වා දී තිබුණද එය ‘‘රවුමක්’’ හෙයින් ජනයා පාලම් පාරුව තෝරාගෙන ඇත. මිනිස් හැසිරීම් එබඳුය. අනතුරට වඩා පහසුව ගැන සිතීම ස්වභාවයකි. අනතුර සිදුවන්නේ ඒ අනුවය. පාලම ඉදිකර තිබුණේ නම් මෙම ඛේදවාචකය වළක්වාගත හැකිව තිබූ බවද සත්‍යයකි. 

ශ්‍රී ලංකාව යනු කොළඹ නොවේ. ප්‍රමාණවත් පහසුකම් නොමැති නගර – ගම්මාන බොහෝ වේ. විදුලිය නැති ගම්මාන ගැන පවා ඉකුත් සමයේ අනාවරණය විය. සූම් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් නොමැතිව දූදරුවන් විඳි වද වේදනා අපට මතකය. කුරුඤ්ඤංකේනි සිට කින්නියාවට යාමට අවශ්‍ය පාලම නොමැති හෙයින් එම ජනයා මරුට අත වනන පාලම් පාරුවේ ගමන තෝරා ගත්හ. පාලම නැතිව එම ජනයා ගමන් කරන්නේ කෙසේදැයි කොළඹ මහත්වරුන් සිතුවේ නම් එම පාලමේ වැඩ නිමවී බොහෝ කාලයක් වනු ඇත. එහෙත් අනෙකාගේ දුක, පීඩාව හා අපහසුතාව සම්බන්ධයෙන් සංවේදී නොවීම ජාතික සිරිපත් බඳුය. 

කින්නියාවේ පමණක් නොව රටේ බොහෝ ප්‍රදේශවල මරුට අත වනමින් ජීවත්වීමට සිදුව ඇති ජනතාවක් සිටිති. එම ස්ථාන ඉතාම ඉක්මනින් හඳුනාගෙන අවශ්‍ය පහසුකම් සැපයීමට බලධාරීන් කටයුතු කළ යුතුය. නැතහොත් නිරපරාදේ මිය යන්නෝ රටේ පුරවැසියෝය. එම මරණවල වගකීම බාරගත යුත්තේ කවුරුන්ද යන්න ඉතාම පැහැදිලි කරුණකි.