IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


අයවැය හිඟයේ පරිමාව

ඇස්තමේන්තු කරන රාජ්‍ය ආදායම එලෙසින් උපයා ගැනීමට නොහැකිවීම නිසා අයවැය හිඟය වාර්ෂිකව ඉහළ යයි. අය හා වැය අතර පවතින මේ ඉහළ පරතරය රාජ්‍ය මූල්‍යයේ පවතින ප්‍රබලතම හා ප්‍රධානතම ප්‍රශ්නය ද වෙයි.

මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා මේ නොවැම්බර් 13 වැනිදා ඉදිරිපත් කළ අය වැය යෝජනාවලට අනුව එළඹෙන 2024 වසරේදී අපේක්‍ෂිත රජයේ ආදායම රුපියල් බිලියන 4,107කි. එහෙත් වියදම රුපියල් බිලියන 6,978 කි. ඒ අනුව අය වැය හිඟය රුපියල් බිලියන 2,871 කි. එය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 9.1 කි.

2024 දී සියයට 9.1 ක් වන්නේ 2023 දී සියයට 8.6 ක් වූ අය වැය හිඟයයි. ඉලක්කම්වලින් සඳහන් කළහොත් 2023 රජයේ මුළු ආදායම රුපියල් බිලියන 2,839 කි. 2023 රජයේ මුළු වියදම රුපියල් බිලියන 5,253 කි. ඒ අනුව 2023 දී රජයේ අය වැය හිඟය රුපියල් බිලියන 2,414 කි. එහෙත් 2024 දී අය වැය හිඟය රුපියල් බිලියන 2,871 දක්වා රුපියල් බිලියන 457 කින් ඉහළ යයි.

අය වැය හිඟය එසේ ඉහළ යන්නේ ඇස්තමේන්තු කරන ආදායමවත් උපයා ගැනීමට රජය අසමත් වන නිසාය. උදාහරණයකට වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ 2022 අතුරු ඇය වැයට අනුව 2022 දී අපේක්‍ෂා කළ ආදායම රුපියල් බිලියන 2,384 කි. එහෙත් උපයාගෙන තිබෙන්නේ රුපියල් බිලියන 2,096 කි. අඩුවීම අපේක්‍ෂා කළාට වඩා රුපියල් බිලියන 288 කි. 2021 අපේක්‍ෂා කළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,994 කි.

එහෙත් උපයාගත් ආදායම බිලියන 1,489 කි. අඩුව බිලියන 505 කි. 2019 දී අපේක්‍ෂා කළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,402 කි. එහෙත් උපයා ගත්තේ බිලියන 1,939 කි. අඩුව බිලියන 463 කි. 2014 අපේක්‍ෂා කළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,495 කි. එහෙත් උපයා ගත්තේ බිලියන 1,170 කි. අඩුවීම රුපියල් බිලියන 325 කි. ඒ ආකාරයෙන් අපේක්‍ෂා කරන හෙවත් ඇස්තමේන්තු කරන රාජ්‍ය ආදායම එකතුකර නොගැනීම කාලයක සිට ලංකා ආර්ථිකයේ පවතින රෝගයකි.

අය වැය හිඟය එසේ ඉහළ යාම නිසා රටේ ණය බර ද ඉහළ යයි. එළඹෙන 2024 දී අය වැය හිඟය රුපියල් බිලියන 2,871 කින් ඉහළයාම නිසා ණය ගැනීමේ සීමාවද ඉහළ නංවාගෙන තිබේ. ඒ අනුව 2024 දී පමණක් ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,450 කින් ඉහළ නංවාගෙන තිබේ. 2024 දී ආණ්ඩුව එසේ ණය ගැනීම නිසා පොලී අනුපාත යළිත් ඉහළ යා හැකිය.

ණය නොගෙන සල්ලි අච්චු ගැසුවත් පොලී අනුපාත ඉහළ යාම නිසා විය හැකි ප්‍රතිඵලයක් අත්විඳින්නට සිදුවෙයි. එනම් උද්ධමනය යළිත් ඉහළ යාමය. මෙවර අය වැය යෝජනා ආර්ථික විද්‍යාවේ සරල රීතිවත් නොදන්නා පුද්ගලයන් පිරිසක් විසින් තර්කානුකූල පදනමකින් තොරව සකස් කරනු ලැබූ යෝජනාවලියක් බව  ඇතැමුන් කියන්නේ මේ නිසාය.

ණය ගැනීමේ සීමාව අය වැය මගින්ම ඉහළ නංවා අනුමත කරගනු ලැබීම නිසා රටේ ණය බරද තව තවත් ඉහළ යයි. ණය බර ඉහළ යාම පාලකයන්ට ප්‍රශ්නයක් නොවන්නේ ඒ කිසිවකට වන්දි ගෙවීමට ඔවුන්ට සිදු නොවන නිසා බව ඔවුන්ගේ හැසිරීමෙන් ප්‍රකට වෙයි. රටේ ණය බර දැනටත් ඉතා භයානකය.

ණය සඳහා ගෙවීමට සිදුවී තිබෙන පොලියෙන් ඒ බව අනාවරණය වෙයි. 2023 ඔක්තෝබර් 26 වැනිදා ලෝක බැංකුවෙන් නිකුත් කර තිබෙන ලෝක සංවර්ධන දර්ශකය පිළිබඳ වාර්තාවට අනුව රටේ ආදායමෙන් සියයට 71.62 ක් ඒ රට විසින් ගනු ලැබ තිබෙන ණය පොලිය ගෙවීමට වැය කරන්නේ ලෝකයේ එකම රටක් පමණකි. ඒ අපේ රටය.

රට ණය පොලිය ගෙවීම සඳහා පමණක් රටේ ආදායමෙන් සියයට 71.62 ක් වැය කරයි. රටේ ආදායමෙන් එපමණ මුදලක් ණය පොලිය ගෙවීම සඳහා වැය කරන ලොව එකම රට ලංකාව බව ලෝක බැංකුව කියයි.

ණය පොලිය ගෙවීම සඳහා ලංකාවට පසුව වැඩිම මුදලක් වැය කරන්නේ සැම්බියාවය. එරට ණය පොලිය ගෙවීම සඳහා වය කරන්නේ තම මුළු ආදායමෙන් සියයට 27.35 කි. තෙවැනි තැන සිටින්නේ මලවියයි. එරට තම ණය පොලිය ගෙවීම සඳහා වැය කරන්නේ රටේ ආදායමෙන් සියයට 24.77 කි. ලජ්ජාවකින් තොරව ලංකාව ද ණය ගන්නා බංග්ලාදේශය තම ණය පොලිය ගෙවීමට වැය කරන්නේ රටේ ආදායමෙන් සියයට 20.82 කි.

පිලිපීනයේ ඒ අගය සියයට 14.28 කි. තායිලන්තය තම ණය පොලිය ගෙවීම සඳහා වැය කරන්නේ රටේ ආදායමෙන් සියයට 6.6 කි. අපද අයත් දකුණු ආසියාවේ නේපාලය තම ණය පොලිය ගෙවීම සඳහා වැය කරන්නේ රටේ ආදායමෙන් සියයට 3.85 කි. එහෙත් 1956 සිට ලංකාව ආදර්ශයට ගෙන දියුණු වූ සිංගප්පූරුව තම ණය පොලිය ගෙවීම සඳහා වැය කරන්නේ රටේ ආදායමෙන් සියයට 0.34 කි. එහෙත් ලංකාව තම ණය පොලිය ගෙවීමට පමණක් රටේ මුළු ජාතික ආදායමෙන් සියයට 62 ක් බිලිදෙයි.

ණය පොලිය ගෙවීම සඳහා ලංකාව එසේ බිලිදෙන්නේ රටේ ජනතාව මත පැටවූ බදු මගින් උපයා ගන්නා ආදායමය. 2024 අය වැයට අනුව රාජ්‍ය ආදායමෙන් සියයට 93 ක්ම උපයා ගැනීමට සැරසෙන්නේ බදු මගිනි. බදු නොවන ආදායම් එනම් සතුන් වත්ත, වනෝද්‍යාන යනාදිය නැරඹීමට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන්, රියදුරු බලපත් හා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ගාස්තු අය කිරීමාදියෙන් අය කරගැනීමට බලාපොරොත්තු වන්නේ රාජ්‍ය ආදායමෙන් සියයට 7 කි.

මුළු බදු ආදායමෙන් සියයට 59 ක්ම අයකර ගැනීමට සැරසෙන්නේ ජනතාව කන බොන සහ ලබාගන්නා අත්‍යවශ්‍ය සේවාවලිනි. සමස්ත බදු ආදායමෙන් සියයට 59 ක් භාණ්ඩ හා සේවා මත පනවන බදුවලින්ද සමස්ත බදු ආදාමෙන් සියයට 28 ක් ආදායම් බදුවලින්ද, ආනයන හා අපනයන බදුවලින් ඉතිරි සියයට 13ද උපයා ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.

බදුවලින් එපමණ ආදායමක් උපයා ගැනීම සඳහා වැට් බදු ආදායම සියයට 106 කින්ද ආනයන බදු ආදායම සියයට 99 කින්ද විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ආදායම සියයට 90 කින්ද වර්ධනය කර ගැනීමට ආණ්ඩුව අපේක්‍ෂා කරයි. ආණ්ඩුව ජනතාව මත වැඩි බරක් පටවන්නේ වැට් බද්ද මගිනි.

ආණ්ඩුව කියන හැටියට 2023 දී වැට් බදු ආදායම රුපියල් මිලියන 681 කි. 2024 දී එය මිලියන 1400 දක්වා ඉහළ නංවා ගැනීම ආණ්ඩුවේ අපේක්‍ෂාවයි. වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීම, දැනට වැට් බදු අය නොකරන භාණ්ඩ සේවා 250 කට ආසන්න සංඛ්‍යාවකට වැට් බදු පැනවීම සහ වැට් බදු අය කරන සීමාව රුපියල් මිලියන 80 සිට 60 දක්වා පහළ දැමීම මගින් ඒ වැට් බදු ආදායම උපයා ගැනීමට නියමිතය.

වැට් බද්ද අය කර ගැනීම ඉතාමත් පහසු නිසා බදු අනුපාතය ඉහළ දමා බද්දට යටත් වන පිරිස වැඩි කර ගැනීමට සිතීම ප්‍රායෝගිකය. ඒ ආණ්ඩුවේ සහ බදු එකතු කරන නිලධාරීන්ගේ පහසුව ගැන සිතමිනි. වැට් බද්ද භාණ්ඩ හා සේවා මත පනවන බද්දක් වන නිසා ඒ බද්දට යටත්වන සහ ඒ බර පැටවෙන පිරිස ඉතා විශාලය. ඉන් අතිවිශාල බහුතරය දුප්පතුන් සහ පහළ මධ්‍යම පාන්තිකයෝය. ඒ පිරිස රටේ ජනගහනයෙන් සියයට 50කට වැඩිය. ලෝක බැංකුව කියන හැටියට 2021 දී මෙරට ජනගහනයෙන් සියයට 13.1 ක් එනම් විසිනව ලක්‍ෂයක් (29) දුප්පතුන්ය.

2022 දී හා 2023 ඒ දුප්පතුන් ගොඩට එකතු වූ මධ්‍යම පාන්තිකයන් සංඛ්‍යාව ලක්‍ෂ 32 කට අධිකය. ලෝක බැංකුවට අනුව දැන් මෙරට දුප්පතුන් සංඛ්‍යාව හැට ලක්‍ෂයකට අධිකය. ජනගහනයෙන් සියයට 27.4 කට අධිකය. වියදම් ඉහළ ගොස් ආදායම් සහ වැටුප් පහළයාම නිසා පහළ මධ්‍යම පාන්තිකයෝද දිවිගෙවන්නේ පණ අදිමිනි. බදු බර ඉහළ දැමීම මගින් ආණ්ඩුව තලා පෙළා දමන්නේ ඒ පරිපීඩිත ජනතාවය.

පීඩිත ජනතාවට එසේ තළන ආණ්ඩුව පීඩකයන් අතර සිටින බදු නොගෙවා පොලු තැබූ පුද්ගලයන් නැළවීම කනගාටුදායකය. ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා 2023 සැප්තැම්බර් 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒ කාරක සභා වාර්තාවට අනුව දේශීය ආදායම්, රේගු සහ සුරා බදු දෙපාර්තමේන්තු මගින් 2023 ජුනි 30 වෙද්දී අයකර ගෙන නැති බදු ප්‍රමාණය රුපියල් කෝටිවලින් ලක්‍ෂයකි. රේගු සහ සුරා බදු පොල්ල රුපියල් කෝටි 1,294 කි. 2024 අය වැයෙන් රජයේ සේවකයන්ට වැඩිකළ රුපියල් 10,000 වැටුප් වැඩිවීම ආණ්ඩුවට රුපියල් කෝටි ලක්‍ෂයක් එකතු කර නොදුන් රේගු, සුරා ඇතුළු ආයතන නිලධාරීන්ටද ලැබීමට නියමිතය. ඒ රජයේ සේවකයන් වීමේ මහිමයෙනි.

ආණ්ඩුවට අය විය යුතු එහෙත් පැහැර හැර තිබෙන රුපියල් කෝටි ලක්‍ෂයක බදු අය කරගැනීමට හදිසි ක්‍රියාමාර්ගයක් නොගන්නා ආණ්ඩුවට, පීඩිත ජනතාව මත බදු පනවන්නට තිබෙන්නේ පුදුම තදියමකි. 2024 දී බදු ආදායම ඉහළ නංවා ගැනීමට ගෙන තිබෙන පියවර මගින් ඒ බව අනාවරණය වෙයි. රටක ඍජු බදු ආදායම සියයට 80ක් විය යුතු බව ලෝක සම්මතයයි. වර්තමාන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාව සිටි 2015 නොවැම්බර් 05 වැනිදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ලංකාවෙහි ඒ ලෝක සම්මතය කණපිට පෙරළී ක්‍රියාත්මක වන බවය. එනම් වක්‍ර බදු ආදායම සියයට 80 ක් වී ඍජු බදු ආදායම සියයට 20 ක් ලෙස ලංකාවේ ක්‍රියාත්මක වන බවයි.

එහෙයින් ඍජු බදු ආදායම සියයට 40 දක්වාත් වක්‍ර බදු ආදායම සියයට 60 දක්වාත් ඉහළ නැංවීමට පියවර ගන්නා බවය. එසේ කරන්නේ ‘‘වැඩියෙන් මුදල් තිබෙන අය අඩුවෙන් බදු ගෙවීම වැළැක්වීම සඳහා’’ බවද 2015 නොවැම්බර් 05 දිනැති හැන්සාර්ඩ් වාර්තාවේ 313 වැනි තීරුව බැලීමෙන් දැනගත හැකිය. එහෙත් ඒ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වූ වර්තමානයේ ඍජු බදු වැඩි නොකර වක්‍ර බදු වැඩි කරයි. එමගින් දුප්පතුන් මත වැඩි බරක් පටවා රජයේ බදු ආදායමෙන් ඉතා ඉහළ ප්‍රමාණයක් අය කරගනියි. එසේම ධනවතුන් මත අඩු බරක් පටවා රජයේ ආදායමෙන් අඩු ප්‍රමාණයක් උපයා ගනියි. අනතුරුව රටේ සමස්ත ආදායමෙන් සියයට 72 ක් වැය කරමින් ණය පොලිය ගෙවයි.

 

ගුණසිංහ හේරත්



අදහස් (0)

අයවැය හිඟයේ පරිමාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3814 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3689 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 8323 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1812 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 561 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 716 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 171 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 235 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 256 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site